Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මියුනිච් ගුවන් යානා අනතුරෙන් සිදු වුණු පාපන්දු ඛේදවාචකය

ක්‍රීඩා ඉතිහාසය සම්බන්ධයෙන් ගවේෂණය කිරීමේ දී සුන්දර මෙන් ම අසුන්දර සිදුවීම් ද නිරීක්ෂණය කළ හැකි යි. ඇතැම් සිදුවීම් නිමාවට පත් ව තිබෙන්නේ ක්‍රීඩකයන් ගණනාවකගේ දිවි අහිමි කරමින්.

එලෙස ක්‍රීඩක දිවි අහිමි කළ අවස්ථා මෙන් ම ප්‍රේක්ෂක දිවි අහිමි කළ අවස්ථා ද ක්‍රීඩා ඉතිහාසයේ දකින්නට ලැබෙනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයෝ – www.manchesterunited.com

1958 දී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් ද එවැනි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. එම සිදුවීම අදටත් පාපන්දු ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නේ හද කම්පා කරන මතක රැසක්. එම සිදුවීම හේතුවෙන් එංගලන්තයෙන් බිහි වීමට නියමිත ව තිබූ වටිනා ම පාපන්දු ක්‍රීඩකයා යැයි සැලකෙන ඩන්කන් එඩ්වඩ්ස් ගේ පවා දිවි අහිමි වුණා. මේ සිදුවීම සම්බන්ධවයි මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ.

1958 යුරෝපීය කුසලානය

අද වන විට යුරෝපයේ වඩාත් වැඩි ම අවධානය දිනා ගෙන තිබෙන්නේ යුරෝපීය චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය බව ප්‍රකාශ කිරීම වරදක් නොවෙයි. එකල මෙම තරගාවලිය හැඳින්වුණේ යුරෝපීය කුසලානය නමින්. 1958 වර්ෂයේ යුරෝපීය කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් තරග වැදීමට නියමිත ව තිබුණා. රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් ක්‍රීඩා සමාජය එකල යුගොස්ලෝවියාවේ පිහිටි ක්‍රීඩා සමාජයක්. (වර්තමානයේ සර්බියාව).

එහි පළමු අදියර ගෝල 2-1 ක් ලෙසින් මැන්චෙස්ටර් යුනයිටඩ් ජයග්‍රහණය කළා. දෙවන අදියර ක්‍රීඩා කිරීම සඳහා ඔවුන් බෙල්ග්‍රේඩ් වෙත පියාසර කළ අතර එම අදියර අවසන් වූයේ ගෝල 3-3 වශයෙන්. ඒ අනුව අදියර ද්විත්වයෙන් ම ගෝල 5-4 ක ජයග්‍රහණයක් ලබා ගනිමින් 1957/58 යුරෝපීය කුසලාන තරගවාරයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමත් වුණා.

තරගය ආරම්භයට පෙර – www.manchestereveningnews.com

1958 පෙබරවාරි මස 5 වනදා මෙම තරගය අවසන් වූ අතර මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පෙබරවාරි මස 06 වැනි දා එංගලන්තය බලා පියාසර කිරීමට සූදානමින් පසු වුණා. ඔවුන්ට මීළඟට තිබෙන වුල්වහැම්ප්ටන් සමඟ තරගය ක්‍රීඩා කිරීමට එංගලන්තය බලා ඉක්මනින් ම නැවත පැමිණීමට අවශ්‍ය වුවත් ජොනී බෙරී තමගේ ගමන් බලපත්‍රය නැති කර ගැනීම නිසා පැයක් පමණ ප්‍රමාද වී මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයන් ගමන් ආරම්භ කළා.

මියුනිච් වෙතට

“එයාස්පීඩ් AS-57” නම් දරන ගුවන් යානයේ මගීන් 38 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් ද සමඟ සමස්ත 44 ක පිරිසක් රැඳී සිටියා. මගීන් අතරට ක්‍රීඩකයන්, කණ්ඩායම් කාර්ය මණ්ඩයලේ සාමාජිකයන් සහ මාධ්‍යවේදීන් ද ඇතුළත් වුණා. බෙල්ග්‍රේඩ් සිට ගමන් ආරම්භ කළ ගුවන් යානය දහවල් වන විට ජර්මනියේ මියුනිච් වෙත ළඟා වුණා. එහිදී ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් ගුවන් යානය මියුනිච් වෙත ගොඩ බෑවා.

AS-57 වර්ගයේ ගුවන් යානයක් – www.baesystems.com

ඉන්ධන ලබා ගැනීමෙන් සහ කෙටි විවේක කාලයකින් අනතුරුව සවස 2.19 ට පමණ ගුවන් යානය නැවත ගමන් ඇරඹීමට සූදානම් වුණා. පාලක මැදිරියේ දැනුම් දීම මත 2.31 ට පමණ ගුවන් යානය ගමන් ආරම්භ කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නෑ. ගුවන් යානයේ එන්ජිමෙන් අමුතු ශබ්දයක් සහ ක්‍රියාත්මක වීමේ ගැටලුවක් පැන නැඟී තිබුණා. ඉන් පසුව විනාඩි 3 කින් පසු නියමුවා යානය ගුවන් ගත කිරීමට නැවත උත්සාහ කළත් එය ද සාර්ථක වූයේ නෑ. මගීන් නැවත විවේකාගාරය වෙත ගමන් කළා.

මේ මොහොතේදී ඩන්කන් එඩ්වඩ්ස් ටෙලිග්‍රෑම් පණිවුඩයක් යොමු කරමින් එංගලන්තයේ සිටි තම ගෘහසේවිකාවට පවසා ඇත්තේ ගුවන් ගමන අවලංගු බවත් නැවත ඔවුන් පැමිණෙන්නේ හෙට දිනයේ බවත්. මේ කාලයේ දී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දැඩි හිම පතනයක් ද ආරම්භ වුණා. යානයේ ත්‍රොටලය ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් ඇති බව සොයා ගත්ත ද ධාවන පථයේ දිග කිලෝමීටර් 2 ක් පමණ වන නිසා සෙමින් ප්‍රවේගය ලබා ගත හැකි බවට ඔවුන් විශ්වාස කළා. මිනිත්තු 15 කට පසුව මගීන් පියාසර කිරීම වෙනුවෙන් නැවත කැඳවූවා.

අනතුරක සේයා

දැඩි හිම පතනයත් යානයේ දෝෂ සහගත තත්ත්වය පිළිබඳ ව තිබූ ගැටලුවත් නිසා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම මෙම පියාසර කිරීම අනාරක්ෂිත යැයි පවසා සිටියා. බිලී වේලන් මෙය මරණය වෙත ගමන් කිරීමක් නමුත් තමන් එයට සූදානම් බවට ප්‍රකාශ කළා. එමෙන් ම ඩන්කන් එඩ්වඩ්ස්, ටොමී ටේලර්, මාක් ජෝන්ස්, එඩී කොල්මන් සහ මාධ්‍යවේදී ෆ්‍රෑන්ක් ස්විෆ්ට් ඇතුළු පිරිසක් ගුවන් යානයේ පසුපසට ගමන් කළේ යම් දෙයක් සිදු වුවහොත් එය ආරක්ෂාකාරී බව පවසමින්. 2.56 ට යානය නැවත ගමන් කිරීමට සූදානම් වුණා.

ඩන්කන් එඩ්වඩ්ස් – www.theirishsun.com

පස්වරු 2.59 වන විට ගුවන් යානය ධාවන පථයේ නියමිත ස්ථානයට පැමිණියා. අවසන් නියමු පරීක්ෂාවෙන් අනතුරු ව පස්වරු 3.02ට පමණ ගුවන් ගත වීමේ අවසරය ප්‍රධාන පාලක මණ්ඩලයෙන් හිමි වුණා. තමන් ගුවන් ගත කිරීමට සූදානම් බවට නියමුවන් පාලක මණ්ඩලයට දැනුම් දුන්නා. ගුවන් යානය සෙමෙන් සෙමෙන් ධාවන පථයේ ඉදිරියට ගමන් කළත් අවශ්‍ය වේගය ලබා ගැනීමට යම් කාලයක් ගත වුණා. පැයට කිලෝමීටර් 220 ක පමණ වේගයක් වෙත ළඟා වී ගුවන් ගත වීමට හැකි වේගය ලැබුණත් හදිසියේ ම එය නැවත පහත වැටීමට පටන් ගත්තා.

ගුවන් යානය අනතුරට

වේගය පහත වැටීම හේතුවෙන් යානය නැවත අහසට නැංවීම පහසු වූයේ නෑ. අධික හිම පතනය හේතුවෙන් ගුවන් පථය මඩ වගුරක් බවට පත් වී තිබුණ අතර ම යානය ලිස්සා පසෙකට විසිවුණා. ධාවන පථයේ කෙළවරෙන් ඉවතට ලිස්සා ගිය යානය, ගුවන් තොටුපොළ වටා ඇති වැට සහ මාර්ගයක් හරහා ගොස් අසල තිබූ නිවසක් වෙත කඩා වැදුණා. ගුවන් යානයේ වම් පැත්ත ගසක වැදී ඉරී ගොස් තිබුණ අතර වලිගය කොටසට ද හානි සිදු වුණා. යානයේ දකුණු පසට හානි වූයේ නිවසක වැදීමෙන්.

එම නිවස තුළ තිබූ ට්‍රක් රථයක ඉන්ධන සහ ටයර් ද පුපුරා ගියා. ප්‍රධාන ගුවන් නියමුවා වූ ජේම්ස් තායින් තම කාර්ය මණ්ඩලයට යානයෙන් පිටත් වන ලෙසට කෑගැසමින් සිටියා. මේ අතර සහාය නියමුවා වූ කෙනෙත් රේමන්ට් තම ආසනයේ සිරවී හිඳිමින් තායින්ට පිටත්ව යන මෙන් ප්‍රකාශ කළා. ජේම්ස් තායින් ඒ මොහොතේ දී ගුවන් යානයේ ඉන්ධන ගිනි ගැනීමට ලක් වන බව දුටු නිසා ගිනි නිවන උපකරණ ද්විත්වයක් ද රැගෙන පැමිණ ගින්න නිවා දැමීමට උත්සාහ කළා.

අනතුරට පත් වූ ගුවන් යානය – www.manchesterunited.com

මේ මොහොතේ දී දැල් රකින්නා වන හැරී ග්‍රේග් සිහිය ලබා සිටියා. ඔහුගේ හිස අවට තුවාල වී තිබුණ ද ප්‍රකෘති සිහියෙන් කටයුතු කළ හැරී යානයේ සිදුරක් නිර්මාණය කර ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව එම සිදුරෙන් ගුවන් යානයෙන් පැන යාමට මත්තෙන් තම කණ්ඩායම් සගයන් වූ බොබී චාල්ටන් සහ ඩෙනිස් වයලට් යන දෙපළ ද ආසන වලින් මුදා ගැනීමට හැරී ග්‍රේග් කටයුතු කළා. නමුත් ඒ වන විටත් ක්‍රීඩා ඉතිහාසයේ අවාසනාවන්ත ම සිදුවීමක් සිදු වී අවසන් ව තිබුණා.

මියුනිච් ගුවන් ඛේදවාචකය

මෙම සිදුවීම අවසන් වන විට 20 දෙනෙක් එම ස්ථානයේ දී ම මරණයට පත්වුණා. ඒ අතරට මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයන් 7 දෙනෙක් අයත් වීම ද අවාසනාවක්. ප්‍රධාන නියමුවා වූ ජේම්ස් තායින් දිවි ගලවා ගත්තා. සහායක නියමු කෙනෙත් රේමන්ට් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් දින දෙකකට පසු මරණයට පත් වුණා. ඩන්කන් එඩ්වඩ්ස්ට ද අත්වූයේ එවන් ඉරණමක්.

මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ මෙන් ම එංගලන්තයේ ද සිටි දක්ෂත ම පාපන්දු ක්‍රීඩකයෙක් වූ ඩන්කන් එඩ්වඩ්ස් ද මුහුණ දුන්නේ එවැනි සිදුවීමකට යි. බරපතළ තුවාල ලැබීමෙන් පසු රෝහල් ගත වී දින 15 ක් පුරාවට ඔහු ජීවිතයත් මරණයත් අතර සටන් කළා.

15 වන දිනය අවසානයේ දී එඩ්වඩ්ස් අවාසනාවන්ත ආකාරයෙන් මෙලොව හැර ගියා. 21 හැවිරිදි ක්‍රීඩකයෙක් වූ ඔහු ඒ වන විටත් මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් තරග 177 ක් සහ එංගලන්තය වෙනුවෙන් තරග 18 ක් ක්‍රීඩා කර තිබුණා. එංගලන්තය බිහිකළ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා වන්නට නියමිත වූ එඩ්වඩ්ස් එලෙස අවාසනාවන්ත ලෙසින් ජීවිතයෙන් සමු ගත්තා.

අනතුරෙන් මියගිය මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයෝ සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ – www.pinterest.com

ඩන්කන් එඩ්වඩ්ස්ට අමතරව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩකයන් වූ ජෙෆ් බෙන්ට්, රොජර් බයිරන්, එඩී කොලමන්, මාක් ජෝන්ස්, ඩේවිඩ් පෙග්, ටොමී ටේලර් සහ බිලී වෙලන් යන අය ද මරණයට පත් වුණා. මැන්චෙස්ටර් යුනයිටඩ් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වන වෝල්ටර් ක්‍රික්මර්, ටොම් කරී සහ බ්‍රෙට් වැලී යන අය ද මියුනිච් ගුවන් අනතුරෙන් ජීවිතයෙන් සමු ගෙන තිබුණා. මේ අනතුර මැන්චෙස්ටර් යුනයිටඩ් ප්‍රේක්ෂකයන්ට මෙන් ම සමස්ත ලෝකයට ම ගෙන ආවේ දැඩි කම්පනයක්.

වරද කාගේ ද?

ප්‍රථමයෙන් ම මෙම අනතුරට ප්‍රධාන වරදකරුවන් බවට පත් වූයේ ගුවන් නියමුවන් දෙපළ යි. ඔවුන් හරිහැටි යානය පරීක්ෂා කිරීමකින් තොර ව ගුවන් ගත කළ බවට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව වාර්තා වූයේ ගුවන් පථයේ පැවති මඩ සහිත ස්භාවය මෙම අනතුරට ප්‍රධාන හේතුව වූ බව යි. එම මඩ සහිත ධාවන පථය හේතුවෙන් නියමිත වේගය ලබා ගැනීමට මත්තෙන් නැවත වේගය අහිමි වූ බවට මියුනිච් ගුවන් තොටුපොළ බලධාරීන් වෙත ඇඟිල්ල දිගු වුණා.

කෙසේ වෙතත් මියුනිච් වෙතින් චෝදනා එල්ල වූයේ ප්‍රධාන ගුවන් නියමු ජේම්ස් තායින් වෙතට යි. සහායක නියමු කෙනෙත් රේමන්ට් මරණයට පත් ව තිබීම හේතුවෙන් සියලු චෝදනාවලට තනිව මුහුණ දීමට තායින්ට සිදු වුණා. ගුවන් යානයේ තටුවල බැඳී තිබුණු හිම ඉවත් කිරීමට කටයුතු නොකිරීම මෙම අනතුරට ප්‍රධාන හේතුව බව ජර්මනිය කළ ප්‍රධාන ම චෝදනාවලින් එකක් වුණා. නමුත් ගුවන් යානයේ තටුවල හිම දකින්නට ලැබුණේ නැති බවට සාක්ෂි සටහන් වුණා.

අනතුර වාර්තා කළ පුවත්පත් – www.themirror.com

කෙසේ වෙතත් ජර්මානු බලධාරීන් තායින්ට විරුද්ධව නඩු පැවරුවා. මෙම නඩුව 1969 වර්ෂය තෙක් ඇදී ගිය අතර අවසානයේ දී ඔහු නඩුවෙන් නිදහස් වුණා. අනතුරෙන් පසුව ඔහු සේවයෙන් පහ කළ අතර නැවත ජේම්ස් තායින් කිසි දිනෙක ගුවන් නියමුවෙක් වශයෙන් කටයුතු කළේ නෑ. 1975 වර්ෂයේ දී 53 හැවිරිදි ව සිටි තායින් හෘදයාබාධයක් මරණයට පත් වුණා. ඔහු අවසන් කාලයේ තම ගොවිපොළක ජීවත් වූ බව සඳහන්.

පසුවිපරමක්

බෙල්ග්‍රේඩ්, මියුනිච් මෙන් ම මැන්චෙස්ටර්වල ද මෙම සිදුවීම ට අදාළ ව ස්මාරක නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන් ම මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩාංගනය වන ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ දකුණු අංගනයක් මියුනිච් උමග වශයෙන් නම් කළේ මෙම සිදුවීමේ 50 වන සංවත්සරයට සමගාමීව යි. විශේෂයෙන් ම අනතුරෙන් මරණයට පත් වූ ඩන්කන් එඩ්වඩ්ස් සිහි වීම උදෙසා ඔහුගේ උපන් නගරය වන ඩඩ්ලි හි ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. අදටත් ජනතාව මල් කළඹ තබමින් ඔහුවසිහි කරන ආකාරය දැකිය හැකි යි.

මෙම සිදුවීමෙන් දිවි ගලවා ගත් ක්‍රීඩකයන් අතරින් මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් තරග 247 ක් ක්‍රීඩා කළ ජොනී බෙරීට පාපන්දු ක්‍රීඩා කිරීමේ හැකියාවක් නැවත ලැබුණේ නෑ. ඒ ඔහුට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන්. හැරී ග්‍රේග් ගේ නිර්භීතභාවය හේතුවෙන් දිවි ගලවාගත් බොබී චාල්ටන් තව බොහෝ කලක් පාපන්දු ක්‍රීඩා කළා. මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් තරග 758 ක් සහ එංගලන්තය වෙනුවෙන් තරග 106 ක් ක්‍රීඩා කළ ඔහු 1966 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් විශාල සේවයක් කිරීමට ද සමත් වුණා.

මියුනිච් ගුවන් ඛේදවාචකය සිහිපත් කරන මැන්චෙස්ටර් යුනයිටඩ් ප්‍රේක්ෂකයෝ – www.eurosports.com

1966 පාපන්දු ලෝක කුසලානයේ දක්ෂත ම ක්‍රීඩකයා මෙන් ම 1966 බැලොන් ඩොර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ බොබී චාල්‍ටන් අද හැඳින්වෙන්නේ සර් බොබී චාල්ටන් නමින් වීම ද විශේෂත්වයක්. එංගලන්තය වෙනුවෙන් වැඩි ම ගෝල ලැබූ ක්‍රීඩකයන් අතරේ තෙවන ස්ථානය ද ඔහුට හිමි යි.

1958 මියුනිච් ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් ක්‍රීඩකයන් අතරින් තවම ජීවත් වී සිටින්නේ ද ඔහු පමණයි. මෙම අනතුර මැන්චෙස්ටර් යුනයිටඩ් ඉතිහාසයේ සිදු වූ ඛේදජනකම සිදුවීම ලෙසින් ඉතිහාසගත වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය - අනතුරෙන් පසුව ගුවන් යානය හානි වී තිබුණ අන්දම - www.skynews.com
මූලාශ්‍ර :
www.manchesterunited.com www.manchesterevening.com
www.thenationalarchives.com

Related Articles