Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියානු ක්‍රීඩාවක් අපි කවුරුත් හඳුනන චෙස් ක්‍රීඩාව බවට පත් වුණු හැටි

අද ලොව පුරා ප්‍රසිද්ධ චෙස් ක්‍රීඩාව නිර්මාණය වුණේ ඉන්දියාවේ බව ඔබ මීට පෙර දැනගෙන හිටියද? ඔබත් අනිවාර්යයෙන්ම එක් වරක් හෝ චෙස් ක්‍රීඩා කරලා ඇති, එහෙම නැතිනම් චෙස් ක්‍රීඩා කරනවා බලා හිඳලා ඇති. නමුත් මේ ක්‍රීඩාවේ රසබර ඉතිහාසය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ අපූරු තොරතුරු රැසක් මේ ලිපියේ අඩංගුයි.

චෙස් ක්‍රීඩාවේ ආරම්භය

අතීතයේ චෙස් ක්‍රීඩා කළ ආකාරය චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්.

දැනට ලෝකයේ තියෙන ගෘහස්ත ක්‍රීඩා අතරින් චෙස් වලට හිමිවෙන්නේ ප්‍රධාන ස්ථානයක්. මේ ක්‍රීඩාවේ නිජබිම තමයි ඉන්දියාව. චෙස් ක්‍රීඩාව බිහිවීම ගැන නොයෙකුත් මති මතාන්තර රැසක් තියනවා. ඉන් එක් මතයකට අනුව චෙස් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වෙන්නේ ක්‍රි.ව. 500 දී පමණ ඉන්දියාවේ වැඩ විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්.

උන්වහන්සේලා මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ විහාරාවාස වලින් භීෂණ ක්‍රියා ඈත් කරවීමේ අදහසින්. කෙනෙක්ගේ රණකාමීත්වය, වෛරය හා ප්‍රචණ්ඩ අදහස් චෙස් ක්‍රීඩාව සදහා යොදා ගත්විට ඒ අදහස් ඔහුගේ යථා ජීවිතයෙන් ඈත් වෙන බව එදා භික්ෂූන් වහන්සේලාගේ අදහස වුනා.

චෙස් ක්‍රීඩාවේ ආරම්භය ගැන කුමන මති මතාන්තර තිබුණත් ගෘහස්ත ක්‍රීඩාවක් විදිහට  චෙස් මෙතරම් ජනප්‍රිය වුනේ ගණිතය වගේම මෙයත් මනසට ව්‍යායාමයක් වූ නිසා. ඉන්දියාවෙන් ආරම්භ වූ  මේ ක්‍රීඩාව ඊළඟට ඊජිප්තුවටත් එතනින් යුරෝපයටත් ව්‍යාප්ත වුනා. නමුත් ඉන්දියාවේ චෙස් ක්‍රීඩා කළ ආකාරයට වඩා තරමක් වෙනස් විදිහකට තමයි යුරෝපයේ චෙස් ක්‍රීඩා කළේ.

අතීතයේ භාවිතා කළ චෙස් පුවරුවක් : රූපය : clevermartian.deviantart.com

ඊජිප්තුවෙන් යුරෝපයට පැමිණි චෙස් ක්‍රීඩාව වඩාත්ම තදින් මුල් බැසගත්තේ එංගලන්තයේ. ක්‍රි.ව. 18 වන සියවසේ මුල් භාගයේදී එංගලන්තයේ යාන්ත්‍රික චෙස් පුවරු තිබුණ අතර මේවයින් ක්‍රීඩා කරන්න සුළු ගාස්තුවකුත් අය කළා.

කාලයත් සමඟ චෙස්, කාලය කා දමන ක්‍රීඩාවක් විදිහට සමහරු හඳුන්වන්න පටන් ගැනීමත් එක්කම මේ ක්‍රීඩාවට ඔරලෝසුවත් ආදේශ වුණා. දැන් චෙස් නීති රීති වලට අනුකූලව ක්‍රීඩකයෙකු පැයක් තුළදී චලන විස්සක් සිදු කිරීම අනිවාර්ය වෙනවා. එසේ නොකළහොත් පරාජිතයා විදිහට තමයි ඔහුව පිළිගන්නේ.

අතීතයේ ප්‍රකට චෙස් ශුරයින්

ලෝක ප්‍රකට නැපෝලියන් බොනපාට් පවා චෙස් ක්‍රීඩාවේ නියැලුනු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රකට ඉතිහාසඥයෙක් වෙන “හෙන්රි බර්ඩ්” එහෙමත් චෙස් ක්‍රීඩාවට ප්‍රිය කළ අයෙක්.

මුල් කාලීන චෙස් ශුරයන් අතරින් ඇමරිකාවේ “පෝල් මෝෆි” හට හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔහු අති දක්ෂ චෙස් ක්‍රීඩකයෙක් වුණත් අවසානයේ උන්මත්තකයෙකු බවටත් පත් වුණා. මොකද මොහුගේ කාලයේදී චෙස් ක්‍රීඩාව සඳහා ඔරලෝසුව ආදේශ වෙලා තිබුනේ නැහැ. ඒ නිසා ඔහු ඉත්තෙක් චලනය කරන්න කලින් පැය ගණනක් කල්පනා කළ බවත් සමහරවිට එක දිගට චෙස් පුවරුව දෙස බලා සිටීම නිසා දෙනෙතින් කඳුළු වැගිරුණු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.

පෝල් මෝෆිගේ සිතුවමක්: රූපය : wikimedia.org

ලොව ප්‍රථම චෙස් ශුරයා ලෙස වාර්තා වෙන්නේ ඔස්ට්‍රියාවේ “විල්හෙල්ම් ස්ටේන්ස්”. ලෝක ශුරයා බවට පත්වෙන විට ඔහු තිස් හැවිරිදි වියේ පසු වුණා. 1946 තෙක් ඔහු චෙස් ලෝක ශුරයා වුණත් අවසානයේදී ජර්මනියේ “එමානුවල් ලාස්කර්” හට පරාජය වුණා. මින් පසුව ලාස්කර්ගෙන් “ලෝක චෙස් ශුරයා” කියන විරුදාවලිය උදුරා ගත්තේ ඇමරිකාවේ කියුබානු තානාපතිවරයා විදිහට කටයුතු කළ “ජෝසේ රාඔල් කැපබ්ලන්කා”. නමුත් ප්‍රංශ රුසියා මිශ්‍ර ජාතික “ඇලෙක්සැන්ඩර් ඇලෙකින්” “කැපබලන්කා” පරාජය කිරීම නිසා ඔහුටත් මේ තත්වය දිගින් දිගටම රඳවා ගන්න බැරි වුණා.

ඇලෙකින් ඉතා හොඳ මතකයක් තිබුණු අයෙක් විදියටයි සැලෙකෙන්නේ. මොකද ඔහුත් සමඟ තරඟ කළ සමහරු හිතුවේ ඔහු තම ප්‍රතිවාදියා මෝහනය කර පරාජයට පත් කරනවා කියලා. ඒවගේම තදින් බීමත්ව සිටියදී පවා තරඟයකින් ජය ලැබීමේ  අපූරු හැකියාවක් ඔහුට තිබුණා.

අන්ධ චෙස් නැතිනම් “Blindfold Chess” ක්‍රීඩාවේද ඇලෙකින් දක්ෂයෙක් වුණා. (මෙහිදී ක්‍රීඩකයා සිටින්නේ චෙස් පුවරුව සමඟ ප්‍රතිවාදියා සිටින තැනට පරිබාහිර තැනකයි. ප්‍රතිවාදියා ඉත්තන් චලනය කරන ආකාරය තමන්ට දැන්වූ විට මනසින් පුවරුව මවාගෙන තමන් කළ යුතු චලන ඔහුට දැන්විය යුතුයි).

අන්ධ චෙස් තරඟයක යෙදෙනකොට පුවරුව සිතින් මවා ගත යුතුයි. රූපය : chessmaine.net

කොහොම නමුත් “Blindfold Chess” ක්‍රීඩාවේ අති දක්ෂයා වුණේ ආර්ජන්ටිනාවේ “මිගෙල් නජ්ද්‍රෝෆ්”. ප්‍රතිවාදීන් පනස් දෙනෙකු සමඟ පමණ තරඟ කර ඇති ඔහු ඒ සෑම වාරයකදීම වගේ ජයග්‍රහණය කරන්න සමත් වුණා. නමුත් පසුකාලීනව රුසියාවේ මෙම Blindfold Chess ක්‍රීඩාව තහනමට ලක්වුණේ ඉන් ක්‍රීඩකයන්ගේ මනසට හානි පැමිණෙන බවක් අනාවරණය වුන නිසා.

ජාත්‍යන්තර චෙස් පදනම බිහි වුණේ “ඇලෙකින්”ගේ මරණයෙන් පසුවයි. රොබින් තරඟාවලියේදී රුසියාවේ “මිකායිල් බෝට්විනික් ” ලෝක ශුරතාවය දිනාගත් අතර එතැන් සිට එම ශුරතාවය වැඩි වශයෙන්ම දිනා ගත්තේ සෝවියට් ක්‍රීඩකයෝ. “වසිලි ස්මිස්ලෝව්”, “මිකායිල් ටල්”, “ටිග්රාන්”, “පෙට්රොසියන්”, “බොරිස් ස්පාස්කි”, “අනටොලි කාර්පොව්” සහ ඉන් කිහිප දෙනෙක්.

චෙස් වංශකතාවේ නම් සනිටුහන් කළ අතීත  ශූරයන්: පිළිවෙළින් විල්හෙල්ම් ස්ටේන්ස්, එමානුවල් ලාස්කර්, හෝසේ රාවුල් කැපබ්ලන්කා, ඇලෙක්සැන්ඩර් ඇලෙකින්, මිකායිල් බෝල්ට්විනික් සහ වසිලි ස්මිස්ලොව්. රූපය : fide.com හි රූප ඇසුරින් සකස් කරන ලදී

සියවස් ගණනාවක් තිස්සේ මිනිස්සු චෙස් ක්‍රීඩාවට මෙතරම් තදින් ඇලුම් කරන්නේ ඇයි?

ගණිතයේදී වගේම චෙස් ක්‍රීඩාවේදීත් පෙන්නුම් කෙරෙන්නේ ඒ පුද්ගලයා මානසික වශයෙන් කොතරම් සුපිරි තත්වක සිටිනවද කියන එකයි. අනෙක් අතට සමහර ක්‍රීඩාවලට වඩා වෙනස් ආකාරයකට ජය හෝ පරාජය ක්‍රීඩකයාගේ උර මතම රැඳී තියනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේදී නම් කාලගුණයට හෝ තණ තීරුවට දොස් පවරන්න පුළුවන්. නමුත් චෙස් ක්‍රීඩාවේදී පරාජිතයාට කියන්න පුළුවන් වෙන්නේ ප්‍රතිවාදියා තමන්ට වැඩිය දක්ෂයෙක් කියලා විතරයි. ඒ ඇරෙන්න පරාජිතයාට සමාවට කාරණයක් විදියට කියන්න පුළුවන් වෙන්නේ තමන් අසනීප වෙලා සිටින බව තමයි.

හිටපු බ්‍රිතාන්‍ය චෙස් ශුරයෙක් වූ ශ්‍රීමත් “ජෝර්ජ් තෝමස්” එක අවස්ථාවකදී උපහාසාත්මකව කිව්වේ තමන් අතින් පරාජයට පත්වුණු සියලුම දෙනා අසනීපකාරයන් කියලා.

වත්මන් තරඟකාරී චෙස් ක්‍රීඩාව

අතීතයේදී වගේ නෙවෙයි වර්තමානයේදී මේ චෙස් ක්‍රීඩාවේ නීති රීති වෙනස්වෙමින් අලුත් වෙමින් ඉතා තරඟකාරී ක්‍රීඩාවක් බවට පත්වෙලා හමාරයි. ඒ වගේම අද වන විට චෙස් ක්‍රීඩාව සම්පුර්ණයෙන්ම මානසික ව්‍යායාමයක් බවට පත්වෙලා තියනවා. තාක්ෂණයේ දියුණුවත් එක්කම චෙස් ක්‍රීඩා කරන ඉතා දියුණු පරිගණක පවා නිර්මාණය වෙලා තියෙනවා.

පරිගණකයට මිනිසා අභිබවා යන්න හැකි බව මුලින්ම තහවුරු වුණේත් චෙස් ක්‍රීඩාව නිසායි. IBM ආයතනය නිර්මාණය කරපු Deep Blue පරිගණකය වැඩිම කාලයක් ලෝක ශූරයා වී සිටි ගැරී කැස්පරොව් පවා පරාජය කරන්න සමත් වුණා.

IBM ආයතනය නිර්මාණය කරපු Deep Blue පරිගණකය සහ ගැරී කැස්පරොව් මහතා: රූපය : archive.org

චෙස් ක්‍රීඩාව ගැන අද වන විට බොහෝ පොත පත ලියවිලා තියනවා. ඒ වගේම මේ ක්‍රීඩාව ගැන අධ්‍යයනය කරන අය  වගේම එහි නිරත වෙන අයත් වසරින් වසර වැඩි වෙනවා. නමුත් සමහරු නම් කියන්නේ චෙස් ක්‍රීඩාවේ ඇලී ගැලී සිටින අයගේ සමාජ ජීවිතය දුර්වලයි කියලා.

වරක් බ්‍රිතාන්‍ය චෙස් සඟරාවක් ප්‍රකාශ කළේ චෙස් ක්‍රීඩකයන් තම කාලයෙන් වැඩි කොටසක් චෙස් ක්‍රීඩාවට යොමු කරන නිසා තමන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු ගැන සොයා නොබලන බවයි. බ්‍රිතාන්‍ය චෙස් ක්‍රීඩකයන්ගේ බිරියන් වරක් “චෙස් වැන්දඹුවන්ගේ සංගමය” කියලා සංගමයක් පිහිටුවා ගත්තේ මේකට විරෝධය පෑමටලු.

රජවරුන්ගේ ක්‍රීඩාව විදියට විරුදාවලි ලත් චෙස් ක්‍රීඩාව සාමාන්‍ය ක්‍රීඩාවකට එහා ගිය, දර්ශනය වගේම කලාවත් එකලෙස මුසු වුණු ක්‍රීඩාවක්. චෙස් ක්‍රීඩාවෙන් විනෝදයක් ලබන අතරම බුද්ධි වර්ධනයටත් හොඳ අවස්ථාවක් ලබා දෙනවා. ඔබත් චෙස් ක්‍රීඩා කරලා තියෙනවා නම් මේ ගැන හොඳින්ම දන්නවා ඇති.

චෙස් ක්‍රීඩාව ගැන ඔබේ අත්දැකීම් වගේම සිතුවිලි මොනවගේද? Comment වලින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

Related Articles