Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තිසරගේ වාර්තාගත ඉනිම සමග බැඳුණු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තා

2019 වසර ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අමන්දානන්දයට පත් කළ ඉනිමක් ක්‍රීඩා කළා. එහි දී නියත වශයෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට තිබූ තරගයක් ගෞරවාන්විත පරාජයක් කරා ගෙන යාම සඳහා තිසර පන්දු 74කින් ලබාගත් වේගවත් ලකුණු 140 උපකාරී වුණා. එලෙස තිසර ක්‍රීඩා කළ සුපිරි ඉනිම කලකට අමතක නොවන අගනා ඉනිමක් බවට පත්වුණා පමණක් නොව, එමඟින් වසර 20කටත් වඩා පැරණි ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කිහිපයක් ම බිඳ වැටුණා. එම නිසා ම මෙම ලිපිය වෙන්වන්නේ තිසරගේ එම වාර්තාගත ඉනිම සමග බැඳුණු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තා පිළිබඳ ව තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කිරීමට යි.

තිසර පෙරේරාගේ මංගල එක්දින ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

සනත් ජයසූරියගේ වසර 22ක් පැරණි සුපිරි වාර්තාවක් බිඳහෙලූ තිසර

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වැඩි ම හයේ පහර ප්‍රමාණයක් එල්ල කිරීමේ වාර්තාවේ හිමිකරු බවට පත් ව සිටියේ  1996 වසරේ දී පකිස්තානයට එරෙහිව හතරේ පහර 11ක් සහ හයේ පහර 11ක් සමගින් පන්දු 65ක දී ලකුණු 134ක් ලබා ගත් සනත් ජයසූරියට යි. එදා පන්දු 48කින් ශතකය ලැබූ සනත්, එම අවධියේ වේගවත් ම එක්දින ශතකයේ වාර්තාවට හිමිකම් කීවේ ඉන්දීය පිතිකරු අසාරුඩීන් පන්දු 62කින් පිහිටුවා තිබූ එම වාර්තාව බිඳහෙළමිනුයි. ඉන් නොනැවතුණු සනත් එදා හයේ පහර 11ක් එල්ල කරමින්, ගෝඩ්න් ග්‍රිනිජ් එක්දින ඉනිමක හයේ පහර 8ක් එල්ල කරමින් තබා තිබුණු ලෝක වාර්තාව අලුත් කළා. එදා සනත් විසින් පිහිටවූ එම හයේ පහරවල වාර්තාව 2008 වසරේ කැනඩාවට එරෙහිව කොදෙව් පිතිකරු සේවියර් මාෂල් හයේ පහර 12ක් එල්ල කිරීමත් සමග බිඳවැටුණත්, එය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසින් දිගටම පැවතුණා. එලෙස පැවතුණු වාර්තාව අලුත් කළ තිසර, එහි දී නවසීලන්තයට එරෙහිව එල්ල කළ හයේ පහර ප්‍රමාණය 13ක්.

සනත් පකිස්තානයට එරෙහිව ලකුණු 134ක් ලබා ගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

හෂාන්ගේ වසර 23ක් පැරණි වාර්තාවක් අලුත් කළ තිසර

1995 වසරේ දී සාජා නුවර පැවති සිංගර් තුන්කොන් තරගාවලියේ දී කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 333ක් හඹායාමට සිදුවුණු අවස්ථාවේ, අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් හෂාන් තිලකරත්න ලබා ගත් ලකුණු 100 එක්දින තරගයක අංක 7 පිතිකරුවෙකු ලබා ගත් මුල්ම ශතකය බවට පත් වීම ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ගෙනදුන් සිදුවීමක්. එදා හෂාන් එලෙස තැබූ වාර්තාව 2002 වසරේ දී ඉන්දීය පිතිකරු මොහොමඩ් කයිෆ් ලකුණු 111ක් ලබා ගෙන බිඳහෙලූ අතර, ඉන් අනතුරුව දෝනි නොදැවී 139ක් ලබා ගනිමින් ඔහු සතු කරගත් එම වාර්තාවේ වර්තමාන උරුමක්කරු වන්නේ 2015 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 170ක් ලබා ගත් නවසීලන්ත පිතිකරු ලුක් රොන්කි යි. වෙනත් රටවල පිතිකරුවන් එලෙස අංක 7 පිතිකරු ලෙසින් පැමිණ එක්දින තරගවල ශතක රැස් කළත්, හෂාන්ගෙන් පසුව කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට එම දස්කම පෙන්වීමට නොහැකිවුණු නිසා තිසර මෙම තරගයේ දී අංක 7 පිතිකරු ලෙසින් පිටියට පිවිස ලබාගත් ලකුණු 140 ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයක අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිස ලබාගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙයි.

හෂාන් තිලකරත්න (gettyimages)
ලුක් රොංකි ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 170ක් ලබා ගත් පසු ඔහුට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුබ පතමින් (gettyimages)

තිරිමාන්නගේ ශ්‍රී ලංකා වාර්තාවක් බිඳහෙලූ තිසර

ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගවල දී නවසීලන්තයේ ක්‍රීඩා පිටියක වාර්තා කර තිබුණු ඉහළම ලකුණු ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කීවේ 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තයට එරෙහිව වෙලිංටන් නුවර වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී නොදැවී ලකුණු 139ක් ලබා ගත් ළහිරු තිරිමාන්නට යි. එදා තිරිමාන්න විසින් තැබූ එම වාර්තාවත්, තිසර මෙම ඉනිමේ දී ලබා ගත් ලකුණු 140 සමගින් බිඳවැටුණා.

තිරිමාන්න ලකුණු 139ක් ලබා ගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සනත්ගේ වසර 24ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් සම කිරීමට තිසර සමත් විය

ශ්‍රී ලංකා පිතිකරුවෙකු නවසීලන්තයට එරෙහිව එක්දින ඉනිමක වාර්තා කළ ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙස පැවති වාර්තාව වූයේ, 1994 වසරේ පැවති මැන්ඩෙලා කුසලාන සිව්කොන්  තරගාවලිය යටතේ බ්ලොම්ෆොන්ටේන්හී දී නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී සනත් ජයසූරිය සිය මංගල එක්දින ශතකය ලෙසින් වාර්තා කළ ලකුණු 140 යි. එදා සනත් පිහිට වූ එම වාර්තාව මෙම ඉනිමේ දී ලකුණු 140ක් වාර්තා කරමින් සම කිරීමට තිසර සමත් වුණේ ඔහුගේ ද මංගල එක්දින ශතකය ලබා ගනිමිනුයි.

සනත්ගේ මංගල එක්දින ශතකය ලබාගත් ඉනිමේ අවස්ථාවක් (youtube 99 waylon)

සනත්ගේ වසර 22ක් පැරණි තවත් ශ්‍රී ලංකා වාර්තාවක් සම කිරීමට තිසරට හැකි විය.

1996 වසරේ සිංගප්පූරුවේ දී පැවති සිංගර් තුන්කොන් තරගාවලිය යටතේ පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී හයේ පහර 11ක් සහ හතරේ පහර 11ක් එල්ල කළ සනත්, එහි දී හයේ සහ හතරේ පහරවලින් ලබාගත් සමස්ත ලකුණු ප්‍රමාණය 110ක්.එලෙස එදා සනත් දස්කම් දක්වද්දී තිසර මෙම ඉනිමේ දී හයේ පහර 13ක් සහ හතරේ පහර 8ක් එල්ල කරමින් හයේ පහර සහ හතරේ පහර වලින් ලබාගත් සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 110ක් ලෙසින් වාර්තා කළේ සනත්ගේ වසර 22ක් පැරණි වාර්තාව සම කරමින්.

සැබවින්ම එය විශිෂ්ට ඉනිමක්

දිගින් දිගටම එක්දින පිටියේ ලබන පරාජයන් නිසා පිතිකරුවෙකුගේ පුද්ගලික ඉනිමකින් පමණක් සැනසීමට සිදු ව තිබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ පැත්තෙන් බලන විට  කණගාටුවට කරුණක් වුණත්, එදා නියත පරාජය හමුවේ තිසර පෙන්වූ සටන්කාමීත්වය අපට කිසිදා අමතක කරන්න බැහැ. ඉතාමත් කලාතුරකින් එක්දින පිටියේ දක්නට ලැබෙන මෙවැනි ඉනිම් ප්‍රේක්ෂකයන්ට ගෙන දෙන ආශ්වාදය සුළුපටු නැහැ. එම නිසා ම තිසරගේ මෙම ඉනිම තවත් දශක ගණනාවක් යනතුරු ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ රැඳෙන ඉනිමක් බවට අනිවාර්යෙන් ම පත්වනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය: තිසරගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

Related Articles