Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දී හමුවන විශේෂ තරු තුනක්

පාපන්දු ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමක සාමාජිකයෙකු වීම ඕනෑම පාපන්දු ක්‍රීඩකයෙකු සිය ක්‍රීඩා දිවිය තුළ දකින සිහිනයක්. එම සිහිනය සැබෑ කරගත් ක්‍රීඩකයෙකු පසුකලෙක පුහුණුකරුවෙකු ලෙසින් සිය රටට පාපන්දු ලෝක කුසලානය හිමිකර දෙනවා නම් එය ඉතාමත් විශේෂ අවස්ථාවක්. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ දී එම සුවිශේෂී දස්කම කළ ක්‍රීඩකයන් තිදෙනෙකු හමුවනවා. එසේ නම් මෙම ලිපිය එම සුපිරි තරු තුන පිළිබඳව යි.

මාරියෝ සැගලෝ (බ්‍රසීලය)

බ්‍රසීලයෙන් බිහි වුණු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ මාරියෝ සැගලෝ, ක්‍රීඩකයෙකු ලෙස දෙවරක් පාපන්දු ලෝක කුසලානය දිනාගත්තා. පසු කලෙක බ්‍රසීල පුහුණුකරුවා ලෙස කටයුතු කළ සැගලෝ, 1970 වසරේ දී පුහුණුකරුවෙකු ලෙසින් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය දිනාදුන්නා. ඒ අනුව ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස මුල්මවරට පාපන්දු ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වුණේ මාරියෝ සැගලෝ නම් ක්‍රීඩකයා යි.

සැගලෝ ක්‍රීඩකයෙකු ලෙස දෙවරක් ලෝක කුසලානය දිනාගත් හැටි 

බ්‍රසීලය මුල්මවරට පාපන්දු ලෝක කුසලානය දිනාගත්තේ 1958 වසරේ දී යි. එම පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායමට මාරියෝ සැගලෝ නම් ක්‍රීඩකයා ඇතුළත් වුණා. එහි දී මැද පෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ සැගලෝ, තරගාවලිය තුළ ලබා ගත් එකම ගෝලය වාර්තා කළේ අවසන් තරගයේ දී යි.

සැගලෝ 1958 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී ගෝලයක් වාර්තා කළ අවස්ථාව (gettyimages)

එලෙස සිය රටට මංගල පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට දායකත්වයක් ලබාදුන් සැගලෝ, 1962 වසරේ දී පාපන්දු ලෝක කුසලානය දිනාගත් බ්‍රසීල කණ්ඩායමේත් සාමාජිකයෙකු වුණා. එවර තරගාවලියේ දී බ්‍රසීලය ලබාගත් මංගල ගෝලයේ හිමිකරු වුණු සැගලෝ, තරගාවලිය තුළ වාර්තා කළේ එම ගෝලය පමණ යි.

සැගලෝ 1962 ලෝක කුසලාන අවසන් තරගයේ දී (දකුණු පස අයිනේ ක්‍රීඩකයා) (gettyimages)

සැගලෝ පුහුණුකරුවෙකු ලෙස 1970 ලෝක කුසලානය දිනාගත් හැටි 

1970 පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගි වුණු බ්‍රසීල කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ දක්නට ලැබුණු විශිෂ්ටතම කණ්ඩායම ලෙසින් සලකනවා. එම සුපිරි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මාරියෝ සැගලෝ, මුල්මවරට බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ 1967 වසරේ දී යි. 1967 වසරේ සිටම ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ තරගවැදුණු බ්‍රසීල කණ්ඩායම 1970 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී මූලික වටයේ තරග 3ම පහසුවෙන් ජයග්‍රහණය කළ බ්‍රසීලය, අර්ධ අවසන් පූර්ව වටයේ දී පේරු කණ්ඩායම පරාජය කළේ 4-2 ලෙසින්. එලෙස පහසුවෙන්ම අවසන් පූර්ව තරගයට පිවිසි බ්‍රසීලය එම තරගයේ දී උරුගුවේ කණ්ඩායම පරාජය කළේ ගෝල 3-1ක් ලෙසින්. ඒ අනුව අවසන් තරගයේ දී බ්‍රසීලයට තරග වැදීමට සිදුවුණේ ඉතාලි කණ්ඩායම සමග යි. එම කාලසමය වන විට බ්‍රසීලය සහ ඉතාලිය දෙවරක් ජූල්ස් රිමේ පාපන්දු ලෝක කුසලානය දිනා තිබුණා. එම නිසාම තෙවන වර එම කුසලානය දිනාගන්නා කණ්ඩායමට එහි අයිතිය හිමි වීමට නියමිතව තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ පැවති එම ලෝක කුසලාන අවසන් තරගයේ දී ගෝල 4-1ක පහසු ජයක් වාර්තා කළ බ්‍රසීලය ජූල්ස් රිමේ කුසලානය සින්නක්කරවම හිමිකර ගත්තා. 

පේලේ සහ සැගලෝ 1970 ලෝක කුසලාන තරගාවලිය අතරතුර (gettyimages)

සැගලෝට ගිලිහී ගිය අපූරු අවස්ථාව 

1998 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළේ මාරියෝ සැගලෝ යි. එම තරගාවලියේ දී ත් සුපිරි දස්කම් දැක්වූ බ්‍රසීල කණ්ඩායම පහසුවෙන්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. නමුත් අවසන් තරගයේ දී බ්‍රසීලය අවාසනාවන්ත අයුරින් ප්‍රංශය හමුවේ ගෝල 3-0ක පරාජයක් ලැබුවා. ඒ අනුව සැගලෝට දෙවන වරටත් පුහුණුකරුවෙකු ලෙස පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියා.

සැගලෝ 1998 පාපන්දු ලෝක කුසලානය අතරතුර (gettyimages)

ෆ්රාන්ස් බෙකන්බවර් (බටහිර ජර්මනිය)

1974 වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගත් බටහිර ජර්මානු කණ්ඩායමේ නායකත්වය දැරුවේ ෆ්රාන්ස් බෙකන්බවර් නම් ක්‍රීඩකයා යි. පසු කලෙක බටහිර ජර්මානු පුහුණුකරුවා ලෙස කටයුතු කළ බෙකන්බවර්, 1990 වසරේ දී පුහුණුකරුවෙකු ලෙසින් බටහිර ජර්මනියට පාපන්දු ලෝක කුසලානය දිනාදුන්නා. ඒ අනුව නායකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස මුල්මවරට පාපන්දු ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වුණේ ෆ්රාන්ස් බෙකන්වර් නම් ක්‍රීඩකයා යි.

බෙකන්බවර් නායකයෙකු ලෙස ලෝක කුසලානය දිනාගත් හැටි 

1974 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු බටහිර ජර්මානු කණ්ඩායමේ නායකත්වය දැරුවේ ෆ්රාන්ස් බෙකන්බවර් නම් ආරක්ෂක පෙළ ක්‍රීඩකයා යි. මූලික වටයේ තරගවල දී නැගෙනහිර ජර්මනියට පමණක් පරාජය වුණු බටහිර ජර්මනිය දෙවන වටයේ දී පෝලන්තය, ස්වීඩනය සහ යුගෝස්ලාවියාව පරාජය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා. එලෙස අවසන් තරගය සඳහා පිවිසුණු බටහිර ජර්මනියට එම තරගයේ දී තරග වැදීමට සිදුවුණේ ප්‍රබල නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව යි. එදා නෙදර්ලන්ත ක්‍රීඩකයන් තරගයේ දෙවන විනාඩිය වන විට ගෝල 1-0ක් ලෙසින් පෙරමුණ ගත්තත්, ඉන්පසුව ක්‍රියාත්මක වුණු ජර්මානුවන් ගෝල 2ක් වාර්තා කරමින් පාපන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත් වුණා.

බෙකන්බවර් ලෝක කුසලානය සමග (gettyimages)

බෙකන්බවර් පුහුණුකරුවෙකු ලෙස 1990 ලෝක කුසලානය දිනූ හැටි 

ෆ්රාන්ස් බෙකන්බවර් 1984 වසරේ දී බටහිර ජර්මානු පාපන්දු පුහුණුකරුවා බවට පත් වුණා. බෙකන්බවර්ගේ පුහුණුකාරීත්වය යටතේ 1986 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු බටහිර ජර්මනිය අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. නමුත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව පැවති එම අවසන් තරගයේ දී බටහිර ජර්මනිය ගෝල 3-2ක පරාජයක් ලැබුවා. එම නිසාම බෙකන්බවර්ට පුහුණුකරුවෙකු ලෙස පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට තිබුණු අවස්ථාවක් ගිලිහී ගියා. ඉන් වසර 4කට පසුව පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී යළි බටහිර ජර්මානු පුහුණුකරුවා වුණු බෙකන්බවර් සිය කණ්ඩායම නැවතත් අවසන් තරගය කරා රැගෙන ගියේ කිසිදු අපහසුවකින් තොරව යි. එලෙස පහසුවෙන්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ බටහිර ජර්මනියට අවසන් තරගයේ දී නැවත හමුවුණේ ආජන්ටිනා කණ්ඩායම යි. එහි දී ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව ප්‍රබල තරග රටාවක නිරත වුණු ජර්මානුවන් ගෝල 1-0ක ජයක් ලබා ගනිමින් පාපන්දු ලෝක කුසලානය හිමිකර ගනු ලැබුවා.

බෙකන්බවර් 1990 ලෝක කුසලානයේ දී ජර්මන් පුහුණුකරු ලෙස (gettyimages)

ඩිඩියර් ඩෙෂාම්ප් (ප්‍රංශය)

ප්‍රංශය මුල්මවරට පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ 1998 වසරේ දී යි. එහි දී ප්‍රංශ කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ඩිඩියර් ඩෙෂාම්ප් නම් ක්‍රීඩකයා යි. එම ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ 2018 වසරේ දී යි. එවර ප්‍රංශ පිලේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළේත් ඩිඩියර් ඩෙෂාම්ප් නම් සුපිරි ක්‍රීඩකයා යි. ඒ අනුව බෙකන්බවර්ට පසුව නායකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස පාපන්දු ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයා ලෙසින් ඩෙෂාම්ප් ඉතිහාසගත වුණා.

ඩෙෂාම්ප් නායකයෙකු ලෙස ලෝක කුසලානය දිනාගත් හැටි 

1998 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු ප්‍රංශ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඩිඩියර් ඩෙෂාම්ප් නම් මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයා යි. එම තරගාවලියේ මූලික වටයේ තරග 3ම පහසුවෙන් ජයගත් ප්‍රංශය, 16 දෙනාගේ තරග වටයේ දී තරග වැදුණේ පැරගුවේ කණ්ඩායම සමග යි. ඉතාමත් තියුණු තරගයකින් පසුව දෙවන අතිරේක කාලයේ දී එම තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කළ ප්‍රංශයට ඊළඟ වටයේ දී හමුවුණේ ඉතාලිය යි. ඉතාලිය සමගත් ප්‍රබල සටනක නිරත වුණු ප්‍රංශය, දඬුවම් පහර 4-3ක් ලෙස තියුණු ජයක් ලබමින් අවසන් පූර්ව වටයට එක් වුණා. එලෙස අසීරුවෙන් අවසන් පූර්ව වටයට එක්වුණු ප්‍රංශය අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ක්‍රොයේෂියාව හමුවේ ගෝල 2-1ක ජයක් ලබමින්. ඉන් අනතුරුව බ්‍රසීලයට එරෙහිව පැවති අවසන් තරගය ප්‍රංශයට අසීරු එකක් වනු ඇතැ යි බොහෝ දෙනෙකු සිතුවත්, ප්‍රංශය එය ගෝල 3-0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කළේ මුල්මවරට පාපන්දු ලෝක කුසලානය දිනාගනිමින්. 

ඩෙෂාම්ප් ලෝක කුසලානය සමග (gettyimages)

ඩෙෂාම්ප් පුහුණුකරුවෙකු ලෙස 2018 ලෝක කුසලානය දිනාගත් හැටි

2012 වසරේ සිට ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ ඩෙෂාම්ප්, 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වන විට ප්‍රබල ප්‍රංශ කණ්ඩායමක් ගොඩනගා තිබුණා. එලෙස ගොඩනැගුණු ප්‍රංශ කණ්ඩායම මූලික වටයේ තරගවල දී C කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගනිමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා. ඉන්පසුව පැවති තරගවටවල දී ආජන්ටිනාව, උරුගුවේ, සහ බෙල්ජියම යන ප්‍රබල රටවල් පරාජය කළ ප්‍රංශයට අවසන් තරගයේ දී හමුවුණේ ක්‍රොයේෂියා කණ්ඩායම යි. එහි දී ක්‍රොයේෂියාව හමුවේ ගෝල 4-2ක පහසු ජයක් වාර්තා කළ ප්‍රංශය, වසර 20කට පසුව පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඩෙෂාම්ප් 2018 ලෝක කුසලානයේ දී ප්‍රංශ පුහුණුකරු ලෙස (gettyimages)

කවරයේ ඡායාරූපය- මාරියෝ සැගලෝ (gettyimages)

Related Articles