Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ක්‍රිකට් ගොඩනැඟූ විදෙස් පුහුණුකරුවෝ තිදෙනෙක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පසුගිය නොවැම්බර් මාසයේ දී පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියේ නිමාවත්  සමඟ ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ මිකී ආතර්ගේ ගිවිසුම් කාලය අවසන් වුණා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්  සිය පුහුණුකරුවාට ජයග්‍රාහී අවසානයක් ලබා දීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

 මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදුන් මොහොත – gettyimages.com

 

මිකී 2020 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත්වුණා. ඒ වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටෙමින් පැවතුණා. එවැනි මොහොතක අත්දැකීම් අඩු ක්‍රීඩකයන් පිරිසක් සමඟින් ඉදිරියට ගිය මෙම පුහුණුකරුවා අපේ  ක්‍රිකට් ක්‍රීඩාවඉහළ තත්ත්වයකට යළි පත්කළා. එහි ප්‍රතිඵල පසුගිය මාස 6 ඇතුළත අපට අත්විඳීමට හැකි වුණා.

එහි දී ඉන්දු-ලංකා 20/20 ක්‍රිකට් තරගාවලිය සහ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය ජයගැනීම අමතක කරන්නට බැහැ. ඒ වාගේම 20/20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දැක්වූ දස්කම් කාගේත් කතා බහට ලක්වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම 2021 T20 ලෝක කුසලානයේ දී – gettyimages.com

 

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් කළ විදෙස් පුහුණුකරුවන්ගේ ලැයිස්තුවට මිකී ආතර්ගේ නමත් ඇතුළත් වුණා. එලෙස මිකී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය සිහිපත් කරද්දී අපේ ක්‍රිකට් ගොඩ නඟන්නට ඇපකැප වුණු තවත් විදෙස් පුහුණුකරුවන් රැසක් පිළිබඳ මතකයට නැගෙනවා. එයින් පුහුණුකරුවන් තිදෙනකු ගැන තොරතුරු මෙයින් ඔබ වෙත ඉදිරිපත් කරනවා. 

1). ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (බටහිර ඉන්දීය කොදෙව්)

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවුණු කීර්තිමත් දේශපාලනඥයෙකු වුණු ගාමිණී දිසානායක 1981-1989 අතර මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. ඔහු 1981 වසරේ අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදී සිටියා. ඒ වන විට ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සංචාරයක නිරත වෙමින් සිටියා.

එදා සෝබර්ස් නම් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා හමු වුණු ගාමිණී දිසානායක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරු තනතුර භාර ගන්නා මෙන් ඉල්ලීමක් කළා. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටියේ නැඟී එමින් සිටි කණ්ඩායමක් බවට පත් ව සිටියා. එනිසා සෝබර්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගැනීම සඳහා කැමැත්ත පළ කළා.

සෝබර්ස් සහ ගාමිණී දිසානායක – dailynews.lk

 

1981/82 තරග වාරයේ  සිට ගාෆීල්ඩ් සෝබර්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ දී ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමට ප්‍රබල සටනක් ලබා දුන්නා. එහි දී අත්දැකීම් අඩුකම නිසා ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක් උරුම වුණා.

ඒ අයුරින් මංගල ටෙස්ට් තරගය පරාජයට පත්වුණත් එක්දින තරගාවලිය 1-1 ලෙසින් අවසන් කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේ ටෙස්ට් වරම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1982 පාකිස්තාන සහ ඉන්දීය සංචාරවල දී සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණියා. නොසිතූ අයුරින් එම ජයග්‍රහණ අහිමි ව ගියා. 

මංගල ටෙස්ට් තරගයේ අවස්ථාවක් – gettyimages.com

1982 වසරේ අග භාගයේ  බන්දුල වර්ණපුර ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් අවසරයකින් තොර ව දකුණු අප්‍රිකානු තරග සංචාරයක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ක්‍රීඩකයන්ට  25 වසරක තරග තහනමක් පැනවුණා. ඒ සමඟ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමකට ලක්වුණා. ඉන් නොසැලුණු සෝබර්ස් නම් පුහුණුකරුවා තරුණ කණ්ඩායමක් සමඟින් හොඳ ඉදිරි ගමනක් ගියා.

එදා සෝබර්ස්ගේ පුහුණුකාරීත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම 1983 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී සටන්කාමී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා. එහි දී නවසීලන්තය හමුවේ තරගයක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තවත් තරගයක දී පාකිස්තාන කණ්ඩායමට ප්‍රබල සටනක් ලබාදෙමින් ලකුණු 11ක පරාජයක් ලැබුවා. එංගලන්තය සහ පාකිස්තාන කණ්ඩායම් හමුවේ පැවති තවත් තරග දෙකක දී 280 ඉක්මවූ ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම විශේෂත්වයක් වුණා. 

සෝබර්ස් 1983 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ – gettyimages.com

 

 සෝබර්ස්ගේ පුහුණුකාරීත්වය යටතේ රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, අර්ජුණ රණතුංග, රවී රත්නායක, අසන්තා ද මෙල්, රුමේෂ් රත්නායක, රංජන් මඩුගල්ලේ වැනි ක්‍රීඩකයන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. වසර 2කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ සෝබර්ස්ට ශ්‍රී ලංකාවේ දී අඳුරු අත්දැකීමකට මුහුණදීමට සිදුවුණා.

1983 කළු ජූලිය අවස්ථාවේ මැර කණ්ඩායමක් හමුවේ අනූනවයෙන් ජීවිතය බේරා ගැනීම යි. එදා ක්‍රිකට් රසික පර්සි අබේසේකර නොවන්නට සෝබර්ස්ගේ ජීවිතය පවා අහිමි වන්නට ඉඩ තිබුණා. එසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් කළ සෝබර්ස් 1984 මාර්තු මාසයෙන් පසුව මෙරට ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වුණා.

සෝබර්ස් යටතේ පුහුණුව ලබන ශ්‍රී ලංකා කණ්ඩායම – ranjanmellawa.com

 

2). ඩේව් වට්මෝර් (ඕස්ට්‍රේලියාව)

කොළඹ වැල්ලවත්තේ දී 1954 වසරේ උපත ලැබූ ඩේව් වට්මෝර් කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. 1962 වසරේ දී ඕස්ට්‍රේලියාව බලා ගිය වට්මෝර් පසු කලෙක ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 7කට සහ එක්දින තරගයකට සහභාගි වුණා. එදා ඔහුට අඛණ්ඩව ඕස්ට්‍රේලියානු කණ්ඩායම තුළ රැඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඔහු දිගු කාලයක් වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වීමට සමත් වුණා. 1988/89 තරග වාරයෙන් පසු ව පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගත් වට්මෝර් පසු කලෙක ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසින් රාජකාරි ආරම්භ කළා.

 

ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසින් වසර කිහිපයක් ඇතුළත නමක් දිනාගත් වට්මෝර් 1995 වසරේ අප්‍රේල් මාසයේ දී මුල් ම වරට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් සම්බන්ධ වුණා. ඒ එවකට අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ආනා පුංචිහේවා සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇතිකරගත් එකඟතාවකට අනුව යි. 1995 පාකිස්තාන සංචාරය වට්මෝර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණු මුල්ම තරගාවලිය යි.

 ඩේව් වට්මෝර් – gettyimages.com

එදා ප්‍රබල පාකිස්තාන කණ්ඩායම හමුවේ ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව වසර 15කට පසු ව ඔවුන්ගේ බිමේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ විදෙස් කණ්ඩායම බවට පත්වුණා. එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව වසර 8කට පසුව  ඔවුන්ගේ බිමේ දී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළ විදෙස් කණ්ඩායම බවට ද පත්වුණා

 

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය යන ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් 1995 සාජා තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළා. 1995/96 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ දී සුපිරි දස්කම් දක්වමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම කෙටි කාලයක් ඇතුළත් ලෝක ක්‍රිකට් පිටියේ එලෙස ඉදිරියට යාම කිසිවකු බලාපොරොත්තු නොවුණු සිදුවීමක් වුණා.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස සිටි දැවැන්ත චරිතය බවට පත්වුණේ ඩේව් වට්මෝර් නම් පුහුණුකරුවා යි. මාස කිහිපයක් පුරා අඛණ්ඩව දස්කම් අතර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රාහී මානසිකත්වයකින් 1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වුණා. එහි දී තරගයෙන් තරගය ජයග්‍රහණය කරමින් ඉදිරියට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසානයේ දී ඕස්ට්‍රේලියාව පරාජයට පත්කරමින් විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. එම ජයග්‍රහණයත් සමඟින් ඩේව් වට්මෝර් නම් පුහුණුකරුවා පිළිබඳව මුළු ලෝකය ම කතා කරන්නට පටන් ගත්තා.

වට්මෝර් විල්ස් ලෝක කුසලාන තරගාවලිය අතරතුර – gettyimages.com

 

ශ්‍රී ලංකාවට 1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ වට්මෝර් එම වසරේ අග භාගයේ දී පුහුණුකරු තනතුරෙන් ඉවත් වුණා. ඒ ගිවිසුම් කාලය අවසන් වුණු නිසා යි. ඉන් පසුව ලැන්කෂයර් ප්‍රාන්ත පුහුණුකරුවා ලෙස කටයුතු කළ වට්මෝර් 1999 ලෝක කුසලාන පරාජයෙන් පසුව යළිත් ශ්‍රී ලංකා පුහුණුකරු තනතුරට පත්වුණා.

ඔහු පුහුණුකරු තනතුර පත්වුණු විගස ම අයිවා තුන්කොන් තරගාවලිය, ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය, සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින තරගාවලි, පාකිස්තාන ටෙස්ට් සහ එක්දින තරගාවලි ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ජයග්‍රාහී මාවත වෙන රැගෙන ගියා. ඉන් අනතුරු ව වසර 4ක පමණ කාලයක් වට්මෝර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. එම කාලයේ දී ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙන ජයග්‍රහණයක් බවට පත්වුණා.

වට්මෝර් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුවීම්වල නිරතවෙමින් (gettyimages.com) 

 

3). ටොම් මූඩි (ඕස්ට්‍රේලියාව)

ටොම් මූඩි 1987-1999 කාල සමය තුළ ටෙස්ට් තරග 8කදී සහ එක්දින තරග 76කදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළා. 1987 සහ 1999 වසරවල එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල සාමාජිකයකු වුණු මූඩි තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් දස්කම් දැක්වීමට සමත් වුණා.

එහි දී ඔහු සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය මෙන් ම හොඳ ම ඉනිම 1989 බ්‍රිස්බේන් ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර තිබීම විශේෂත්වයක් වුණා. ඒ අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඉහළ දස්කම් දැක්වූ මූඩි 2001 වසරේ සිට පුහුණුකරුවකු ලෙසින් කටයුතු කිරීම ආරම්භ කළා.

1999 ලෝක කුසලානයේ දී පන්දුවෙන් දස්කම් පෑ මූඩි – gettyimages.com

 

වසර කිහිපයක් ඇතුළත දක්ෂ පුහුණුකරුවකු බවට පත්වුණු මූඩි 2005 මැයි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත්වුණා. මූඩිගේ පුහුණුකාරීත්වය යටතේ මුල් මාස කිහිපය ඇතුළත සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. එහි දී ඉන්දියන් ඔයිල් තුන්කොන් කුසලානය  කොදෙව් ටෙස්ට් තරගාවලිය, බංග්ලාදේශ ටෙස්ට් සහ එක්දින තරගාවලි ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. 

2005 වසරේ අග භාගයේ ඉන්දීය සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජ සහ 2006 වසර මුල් භාගයේ පාකිස්තානය හමුවේ මෙරට දී ටෙස්ට් සහ එක්දින තරගාවලි පරාජය වීම හේතුවෙන් මූඩිගේ පුහුණුකාරීත්වය පිළිබඳව විවේචන එල්ල වුණා.

ඉන්දියන් ඔයිල් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

එම විවේචන හමුවේ නොසැලුණු මූඩි 2006 එංගලන්ත සංචාරයේ දී අති විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගත්තා. එහි දී එංගලන්තය හමුවේ එක්දින තරගාවලිය 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමත් සමඟ සමස්ත ක්‍රිකට් ලෝකයේ ම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වුණා. එම සංචාරයෙන් පසුව තවත් ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2007 එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට ඉතාමත් ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා.

එනිසා වසීම් අක්‍රම් නම් සුපිරි ක්‍රිකට් තරුව ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා බවට අනාවැකි පළ කළා. ඕස්ට්‍රේලියාවෙන් බිහි වුණු සුපිරි තරුවක් වුණු ෂේන් වෝන් ද පවසා සිටියේ ඕස්ට්‍රේලියාවට ප්‍රබල ම තර්ජනය ශ්‍රී ලංකාව බව යි. 

2006 එංගලන්ත එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ඔවුන්ගේ එම අනාවැකිවලට සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම අභිබවා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවුණේ නැහැ. ඒ අයුරින් 2007 ලෝක කුසලානයේ දී  සාර්ථක ප්‍රතිඵල අත්කර දීමෙන් පසුව ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වුණා.

එදා ටොම් මූඩි අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ කී දේවල්වල ප්‍රතිඵල ඔහුගේ නික්ම යාමෙන් පසුව ද අත්විඳින්නට ලැබුණා. ශ්‍රී ලංකාව 2009-2014 කාලයේ ලෝක කුසලාන අවසන් තරග 4කට සුදුසුකම් ලැබීම ඊට සාක්ෂ්‍ය සපයනවා. 

ටොම් මූඩි සහ මහේල – gettyimages.com

 

කවරයේ ඡායාරූපය- ඩේව් වට්මෝර් සහ සනත් ජයසූරිය 1999 වසරේ දී - gettyimages.com

මූලාශ්‍ර:

Janashakthi Cricket Book- S.S Perera

Essaying Cricket Sri Lanka and Beyond- Michael Roberts 

espncricinfo.com 

howstat.com 

Related Articles