Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරවින්දගේ ක්‍රිකට් දිවියේ අප නොඇසූ අපූරු කතා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරි තරු අතරට අරවින්ද ද සිල්වා ද අයත්. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවකු වුණු අරවින්ද, එවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් තරගවල දී තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින් දැක්වූ දස්කම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබෙනවා.

1984-2003 කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි මෙම විශිෂ්ට ක්‍රීඩකයා තරග 401කට සහභාගි වුණා. එහි දී ඔහු ශතක 31ක් සහ අර්ධ ශතක 86ක් සමඟින් ලකුණු 15645ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා. 

අරවින්ද ද සිල්වා  – gettyimages.com

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු මට්ටමක නොතිබුණු යුගවල පවා දස්කම් අතර සිටි අරවින්ද සෑම විට ම සිය රටේ නාමය ක්‍රිකට් ලොව ඔසවා තැබීමට විශාල වෙහෙසක් ගත්තා. එනිසා අදටත් අරවින්දගේ දස්කම් පිළිබඳව පැරණි රසිකයන් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. එසේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අභිමානයක් ගෙන දුන් මෙම සුපිරි තරුවගේ ක්‍රිකට් ජීවිතය හා බැඳුණු අපූරු කතා රැසක් තිබෙනවා. 

අරවින්දගේ ක්‍රිකට් දිවිය ආරම්භ වුණු හැටි 

WAN සිල්වා හෙවත් වෑන් සිල්වා 70 සහ 80 දශකවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් රැසක් දායාද කළ පුහුණුකරුවෙක්. ඒ වාගේම ඔහු 80 දශකයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරමින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සිය දායකත්වය ලබාදුන්නා. 1973 වසරේ එක්තරා දිනයක වෑන් සිල්වාට අනුරුද්ධ පොලොන්නෝවිටගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. 

අනුරුද්ධ පොලොන්නෝවිට – islandcricket.lk

 

අනුරුද්ධ පොලොන්නෝවිට ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමට පෙර යුගයේ සිටි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුත් දක්ෂ ක්‍රීඩකයන් රැසක් දායාද කළ පුහුණුකරුවෙක්. ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ම නිල නොවන ටෙස්ට් තරග ජයග්‍රහණය 1965 වසරේ අහමදාබාද් හිදී වාර්තා කළා. එම ජයග්‍රහණය ලබාගැනීම සඳහා පොලොන්නෝවිට පිත්තෙන් සහ පන්දුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා. ලංකා ක්‍රිකට් පිටියේ සිටි දැවැන්ත චරිතයක් වුණු අනුරුද්ධ පොලොන්නෝවිට එසේ වෑන් සිල්වාට දුරකථයෙන් කතා කළේ කුඩා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන තොරතුරක් ලබාදීම සඳහා යි. එදා පොලොන්නෝවිට සහ වෑන් සිල්වා අතර ඇතිවුණු කෙටි දුරකථන සංවාදය පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

අනුරුද්ධ- ලබන අවුරුද්දෙ ඔයා ගාවට ක්‍රිකට් පුහුණුවෙන්න ගොඩක් දක්ෂ ළමයෙක් එයි. ඒ දරුව හොඳට බලාගන්න ඕනි. එයාගෙ නම අරවින්ද ද සිල්වා. පුදුම හැකියාවක් තියන දරුවෙක්. කවදහරි මේ දරුවා ක්‍රිකට්වලින් මුළු ලෝකෙම හොල්ලයි කියල මට හිතෙනවා.

වෑන්- හරි අනුරුද්ධ මං එයාට හොඳින්  පුහුණුව ලබා දෙන්නම්. ඒත් ඔයා කොහොමද ඒ දරුවා කවදහරි ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙයි කියල එච්චර විශ්වාසයකින් කියන්නෙ?

අනුරුද්ධ- අරවින්දගේ තාත්ත සෑම් මගෙ හොඳ ම යාළුවෙක්. ඉතින් මං නිතර ම වගේ එයාලගෙ ගෙදර යනවා. එතකොට මේ දරුවා මිදුලෙ සෙල්ලම් කර කර ඉන්නවා. වයසින් අවුරුදු 8ක් විතර වුණාට ඒ දරුවා ගහන පාරවල් හරිම වේගවත්. ඒ වගේම හොඳ තාක්ෂණයක් තිබෙනවා. ඒ හැකියාවන් ඔප මට්ටම් කරල ගත්තොත් අනාගතයට හොඳ ආයෝජනයක් වෙයි. 

වෑන් සිල්වා – dailynews.lk

 

වෑන් සිල්වා සහ අනුරුද්ධ පොලොන්නෝවිට අතර එම දුරකථන සංවාදය ඇතිවී මාස කිහිපයක් ගෙවී යද්දී අරවින්ද ක්‍රිකට් පුහුණුව සඳහා පැමිණියා. උසින් අඩු කුඩා අරවින්ද දෙස බැලූ වෑන් ඔහුගේ පිතිකරණ හැකියාව මැන බැලීමට තීරණය කළා. ඒ වන විට ඔහු ළඟ වේගයෙන් පන්දු යැවිය හැකි දරුවෙක් පුහුණු වෙමින් සිටියා. අවුරුදු 14ක පමණ වයසේ පසුවුණු එම දරුවා ළඟට කැඳවූ වෑන්, කුඩා අරවින්දට පන්දු යවන මෙන් ඔහුට උපදෙස් දුන්නා. 

අරවින්ද කුඩා කාලයේ දී – cricfinity.com

 

එදා අරවින්දට යොමු කළ පළමු පන්දුවට ම ඔහු අලංකාර හුක් පහරක් එල්ල කළා. ඒ මොහොතේ ඉහළින් ම ඇදී ගිය පන්දුව හතරේ සීමාවෙන් පිටත පතිත වුණා. වෑන්, අරවින්ද සතු ව තිබුණු හැකියාව මනාව එදා හඳුනා ගත්තා.

ඔහු කිසියම් දිනයක ලෝක පූජිත පිතිකරුවකු වනු ඇති බවට අනුරුද්ධ පැවසූ කතාව සත්‍ය යැයි වෑන්ට අවබෝධ වුණා. පසු කලෙක අරවින්ද ද සිල්වා නම් සුපිරි ක්‍රීඩකයා ලෝක කුසලාන අවසන් තරගයක දී ශතකයක් ලබාගෙන අනුරුද්ධ පොලොන්නෝවිටගේ අනාවැකිය ඇත්තක් බවට පත් කළා. 

 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශතකය ලබාගත් මොහොත – gettyimages.com

 

අරවින්දගේ අතට පන්දුව දුන් විදෙස් පුහුණුකරුවා 

වෑන් සිල්වා යටතේ පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින් සිටි අරවින්දට පිටදඟ පන්දු යැවීමට හැකියාවක් තිබුණා. එම හැකියාව ඔප් නංවා ගැනීම සඳහා ඔහු චාල්ස් වර්ණකුලසූරිය නම් දක්ෂ පුහුණුකරුවා ළඟට යැවීමට වෑන් තීරණය කළා. අප රටට ටෙස්ට් වරම් ලැබීමට පෙර යුගයේ සිලෝන් කණ්ඩායම නියෝජනය කළ චාල්ස් දක්ෂ පිටදඟ පන්දු යවන්නෙක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා. ඒ වාගේම වෑන් සහ චාල්ස් එකම යුගයක බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණා. 

වෑන්ගේ ඉල්ලීම පරිදි අරවින්දගේ පන්දු යැවීම පිළිබඳ පරීක්ෂා කළ චාල්ස්ට විශේෂ දෙයක් දැක ගන්නට ලැබුණා. ඒ අරවින්ද පන්දු යවද්දී පිතිකරුවාගේ කඩුල්ල දෙස නොබලමින් පන්දු යවන ආකාරය යි. අරවින්ද සිදු කළ එම වරද අවබෝධ කරගත් චාල්ස් එය නිවැරදි කිරීම සඳහා පිළියම් යෙදුවා. එදා චාල්ස් වර්ණකුලසූරිය පුහුණුකරුවා ලබා දුන් උපදේශය හිතට ගත් අරවින්ද  දක්ෂ පිටදඟ පන්දු යවන්නකු බවට පසුව පත්වුණා.

ඩොනල්ඩ් ස්මිත් ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් සමඟ – ft.lk

1984 වසරේ දී ටෙස්ට් සහ එක්දින වරම් ලබා ගත් අරවින්ද ද සිල්වාට 1987 වසරේ අග භාගය වන තුරු පන්දු යවන්නකු ලෙසින් ක්‍රියාකිරීමට වැඩි අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව 1987 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙද්දී  අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ක්‍රියාත්මක කර තිබුණේ පන්දුවාර 13ක් පමණ යි.

අරවින්දගේ පන්දු යැවීමේ හැකියාවට නිසි සාධාරණයක් ඉටු නොවී තිබුණු යුගයක ඔහුගේ අතට පන්දුව ලබාදුන්නේ ඩොනල්ඩ් ස්මිත් නම් පුහුණුකරුවා යි . 1987 ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවති මුල් ම තරගයේ දී පන්දුව අතට ගත් අරවින්ද පන්දුවාර 10ම ක්‍රියාත්මක කළා. එදා ඔහුගේ පන්දු යැවීම 44/0 ලෙස සටහන් වුණා. 

 

අරවින්ද සිය පන්දු යැවීමේ හැකියාව මුල් ම වරට ප්‍රදර්ශනය කළේ කොදෙව්වන්ට එරෙහි ව කාන්පූර් හිදී පැවති ලෝක කුසලාන තරගයේ දී යි. එවර ලෝක කුසලාන තරගාවලිය යටතේ කරච්චි නුවර පැවති තරගයක දී සුපිරි පිතිකරුවකු වුණු විවියන් රිචඩ්ස් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා ගත පිතිහරඹයක නිරතවෙමින් ලකුණු  181ක් ලබා ගත්තා. එනිසා මෙම තරගයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම රිචඩ්ස්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් බලාපොරොත්තු වුණා.

එදා කිසිවකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු අරවින්ද,  ලකුණු 14ක් ලබා ගෙන සිටි රිචඩ්ස්ගේ කඩුල්ල දවා ගත්තා.  එය අරවින්දගේ මංගල එක්දින කඩුල්ල බවට පත්වුණා. ඉන් නොනැවතුණු අරවින්ද කාල් හූපර්ගේ කඩුල්ලත් දවා ගෙන, සිය පන්දුවාර 10 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 43ක් පමණ යි.  ඩොනල්ඩ් ස්මිත්ගේ මග පෙන්වීම යටතේ පන්දු යවන්නකු බවට එදා පත්වුණු අරවින්ද 1987 ලෝක කුසලානය යටතේ පැවති තරග 6 තුළ පන්දු වාර 42ක් ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක් වුණා. 

විවියන් රිචඩ්ස් 1987 ලෝක කුසලානයේ දී – gettyimages.com

 

ඒ අයුරින් සිය පන්දු යැවීමේ හැකියාව ඔප් නංවා ගත් අරවින්දඑක්දින තරගවල දී පන්දුවෙන් දස්කම් දැක්වීමට පසු කලෙක  සමත් වුණා. ඒ අතුරින් අරවින්දගේ විශිෂ්ටත ම පන්දු යැවීම වාර්තා වුණේ  1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී යි. එදා ඔහු ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලකුණු 42කට කඩුලු 3ක් දවාගනිමින් පෑ හපන්කම පිළිබඳව අදටත් බොහෝ දෙනකු කතා කරනවා.

2002 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දීකැංගරුවන්ට එරෙහිව ලකුණු 16කට කඩුල්ලක් ලබාගෙන පන්දුවෙන්  නැවතත් පෑ දස්කමත් අමතක කරන්නට බැහැ. ඒ විදිහට ඩොනල්ඩ් ස්මිත් නිසා පන්දු යවන්නකු බවට පත්වුණු අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් තරග පිටියෙන් සමුගන්නා මොහොත වන විට කඩුලු 135ක් දවාගෙන තිබුණා.  

1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී කඩුල්ලක් දවාගනිමින් – gettyimages.com

 

පර්සිගේ බලාපොරොත්තුව ඉටු කළ අරවින්ද 

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා සංචාරයක 1989 දී යෙදුණේ  තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියට සහභාගි වීම සඳහා යි. එම දීර්ඝ තරග සංචාරය යටතේ මුලින් ම ආරම්භ වීමට නියමිත ව තිබුණේ බ්‍රිස්බේන් ටෙස්ට් තරගය යි. එම ටෙස්ට් තරගය දෙසැම්බර් 8 වැනිදා ආරම්භ වීමට නියමිත ව තිබුණා. තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ගැනීමට ගිය පර්සි අබේසේකරට ඇස් උඩ යන ආකාරයේ දෙයක් දැකගන්නට ලැබුණා. ඒ දින 5ක ටෙස්ට් තරගය සඳහා දින 4කට පමණක් ටිකට් මුද්‍රණය කර තිබුණු ආකාරය යි. 

පර්සි අබේසේකර- twitter.com

 

රිචී බෙනෝ, ටෝනි ග්‍රේග්, ඉයන් චැපල් වැනි විස්තර විචාරකයන් ද ඊළඟ ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත ව තිබුණු ටැස්මේනියාවේ හෝබාර්ට් නුවර බලා ගුවන් ප්‍රවේශ පත්‍ර සිව්ව්න දින රාත්‍රියේ වෙන් කරගෙන තිබුණා. එලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලුවට පත්කර තිබෙන ආකාරය දුටු පර්සි කෙළින් ම ගියේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන ක්‍රීඩකයන් දෙදෙනා මුණගැසීමට යි. 

පර්සි, ශ්‍රී ලංකා නායක අර්ජුනගෙන් ඉල්ලා සිටියේ ඕස්ට්‍රේලියානුවන් දින තුනකින් හෝ හතරකින් තරගය නිමා කිරීමට සූදානමින් සිටින නිසා කෙසේ හෝ තරගය 5 වැනි දිනය දක්වා රැගෙන යන ලෙස යි. අනතුරු ව අරවින්ද දෙසට හැරුණු පර්සි, ඔහු හමුවේ පවසා සිටියේ ‘ඔබගේ පිතිකරණයේ තරම ලොවට පෙන්වීමට මෙය කදිම අවස්ථාවක්’ බව යි. එදා පර්සිගේ වචන අසා දිරිමත් වුණු අරවින්ද  බ්‍රිස්බේන් ටෙස්ට් තරගයට අවතීර්ණ වුණේ කැංගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීම සඳහා යි. 

අර්ජුණ රණතුංග (gettyimages.com)

 

බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා ම දැවී ලකුණු 367ක් ලබා ගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටි අවස්ථාවේ අරවින්ද පිටියට පිවිසියා. ඔහු පිටියට පිවිස වැඩි වේලාවක් යන්නට පෙර මර්ව් හියුස්ට උඩපන්දුවක් ලබා දුන්නත් ඔහුට එය නිසි පරිදි රැකගැනීමට හැකිවුණේ නැහැ.

එයින් උපරිම පල නෙළා ගත් අරවින්ද ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහි ව අමතක නොවන ප්‍රහාරයක් සිදු කළා. එදා අරවින්ද නැවැත්වීමට කිසිදු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකුට හැකියාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අරවින්ද හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් අගනා ලකුණු 167ක් වාර්තා කළා. 

අරවින්ද ද සිල්වා ටෙස්ට් තරගයක පන්දුවට පහරදෙමින් (gettyimages.com)

අරවින්දගේ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 418ක දී නිමාව දුටුවා. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු බිමේ පැවති ටෙස්ට් තරගයක දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම අභිබවා ගිය එකම අවස්ථාව ලෙසින් සටහන් වෙනවා. ඉන් අනතුරු ව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 375ක් ලබාගෙන සිටියා. තරගය ජය පරාජයෙන් තොරව නිමාවෙද්දී එම තරගයේ වීරයා සම්මානය සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වාට හිමිවුණා. ඒ අනුව අරවින්ද ද සිල්වා නම් සුපිරි පිතිකරුවා අගනා ශතකයක් වාර්තා කරගෙන පර්සිගේ බලාපොරොත්තුව අකුරටම ඉටු කරමින් සිය රටේ ගෞරවය ද ආරක්ෂා කිරීමට සමත් වුණා. 

කවරයේ ඡායාරූපය- අරවින්ද ද සිල්වා - gettyimages.com

මූලාශ්‍ර:

I’m Percy Cricket Crazy - සුපිරි ක්‍රිකට්- 1995 මාර්තු

espncricinfo.com

Related Articles