Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය අද පෙරමුණට

ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙන 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ 7 වන දිනයේ තරග මීට සුළු මොහොතකට පෙර නිමාව දුටුවා. ගෙවුණු දින හතේ දී පිරිනැමූ රන් පදක්කම් ප්‍රමාණය 133ක් ලෙසින් සටහන් වුණා. ඉන් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගෙන සිටින චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගනිද්දී සත්කාරක ජපානය සහ අමෙරිකාව පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවනවා. ඔලිම්පික් බිමේ මුල් දින පහේ දී සිදුවුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ අපි මීට පෙර ලිපි දෙකකින් තොරතුරු ගෙන ආවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ගෙවුණු දින දෙකේ දී ඔලිම්පික් බිමෙන් අසන්නට ලැබුණු උණුසුම් තරග තොරතුරු පිළිබඳව යි. 

හයවන දිනයේ දී චීනය යළි පෙරමුණ ගනියි 

ඔලිම්පික් බිමේ හයවන දිනයේ තරග ආරම්භ වෙද්දී පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේ සත්කාරක රට වන ජපානය යි. ඒ අයුරින් ජපානය රන් පදක්කම් 13ක් ලබා ගෙන පදක්කම් සටහනේ පෙරමුණ ගනිද්දී චීනය සහ අමෙරිකාව පිළිවෙළින් රන් පදක්කම් 12ක් සහ 11ක් ලබාගෙන පදක්කම් සටහනේ දෙවන සහ තෙවන ස්ථානවල රැඳී සිටියා. එවැනි වටපිටාවක ආරම්භ වුණු දිනයේ උදෑසනින්ම චීනය සහ අමෙරිකාව රන් පදක්කම් දෙක බැගින් දිනා ගත්තා. ඒ පිහිනුම් තරග ඉසව්වලින්. චීනය සහ ඇමරිකාව පිහිනුම් ක්‍රීඩාවෙන් දස්කම් දක්වද්දී ජපානය ජූඩෝ ක්‍රීඩාවෙන් සුපුරුදු දස්කම් පෙන්වීමට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සවස් වරුවේ පැවති ජූඩෝ අවසන් තරගවලින් ජපානයට රන් පදක්කම් දෙකක් හිමි වුණා. 

ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනාගත් ෂෑන්ග් යුෆෙයි
ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනාගත් ෂෑන්ග් යුෆෙයි – gettyimages

එම රන් පදක්කම් යුගළය හිමිවීමත් සමඟ ම ජපානය යළිත් වරක් පදක්කම් සටහනේ පෙරමුණට පැමිණියා. හයවන දිනයේ දී ලබාදුන් අවසන් රන් පදක්කම් දෙක චීනය සහ අමෙරිකාව අතර බෙදී ගියා. එනිසා දිනය අවසන් වෙද්දී චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගත්තා. ඒ දින 4කට පසුව යි. එදින චීනය, අමෙරිකාව සහ ජපානයට අමතර ව ඕස්ට්‍රේලියාව ද රන් පදක්කම් දෙකක් දිනා ගෙන දස්කම් දැක්වීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ ජූලි 29 වැනිදා එක් එක් රටවල්වලට විවිධ ක්‍රීඩාවලින් රන් පදක්කම් හිමිවුණු ආකාරය යි. 

චීනය- 3    (පිහිනුම්- 2, මේසපන්දු)

අමෙරිකාව– 3     (පිහිනුම්- 2, ජිම්නාස්ටික්- 1)

ඕස්ට්‍රේලියාව– 2     (පිහිනුම්, කැනෝයිං)

ජපානය– 2    (ජූඩෝ- 2)

රුසියාව– 1    (කඩු හරඹ)

ක්‍රොයේෂියාව– 1     (ඔරු පැදීම)

ඉතාලිය- 1     (ඔරු පැදීම)

අයර්ලන්තය- 1     (ඔරු පැදීම)

නවසීලන්තය- 1     (ඔරු පැදීම)

සර්බියාව- 1     (ඉලක්කයට වෙඩි තැබීම)

චෙක් ජනරජය- 1    (ඉලක්කයට වෙඩි තැබීම)

ජූලි 29 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
ජූලි 29 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන – olympics.com

 

විශේෂ සිදුවීම් 

මෙවර ඔලිම්පික් උළෙලේ දී සැන් මැරීනෝ රාජ්‍යයේ ඇලෙසැන්ඩ්‍රා පෙරිල්ලි එරට ඔලිම්පික් ඉතිහාසයේ මුල්ම පදක්කම දිනා ගත්තා. ඇය එම පදක්කම දිනා ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවේ කාන්තා ට්‍රැප් ඉසව්ව යටතේ යි. ඒ අනුව 34000කට ආසන්න ජනගහනයක් සිටින සැන් මැරීනෝ රාජ්‍යය ඔලිම්පික් පදක්කම් දිනාගත් අඩුම ජනගහනයක් සිටින රට ලෙසින් ඉතිහාසගත වුණා. ඊට පෙර එම ඔලිම්පික් වාර්තාව හිමිව තිබුණේ ලිච්ටෙන්ස්ටෙයින් රාජ්‍යට යි. 

ඇලෙක්සැන්ඩ්‍රා පෙරිල්ලී
ඇලෙක්සැන්ඩ්‍රා පෙරිල්ලී – gettyimages

 

චීනය තවදුරටත් තැන රැකගනියි 

32 වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ 7 වන දිනයේ තරග අද උදෑසනින් ආරම්භ වුණා. අද දිනයේ අමෙරිකාවට වාසිදායක පිහිනුම් ඉසව් කිහිපයක අවසන් තරග පැවැත්වුණත් ඔවුන්ට එකදු රන් පදක්කමක්වත් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අයුරින් අමෙරිකාව පසුබසිද්දී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් බිමේ දී සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනයට අද දිනයේ දී රන් පදක්කම් 4ක් හිමි වුණා. ඒ පිහිනුම් ,ජිම්නාස්ටික්, බැඩ්මින්ටන් සහ මේසපන්දු යන ක්‍රීඩාවන්ගෙන්. දිනය නිමාවෙද්දී චීනය පදක්කම් සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත් වුණා. කඩු හරඹ සහ ජූඩෝ යන ක්‍රීඩාවන්ගෙන් රන් පදක්කම බැගින් දිනාගත් ජපානය තවදුරටත් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. අද දිනය තුළ එක ම රන් පදක්කමක්වත් දිනා ගැනීමට අසමත් වුණු අමෙරිකාව තවමත් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා. අමෙරිකාව සහ චීනය අතර මේ වන විට රන් පදක්කම් 5ක පරතරයක් පවතිනවා. පහත දක්වා ඇත්තේ ජූලි 30 වැනිදා රටවල් අතර පදක්කම් බෙදීගිය ආකාරය යි.

ජූලි 30 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
ජූලි 30 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන – olympics.com

චීනය- 4  (පිහිනුම්, මේසපන්දු, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික්)

ජපානය– 2    (ජූඩෝ, කඩු හරඹ)

රුසියාව– 2    (පිහිනුම්, ඉලක්කයට වෙඩි තැබීම)

නවසීලන්තය- 2     (ඔරු පැදීම- 2)

චෙක් ජනරජය- 2    (ජූඩෝ, කැනෝයිං)

කැනඩාව– 1     (ඔරු පැදීම)

ග්‍රීසිය- 1     (ඔරු පැදීම)

දකුණු අප්‍රිකාව- 1     (පිහිනුම්)

නෙදර්ලන්තය– 1     (සයිකල්)

මහා බ්‍රිතාන්‍ය– 1     (සයිකල්)

දකුණු කොරියාව– 1     (දුනු විදීම)

ඕස්ට්‍රේලියාව– 1     (පිහිනුම්)

ක්‍රොයේෂියාව– 1     (ටෙනිස්)

ඉතියෝපියාව- 1     (මලල ක්‍රීඩා)

ජපානය වෙනුවෙන් ජූඩෝ රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාවක්
ජපානය වෙනුවෙන් ජූඩෝ රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාවක්- gettyimages

විශේෂ සිදුවීම් 

අද දිනයේ දී ජපානය මෙවර ඔලිම්පික් උළෙලේ 17 වන රන් පදක්කමත් දිනා ගත්තා. එය ජපානය ගිම්හාන ඔලිම්පික් උළෙලක දී ලබා ගත් වැඩි ම පදක්කම් ප්‍රමාණය යි. ඊට පෙර 1964 ටෝකියෝ සහ 2004 ඇතන්ස් යන ඔලිම්පික් උළෙලවල දී ජපානය රන් පදක්කම් 16 බැගින් ලබා ගෙන තිබුණා. 

පිරිමි මීටර් 10000 ඉසව්ව සඳහා තරග කළ වත්මන් ලෝක ශූර උගන්ඩාවේ ජෝෂුවා චෙප්ටගායිට හිමි වුණේ රිදී පදක්කම යි. එය 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී බොක්සිං ක්‍රීඩක ජෝන් මුගාබි රිදී පදක්කමක් දිනා ගැනීමෙන් පසුව එරටට හිමි වුණු එක ම ඔලිම්පික් රිදී පදක්කම යි. 

ජෝෂුවා චෙප්ටගායි
ජෝෂුවා චෙප්ටගායි – gettyimages

 

චීනය මෙවර අමෙරිකාව අභිබවා යයිද?

අවසන් වරට පැවති 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත්තේ අමෙරිකා එක්සත් ජනපදය යි. එදා ඔවුන් රන් පදක්කම් 46ක් දිනාගනිද්දී දෙවන ස්ථානය දිනා ගත් මහා බ්‍රිතාන්‍යයට හිමි වුණේ රන් පදක්කම් 27ක් පමණ යි. මහා බ්‍රිතාන්‍ය දෙවන ස්ථානය හිමිකර ගනිද්දී ඔවුන්ට කරට කර සටනක් ලබා දුන් චීනය රන් පදක්කම් 26ක් ලබාගෙන තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ 2016 රියෝ ඔලිම්පික් උළෙලේ 7 වන දිනය නිමාවෙද්දී පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටි රටවල් ලබාගෙන තිබුණු රන් පදක්කම් ප්‍රමාණ යි.

අමෙරිකාව– 20

චීනය– 13 

මහා බ්‍රිතාන්‍යය සහ ජපානය– 7 බැගින් 

දකුණු කොරියාව සහ ජර්මනිය– 6 බැගින් 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ 7 වන දිනය නිමා වෙද්දී අමෙරිකාව චීනයට වඩා රන් පදක්කම් 7ක් පිටුපසින් සිටියා. මෙවර ඔලිම්පික් උළෙලේ 7 වන දිනය නිමා වෙද්දී චීනය අමෙරිකාවට වඩා රන් පදක්කම් 5ක් ඉදිරියෙන් සිටිනවා. එනිසා මෙවර ඔලිම්පික් උළෙලේ දී චීනයට, අමෙරිකාව අභිබවා යාමට හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා.  මලල ක්‍රීඩා පිටියේ ආධිපත්‍ය අමෙරිකානුවන් සතුව පවතින නිසා එය ලෙහෙසි පහසු වන එකක් නැහැ. එනිසා ඉදිරි දිනවල දී ඔලිම්පික් බිමේ අමෙරිකානු-චීන සටන ඇවිළ යනු ඇති බවට සැකයක් නැහැ. 

කවරයේ ඡායාරූපය- ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනාගත් චීන ක්‍රීඩිකාවන් - gettyimages

මූලාශ්‍ර- olympic.com 

Related Articles