Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දුවේ වැඩි ම ගෙවීම් ලබන ක්‍රීඩකයෝ 5ක්

ලොව ජනප්‍රියත ම ක්‍රීඩාව ලෙසින් සැලකෙන්නේ පාපන්දු ක්‍රීඩාව යි. මේ නිසාවෙන් ම පාපන්දු ක්‍රීඩාවට පවතින විශාල ප්‍රේක්ෂක ආකර්ෂණය මුදල් මැවීමේ උල්පතක් ලෙස කටයුතු කරනවා කිවහොත් එය නිවැරදි යි. විශාල වශයෙන් ලැබෙන අනුග්‍රාහක දායකත්වය නිසා යුරෝපය පුරාවට අතිශය ධනවත් පාපන්දු ක්‍රීඩා සමාජ බිහි වී තිබෙනවා. එම ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සඳහා ද මිලියන ගණනින් මුදල් වෙන් කෙරෙනවා.

මේ ආකාරයෙන් ලොව වැඩි ම වැටුප් ලබා ගන්නා පාපන්දු ක්‍රීඩකයන් පස් දෙනා සහ ඔවුන්ගේ සතියක වැටුප සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා. ඔවුන් වෙනම ගිවිසුම් ගත වී ඇති වෙළෙඳ සන්නාමවලින් ලැබෙන මුදල්, ජාතික කණ්ඩායමෙන් ලැබෙන වැටුප් ආදිය මෙම ලිපියේ දී සැලකිල්ලට නොගන්නා අතරම මේ ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩා සමාජයෙන් ලබා ගන්නා වැටුප පමණක් මෙහිදී සලකා බැලෙනවා. ඒ අනුව වර්තමානයේ දී වැඩිම වැටුපක් ලබා ගන්නා ලොව වටා සිටිනා පාපන්දු ක්‍රීඩකයන් පහත පරිදි සඳහන් කළ හැකි යි.

5. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (මැන්චෙස්ටර් යුනයිටඩ්/ පෘතුගාලය)
රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමග ක්‍රීඩා කරමින් – www.themirror.co.uk

5. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (මැන්චෙස්ටර් යුනයිටඩ්/ පෘතුගාලය)

ලොව එදා මෙදා තුර පාපන්දු ඉතිහාසයේ බිහිවූ දක්ෂත ම ක්‍රීඩකයන් අතළොස්සෙන් අයකු මෙන් ම සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටිනවා. කෙසේ වුවත් ඔහුගේ අනෙක් ආදායම් සලකද්දී වසරකදී ලොව වැඩි ම මුදලක් උපයන පාපන්දු ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ වාර ගණනාවකදී ම නම් වුණා. ස්පාඤ්ඤයේ ප්‍රබල රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය 2018 වර්ෂයේ දීහැර ගොස් ඉතාලියේ යුවෙන්ටස් සමඟින් ක්‍රීඩා කළ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟින් 2021 වසරේ දී නැවතත් එක් වුණා.

එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟින් නැවත එක් වීමෙන් අනතුරුව තරග 32 ක දී ගෝල 18ක් සහ ගෝල ලබා ගැනීමට සහාය වීම් 3ක් වාර්තා කිරීමට රොනාල්ඩෝ සමත් වුණා. කෙසේ වුවත් රොනාල්ඩෝ ගෙන් මේ තරග වාරයේදී පෙර පැවති දස්කම්  මතු නොවූ බවට බොහොමයක් ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් ප්‍රකාශ කරනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පසුගිය යුරෝපීය ශූරයන්ගේ කුසලානය යටතේ (UEFA Champions League) ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් තරගය පරාජය වූ අතර ම එයින් ඔවුන්ගේ තරගාවලියේ ඉදිරි ගමන ද නිමාවට පත් වුණා.

තවදුරටත් අර්බුදයකට පත් ව සිටිනා මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය මේ වන එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටහනේ 6 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ඔවුන්ට චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් මුල් ස්ථාන 4 තුළට පැමිණීම අනිවාර්යය වනවා. කෙසේ හෝ රොනාල්ඩෝ ගේ වැටුප ලෙසින් සතියකට යුරෝ 480, 000 ක පමණ මුදලක් සටහන් වනවා. එය ශ්‍රී ලංකා මුදලින් සැලකූ විට රුපියල් කෝටි 14 කට අධික මුදලක්.

ගැරත් බේල් රියාල් මැඩ්රීඩ් සමග
ගැරත් බේල් රියාල් මැඩ්රීඩ් සමග – www.newsupdate.uk

4. ගැරත් බේල් (රියාල් මැඩ්රීඩ්/ වේල්සය)

කලක් ලොව පුරා පාපන්දු ප්‍රේක්ෂකයන්ගේ තරුවක් බවට පත්ව සිටි ක්‍රීඩකයෙක් ලෙසින් බේල් නම් කළ හැකි යි. බොහෝ දෙනාට අනුව අවිවාදයෙන් ම බේල් යනු වේල්සයෙන් බිහි වූ හොඳ ම පාපන්දු ක්‍රීඩකයා යි. 2013 වර්ෂයේ දී වාර්තාගත මුදලකට එංගලන්තයේ ටොටෙන්හැම් හොට්ස්පර් කණ්ඩායමෙන් ඉවත් වී රියාල් මැඩ්රීඩ් සමඟින් එක් වූ බේල් එහි දී ජයග්‍රහණ රාශියක් වාර්තා කිරීමට ද සමත් වුණා.

විශේෂයෙන් ම චැම්පියන්ස් ලීග් ශූරතා 4ක් රියාල් මැඩ්රීඩ් සමඟින් ජයග්‍රහණය කිරීමට ඇපකැප වී කටයුතු කළ ඔහු අවසන් මහා තරග දෙකක දී ම ගෝල රැස් කිරීමටද සමත් වුණා. වර්තමානයේ දී ගැරත් බේල් එතරම් හොඳ ක්‍රීඩා දිවියක් ගත කරන්නේ නෑ. මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ඔහු පසුගිය වසරවල ආබාධයන්ට දිගින් දිගට ම ලක් වීම ඔහුගේ ක්‍රීඩා දිවිය අතරමඟ නවතාලීමට සමත් ව තිබීම අවාසනාවට කරුණක්.

මෙවර තරග වාරයේ දී රියාල් මැඩ්රීඩ් සමඟින් තවමත් ඔහු ක්‍රීඩා කොට ඇත්තේ තරග 5ක් පමණ යි. එහි දී එක් ගෝලයක් රැස් කිරීමට බේල් සමත් වුණා. යුරෝ 528, 000 ක වැටුපක් සතියකට ඔහු ලබාගන්නවා. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි 16 කට අධික ප්‍රමාණයක්. මෙවැනි වැටුපක් ලබා දෙමින් ඔහු තවදුරටත් ක්‍රීඩා නොකරන මට්ටමකින් රියාල් මැඩ්රීඩ් සමඟින් තබාගෙන සිටින්නේ ඇයි ද යන්න බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කරන කාරණයක් බවට පත් ව තිබෙනවා.

චීනයේ ශැංහයි පෝර්ට් ක්‍රීඩා සමාජය වෙතට ගිය ඔස්කාර්
චීනයේ ශැංහයි පෝර්ට් ක්‍රීඩා සමාජය වෙතට ගිය ඔස්කාර් – www.talksport.com

3. ඔස්කාර් (ශැංහයි පෝර්ට්/ බ්‍රසීලය)

2014 වර්ෂයේ පාපන්දු ලෝක කුසලානයේ දී ලොව පුරා ප්‍රසිද්ධ වූ බ්‍රසීල පාපන්දු තරුව නෙයිමාර්ට අමතර ව තවත් බ්‍රසීල තරුවක් ලෙසින් ඔස්කාර් ද ප්‍රසිද්ධ වුණා. ඔහු 2014 පාපන්දු ලෝක කුසලානයේ ඉතා සාර්ථක වීමට සමත් වූවා සේම ඒ වන විටත් එංගලන්තයේ චෙල්සි ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමටද සමත් වී තිබුණා. 

මේ නිසා 2010 දශකයේ මුල භාගයේදී ම ඉදිරි දශකය තුළ පාපන්දු ක්‍රීඩාවෙන් තමන්ට දිගු ගමණක් ඇති බවට ඔස්කාර් ඉඟි පළ කළා. ඒ අකාරයෙන් ම චෙල්සි ක්‍රීඩා සමාජය සමඟින් ක්‍රීඩා කළ ඔහු 2017 දී ගත් තීරණය බොහෝ දෙනා විමතියට පත් කළා. ඒ ඔස්කාර්, චෙල්සි ක්‍රීඩා සමාජයෙන් නික් ම චීනයේ ශැංහයි පෝර්ට් සමඟ එක් වීම යි. මෙය මුදල් නිසා කළ ක්‍රියාවක් බවට බොහෝ පාර්ශව චෝදනා කළ අතර ම, ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳ ම සමය විනාශ කරගත් බවට ද ඇතැමුන් මත පළ කළා.

2017 වර්ෂයේ දී ශැංහයි පෝර්ට් සමඟ එක්වීමෙන් පසු ඔස්කාර් යන නාමය පාපන්දු ක්‍රීඩාවේ නිතර ඇසෙන නම්වලින් දුරස් වුණා. ඔහු අවසන් වතාවට 2018 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවල දී බ්‍රසීලය නියෝජනය කළ අතර ම, ශැංහයි පෝර්ට් සමඟ එක්වීමෙන් පසු 2018 ලෝක කුසලානය සඳහා වූ බ්‍රසීල සංචිතයෙන් ද ඔස්කාර් හැළී ගියා. ඉන් පසුව තවමත් ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කළේ නෑ. කෙසේ වෙතත් මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන ඔස්කාර් ශැංහයි පෝර්ට් වෙතින් සතියකට යුරෝ 540, 000 ක පමණ වැටුපක් ලබනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16.5 ක් පමණ වනවා.

PSG ක්‍රීඩා සමාජය සමගින් ක්‍රීඩා කරනා නෙයිමාර්
PSG ක්‍රීඩා සමාජය සමඟින් ක්‍රීඩා කරනා නෙයිමාර් – www.beinsports.com

2. නෙයිමාර් (PSG/ බ්‍රසීලය)

2017 වර්ෂයේදී ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් නික්ම  ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් හෙවත් PSG සමඟ නෙයිමාර් (Neymar da Silva Santos Júnior) එක් වූයේ පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයකු හුවමාරු වූ වැඩි ම වටිනාකම සටහන් කරමින්. මේ වන විටත් ඔහු PSG සමඟින් සිටිනා අතර 2021 වසරේ දී නෙයිමාර් ගේ කොන්ත්‍රාතුව 2026 තෙක් දිගු කෙරුණා. පූමා (Puma) සමඟින් ඔහු නව වෙළෙඳ ගිවිසුමකට ද එළඹුණා.

බාසිලෝනා වෙතින් නික්ම යාමෙන් අනතුරු ව නෙයිමාර් පසු කළේ එතරම් හොඳ කලක් නොවේ. ඔහු දිගින් දිගට ම දරුණු ආබාධවලට ගොදුරු වීම ද මෙයට හේතු වුණා. මෙවර තරල වාරයේදී ද PSG කණ්ඩායම, චැම්පියන්ස් ලීග් තරගාවලියේ දී රියාල් මැඩ්රීඩ් තරගය පරාජයට පත් වීමත් සමගම නෙයිමාර් ගේ අනාගතය සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතුවෙමින් තිබෙනවා. ඔහු මීට ප්‍රථම ව ප්‍රකාශ කොට සිටියේ ද 2022 ලෝක කුසලානයෙන් පසුව තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමු දීමට සූදානම් වන බව යි.

කෙසේ හෝ තවදුරටත් PSG සමගින් ක්‍රීඩා කරනා ඔහු සතියකට යුරෝ 606, 000 ක පමණ වැටුපක් ලබාගන්නවා. එය ශ්‍රී ලංකා මුදලින් සටහන් කිරීමේදී රුපියල් කෝටි 18ත් ඉක්මවා යනවා.

මෙසී PSG සමගින් එක් වූ අවස්ථාව
මෙසී PSG සමගින් එක් වූ අවස්ථාව – www.newsbeezer.com

1. ලියොනල් මෙසී (PSG/ ආර්ජන්ටිනාව)

පසුගිය වසරේ දී අනපේක්ෂිත ලෙසින් බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් නික්ම PSG සමඟින් එක් වූ ලියොනල් මෙසී ද වර්තමානයේදී තම ක්‍රීඩා දිවියේ එතරම් හොඳ කලක් ගත කරන්නේ නෑ. පැරිස් සෙන්ට් ජර්මෙයින් (PSG) සමඟින් එක් වීමෙන් පසු තරග 26 කදී ගෝල 7ක් සහ ගෝල ලබා ගැනීමට සහාය වීම් 10ක් වාර්තා කළත් ඔහුගේ පෙර දස්කම් සැසඳීමේ දී මෙසී තමන්ගේ ක්‍රීඩා දිවියේ අසාර්ථක ම තරඟවාරයක් පසු කරන බව නොරහසක්.

පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටත ම ක්‍රීඩකයන් අතරේ ඉදිරියෙන් ම සිටින අයෙක් වන ඔහු පසුගිය වසරේදී ආර්ජන්ටිනාව සමඟින් තම පළමු පාපන්දු ජයග්‍රහණය වාර්තා කළා. ඒ කොපා අමෙරිකා ශූරතාව ජයග්‍රහණය කිරීම යි. වසරේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා සඳහා වන බැලොන් ඩොර් සම්මානය 7 වතාවක් ජයග්‍රහණය කළ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට ද මෙසී පත් වුණා.

 බොහෝ දෙනා මෙසීට චෝදනා කරන්නේ පැරිස් සමඟින් ඔහු දක්වන දක්ෂතා ප්‍රමාණවත් නොවන බව යි. ඔහුගේ PSG කොන්ත්‍රාතුව තවත් වසරක කාලයක් ඉදිරියට තිබුණ ද මෙසීට PSG කණ්ඩායමෙන් ඉවත් වීමට අවශ්‍ යව ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ හෝ ඔහු PSG සමගින් ක්‍රීඩා කිරීම වෙනුවෙන් සතියකට යුරෝ 960, 000 ක පමණ වැටුපක් ලබා ගන්නවා. මේ වැටුප පාපන්දු ක්‍රීඩකයෙක් තම ක්‍රීඩා සමාජයෙන් ලබා ගන්නා ඉහළ ම වැටුප ලෙසින් සටහන් වනවා සේ ම මෙසීගේ සතියක වැටුප ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක්.

කවරයේ ඡායාරූපය - www.sportbible.com

 මූලාශ්‍ර :

www.balticnews.com

www.tranfermarkt.com

allfootball.com

Related Articles