Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 IPL තරගාවලියේ සුපිරි දස්කම් පෑ ක්‍රිකට් තරු 8ක්

2022 IPL තරගාවලිය පසුගිය ඉරිදා නිමාවට පත්වුණා. තරගාවලිය ආරම්භයේ සිට ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වුණු කෝඩුකාර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සියලු කණ්ඩායම් අභිබවා යමින් මෙවර ශූරතාව දිනාගැනීමට සමත් වුණා. එසේ නිමාවට පත් වුණු මෙවර IPL තරගාවලිය තුළ කාගේත් අවධානය දිනාගත් ක්‍රීඩකයන් රැසක් සිටියා. ඒ අතුරින් ඉහළම දස්කම් දැක්වූ ක්‍රිඩකයන් 8 දෙනා පිළිබඳයි මෙම ලිපිය. 

8). ලියාම් ලිවින්ස්ටන් (පන්ජාබ් කිංග්ස්)- ලකුණු 437 සහ කඩුලු 6

මෙවර IPL තරගාවලියේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ලියාම් ලිවින්ස්ටන් තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වීමට සමත් වුණා. පිතිකරණ ලැයිස්තුවේ අංක 4 සහ 5 යන ස්ථානවල පන්දුවට පහරදෙමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුණු මෙම පිතිකරුවා ඉනිම් 14කදී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 437ක් රැස් කළා. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හමුවේ පන්දු 42කින් ලබාගත් ලකුණු 70 මෙවර  IPL තරගාවලියේ දී ලිවින්ස්ටන් ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

ලිවින්ස්ටන් 2022 IPL තරගාවලියේ දී පන්දුවට පහරදෙමින් – wisden.com

ඊට අමතර ව ගුජරාට් ටයිටන්ස් හමුවේ පන්දු 27කින් ලකුණු 64ක්, චෙන්නායි සුපර් කිංග්ස් හමුවේ පන්දු 32කින් ලකුණු 60ක්, සන්රයිසස් හයිද්‍රාබාද් හමුවේ පන්දු 33කින් ලකුණු 60ක් ලබා ගෙන පිත්තෙන් සුපිරි හපන්කම් පෑමට ලිවින්ස්ටන්ට හැකි වුණා. එහි දී ලිවින්ස්ටන්ගේ ප්‍රහාරාත්මක වේගය 182.08ක් ලෙසින් සටහන් වුණා.

එය 2022 IPL තරගාවලියේ දී යම් පිතිකරුවෙක් රඳවා ගත් දෙවැනියට වැඩි ම ප්‍රහාරාත්මක වේගය බවට පත් වුණා. තරගාවලිය පුරා හයේ පහර 34ක් එල්ල කළ ලිවින්ස්ටන් තරගාවලියේ දෙවැනියට වැඩි ම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ පිතිකරුවා බවටත් පත් වුණා. 

ලිවින්ස්ටන් වේගවත් පහරක් එල්ල කරමින් – scroll.in

 

පිත්තට අමතර ව පන්දුවෙන් ද දස්කම් පෑ ලිවින්ස්ටන් තරගාවලිය පුරාවට පන්දුවාර 22ක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 202ක් ලබා දෙමින් කඩුලු 6ක් බිඳ දැමුවා. එහි දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 27කට දවාගත් කඩුලු 3 ලිවින්ස්ටන්ගේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වුණා.

7). ඩේවිඩ් මිලර් (ගුජරාට් ටයිටන්ස්)- ලකුණු 481 

ඩේවිඩ් මිලර් 2022 IPL ශූරතාව දිනා ගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පිතිකරුවෙක්. කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කළ මෙම පිතිකරුවා අංක 5 ස්ථානයේ ක්‍රීඩා කළා. එහි දී ඔහු ඉනිම් 16කදී පන්දුවට පහර දෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 481ක් රැස් කළා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහි ව පන්දු 51කින් ලබා ගත් නොදැවී ලකුණු 94 සහ, Qualifier 1 තරගයේ දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි ව පන්දු 38කින් නොදැවී රැස් කළ ලකුණු 68 මෙවර IPL තරගාවලියේ මිලර්ගේ පිත්තෙන් වාර්තා වුණු හොඳම ඉනිම් ද්විත්වය ලෙසින් සටහන් වුණා. 

චෙන්නායි කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ සුපිරි ඉනිමේ ජයග්‍රාහී නිමාව – scroll.in

 

මෙම පිතිකරුවා අංක 5 ස්ථානයේ පන්දුවට පහර දුන් නිසා වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණ දීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් තීරණාත්මක තරගවල දී ඔහු සිය කණ්ඩායමට නොතිබුණු ජයග්‍රහණ පවා උරුම කර දුන්නා. Qualifier 1 තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් අවශ්‍ය වුණු අවස්ථාවේ පිට පිට ම හයේ පහර 3ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන යාම ඊට හොඳ ම උදාහරණයක්.

අවසන් මහා තරගයේ දී ඔහු පන්දු 19කින් නොදැවී ලබා ගත් ලකුණු 32 ද අවස්ථාවේ හැටියට හොඳ ම ඉනිමක් බවට පත් වුණා. ඒ අයුරින් පිත්තෙන් දස්කම් පෑ මිලර් ගුජරාට් කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයේ නියමුවෙක් යැයි පැවසීම වරදක් නැහැ. 

 මිලර් Qualifier 1 තරගයේ ජයග්‍රාහී පහර එල්ල කිරීමෙන් පසුව- scroll.in

 

6). ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර්ජයන්ට්ස්)- ලකුණු 616 

ගෙවුණු වසරවල පැවැත්වුණු IPL තරගාවලිවල දී ලකුණු අතර සිටි ලෝකේෂ් රාහුල් මෙවර IPL තරගාවලියේ දීත් සුපුරුදු දස්කම් අතරට පිවිවෙමින් ඉනිම් 15කදී ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 616ක් ලබා ගත්තා. තරගාවලියේ දෙවැනි වැඩි ම ලකුණු ලාභියා වෙමින් ඔහු දැක්වූ සුපිරි දස්කම් නිසා ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි ව පිළිවෙළින් පන්දු 60කින් නොදැවී ලබා ගත් ලකුණු 103 සහ පන්දු 62කින් නොදැවී ලබා ගත් ලකුණු 103 මෙවර IPL තරගාවලියේ දී රාහුල්ගේ පිත්තෙන් වාර්තා වුණු ශතක ද්විත්වය බවට පත් වුණා.

රාහුල් මුම්බායි කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගනිමින් – scroll.in

 

ඊට අමතර ව ඔහු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්ට එරෙහි ව පන්දු 58කින් ලකුණු 79ක් සහ දිල්ලි කැපිටල්ට එරෙහි ව පන්දු 51කින් ලකුණු 77ක් ලබා ගෙන කැපී පෙනෙන ඉනිම් ඔහු ක්‍රීඩා කළා.

මෙවර IPL තරගාවලියේ දී ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පිවිසි රාහුල් සිය ඉනිම් 15 තුළ 51.33ක  පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. තරගාවලිය පුරාවට ඔහු හයේ පහර 30ක් එල්ල කළ බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

රාහුල් පිත්තෙන් දස්කම් දක්වමින් – scroll.in

 

5). වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 26 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2022 IPL තරගාවලියේ අවසන් වටය දක්වා රැගෙන යාමට විශාල මෙහෙවරක් කළ පන්දු යවන්නා බවට පත් වුණේ ශ්‍රී ලංකා සුපිරි පාදඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග යි. එහි දී ඔහු පන්දුවාර 57ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 430ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 26ක් බිඳ දැමුවා.

මෙවර 2022 IPL තරගාවලියේ දෙවැනි වැඩි ම කඩුලු ලාභියා වුණු වනිඳු එදා මෙදාතුර තනි 2022 IPL තරගාවලියක දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් විදෙස් දඟ පන්දු යවන්නා ලෙසින් ඉම්රාන් තාහීර් තබා තිබුණු වාර්තාව සම කළා. 

2022 IPL තරගාවලියේ දී පන්දුවෙන් දස්කම් පෑ වනිඳු – scroll.in

 

2022 IPL තරගාවලියේ දී පන්දුවෙන් සුපිරි හපන්කම් පෑ වනිඳු, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි ව පැවති තරගයක දී ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තා. එය මෙවර IPL තරගාවලියේ දී දඟපන්දු යවන්නෙක් සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙස එය සටහන් වුණා. ඊට අමතර ව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 20කට කඩුලු 4ක් දවා ගෙන ඔහු කළ විශිෂ්ට පන්දු යැවීම ද අමතක කරන්නට බැහැ.

තරගාවලිය තුළ 16.53ක පන්දු යැවීමේ සාමාන්‍යයක් රඳවාගත් වනිඳු නිමා වුණු IPL තරගාවලියේ හොඳ ම පන්දු යැවීමේ සාමාන්‍යයක් රඳවා ගත් පන්දු යවන්නන් කිහිප දෙනා අතරට එකතු වුණා. 

සන්රයිසස් කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් – royalchallengers.com

 

4). යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 27 

2022 IPL තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණු යුස්වේන්ද්‍ර චහාල් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 17කට සහභාගි වෙමින් පන්දුවාර 68ක් ක්‍රියාත්මක කරමින් කඩුලු 27ක් දවා ගැනීමට සමත් වුණා. එය IPL තරගාවලි ඉතිහාසයේ දඟපන්දු යවන්නෙක් ලබාගත් වැඩි ම කඩුලු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 40කට දවා ගත් කඩුලු 5 සහ ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 41කට දවා ගත් කඩුලු 4 මෙවර 2022 තරගාවලියේ චහාල් සිදු කළ හොඳ ම පන්දු යැවීම් ලෙසින් සටහන් වුණා. 

 පන්දුවෙන් දස්කම් පෑ චහාල් – scroll.in

 

එහි දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟින් පැවති තරගයේ දී ෂ්‍රෙයාස් අයියර්, සිවම් මාවි, සහ පැට් කමින්ස් යන පිතිකරුවන් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීමට චහාල්ට හැකි වුණා. එය 2022 IPL තරගාවලියේ දී වාර්තා වුණු එක ම කඩුලු ත්‍රිත්වය බවට පත් වුණා. 

චහාල් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාවේ එය සැමරූ ආකාරය – scroll.in

 

3). හාර්ඩික් පාණ්ඩ්‍යා (ගුජරාට් ටයිටන්ස්)- ලකුණු 487 සහ කඩුලු 8

මෙවර IPL තරගාවලියේ ශූරතාවය දිනාගත් ගුජරාට් කණ්ඩායමට නායකත්වය ලබාදුන් හාර්ඩික් පාණ්ඩ්‍යා එම කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත් වුණා. ඒ තරගාවලිය පුරාවට ඔහු දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා යි.

එහි දී ඉනිම් 15කදී පන්දුවට පහර දුන් හාර්ඩික් වටිනා අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 487ක් ලබා ගත්තා. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි ව පන්දු 52කින් නොදැවී ලබාගත් ලකුණු 87 ඔහුගේ හොඳම ඉනිම ලෙසින් වාර්තා වුණා. 

හාර්ඩික් පිත්තෙන් දස්කම් දක්වමින් – facebook.com

 

පිත්තට අමතර ව පන්දුවෙන් ද දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා තරගාවලිය තුළ පන්දුවාර 30.3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 222ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 8ක් බිඳ දැමුවා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ IPL අවසන් තරගයේ දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 17කට දවාගත් කඩුලු 3 යි.

එම දක්ෂ පන්දු යැවීම නිසා ඔහුට අවසන් තරගයේ වීරයා සම්මානය හිමි වුණා. ඒ අයුරින් 2022 IPL තරගාවලි තුළ තුන් ඉරියව් දස්කම් පෑ හාර්ඩික් දක්ෂ ලෙස සිය නායකත්වයේ වගකීම දරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය බව මෙහි දී සිහිපත් කළ යුතුයි.

අවසන් තරගයේ දී පන්දුවෙන් දස්කම් පෑ හාර්ඩික් – facebook.com

 

2). ඇන්ඩ්‍රේ රසල් (කොල්කටා නයිට් රයිඩර්ස්)- ලකුණු 335 සහ කඩුලු 17

IPL තරගාවලි ඉතිහාසයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතර ඇන්ඩ්‍රේ රසල්ගේ නමත් රැඳී තිබෙනවා. මෙවර IPL තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ රසල් තුන් ඉරියව්වෙන්ම සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. බොහෝ විට පිතිකරණ ලැයිස්තුවේ අංක 6 ස්ථානයේ පහරදුන් රසල් ඉනිම් 12කදී පන්දුවට පහරදෙමින් ලකුණු 335ක් ලබා ගත්තා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 31කින් නොදැවී ලබා ගත් ලකුණු 70 එහි දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු හොඳ ම ඉනිම බවට පත් වුණා. තරගාවලිය පුරාවට හයේ පහර 32ක් එල්ල කළ රසල් ප්‍රහාරාත්මක වේගය 174.47 සීමාවේ රඳවා ගත්තා.

 රසල් පිත්තෙන් දස්කම් දක්වමින් – scroll.in

පිත්තෙන් සේම පන්දුවෙන් ද දස්කම් පෑ රසල් පන්දුවාර 28.1ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 278ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 17ක් බිඳ දැමුවා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 5කට දවා ගත් කඩුලු 4 යි.

එම කඩුලු 4ම ඉනිමේ අවසන් පන්දු වාරයේ දී දවා ගත් රසල් විරල ගණයේ දස්කමක් දැක්වීමට සමත් වුණා. එසේ රසල් දවා ගත් කඩුලු 17 ඔහු IPL තරග වාරයක දී දවා ගත් වැඩිම කඩුලු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එහි දී ඔහු අභිබවා ගියේ 2016 IPL තරගාවලියේ දී ලබාගෙන තිබුණු කඩුලු 15 යි. 

රසල් කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් – scroll.in

 

1). ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්) – ලකුණු 863

2022 IPL තරගාවලියේ කාගේත් අවධානය දිනා ගත් ක්‍රීඩකයා බවට පත්වුණු ජෝස් බට්ලර් සිය පිත්තෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් සිය සේවය ලබාදුන් බට්ලර් ඉනිම් 17කදී ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 863ක් ලබා ගැනීමට සමත් වුණා.

පහතින් දක්වා තිබෙන්නේ මෙවර IPL තරගාවලියේ දී බට්ලර්ගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරි ඉනිම්  කිහිපයක් පිළිබඳව යි. 

1). 116 (65)- දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව 

2). 106* (60)- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව 

3). 103 (61)- කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව 

4). 100 (68)- මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව 

5). 89 (56) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව 

බට්ලර්, දිල්ලි කණ්ඩායමට එරෙහි ව ශතකය ලබා ගත් මොහොත – scroll.in

 

ඒ අයුරින් ශතක 4ක් ලබා ගත් බට්ලර්  තනි IPL තරගාවලියක දී වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවාගේ වාර්තාව සම කළා. එහි දී ඔහු සම කළේ 2016 දී විරාත් කෝලි තබා තිබුණු සුපිරි වාර්තාව යි. බට්ලර්, තරගාවලිය පුරා ලකුණු අතර සිටිමින් ලබා ගත් ලකුණු 863 විදෙස් ක්‍රීඩකයෙක්  IPL තරග වාරයක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

එහි දී ඔහු අභිබවා ගියේ 2016 දී ඩේවිඩ් වෝනර් ලබා ගෙන තිබුණු ලකුණු 848 යි. 2022 IPL තරගාවලියේ දී හයේ පහර 45ක් එල්ල කළ බට්ලර් වැඩි ම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ පිතිකරුවා බවට ද පත් වුණා. එසේ පිත්තෙන් පෑ සුපිරි දස්කම් නිසා ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

බට්ලර් තරගාවලියේ වීරයා සම්මානය සමඟ – facebook.com

කවරයේ ඡායාරූපය- බට්ලර් සහ චහාල් එකම ඡායාරූපයක - facebook.com

මූලාශ්‍ර:

espncricinfo.com

iplt20.com

howstat.com  

Related Articles