Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අළුබඳුන තරගාවලි ඉතිහාසයේ වාර්තාවුණු ත්‍රිත්ව ශතක

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්නට ලැබෙන පැරණිතම ටෙස්ට් තරගාවලිය ලෙසින් හඳුන්වන්නේ අළුබඳුන ටෙස්ට් තරගාවලිය යි. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය අතීතයේ සිටම ලොවපුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය ලක්වුණා. එම නිසාම අළුබඳුන තරගාවලියේ දී සුපිරි ඉනිම් ක්‍රීඩාකළ  පිතිකරුවන් ගැන මුළු ලෝකයක් කතා කළා. එලෙස අළුබඳුන තරගවල දී ප්‍රේක්ෂකයන් පිනවූ ඉනිම් අතුරින් ත්‍රිත්ව ශතකවලට හමුවුණේ සුවිශේෂී ස්ථානයක්. නමුත් වසර 137ක් පැරණි අළුබඳුන තරගාවලි ඉතිහාසය තුළම දක්නට ලැබෙන්නේ ත්‍රිත්ව ශතක 5ක් පමණක් නිසා මෙම ලිපිය තුළින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා.

එංගලන්ත පිතිකරු ලෙන් හට්න් 1938 වසරේ දී ලකුණු 364ක් ලබාගත්තා 

1938 අළුබඳුන තරගාවලියේ 5 වැනි තරගය කෙනිංටන් ඕවල් පිටියේ දී ආරම්භ වන විට 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. තරගාවලිය පරාජය නොවී සිටීමට නම් එංගලන්තයට එම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණු නිසාම ඔවුන් තරගයට අවතීර්ණ වුණේ ජයග්‍රහණය කිරීමේ අරමුණෙන්. එදා කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ එක් ආරම්භක පිතිකරුවෙකු වුණේ ලෙන් හට්න් නම් සුපිරි පිතිකරුවා යි. ආරම්භයේ සිටම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කිසිදු අපහසුවකින් තොරව මුහුණදුන් හට්න් පන්දු 847ක දී හතරේ පහර 35ක් සමගින් ලකුණු 364ක් ලබාගැනීමට සමත්වුණා. එහිදී හට්න් ලබාගත් ලකුණු 364 එම අවදියේ ටෙස්ට් ඉනිමක පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා පොත් අතරට එක්වුණා. හට්න්ට පෙර නවසීලන්තයට එරෙහිව ලකුණු 336ක් ලබාගෙන ඉහත වාර්තාවේ උරුමකරු ලෙසින් වැජඹුණු වොලී හැමන්ඩ් මෙම තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීම දෛවෝපගත සිදුවීමක් වුණා. 

ලෙන් හට්න්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් ( gettyimages)

එදා ලෙන් හට්න් ලබාගත් ලකුණු 364 නිසාම එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 903ක් ලබාගත්තේ එම අවදියේ දී ටෙස්ට් ඉනිමක දී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ඔවුන් සතු කරමින්. ඊට අමතරව එදා ඕස්ට්‍රේලියානුවන් පරාජය කරමින් එංගලන්තය ලබාගත් ඉනිමක සහ ලකුණු 579ක ජයග්‍රහණය ටෙස්ට් තරගයක වාර්තා වුණු ඉහළම ජයග්‍රහණය යි. 

ඕස්ට්‍රේලියානු පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1930 වසරේ දී ලකුණු 334ක් ලබාගත්තා

1930 අළුබඳුන තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ ලීඩ්ස් නුවර හෙඩිංලි පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ආචි ජැක්සන් දැවීයන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව සටහන් වුණේ 2/1ක් ලෙසින්. ජැක්සන්ගේ නික්මයාමත් සමගින් පිටියට පිවිසි  ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එතැන් සිට එංගලන්ත පන්දු යවන්නන්ව මනාව පාලනය කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගුවා. එදා ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම බවට පත්වුණු බ්‍රැඩ්මන් පන්දු 449ක දී හතරේ පහර 46ක් සමගින් ලකුණු 334ක් ලබාගත්තා. එහිදී බ්‍රැඩ්මන් ලබාගත් ලකුණු 334 එම අවදියේ ටෙස්ට් ඉනිමක දී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක්වුණා. 

බ්‍රැඩ්මන්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක්  ( gettyimages)

ඕස්ට්‍රේලියානු පිතිකරු බොබ් සිම්ප්සන් 1964 වසරේ දී ලකුණු 311ක් ලබාගත්තා

1964 වසරේ අළුබඳුන තරගාවලියේ සිව්වන තරගය පැවැත්වුණේ මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වුණු බොබ් සිම්ප්සන් සහ බිල් ලෝරි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 201ක සබඳතාවයක් ගොඩනැගුවා. එදා ලෝරි ලකුණු 106කට දුවද්දී දැවීයාම නිසා එම සබඳතාවය බිඳවැටුණත් සිම්ප්සන් එක් අන්තයක් රැකගනිමින් පිතිහරඹයේ යෙදුණා. එලෙස ඉතාමත් වගකීමෙන් පිත්ත හැසිරවූ සිම්ප්සන් අවසානයේ දී පන්දු 740ක දී හතරේ පහර 23ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 311ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ටෙස්ට් ශතකය ලබාගනිමින්. 1957 වසරේ අගභාගයේ දී ටෙස්ට් වරම් ලබාගත් සිම්ප්සන් මෙම ඉනිම ක්‍රීඩාකිරීමට පෙර අවස්ථාවන් 3ක දී ලකුණු 90-100 අතර දී දැවීගියා. එම නිසාම ඔහුට මෙම ඉනිම අමතක නොවන එකක් වුණා. 

බොබ් සිම්ප්සන් ( gettyimages)

ඕස්ට්‍රේලියානු පිතිකරු බොබ් කවුපර් 1966 වසරේ දී ලකුණු 307ක් ලබාගත්තා

1965/66 අළුබඳුන තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 485ක් ලබාසිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 36ක් තුළ දැවීගියා. එම අවස්ථාවේ දී පිටියට පිවිසි බොබ් කවුපර් පන්දු 589කදී හතරේ පහර 20ක් සමගින් ලකුණු 307ක් ලබාගත්තේ මෙල්බර්න් පිටියේ දී වාර්තා වුණු එකම ටෙස්ට් ශතකයේ හිමිකරුවා වෙමින්. 

බොබ් කවුපර් ( gettyimages)

ඕස්ට්‍රේලියානු පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1934 වසරේ දී ලකුණු 304ක් ලබාගත්තා

ලීඩ්ස් නුවර හෙඩිංලි ක්‍රීඩා පිටිය ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට සුවිශේෂී ස්ථානයක් වන්නේ ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියේ දී ලබාගත් ත්‍රිත්ව ශතක 2ම එහිදී වාර්තා කර තිබීම යි. 1934 අළුබඳුන තරගාවලියේ සිව්වන තරගය හෙඩිංලි පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 200ක් පමණ යි. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 39ක් තුළ දැවීගියේ බිල් බෝව්ස්ගේ මනරම් පන්දු යැවීම නිසා යි. නමුත් එම අවස්ථාවේ පිටියට පිවිසි බ්‍රැඩ්මන් පන්දු 473කින් හතරේ පහර 43ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 304ක් ලබාගත්තේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ  ත්‍රිත්ව ශතක 2ක් ලබාගත් මුල්ම පිතිකරුවා බවට පත්වෙමින්.

බ්‍රැඩ්මන්ගේ ඉනීමේ අවස්ථාවක් ( gettyimages)

කවරයේ ඡායාරූපය - හට්න් ලකුණු 364ක් ලබාගත් තරගයේ එංගලන්ත ලකුණු පුවරුව දිස්වුණු ආකාරය (gettyimages)

Related Articles