Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චෙල්සි පිල යුරෝපීය ශූරයන් වෙමින් මෙවර පාපන්දු සමය නිමවෙයි

මේ වසරේ යුඑෆා (UEFA) චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගය පසුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වුණා. පසුගිය වසරේ අවසන් තරගය සේම මෙවරත් එය තුර්කියේ පැවැත්වීමට තීරණය කර, පසුව කොරෝනා සීමාකිරීම් නිසා පෘතුගාලයට ගෙන යනු ලැබුවා. නමුත් එයින් කණ්ඩායම් දෙකටම ආධාරකරුවන් 6000 බැගින් ක්‍රීඩාංගනය වෙත ගෙන ඒමේ අවස්ථාව හිමිවීම වැදගත් සිදුවීමක්. අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ එංගලන්ත ප්‍රිමියර් ලීගයේ මැන්චෙස්ටර් සිටි සහ චෙල්සි යන කණ්ඩායම් ද්විත්වය යි. එංගලන්ත කණ්ඩායම් දෙකක් චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගයේ දී හමුවූ තෙවන අවස්ථාව මෙය යි. මෙම තරගයෙන් ගෝල 1 – 0ක ජයක් හිමිකර ගැනීමට චෙල්සි කණ්ඩායම සමත්වුණ අතර, ඔවුන් චැම්පියන්ස් කුසලානයක් ජයග්‍රහණය කළ දෙවන අවස්ථාව ද මෙය වනවා. චෙල්සි පිල සිය අවසන් චැම්පියන්ස් කුසලාන ජය වාර්තා කළේ 2012 වසරේ දී යි. කෙසේ වෙතත් මේ තරගයත් සමග 2020/21 යුරෝපානු ලීග පාපන්දු සමය නිල වශයෙන් නිමාවට පත්වුණා.

චෙල්සි මෙවර ජයගත්තා/UEFA

 

මෙවර පාපන්දු සමය වැදගත් සහ පෙරළිකාර සිදුවීම් රැසක් සිදුවූ පාපන්දු සමයක් ලෙස දක්වන්න පුළුවන් නිසා එහි මතක ආවර්ජනයක් මේ ලිපියෙන් ගෙන එනවා.

2020/21 දී සිදුවූ ක්‍රීඩක මිල දී ගැනීම්

කොරෝනා වසංගතය හේතුවෙන්, යුරෝපීය පාපන්දු ලීගයේ ක්‍රීඩක මිල දී ගැනීම් සඳහා අවස්ථාව ලැබෙන “සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝව” සාමාන්‍ය කාල සීමාවට වඩා වැඩි කාලයක් පැවතුණා. මෙය බොහෝ ලීග සඳහා අගෝස්තු මාසයේ මුල සිට ඔක්තෝම්බර් මාසයේ මැද පමණ වන තුරු විවෘතව තැබුණා. නමුත් බොහෝ කණ්ඩායම් කොරෝනා නිසා ඇතිවූ මූල්‍ය අර්බුදයේ ගිලී සිටි නිසා සැලසුම්කර තිබූ සියලුම මිල දී ගැනීම් සහ විකිණීම් සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. එම නිසා යුරෝ බිලියන 3.5ක මුදලක් පමණක් යුරෝපයේ මුල් පෙළ ලීග 5හි කණ්ඩායම් විසින් ක්‍රීඩකයන් මිල දී ගැනීම් 1422ක් සඳහා වියදම්කර තිබුණා. එය 2019 වසරේ ගිම්හාන සෘතුවට සාපේක්ෂව යුරෝ බිලියන 2ක අඩුවක්.

සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ ප්‍රංශයේ ලිලී කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක වික්ටර් ඔසිම්හෙන් ය. ඔහු නාපලි කණ්ඩායම වෙත අලෙවි වුණේ යුරෝ මිලියන 85ක මුදලකට යි. චැම්පියන්ස් ලීගයේ අවසන් තරගයේ එකම ගෝලය වාර්තා කළ බෙයර් ලෙවර්කුසන් කණ්ඩායමේ කායි හැවර්ට්ස් චෙල්සි කණ්ඩායම විසින් මිල දී ගත්තේ යුරෝ මිලියන 84ක මුදලකට යි. බාසිලෝනා කණ්ඩායමේ 24 හැවිරිදි ආතර් මෙලෝ සමග යුවෙන්ටස් කණ්ඩායමේ 31 හැවිරිදි මිරලෙම් පියැනික් හුවමාරු කිරීමේ ගිවිසුමක් ඇතිවීමත් 2020 සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝවෙ සිදුවූ විශේෂ සිදුවීමක්. මීට අමතරව රූබන් ඩයස්, ඇල්වරෝ මොරාටා, බෙන් චිල් වෙල්, ටිමෝ වර්නර්, තෝමස් පාර්ටෙයි, ඩියෝගෝ ජොටා, සහ ලෙරෝයි සානේ යන ප්‍රබල ක්‍රීඩකයින් බොහොමයක් මෙම ට්‍රාන්ස්ෆර් වින්ඩෝව තුළ විවිධ ක්‍රීඩා කණ්ඩායම් විසින් මිල දී ගැනීම සිදුවුණා.

transfers in 20/21
2020/21 පාපන්දු සමයේ මිල අධිකම ක්‍රීඩක මිල දී ගැනීම්/theguardian

එසේම ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම ඉතා අඩු මුදලකට හෝ නොමිලේම තවත් කණ්ඩායම් සමග එක්වීම ද මෙවර සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝවෙ විශේෂත්වයක්. බාසිලෝනා කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩක ලුවිස් සුවාරිස්, ඔවුන්ගේ ප්‍රබල ප්‍රතිවාදී ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම වෙත සංකේතාත්මක යුරෝ මිලියන 1කට විකිණීම සිදුවුණා. එසේම බාසිලෝනා කණ්ඩායමේ ආටුරෝ විඩාල් ද ඉන්ටර් කණ්ඩායම සමග එක්වුණේ යුරෝ මිලියන 1ක මුදලකට යි. ක්‍රීඩක කොන්ත්‍රාත් රහිතව සිටි ක්‍රීඩකයින් වන එඩින්සන් කවානි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ද, තියාගෝ සිල්වා චෙල්සි කණ්ඩායමට ද, ඩේවිඩ් සිල්වා රියාල් සෝසියඩෑඩ් කණ්ඩායමට ද, පෙඩ්රෝ රොඩ්රිගුවස් රෝමා කණ්ඩායමට ද එක්වීම සිදුවූයේ 2020 සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝව තුළ දී යි.

2020/21 පාපන්දු සමයේ “වින්ටර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ” දී ද යුරෝපයේ මුල් පෙළ ලීග 5හි කණ්ඩායම් විසින් වියදම් කර තිබුණේ වෙනත් වසරවලට සාපේක්ෂව අඩු මුදලක්. ඔවුන් යුරෝ මිලියන 300ක මුදලක් ක්‍රීඩක මිල දී ගැනීම් 460ක් වෙනුවෙන් වියදම් කර තිබූ අතර, එය 2019/20 පාපන්දු සමයට සාපේක්ෂව යුරෝ මිලියන 430ක පමණ අඩුවීමක් බව කිව යුතු යි.

පුහුණුකරුවන් වෙනස්වෙයි

මෙවර ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් 4ක පුහුණුකරුවන් 20/21 පාපන්දු සමය අතරතුර දී එම තනතුරුවලින් ඉවත් කිරීමට කණ්ඩායම්වල පරිපාලනය කටයුතු කළා. ප්‍රවීණ පුහුණුකරුවෙකු වන හොසේ මුව්රිනියෝ, ටොට්න්හැම් හොට්ස්පර් කණ්ඩායමෙන් ඉවත් කෙරුණේ 2021 අප්‍රේල් මාසයේ දී වන අතර ඔහු 2019 යේ නොවැම්බර් මාසයේ සිට එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරධුරය හොබවනු ලැබුවා. 2019 ජූලි මාසයේ සිට චෙල්සි කණ්ඩායමේ පුහුණුකාරධුරයට පත්වූ ෆ්රෑන්ක් ලැම්පාර්ඩ් හට ද, 2021 ජනවාරි මාසයේ සිට සිය තනතුර අහිමිවුණා. ඔහුගෙන් පසුව පත්කළ තෝමස් ටුකල් විසින් චෙල්සි කණ්ඩායමේ චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය දක්වා මෙහෙයවීම ද විශේෂ සිදුවීමක්. ෂෙෆීල්ඩ් යුනයිටඩ් සහ වෙස්ට් බ්රොම්විච් ඇල්බියොන් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් ද 20/21 පාපන්දු සමය අතරතුර දී සිය තනතුරුවලින් ඉවත් කෙරුණා.

inter won Italian league
ඉන්ටර් කණ්ඩායම වසර 11කට පසු ඉතාලි ලීගය ජයගැනීමේ සතුට ක්‍රීඩා ලෝලීන් සැමරූ අයුරු /talksport

මේ අතර මීළඟ පාපන්දු සමය සඳහා පුහුණුකාරධුර කීපයක් ද දැනටමත් වෙනස් වී තිබෙනවා. ඒ අතර යුවෙන්ටස් කණ්ඩායමේ පුහුණුකාරධුරය එක් වසරක් පමණක් හෙබවූ අන්ඩ්‍රිය පියර්ලෝ එම තනතුරෙන් ඉවත් කිරීමත් බේයර්න් මියුනික් කණ්ඩායමේ හැන්සි ෆ්ලික්, සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සිනෙඩින් සිඩෑන් තම ධුරවලින් ඉල්ලා අස්වීමත් විශේෂ සිදුවීම් වෙනවා. යුවෙන්ටස් කණ්ඩායමට මැසිමිලියානෝ ඇලිග්‍රී නැවත පත් කිරීමට තීරණය වී තිබෙනවා. බේයර්න් මියුනික් කණ්ඩායම සඳහා ආර්. බී. ලයිප්සිග් කණ්ඩායමේ 33 හැවිරිදි පුහුණුකරු වූ ජූලියන් නාගල්ස්මන් මේ වන විටත් පත්කර අවසන්. බාසිලෝනා කණ්ඩායමේ ද පුහුණුකාර තනතුරේ වෙනසක් සිදුවෙතැ යි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. මේ අතර හොසේ මුව්රිනියෝ ලබන වසරේ දී ඉතාලියේ රෝමා කණ්ඩායමේ පුහුණුකාර තනතුර හොබවනු ඇති.

 

සුපුරුදු අය වෙනුවට වෙනත් කණ්ඩායම්වලට ලීග ජය

මෙවර යුරෝපයේ ප්‍රධාන ලීග 5න් 3කම ජයග්‍රහණයන් ලබාගත්තේ සාමාන්‍යයෙන් ඒවා ජයගන්නා කණ්ඩායම් නොවේ. විශේෂයෙන් ඉතාලියේ දේශීය ලීග තරගාවලියේ ජය, වසර 9ක් එක දිගටම ලැබූ යුවෙන්ටස් කණ්ඩායම සිව්වන ස්ථානයට ඇද දමමින් ඉන්ටර් කණ්ඩායම විසින් හිමිකර ගත්තා. මෙය ඔවුන්ගේ 19 වන ලීග ශුරතාවය ද වනවා. 2011/12 පාපන්දු සමයේ දී යුවෙන්ටස්හි ප්‍රධාන පුහුණුකරු වූ ඇන්ටෝනියෝ කොන්ටේ මේ වසර 9 ක ජයග්‍රහණ පෙරහැර යුවෙන්ටස් වෙත ආරම්භකර දී, නැවත 2020/21 සමයේ ඉන්ටර් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් එය නිමා කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්. ඉන්ටර් කණ්ඩායමත් 2010 දී චැම්පියන්ස් කුසලාන ජය සමග ත්‍රිත්ව ශූරතාවය දිනාගත් පසු ඉතාලි ලීගයේ ශූරයන් බවට පත්වුණු පළමු අවස්ථාව මෙය යි.

ඉන්ටර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 91ක් ලබා තරගාවලි සටහනේ මුල්තැනට පත්වෙද්දී ඒ.සී. මිලාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු 79ක් ලබා දෙවන තැනට පත්වුණා. ඔවුන් ද 2011/12 පාපන්දු සමයෙන් පසු දැක්වූ ඉහළම දක්ෂතාව මෙය යි. යුවෙන්ටස් කණ්ඩායමට ද ලබන වසරේ චැම්පියන්ස් ලීගයට සුදුසුකම් ලැබීම සඳහා ඉඩහසර ලැබුණේ 38 වන හෙවත් අවසාන තරග දිනයේ දී නාපලි කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමට නොහැකි වීම හේතුවෙන්. ඒ අනුව තරගාවලි සටහනේ පළමු ස්ථානය හැරුණුකොට 2 සිට 5 දක්වා ස්ථාන අතර පැවතුනේ ප්‍රසාද ලකුණු 2ක වෙනසක් පමණ යි. ඉතාලි ලීගයේ වැඩිම ගෝලලාභියා වූයේ යුවෙන්ටස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. ඔහු 2020/21 ඉතාලි ලීගයේ දී ගෝල 29ක් වාර්තාකර තිබුණා.

Lille Olympic won ligue 1
ප්‍රංශ ලීගයේ ශූරයන් වූ ලිලී ඔලිම්පික් කණ්ඩායම/thesefootballtimes

ප්‍රංශයේ ලීග් 1 ශුරතාවය දිනාගැනීමට පැරිස් සැන් ජර්මෑන් කණ්ඩායමට මෙවර හැකියාව ලැබුණේ නැහැ. 2013 වසරේ සිට 2020 දක්වා, එක් තරගාවලියක් හැරුණුකොට, තරගාවලි 7ක ජය ලබාගත්තේ පැරිස් සැන් ජර්මෑන් කණ්ඩායම යි. නමුත් ඔවුන්ට මෙවර හිමිවුණේ දෙවන ස්ථානය වන අතර ලීගය ජයගත් ලිලී ඔලිම්පික් කණ්ඩායමට වඩා ඔවුන් එක් ප්‍රසාද ලකුණක් පිටුපසින් පසුවුණා. ප්‍රංශ ලීගයේ ජයග්‍රාහකයා තේරීම අවසන් තරග දිනය දක්වා ඇදී යාම ද විශේත්වයක්. වසර 10 කට පසු ප්‍රංශ ලීගයේ ශුරතාවය දිනාගත් ලිලී ඔලිම්පික් කණ්ඩායම මේ වන විට ලීග ශුරතා 6ක් ජයගෙන තිබෙනවා. මෙවර ලීගයේ වැඩිම ගෝලලාභියා වූයේ පැරිස් සැන් ජර්මෑන්හි සුපිරි ක්‍රීඩක කිලියන් එම්බාප්පේ වන අතර ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 27ක්.

ස්පාඤ්ඤ ලීගයේ ද බාසිලෝනා සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායම්වල ආධිපත්‍යය බිඳ හෙලන්නට ඩියෙගෝ සිමියෝනේගේ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමට මෙවර හැකි වුණා. 2015 සිට 2020 දක්වා ලීග ශුරතා 6 අතරින් 4ක් බාසිලෝනා කණ්ඩායම දිනාගත් අතර, රියල් මැඩ්රිඩ් පිල ඉතිරි ශුරතා 2 දිනා තිබුණා. ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සිය 11 වන ලීග ජයග්‍රහණය ලබාගත්තේ වසර 7කට පසුව යි. මෙම තරගාවලියේ පළමු තරග දින 10 අවසන් වෙද්දී බාසිලෝනා පිල ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටියේ 13 වන ස්ථානයේ වීම විශේෂත්වයක්. එතැන් සිට ඔවුන් අඛණ්ඩව තරග 19ක් ජයග්‍රහණය කළත්, අවසන් තරග කීපයේ දී නැවත අසාර්ථක වීම නිසා තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදුවුණා. 2008න් පසු බාසිලෝනා කණ්ඩායම ස්පාඤ්ඤ ලීගයේ තෙවන ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය යි.

atletico won laliga
ස්පාඤ්ඤ ලීගයේ පළමු තැනට පත්වීමේ සතුට සැමරූ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම/marca

ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායම් අතරින් ලීගයේ ජයග්‍රහාකයා තීරණය වුණේ අවසාන තරග දිනයේ දී වීම ස්පාඤ්ඤ ලීගයේ මෙවර පැවති තරගකාරීත්වය හොඳින් ප්‍රදර්ශනය කෙරුණා. ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86ක් වන අතර, රියල් මැඩ්රිඩ් සහ බාසිලෝනා කණ්ඩායම් ප්‍රසාද ලකුණු 84ක් සහ 79 ක් බැගින් ලබාගෙන පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලබාගත්තා. සෙවියා කණ්ඩායම ප්‍රසාද ලකුණු 77ක් ලබා සිව්වන ස්ථානයට පත්වුණා. තරගාවලියේ කැපී පෙනුණු සිදුවීමක් වූයේ බාසිලෝනා පිලෙන් ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමට පැමිණි ලුවිස් සුවාරිස්, ගෝල 21ක් ලබාගනිමින් ඇට්ලෙටිකෝ කණ්ඩායමේ ලීග ජයග්‍රහණය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම යි. අවසන් තරග දිනයේ දී ඇට්ලෙටිකෝ කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය ද ඔහු විසින් වාර්තා කරනු ලැබුවා. තරගාවලියේ වැඩිම ගෝලලාභියා වූයේ, ගෝල 30ක් ලබාගත් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී. ඔහු මේ වන විට අඛණ්ඩව 5 වරක් ස්පාඤ්ඤ ලීගයේ වැඩිම ගෝලලාභියා බවට පත්වී තිබෙනවා.

කුසලාන බෙදී ගිය අයුරු

ප්‍රිමියර් ලීගයේ ජය මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට හිමි වුණේ 7 වන වරට යි. පසුගිය වර ශුරයින් වූ ලිවර්පූල් කණ්ඩායම අවසන් තරග දිනයේ ලෙස්ටර් කණ්ඩායමේ පරාජයත් සමග තෙවන ස්ථානයට පත්වුණා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම දෙවන ස්ථානයටත්, චෙල්සි කණ්ඩායම සිව්වන ස්ථානයටත් පත්වුණා. වසර 16කට පසු ප්‍රිමියර් ලීගයට සුදුසුකම් ලැබූ ලීඩ්ස් යුනයිටඩ් පිල තරග සටහනේ 9 වන ස්ථානයට පත්වුණා. ලීගයේ ඉහළම කණ්ඩායම් 6 සමග ලීඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවති තරග 6න් එකදු තරගයක්වත් ඔවුන් පරාජය වූයේ නැහැ. මෙවර ප්‍රිමියර් ලීගයේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා වන්නේ ගෝල 23ක් ලබාගත්, ටොට්න්හැම් කණ්ඩායමේ හැරී කේන්.

man city with carabao cup
මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලීග් කප් ශුරතාවය දිනාගත් අවස්ථාව/star

ජර්මනියේ බන්ඩස්ලීගාහි ජය අඛණ්ඩව 9 වන වරටත් දිනාගත්තේ බේයර්න් මියුනික් කණ්ඩායම යි. ඒ, දෙවන ස්ථානයට පත්වූ ආර්. බී. ලයිප්සිග් කණ්ඩායමට වඩා ප්‍රසාද ලකුණු 13ක් ලබාගනිමින්. බොරූෂියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායම මෙවර ලීගයේ තෙවන තැන හිමිකර ගත් අතර, වොල්ෆ්ස්බර්ග් කණ්ඩායම සිව්වන තැනට පත්වුණා. වසර 30කට පසු එෆ්. සී. ෂැල්කා කණ්ඩායමට ජර්මානු පළමු ලීගය වන බන්ඩස්ලීගාවලින් පහළ ලීගයට යාමට සිදුවනවා. ඒ, ඔවුන් මෙවර ලීග සටහනේ අවසන් ස්ථානයට පත්වීම හේතුවෙන්. ජර්මානු ලීගයේ අඛණ්ඩව සිව්වන වරටත් වැඩිම ගෝල ලාභියා වන්නේ රොබර්ට් ලෙවන්ඩොව්ස්කි. ඔහු මෙවර ලීගයේ දී ගෝල 41ක් ලබාගෙන තිබෙනවා. එය යුරෝපයේ මුල් ලීග 5 ක්‍රීඩකයෙකු 2020/21 වසර සඳහා ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව ද වනවා.

 

2020/21 පාපන්දු සමය තුළ දී යුරෝපයේ මුල්පෙළ ලීග 5 හි කණ්ඩායම් අතරින් කුසලාන දෙක බැගින් හිමිකර ගැනීමට මැන්චෙස්ටර් සිටි, බේයර්න් මියුනික්, යුවෙන්ටස්, සහ පැරිස් සැන් ජර්මෑන් කණ්ඩායම් සමත් වුණා. මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ප්‍රිමියර් ලීගයේ ජයග්‍රහනය සමග ලීග කප් ශූරතාවයත් ජයගත් අතර, බේයර්න් මියුනික් කණ්ඩායම බන්ඩස්ලීගා ශූරතාව සහ ඩී.එෆ්.එල්. සුපර් කප් ශූරතාව හිමිකර ගනු ලැබුවා. යුවෙන්ටස් ක්‍රීඩා සමාජය, ඉතාලි කප් සහ සුපර් කප් ශූරතා දිනාගත් අතර, පැරිස් සැන් ජර්මෑන් කණ්ඩායමටත් ප්‍රංශ කප් ශූරතාවය සහ සුපර් කප් ශූරතාවය හිමිවුණා.

එංගලන්ත ලීගයේ එෆ්.ඒ. කුසලානය ලෙස්ටර් සිටි කණ්ඩායමටත්, කොමියුනිටි ෂීල්ඩ් කුසලානය ආසනල් කණ්ඩායමටත් හිමි වුණා. ස්පාඤ්ඤයේ කෝපා ඩෙල් රේ කුසලානය හිමිකරගත්තේ බාසිලෝනා පිල යි. ඇත්ලටික් බිල්බාඕ කණ්ඩායම ස්පැනිෂ් සුපර් කප් ශුරතාවය ලබාගත්තා. ජර්මනියේ ඩී.එෆ්.බී පෝකල් කුසලානය බොරූෂියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායමට හිමි වුණා.

Villarreal europa league winners
යුරෝපා ලීග ශුරතාව දිනූ විලාරෙයාල් කණ්ඩායම/the athletic

චැම්පියන්ස් කුසලානය මෙන්ම තවත් වැදගත් තරගාවලියක් වුණු යුරෝපා ලීග තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ විලාරෙයාල් කණ්ඩායම සමත්වුණා. ඒ, උද්වේගකර අවසාන මහා තරගයේ දී දඬුවම් පහර 11 – 10ක් වශයෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පරාජය කරමින්. ඒ අනුව විලරෙයාල්හි පුහුණුකරු වන උනායි එම්රි යුරෝපා ලීග කුසලානය විවිධ කණ්ඩායම් සමග සිව් වරක් දිනා තිබෙනවා. විලාරෙයාල් කණ්ඩායම යුරෝපයේ ප්‍රධාන තරගාවලි ජයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය යි.

2021/22 පාපන්දු සමය

2021/22 පාපන්දු සමය සඳහා ස්පාඤ්ඤ, ජර්මානු, සහ ඉතාලි ලීග ලබන අගෝස්තු 13 වනදා ආරම්භ වීමට නියමිත යි. ප්‍රිමියර් ලීගය ද අගෝස්තු 14 වනදා නැවත ආරම්භ වෙනවා. ප්‍රංශ ලීගය ඊට සතියකට පෙරාතුව, අගෝස්තු 07 වනදා, ආරම්භ කිරීමට යි සංවිධායකයින් කටයුතු යොදා තිබෙන්නේ. බොහෝවිට ලීග තරග සඳහා වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයකට අවසර ලැබෙනු ඇති බවටත් විශ්වාස කෙරෙනවා.

මීළඟ ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ දී ප්‍රබල ක්‍රීඩකයින් රැසක් වෙනත් කණ්ඩායම්වලින් මිල දී ගනු ඇතැ යි පැවසෙනවා. ඒ අතර අර්ලින්ග් හාලන්ඩ් ප්‍රධාන යි. එසේම, සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලබන වසරේ දී යුවෙන්ටස් සඳහා ක්‍රීඩා නොකරනු ඇති බවට ද වාර්තා පළවෙනවා. මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ක්‍රීඩක සර්ජියෝ අගුවේරෝ ද සිය කණ්ඩාමයට සමුදී ලබන වසරේ සිට බාසිලෝනා පිලට ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගත වී තිබෙනවා. බාසිලෝනා පිලේ ද තවත් බොහෝ වෙනස්කම් සිදුවනු ඇති බව යි ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන්නේ.

කවරයේ පින්තුරය - Aljazeera

තොරතුරු 90min.com, theguardian.com, transfermarkt.com, marca.com, සහ skysports.com ඇසුරෙන්

Related Articles