Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර ලෝක කුසලානයේ දී පෙරලියක් සිදුකළ හැකි කණ්ඩායම් 5 ක්

පසුගිය පාපන්දු ලෝක කුසලාන කිහිපය දෙස නැවතත් හැරී බැලූ විට පෙනී යන්නේ ප්‍රේක්ෂකයින් නොසිතන ආකාරයට එක් කණ්ඩායමක් හෝ කිහිපයක් තරගාවලියෙහි පෙරලියක් සිදුකරමින් තරගාවලියෙහි බොහෝ දුරක් ගමන් කර ඇති බවයි. 2002 වසරේ දී දකුණු කොරියාව සහ තුර්කිය අවසන් පූර්ව වටය දක්වා ද, 2006 වසරේ දී යුක්රේනය අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද, 2010 වසරේ දී ඝානාව සහ පැරගුවේ රාජ්‍යය අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද, පසුගිය 2014 වසරේ දී කොස්ටරිකාව අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද පැමිණීමට සමත් වූයේ සමස්ත ලෝකයම පුදුමයට පත්කරමිනි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ද එලෙස පෙරලියක් සිදුකරන්නට හැකි කණ්ඩායම් 5 ක් පිළිබඳව අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් සාකාච්ඡා කෙරේ.

5. රුසියාව

“රුසියානු කණ්ඩායම” (Clive Rose)

සත්කාරකත්වයේ වාසිය නිසා රුසියාව මෙවර ලෝක කුසලානයේ දී පෙරලියක් සිදුකරනු ඇතැයි සිතිය හැක. වර්තමානයේ සිටින සුපිරි දැල් රකින්නෙකු වන ඊගර් අකින්ෆීෆ්ගේ නායකත්වයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන රුසියාවේ ප්‍රධානම බලාපොරොත්තුව ලෙසින් 22 හැවිරිදි ඇලෙක්සේයි මිරාන්චුක් හැඳින්විය හැක. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වූවත් පසුගිය වසරේ පැවති ෆිෆා කන්ෆෙඩරේෂන්ස් කුසලානයේ දී ද යම් තරමක දක්ෂතා පෙන්වීමට රුසියාව සමත්විය. මෙවර ලෝක කුසලානයේ A කාණ්ඩයෙන් තරඟ වදින රුසියාව සමඟ A කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වන්නේ උරුගුවේ, ඊජිප්තුව සහ සවුදි අරාබියයි.

4. සෙනගාලය

“සෙනගාල කණ්ඩායම” (video.kwesesports.com)

H කාණ්ඩයෙන් මෙවර මූලික වටයේ දී තරඟ වදින සෙනගාලය මෙවර පෙරලියක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි කණ්ඩායමකි. අප්‍රිකානු කලාපයෙන් මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගත් සෙනගාලයෙහි සිටින හොඳම ක්‍රීඩකයා වන්නේ ලිවර්පූල් කණ්ඩායම නියෝජනය කරන සාඩියෝ මානේය. මේ දක්වා පැවති ලෝක කුසලාන අතුරින් 2002 ලෝක කුසලානයට පමණක් සුදුසුකම් ලබා තිබෙන සෙනගාලය එවර තරගාවලියෙහි ද අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට සමත්ව ඇත. H කාණ්ඩයෙන් සෙනගාලය සමඟින් තරඟ වදින අනෙකුත් කණ්ඩායම් වන්නේ පෝලන්තය, කොලොම්බියාව සහ ජපානයයි. බොහෝ දෙනෙකු මෙවර සෙනගාලයෙහි ශක්තිය අවතක්සේරු කරමින් සිටින නමුත් සෙනගාලය යනු පෝලන්තය සහ කොලොම්බියාව අභිබවා යාමට සමත් කණ්ඩායමකි.  

3. ඊජිප්තුව

“සලා ප්‍රමුඛ ඊජිප්තු කණ්ඩායම” (egyptianstreets.com)

මොහමෙද් සලා නිසා ජනප්‍රිය කණ්ඩායමක් බවට පත්වූ ඊජිප්තුව මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගත්තේ අප්‍රිකානු කලාපයෙනි. ඊජිප්තුව මේ දක්වා සුදුසුකම් ලබා තිබෙන්නේ ලෝක කුසලාන දෙකකට පමණි. ඒ 1934 සහ 1990 ලෝක කුසලාන ද්විත්වයටයි. වසර 28 ට පසුව ලෝක කුසලාංයකට සුදුසුකම් ලබාගත් ඊජිප්තුව මෙවර ලෝක කුසලානයේ දී තරඟ වදින්නේ ද රුසියාව තරඟ වදින A කාණ්ඩයෙනි. මෙවර ලෝක කුසලාන තරගාවලියෙහි A කාණ්ඩය ඉතා විවෘත කාණ්ඩයක් ලෙසින් නම් කළහැකි අතර කාණ්ඩයේ සිටින සියලුම කණ්ඩායම් වලට විවෘත අවස්තාවක් ඇත. 2017 වසරේ අප්‍රිකානු අනුශූරයින් බවටද පත් වූ ඊජිප්තුව මෙවර ලෝක කුසලානයේ දී පෙරලියක් සිදුකල හැකි කණ්ඩායම් වලින් එකකි.

2. පේරු රාජ්‍යය

“මෙවර ලෝක කුසලානය සඳහා පේරු රාජ්‍යය සුදුසුකම් ලබාගත් අවස්ථාව” (Ernesto Benavides/AFP/Getty Images)

මේ දක්වා පවත්වා තිබෙන ලෝක කුසලාන 20 අතරින් 4 ට සුදුසුකම් ලබා ඇති පේරු රාජ්‍යය 1970 ලෝක කුසලානයේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වී ඇත. මෙවරත් එවැනි ආකාරයේ ප්‍රථිපලයක් ලබාගත හැකි කණ්ඩායමක් ලෙසින් පේරු රාජ්‍යය නම් කලහැක. ප්ලේ ඕෆ්ස් වටයෙන් මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් පේරු රාජ්‍යය එම ප්ලේ ඕෆ්ස් වටයේ දෙවැනි තරඟය ද ඇතුළුව ඔවුන් සහභාගී වූ අවසන් තරඟ 5 ම ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ. මෙවර ලෝක කුසලානයේ දී පේරු රාජ්‍යය ක්‍රීඩා කරන්නේ C කාණ්ඩයෙන් වන අතර C කාණ්ඩයෙන් ප්‍රංශය, ඩෙන්මාකය සහ ඕස්ට්‍රේලියාව ද පේරු රාජ්‍යය සමඟින් තරඟ වදිනු ඇත.

1. අයිස්ලන්තය

“ගුන්නසොන් (ඉදිරියෙන්) ඇතුළු අයිස්ලන්ත ක්‍රීඩකයින්” (spyn.co)

මෙවර ලෝක කුසලානයේ දී පෙරලියක් සිදුකරනු ඇතැයි වඩාත්ම විශ්වාස කළහැකි කණ්ඩායම වන්නේ අයිස්ලන්තයයි. අයිස්ලන්තය පිළිබඳ සමස්ත ලෝකයම දැනගන්නේ 2016 යුරෝ ශූරතාවයෙනි. එහිදී අර්ධ අවසන් පූර්ව වටය දක්වාම අයිස්ලන්තය පැමිණියේ ප්‍රබල එංගලන්තය තරඟාවලින් ඉවත් කරමිනි. ඉන් නොනැවතුන අයිස්ලන්තය මෙවර ලෝක කුසලානය වෙනුවෙන් පැවති යුරෝපීය තේරීම් තරඟ වලදී D කාණ්ඩයෙන් තරඟ වැදී එහි පෙරමුණ හිමිකරගැනීමටත් සමත්විය. මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී D කාණ්ඩයෙන් තරඟ වදින අයිස්ලන්තය සමඟින් D කාණ්ඩයෙන් තරඟ වදින අනෙකුත් කණ්ඩායම් වන්නේ ආර්ජෙන්ටිනාව, ක්‍රොයේෂියාව සහ නයිජීරියාවයි. ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා සුදුසුකම් ලබාගත් අයිස්ලන්තයේ නායකත්වය දරන්නේ කාඩිෆ් සිටි කණ්ඩායමේ ආරොන් ගුන්නසොන් ය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අයිස්ලන්ත සංචිතයේ සිටින ක්‍රීඩකයින් 23 දෙනා අතුරින් ක්‍රීඩකයින් 22 ගේ නම් අවසන් වන්නේ “සොන් (son)” යන්නෙන් වීම ද විශේෂ කාරණයකි. ඊට හේතුව අයිස්ලන්‍තයේ නම් ලබාදෙන ආකාරය යි.

Cover – Goal.com

Related Articles