Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ලැබුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 5ක්

පසුගිය වසරක කාලය තුළ ටෙස්ට් ක්‍රිකට් පිටියේ පෙරළි රැසක් සිදුවුණා. මෙහිදී ඉතිහාසය නැවත ලියන්නට කණ්ඩායම් කිහිපයක්ම සමත් වුණා. මේ පසුගිය වසරේ ලෝකයා දුටු, බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ පෙරළි සිදු වූ තරගාවලි 5ක් ගැන තොරතුරු යි මේ.

01. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා සංචාරය

Getty Images

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 2018/19 ටෙස්ට් තරගාවලිය ක්‍රිකට් ඉතිහාසය නැවත ලියන්නට සමත් පෙරළියක් වූ තරග සංචාරයක් ලෙස සැලකෙනවා. ඒ එම තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාව ජයගැනීම නිසා යි. මේ වසර 142ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව හැර වෙනත් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව සිය මවුබිමේ දී ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ පළමු වතාව යි. මෙහිදී ඩර්බන්හි පැවති පළමු තරගය එක් කඩුල්ලකින් ද, පෝට් එලිසබෙත්හි පැවති දෙවන තරගය කඩුළු 8කින් ද ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද්දේ දිමුත් කරුණාරත්න විසින්.

02. නවසීලන්තයේ මැදපෙරදිග සංචාරය

Getty Images

2018/19 නවසීලන්තයේ මැදපෙරදිග සංචාරයේ ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලයත් පෙරළිකාර එකක් වුණා. ඒ නවසීලන්තය පාකිස්තානයට එරෙහිව එය 2-1 ක් ලෙස ජයගැන්ම නිසා යි. දඟපන්දු යවන්නන්ට හිතකර මැදපෙරදිග තණතීරු නවසීලන්තයට නුහුරු වන අතර මීට පෙර මෙහි පැවති ටෙස්ට් තරගාවලියක දී පකිස්තානය පරදවා තිබුණේ දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණදෙන ශ්‍රී ලංකාව පමණ යි.

තරග 3කින් සමන්විත වූ මේ තරගාවලියේ අබුඩාබිහි පැවති පළමු තරගය ලකුණු 4කින් ජයගන්නට සමත් වූ නවසීලන්තය එහිම පැවති තෙවන තරගය ද ලකුණු 123 කින් ජයගැනීමත් සමග මේ සුවිශේෂී අවස්ථාව උදා කරගත්තා. මෙහි ඩුබායිහි පැවති දෙවන තරගය ඉනිමකින් හා ලකුණු 16කින් ජයගත්තේ පාකිස්තානය යි. මේ තරගාවලියේ දී නවසීලන්තය මෙහෙයවන ලද්දේ කේන් විලියම්සන් විසිනුයි.

03. එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය

cricnmore.com

2018 එංගලන්තයේ ශ්‍රී ලංකා තරග සංචාරය නම් බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ නෙතගට කඳුලක් එක්කළ එකක් බවට සැක නැහැ. මෙහි පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගන්නට එංගලන්තය සමත් වූයේ ඔවුන්ට නුහුරු දඟපන්දු යවන්නන්ට හිතකර තණතිලි වල ක්‍රීඩා කරමින් වීම සුවිශේෂී යි. මෙහිදී ගාල්ලේ පැවති ප්‍රථම ටෙස්ට් තරගය ලකුණු 211කිනුත්, පල්ලෙකැලේ පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 57කිනුත්, කොළඹ පැවති තෙවන ටෙස්ට් තරගය ලකුණු 42 කිනුත් ජයගනිමින් ඔවුන් මේ සුවිශේෂී ජයග්‍රහණය ලබාගත්තා. මෙහිදී එංගලන්ත කණ්ඩායම මෙහෙයැවූයේ ජෝ රූට් විසිනුයි.

04. ඉන්දියාවේ ඕස්ට්‍රේලියා සංචාරය

moneycontrol.com

ඉන්දියාවේ 2018/19 ඕස්ට්‍රේලියා තරග සංචාරය ඉතිහාසගත වූයේ පළමු වතාවට ආසියානු කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත් අවස්ථාව ලෙස යි. මෙහිදී ඉන්දියාව තරග 4කින් යුත් තරගාවලිය ජයගත්තේ 2-1 ලෙස යි. ඇඩ්ලේඩ්හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 31කිනුත්, මෙල්බර්න්හි පැවති තෙවන තරගය ලකුණු 137කිනුත් ජයගැන්මට ඔවුන් සමත් වූ අතර, සිඩ්නිහි පැවති සිව්වන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගන්නට ඔවුන් සමත් වුණා. පර්ත්හි පැවති දෙවන තරගය ලකුණු 146කින් ජයගත්තේ ඕස්ට්‍රේලියාව යි. මේ තරගාවලියේ දී ඉන්දීය නායකයා ලෙස කටයුතු කළේ විරාත් කෝලි යි.

05. එංගලන්තයේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය

ICC/ twitter

එංගලන්තයේ 2018/19 බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ආරම්භ වන විට එංගලන්තය හා බ.ඉ.කො ටෙස්ට් කණ්ඩායම් දෙක අතර අහසට පොළොව මෙන් පරතරයක් තිබුණා. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ටෙස්ට් තරගාවලිය එංගලන්තය පහසුවෙන් ජයගනු ඇතැයි කියා යි. කෙසේ නමුත් එය පුස්සක් කරන්නට කොදෙව්වන් සමත් වුණා. ඔවුන් එය ජයගත්තේ 2-1 ලෙස යි.

බාබඩෝස්හි පැවති ප්‍රථම ටෙස්ට් තරගය ලකුණු 381කින් ජයගත් කොදෙව්වන් නෝර්ත් සවුන්ඩ්හි පැවති දෙවන ටෙස්ට් තරගය ද කඩුළු 10කින් ජයගන්නවා. කෙසේ නමුත් ග්‍රොස් අයිලට්හි පැවති තෙවන තරගයේ ජය ලකුණු 232කින් හිමිවන්නේ එංගලන්තයට යි. මෙම තරගයට තරග තහනමක් හේතුවෙන් කොදෙව් නිත්‍ය නායක ජේසන් හෝල්ඩර් සහභාගී වූයේ නැහැ. මෙය කොදෙව්වන්ට විශාල අවාසියක් වූයේ පෙර තරග දෙකේදී ඔහු සුපිරි දක්ෂතා දැක්වීම නිසා යි.

කවරයේ පින්තූරය: Getty Images

Related Articles