Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහානාමගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

1986-1999 කාලසමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රොෂාන් මහානාම, පිත්තෙන් සහ පන්දු රැකීමෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණු ක්‍රීඩකයෙක්. වසර 9කට වැඩි කාලයක් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කළ මොහු, සිය ක්‍රිකට් දිවිය තුළ දී ලකුණු 7738ක් ලබාගත්තේ ශතක 8ක් වාර්තා කරමින්. එසේම මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ රැඳී සිටි කාලය තුළ අමතක නොවන ජයග්‍රහණයන් රැසක් ලබාගැනීමට දායකත්වය ලබාදුන්නා. එම නිසා පැරණි ක්‍රිකට් රසිකයන් තවමත් මහානාම සිහිපත් කරන්නේ ගෞරවයෙන්. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් කළ මෙම විශිෂ්ටයාගේ ක්‍රීඩා දිවිය දෙස ආපසු හැරී බැලීමේ දී සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් මතකයට නැඟෙනවා. එවැනි අවස්ථාවලට සම්බන්ධ අමතක නොවන ඡායාරූප කිහිපයක තොරතුරු යි මේ ලිපියෙන් ගෙන එන්නේ. 

අමතක නොවන මංගල ටෙස්ට් තරගය

1986 ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රීඩා කෙරුණේ කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ දී රොෂාන් මහානාම ටෙස්ට් වරම් දිනාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 36 වැනි ක්‍රීඩකයා බවට පත්වෙමින්. එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ප්‍රබල පාකිස්ථාන කණ්ඩායමට සියළු දෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 132ක් පමණ යි. සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගී වුණු කෝසල කුරුප්පුආරච්චි ලකුණු 44කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 273ක් ලබාගත්තේ අර්ජුණගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 77 නිසා යි. එහි දී මහානාම ලකුණු 10ක් ලබාසිටිය දී දුවද්දී දැවීයාම අවාසනාවන්ත සිදුවීමක් වුණා. 

පළමු ඉනිම අවසානයේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 131ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ පාකිස්ථාන පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එදා රවී රත්නායක ලකුණු 37කට කඩුලු 5ක් ලබාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු 172කට සීමා වුණා. අවසානයේ දී ලකුණු 32ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 8ක පහසු ජයක් ලබාගත්තා. එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු දෙවන ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා. 

සිය මංගල ටෙස්ට් තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ලැබීම මහානාමගේ තරග දිවියේ අමතක නොවන මතක සටහනක් වුණා. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ටෙස්ට් තරගයට සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම යි.

මහානාම මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගිවීමට මොහොතකට පෙර (වේදනාත්මක සමුගැනීම)

මුල්ම වරට තරගයේ වීරයා සම්මානයක් හිමිකර ගැනීම 

19 හැවිරිදි වියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබූ රොෂාන් මහානාමට, 1986 වසරේ අවසන් වන තුරුම විශේෂ දක්ෂතාවයක් පෙන්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් 1987 වසරේ ජනවාරි 17 වැනිදා පැවති ඉන්දු-ලංකා එක්දින තරගයේ දී ඔහු සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කරන ආකාරයේ ඉනිමක් ක්‍රීඩා කළා. වන්කඩේ ක්‍රීඩා පිටියේ පැවැත්වුණු එම තරගයේ දී, මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානුවන් නියමිත පන්දුවාර 40 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 299ක් ලබාගත්තා. එහි දී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් අසාරුඩීන් පන්දු 94කින් නොදැවී ලකුණු 108ක් ලබාගෙන සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්තා කළා.

එවකට එක්දින ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 290ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ආරම්භයේ සිටම සටන්කාමී පිතිහරඹයක නිරත වුණා. එම නිසා එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 147/2 ලෙසින් දිස්වුණා. ශ්‍රී ලංකා පිතිකරු යුගලය හොඳින් පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවක ලකුණු 30ක් ලබා සිටි දුලිප් මෙන්ඩිස් දුවද්දී දැවීයාම බලවත් පාඩුවක් වුණා. නමුත් ඉන් නොසැලුණු මහානාම අනිත් අන්තයේ පිතිකරුවන් සමග එක්ව ඉනිම ගොඩනැගුවා. එහි දී මහානාම සහ ගුරුසිංහ අතර ගොඩනැගුණු ලකුණු 70ක වේගවත් සබඳතාවය ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ දැමුවා. ඒ වන විට ලකුණු 98ක් ලබා සිටි මහානාම සිය එක්දින දිවියේ මංගල ශතකය කරා ක්‍රමයෙන්  ළඟාවෙමින් සිටියා. එදා කිසිවෙකු නොසිතූ අයුරින් මහානාම ලකුණු 98කට දුවද්දී දැවීයාමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 10ක පරාජයක් උරුම වුණා. නමුත් මහානාම දියත් කළ සටන්කාමී ඉනිම නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. 

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ වීරයා සම්මානය ලබාගත් මහානාම, තරගාවලියේ වීරයා සම්මානය ලබාගත් සුනිල් ගවස්කාර් සමගින් සුහද කතාබහක නිරතව සිටින ආකාරය යි.

ගවස්කාර් සහ මහානාම සුහද කතාබහක නිරතවෙමින් (වේදනාත්මක සමුගැනීම)

මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම 

1992 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 288ක් ලබාගත්තා. එහි දී කෙන් රදර්ෆඩ් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් වටිනා ලකුණු 105ක් ලබාගත්තා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 327ක් ලබාසිටිය දී ඉනිම අත්හිටවනු ලැබුවා. 

එදා ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ රොෂාන් මහානාම අලංකාර හතරේ පහරවල් 18ක් එල්ල කරමින් ලකුණු 153ක් ලබාගෙන සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත් වුණා. එම ලකුණු ප්‍රමාණය මොරටුව පිටියේ පැවති ටෙස්ට් තරගයක දී යම් පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී තිබෙනවා.

මහානාමගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (වේදනාත්මක සමුගැනීම)

එක්දින කණ්ඩායමට නායකත්වය ලබා දීම 

1994 වසරේ සාජා නුවර පැවැත්වුණු ඔස්ට්‍රල්-ඒෂියා තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් අරවින්ද ද සිල්වා අසමත් වුණා. එම නිසා ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවා. ඒ පිළිබඳව විරෝධය දැක්වූ අර්ජුණ රණතුංග කණ්ඩායමෙන් ඉල්ලා අස් වුණා. ඔහුව අනුගමනය කළ මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සහ දුලිප් සමරවීර යන ක්‍රීඩකයින් ද කණ්ඩායමෙන් ඉල්ලා අස් වුණා. 

නායක අර්ජුණ සහ උප නායක අරවින්ද කණ්ඩායමෙන් ඉවත් වුණු නිසා ඔස්ට්‍රල්-ඒෂියා තරගාවලිය සඳහා නව නායකයෙකු තෝරාගැනීමට අවශ්‍ය වුණා. ඒ වන විට කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් කිහිප දෙනා අතුරින් කෙනෙකු වුණු මහානාමට එම අවස්ථාව හිමි වුණා. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ මහානාම නායකත්වය ලබාදුන් පළමු තරගයේ දී ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් සමග කාසියේ වාසිය උරගා බලන අවස්ථාව යි.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාව (වේදනාත්මක සමුගැනීම)

අවශ්‍යම අවස්ථාවේ දී ක්‍රියාත්මක වීම 

1996 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යි. එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 35කට දැවීගියේ ඊඩ්න් ගාඩ්න් පිටියට පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් අමන්දානන්දයට පත්කරමින්. ශ්‍රී ලංකා කණ්ඩායම එසේ අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියට පිවිසි මහානාම අනිත් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි අරවින්දට උපරිම සහයෝගය ලබාදුන්නා. 

පන්දු 47කින් වේගවත් ලකුණු 66ක් ලබාගත් අරවින්දගේ නික්මයාමෙන් පසුව සංයමයෙන් පන්දුවට පහරදුන් මෙම පිතිකරුවා එක් අවස්ථාවක ආබාධයකට ලක් වුණා. එහි දී ඔහුගේ කෙණ්ඩ පෙරළීම නිසා දිවීමට සහායකයෙකු අවශ්‍ය වුණා. ඉන්දීය නායක අසාරුඩීන් සහායක දුවන්නෙකු ලබාගැනීමට අවස්ථාව ලබාදුන් නිසා මහානාම දිගටම පිතිකරණයේ යෙදුණා. නමුත් ලකුණු 58ක් ලබාසිටිය දී ඔහුගේ ආබාධය දරුණු අතට හැරීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදු වුණා. 

එදා මහානාම පිටියෙන් ඉවත්ව ගියත් අවශ්‍යම අවස්ථාවේ ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම අදටත් පැරණි ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ රැඳී තිබෙනවා. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ එදා මහානාම පිටියෙන් පිටතට රැගෙන ගිය ආකාරය යි.

මහානාම පිටියෙන් පිටතට රැගෙන යාම (විජයග්‍රහණය- රංජන් පරණවිතාන)

ලෝක කුසලානයක පහස විඳගැනීම 

එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක සාමාජිකයෙකු බවට පත්වීම ඕනෑම ක්‍රීඩකයෙකු සිය ක්‍රිකට් ජීවිතය තුළ දී ලබාගන්නා ඉහළම ජයග්‍රහණයක්. රොෂාන් මහානාම ද සිය ක්‍රිකට් ජීවිතය තුළ එම අත්දැකීම ලබාගත්තා. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ මෙම ක්‍රීඩකයා විල්ස් ලෝක කුසලානය සිප ගනිමින් ජයග්‍රහණය සමරන ආකාරය යි.

මහානාම විල්ස් ලෝක කුසලානය සමග (වේදනාත්මක සමුගැනීම)

ලෝක වාර්තාවක කොටස්කරුවෙකු වීම 

1997 වසරේ අගෝස්තු මාසයේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති ඉන්දු-ලංකා ටෙස්ට් තරගය නිමාවට පත්වුණේ වාර්තා කිහිපයක් අලුත් කරමින්. එදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු 952 අදටත් ඕනෑම කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතර රැඳී පවතිනවා. එසේම ජයසූරිය සහ මහානාම දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 576ක සබඳතාවය එම අවධියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුනු ඉහළම සබඳතාවය ලෙසින් සටහන් වුණා. එහි දී ජයසූරිය ලකුණු 340ක් ලබාගන්නා විට මහානාම ලකුණු 225ක් ලබාගත්තා. එය මහානාමගේ ටෙස්ට් දිවිය තුළ ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

එම අවධියේ දී මහානාම ලකුණු අතර නොසිටීම නිසා තේරීම් කමිටුවේ සිටි සාමාජිකයෙකු ඔහුව අවඥාවට ලක් කර තිබුණා. එවැනි අවස්ථාවක දී මහානාම ලකුණු 225ක් ලබාගෙන ඔහුට පිත්තෙන් පිළිතුරු දීම අපූරු සිදුවීමක් වුණා.

ජයසූරිය සහ මහානාම පන්දුවට පහරදෙමින් (Sportstar)

ඉන්දු බිමේ දී දස්කම් දැක්වීම 

1997 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉන්දු-ලංකා එක්දින තරගාවලියක් පැවැත්වුණේ. ඉන්දු බිමේ දී පැවති එම තරගාවලිය 1-1 ලෙස ගෞරවාන්විතව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුණා. එහි දී පිත්තෙන් දස්කම් දැක්වූ මහානාම ඉනිම් 3ක් තුළ ලකුණු 119ක් ලබාගත්තේ 59.50ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින්. ඔහු එම තරගාවලිය තුළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින් තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තා. 

මහානාමට තරගාවලියේ වීරයා සම්මානය හිමිවුණු අවස්ථාව (Sportstar)

කවරයේ ඡායාරූපය- මහානාම 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී (Sportstar)

Related Articles