Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරවින්දගේ එක්දින දිවියේ අමතක නොවන තරගාවලි 9ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුවිශේෂී පිතිකරුවන් අතුරින් අරවින්ද ද සිල්වාට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. 1984-2003 කාල සමය තුළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කළ අරවින්ද නම් සුපිරි පිතිකරුවා එක්දින තරගාවලි රැසක දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එම නිසා 90 දශකයේ දී අප රටට සුවිශේෂී එක්දින තරගාවලි ජයග්‍රහණයන් කිහිපයක් ලබාගැනීමට හැකි වුණා. එක් යුගයක එක්දින පිටියේ ලකුණු මැෂිම බවට පත්ව සිටි මෙම පිතිකරුවා ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වුණා. එදා  අරවින්ද එක්දින පිටිය තුළ දැක්වූ සුවිශේෂී දස්කම් නිසා පැරණි ක්‍රිකට් ලෝලීන් අදටත් ඔහුගේ සුපිරි ඉනිම්  පිළිබඳව වර්ණනා කරනවා. එලෙස එක්දින පිටිය තුළ පතාක යෝධයෙක් වුණු අරවින්දගේ දස්කම් පිළිබඳව වර්තමාන පරපුරට එතරම් අවබෝධයක් නැහැ. එම නිසා මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කරන්නේ  ඔහු විසින් සුපිරි දස්කම් දැක්වූ එක්දින තරගාවලි කිහිපයක් පිළිබඳව යි.

1989 නේරු කුසලාන තරගාවලිය

1989 වසරේ අගභාගයේ දී රටවල් 6ක සහභාගිත්වයෙන් නේරු කුසලාන එක්දින තරගාවලිය පැවැත්වුණේ ඉන්දු බිමේ දී යි. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, සහ ඉන්දියාව යන කණ්ඩායම් සමගින් තරග වැදුණා. එහි දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ කොදෙව්වන්ට එරෙහිව පැවති තරගය පමණ යි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මුල්ම වරට එක්දින තරගයක් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. පහත දැක්වෙන්නේ එම තරග 5 දී අරවින්ද ලකුණු ලබාගත් ආකාරය යි.

එංගලන්තයට එරෙහිව- 80 (89)

කොදෙව්වන්ට එරෙහිව- 1 (2)

ඉන්දියාවට එරෙහිව- 20 (29)

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 96 (107)

පාකිස්ථානයට එරෙහිව- 83 (90)

එදා අරවින්දගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 96 එම අවධියේ දී ඔහු එක්දින ඉනිමක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එදා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට අසමත් වුණත් අරවින්ද තරගාවලියේ තෙවනියට වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා. තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් 5 දෙනා යි මේ.

ඩෙස්මන්ඩ් හේන්ස් (බටහිර ඉන්දීය කොදෙව්)- ලකුණු 366 (ඉනිම් 7)

රිචී රිචඩ්සන් (බටහිර ඉන්දීය කොදෙව්)- ලකුණු 332 (ඉනිම් 7)

අරවින්ද ද සිල්වා (ශ්‍රී ලංකාව)- ලකුණු 280 (ඉනිම් 5)

සලීම් මලික් (පාකිස්ථානය)- ලකුණු 279 (ඉනිම් 7)

ඩීන් ජෝන්ස් (ඕස්ට්‍රේලියාව)- ලකුණු 266 (ඉනිම් 5)

1990 ඉන්දු-ලංකා එක්දින තරගාවලිය

1990 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දීය බිමේ දී පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම යි. නමුත් එම තරගාවලියේ දී පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ අරවින්ද ද සිල්වා ලකුණු 168ක් ලබාගත්තේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්. පහත දැක්වෙන්නේ අරවින්ද එම තරගාවලිය තුළ ලකුණු ලබාගත් ආකාරය යි.

පළමු එක්දින තරගය- 104 (124)

දෙවන එක්දින තරගය- 1 (4)

තෙවන එක්දින තරගය- 63 (70)*

මෙම තරගාවලියේ පළමු එක්දින තරගයේ දී අරවින්ද සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්තා කළා. එසේම රොයි ඩයස්ගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් ලබාගත් පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. 

තෙවන එක්දින තරගයේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඉනිම (Sportstar)

1992 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය

1987-1992 කාල සමය තුළ මෙරට කිසිදු ක්‍රිකට් තරගයක් නොපැවැත්වුණේ රට තුළ පැවති භීෂණකාරී වාතාවරණය නිසා යි. නමුත් අප රට තුළ පැවති වසර 5ක ක්‍රිකට් ඉඩෝරය නිමාකරමින් 1992 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා. එදා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගාවලියේ ජය 2-1ක් ලෙසින් හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වුණු අරවින්ද තරග 3කදී ලකුණු 207ක් ලබාගත්තා.

පළමු එක්දින තරගය- 105 (105)

දෙවන එක්දින තරගය- 63 (61)

තෙවන එක්දින තරගය- 39 (50)

එදා අරවින්දගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 105 ශ්‍රී ලංකා පිතිකරුවෙකු මව්බිමේ දී ලබාගත් මුල්ම එක්දින ශතකය ලෙසින් වාර්තා අතරට එකතු වුණා.

1994 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය

1994 වසරේ දී සිම්බාබ්වේ දේශයේ පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එය ශ්‍රී ලංකාව විදෙස් රටක දී ලබාගත් මුල්ම එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වුණා. එම තරගාවලියේ දී හොඳින් ලකුණු අතර සිටි අරවින්ද ලකුණු 239ක් ලබාගත්තේ 239.00ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්.

පළමු එක්දින තරගය- 35 (24)

දෙවන එක්දින තරගය- 97 (89)*

තෙවන එක්දින තරගය- 107 (100)*

1996 ලෝක කුසලාන තරගාවලිය

1996 ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය අතුරින් එකක්. එම තරගාවලිය පුරාම ලකුණු අතර සිටි අරවින්ද තරග 6ක් තුළ ලකුණු 448ක් ලබාගත්තා. එහි දී ඔහු කෙන්යාවට එරෙහිව ලබාගත් ලකුණු 145 ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෝක කුසලාන තරගයක දී ලබාගත් මුල්ම ශතකය ලෙස වාර්තා අතරට එක් වුණා. එසේම ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා  කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පන්දු 47කින් ලබාගත් ලකුණු 66 විශිෂ්ට ගණයේ ඉනිමක් වුණා. එසේම අවසන් තරගයේ දී ඔහු නොදැවී ලබාගත් ලකුණු 107 ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. එය ලෝක කුසලාන අවසන් තරගයක දී ලකුණු හඹා ගිය අවස්ථාවක වාර්තා වුණු එකම ශතකය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී පවතිනවා. එදා අරවින්ද අවසන් පූර්ව තරගය සහ අවසන් තරගය යන තරග 2 දීම තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා. ලෝක කුසලාන ඉතිහාසය තුළ එම දස්කම දක්වා තිබෙන්නේ අරවින්ද ද සිල්වා, මොහින්දර් අමර්නාත්, සහ ෂේන් වෝන් යන ක්‍රීඩකයන් තිදෙනා පමණ යි. පහත දක්වා ඇත්තේ අරවින්ද තරගාවලිය තුළ දී ලකුණු ලබාගත් ආකාරය යි.

සිම්බාබ්වේට එරෙහිව- 91 (86)

ඉන්දියාවට එරෙහිව- 8 (14)

කෙන්යාවට එරෙහිව- 145 (115)

එංගලන්තයට එරෙහිව- 31 (30)- අර්ධ අවසන් පූර්ව තරගය 

ඉන්දියාවට එරෙහිව- 66 (47)- අවසන් පූර්ව තරගය 

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 107 9124)*- අවසන් තරගය 

අවසන් තරගයේ දී ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

1996 සිංගර් ලෝක ශූරතා සිවුකොන් තරගාවලිය 

1996 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වුණා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව තරගාවලියේ ශූරතාවය හිමිකරගන්නා විට අරවින්ද ද සිල්වා සුපිරි පිතිහරඹයක නිරත වුණා. එහි දී පන්දුවට පහරදුන් අවස්ථාවන් 4 දීම නොදැවී සිටි අරවින්ද ලකුණු 334ක් ලබාගැනීමට සමත් වුණේ තරගාවලියේ සම්මානය ද හිමිකර ගනිමින්. පහත දක්වා තිබෙන්නේ අරවින්ද තරගාවලිය තුළ දී පන්දුවට පහරදුන් ආකාරය යි.

ඉන්දියාවට එරෙහිව- 49 (76)*

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 83 (95)*

සිම්බාබ්වේට එරෙහිව- 127 (123)*

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 75 (64)*- අවසන් තරගය

අරවින්ද සහ මහානාම ඕස්ට්‍රේලියාවට එරෙහිව මූලික වටයේ තරගයේ දී (Sportstar)

1997 සිංගර් අකායි කුසලානය 

1997 වසරේ අප්‍රේල් මාසයේ සාජා නුවර දී පැවති අකායි කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වුණා. එම තරගාවලිය පුරාවටම පිත්තෙන් දස්කම් දැක්වූ අරවින්ද තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලබාගත් ලකුණු 410 නිසා ශ්‍රී ලංකාවට ශූරතාවට  දිනාගැනීමට හැකි වුණා. එසේම අරවින්ද තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තා. පහත දක්වා තිබෙන්නේ තරගාවලිය පුරා ඔහුගේ පිත්ත ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳව යි.

සිම්බාබ්වේට එරෙහිව- 60 (81)

පාකිස්ථානයට එරෙහිව- 97 (137)

පාකිස්ථානයට එරෙහිව- 134 (131)

සිම්බාබ්වේට එරෙහිව- 32 (61)

පාකිස්ථානයට එරෙහිව- 87 (124)*- අවසන් තරගය 

1997 ඉන්දු-ලංකා එක්දින තරගාවලිය

1997 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවති ඉන්දු-ලංකා එක්දින තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම තරගාවලියේ දෙවන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙවරක් පැවැත්වීමට සිදු වුණා. ඒ අනුව ඉනිම් 4ක දී ලකුණු 212ක් ලබාගත් අරවින්ද තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වුණා. 

පළමු එක්දින තරගය- 34 (34)

දෙවන එක්දින තරගය- 52 (49)*

තෙවන එක්දින තරගය- 22 (29)

තෙවන එක්දින තරගය- 104 (117) (දෙවන වරට පැවැත්වීම)

අරවින්ද තෙවන එක්දින තරගයේ වීරයා සම්මානය දිනාගනිමින් (ක්‍රිකට් ලොව)

1998 සිංගර් අකායි නිදහස් කුසලාන තරගාවලිය

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති මෙම තරගාවලිය සඳහා නවසීලන්තය, ශ්‍රී ලංකාව, සහ ඉන්දියාව යන රටවල් සහභාගි වුණා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය පරාජය වුණත් අරවින්ද ද සිල්වා ලකුණු 368ක් ලබාගත්තේ තරගාවලියේ වීරයා බවට පත්වෙමින්. එම තරගාවලිය තුළ අරවින්ද ලකුණු ලබාගත්තේ පහත දැක්වෙන ආකාරයට යි.

ඉන්දියාවට එරෙහිව- 97 (119)

නවසීලන්තයට එරෙහිව- 42 (46)

ඉන්දියාවට එරෙහිව- 62 (86)

නවසීලන්තයට එරෙහිව- 62 (83)

ඉන්දියාවට එරෙහිව- 105 (94)- අවසන් තරගය 

අරවින්ද ඉන්දියාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- අරවින්ද 1990 ඉන්දු-ලංකා තරගාවලියේ වීරයා සම්මානය දිනාගනිමින් (sportstar)

Related Articles