Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම

එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයක් සඳහා සුදුසුකම් ලැබීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තරගාවලිය තුළ දී  ඕනෑම කණ්ඩායමකට එම කඩයිම වෙත ළඟාවිය හැක්කේ සැලකිය යුතු තරම් දස්කම් පෙන්නුවොත් පමණ යි. එම නිසාම එලෙස අසීරුවෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන ඕනෑම කණ්ඩායමක සිහිනය වන්නේ ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට යි. නමුත් එම සිහිනය සැබෑ කරගැනීමට දක්ෂතාවය පමණක් නොව වාසනාවත් අවශ්‍ය යි. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ  එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරග 6ක් පරාජයට පත්වුණු අවාසනාවන්ත නවසීලන්ත කණ්ඩායම එම තරග පරාජය වුණු ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

බර්නාඩ් ජූලියන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා කොදෙව්වන් හමුවේ පරාජය වුණු 1975 අවසන් පූර්ව තරගය 

1975 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර කෙනිංටන් ඕවල් පිටියේ දී පැවැත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය පරාජය වීම නිසා ප්‍රබල කොදෙව් පන්දු බලඇණිය හමුවේ මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවුණා. එහිදී කිවියන්ට යම් අස්වැසිල්ලක් ගෙනදුන් නායක ග්ලේන් ටර්නර් සහ ජෙෆ් හොවාර්ත් 2 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 90ක සබඳතාවය නිසා නවසීලන්ත ලකුණු පුවරුව 98/1ක් බවට පත්වුණා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඇන්ඩි රොබට්ස්  ඔවුන් දෙදෙනාව දවාගැනීම නිසා නවසීලන්ත ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණා. එහිදී රොබට්ස් ලබාදුන් එම පන්නරයෙන් සවිමත් වුණු බර්නාඩ් ජූලියන් නවසීලන්ත මැදපෙළ පිතිකරුවන්ව දවාගනිමින් නවසීලන්ත ඉනිම පන්දුවාර 52.2ක් තුළ ලකුණු 158කට සීමා කළා. ඉන්පසුව ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 8 දී බිඳ වැටුණත් ගෝඩ්න් ග්‍රිනිජ් සහ ඇල්වින් කලිචරන් දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 125ක සබඳතාවය කිවියන්ගේ සිහින සුන් කළා. නමුත් එම සබඳතාවය බිඳවැටීමෙන් අනතුරුව රිචර්ඩ් කොලිංග් කඩුලු කිහිපයක් ඉක්මනින් දවාගත්තත් කොදෙව්වන් පන්දුවාර 40.1 තුළ කඩුලු 5ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය – 158(52.2), (ජෙෆ් හොවාර්ත්-51, ග්ලේන් ටර්නර්-36, ජූලියන්-27/4, හෝල්ඩර්-30/3)

බටහිර ඉන්දීය කොදෙව් – 159/5(40.1), (ඇල්වින් කලිචරන්-72, ගෝර්ඩන් ග්‍රිනිජ්-55, කොලිංග්-28/3)

තරගයේ වීරයා- ඇල්වින් කලිචරන් 

බර්නාඩ් ජූලියන් විසින් ජෝන් මොරිසන්ව දවාගත් අවස්ථාව (gettyimages)

ග්‍රැහැම් ගුච්ගේ අගනා ඉනිම නිසා එංගලන්තය හමුවේ පරාජය වුණු 1979 අවසන් පූර්ව තරගය 

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති මෙම අවසන් පූර්ව තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 98ක් තුළ දැවී ගියා. එහිදී කඩාවැටීමට ගිය එංගලන්ත ඉනිම සවිමත් කළ ග්‍රැහැම් ගුච් හයේ පහර 3ක් සමගින් පන්දු 84කින් ලබාගත් ලකුණු 71 නිසා නියමිත පන්දුවාර 60 අවසානයේ දී එංගලන්ත කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 221ක් ලබාගත්තා. අනතුරුව ලකුණු 222ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 104ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා. නමුත් එම අවස්ථාවේ ලකුණු 69ක් ලබා සිටි ජෝන් රයිට් දුවද්දී දැවීයාම, සහ මයික් හෙන්ඩ්‍රික්ගේ දක්ෂ පන්දු යැවීම නිසා නියමිත පන්දුවාර 60 අවසානයේ දී කිවියන්ට ලබාගැනීමට හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 212ක් පමණ යි.

කෙටි ලකුණු පුවරුව 

එංගලන්තය – 221/8(60), (ග්‍රැහැම් ගුච්-71, මයික් බෙයාර්ලි-53, ඩෙරෙක් රැන්ඩල්-42*, මැකේනි-46/2)

නවසීලන්තය – 212/9(60), (ජෝන් රයිට්-69, ග්ලේන් ටර්නර්-30, මයික් හෙන්ඩ්‍රික්-55/3)

තරගයේ වීරයා- ග්‍රැහැම් ගුච් 

නවසීලන්ත කඩුල්ලක් දවාගැනීම නිසා සතුටට පත්ව සිටින බෝයිකොට් සහ ටේලර්(gettyimages)

ඉන්සාමාම්ගේ වේගවත් ඉනිම නිසා පාකිස්ථානය හමුවේ පරාජය වුණු 1992 අවසන් පූර්ව තරගය 

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ දී පැවති මෙම අවසන් පූර්ව තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ  නවසීලන්ත කණ්ඩායම යි. එහිදී නායක මාටින් ක්‍රෝ පන්දු 83කින් ලබාගත් වේගවත් ලකුණු 91 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 262ක් දවාගත්තා. අනතුරුව ලකුණු 263ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 35ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබාසිටියා. එම අවස්ථාව වන විට ඔවුන්ට  ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 8ක පමණ වේගයක් රඳවා ගැනීමට අවශ්‍ය වුණා. නමුත් තීරණාත්මක එම අවස්ථාවේ පන්දු 37කින් ලකුණු 60ක් ලබාගත් ඉන්සාමාම්ගේ වේගවත් ඉනිම නිසා පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 6ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකිවුණා..

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය – 262/7(50), (මාටින් ක්‍රෝ-91, රදර්ෆඩ්-50, වසීම් අක්‍රම්-40/2 ,මුෂ්ටාක් අහමඩ්-40/2)

පාකිස්ථානය – 264/6(49), (ඉන්සාමාම් උල් හක්-60, මියැන්ඩාඩ්-57*, විලී වොට්සන්-39/2)

තරගයේ වීරයා- ඉන්සාමාම් උල් හක් 

ඉන්සාමාම්ගේ වේගවත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

අන්වර් සහ වස්තිගේ දැවැන්ත සබඳතාවය නිසා පාකිස්ථානය හමුවේ පරාජය වුණු 1999 අවසන් පූර්ව තරගය 

1999 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පාකිස්ථානය සහ නවසීලන්තය අතර මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වුණා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50හේ සීමාව පසු කිරීමට පාකිස්ථානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. එම නිසාම ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලබාගැනීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 241ක් පමණ යි. සිය පන්දු යවන්නන් ඔවුන්ට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමෙන් අනතුරුව ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පාකිස්ථානු ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියා. එහිදී සයිඩ් අන්වර් සහ වජතුල්ලා වස්ති පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 194ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවේ නවසීලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින්. එම දැවැන්ත සබඳතාවයෙන් පසුව වස්ති ලකුණු 84කට දැවීගියත් අන්වර් නොදැවී ලකුණු 113ක් ලබාගනිමින් පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 47.3ක් අවසානයේ දී යි.

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය – 241/7(50), (රොජර් ට්වෝස්-46, ක්‍රිස් කෙයාන්ස්-44*, අක්තාර්-55/3, රසාක්-28/2)

පාකිස්ථානය – 242/1(47.3), (සයිඩ් අන්වර්-113*, වජතුල්ලා වස්ති-84, ක්‍රිස් කෙයාන්ස්-33/1)

තරගයේ වීරයා- ෂොයිබ් අක්තාර් 

අන්වර් සහ වස්ති පන්දුවට පහරදෙමින් (gettyimages)

මහේලගේ විශිෂ්ඨ ශතකය නිසා ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුණු 2007 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය 

කිංග්ස්ටන් නුවර සැබීනා පාක් පිටියේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පන්දු 109කින් ලබාගත් විශිෂ්ඨ ලකුණු 115 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 289ක් ලබාගැනීමට ඔවුන්ට හැකිවුණා. ඉන් පසුව ලකුණු 290ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ප්‍රබල ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවාර 41.4ක දී සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 208ක් පමණ යි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව-289/5(50), (මහේල ජයවර්ධන-115, උපුල් තරංග-73, ජේම්ස් ෆ්රෑන්ක්ලීන්-46/2)

නවසීලන්තය – 208(41.4), (පීටර් ෆුල්ටන්-46, ස්කොට් ස්ටයිරිස්-37, මුරලිදරන්-31/4, දිල්ෂාන්-22/2)

තරගයේ වීරයා-මහේල ජයවර්ධන

Captionමහේලගේ ශතකයේ එක් අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකාව හමුවේ පිට පිටම දෙවන වරටත් පරාජය වුණු 2011 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය 

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී මෙම තරගය පැවැත්වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ නවසීලන්ත කණ්ඩායම යි. එහිදී අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංගගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ අසරණ වුණු ඔවුන්ට පන්දුවාර 48.5ක දී සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුනේ ලකුණු 217ක් පමණ යි. ලකුණු 218ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් සහ සංගක්කාර දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 120ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 160/1 බවට පත්වුණා. නමුත්  එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු කිවියන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 25ක් තුළ දවාගත්තේ තරගය දෙපිලටම විවෘත කරමින්. එහිදී නවසීලන්ත කණ්ඩායම දෙසට දෝලනය වුණු එම තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවූ මැතිව්ස් සහ තිලාන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 47.5ක් අවසානයේ දී යි.

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය – 217(48.5), (ස්ටයිරිස්-57, රොස් ටේලර්-36, අජන්ත මෙන්ඩිස්-35/3, මාලිංග-55/3)

ශ්‍රී ලංකාව – 220/5(47.5), (තිලකරත්න දිල්ෂාන්-73, කුමාර් සංගක්කාර-54, ටිම් සවුති-57/3)

තරගයේ වීරයා-කුමාර් සංගක්කාර

විලියම්සන්ව දවාගත් මාලිංග (gettyimages)

කවරයේ ඡායාරූපය-2011 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථාව (gettyimages)

Related Articles