Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී පායන අලුත් තරු

ඕනෑම පාපන්දු ලෝක කුසලානයක දී අලුතෙන් තරු පායයි. පසුගිය පාපන්දු ලෝක කුසලාන තරඟමාලා කිහිපයේ දී පාපන්දු ලෝකයට පෑයූ තරු මේ වනවිට පාපන්දු ලෝකයෙහි සිය ආධිපත්‍ය පතුරවමින් සිටියි. එසේනම් ඉදිරියේ දී පාපන්දු ලෝකයෙහි සිය ආධිපත්‍ය පැතිරවීම සඳහා, ජූනි මස 14 වැනි දින ආරම්භ වන මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ජාත්‍යාන්තර පාපන්දු ලෝකයට පායන අලුත් තරු 10 ක් පිළිබඳව අද අපි “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් සාකච්ඡා කරමු. මේ දක්වා එකදු පාපන්දු ලෝක කුසලානයකට හෝ සහභාගී නොවූ පාපන්දු තරු 10 ක් පිළිබඳව මෙහිදී අපි අවධානය යොමු කරමු.

  1. හැරී කේන්

”හැරී කේන්” (fanatik.com.tr)

24 හැවිරිදි එංගලන්තයේ හැරී කේන් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී සුවිශේෂී දක්ෂතා දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැක. 2015 වසරේ සිට එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන හැරී කේන් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් තරඟ 23 කදී ගෝල 12 ක් වාර්තා කිරීමට සමත්වී තිබේ. ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන හැරී කේන්, ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායම නියෝජනය කරමින් 2015/16 සහ 2016/17 යන තරඟ වාර දෙකේ දීම එංගලන්තයේ පාපන්දු ලීගය වන ප්‍රිමියර් ලීගයෙහි වැඩිම ගෝල ලාභියා බවට පත් වූයේය. “ද ගාර්ඩියන්” වෙබ් අඩවිය මඟින් පසුගිය වසරේ ලොව හොඳම 5 වැනි පාපන්දු ක්‍රීඩකයා ලෙසින් හැරී කේන් ව නම් කරන ලදී.

  1. ලිරෝයි සනේ

“ලිරෝයි සනේ” (manchestereveningnews.co.uk)

ජර්මනියේ ලිරෝයි සනේ නියෝජනය කරන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමයි. 2017/18 තරඟ වාරයේ එංගලන්ත ප්‍රිමියර් ලීගයේ ජයග්‍රහණය මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට දිනා දීමට මහඟු දායකත්වයක් දැක්වූ සනේ 2017/18 තරඟ වාරයේ දී එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් අතුරින් “හොඳම තරුණ ක්‍රීඩකයා” සම්මානයෙන් පිදුම් ලැබීය. 22 හැවිරිදි ඉදිරිපෙළ ක්‍රීඩක සනේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ජර්මනිය වෙනුවෙන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරනවාට සැක නැත.

  1. රොබර්ටෝ ෆිර්මිනෝ

“රොබර්ටෝ ෆිර්මිනෝ” (zeenews.india.com)

බ්‍රසීලයේ රොබර්ටෝ ෆිර්මිනෝ මෙවර සහභාගී වන්නේ ඔහුගේ පළමු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියටයි. ඉදිරිපෙළ සහ මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කළ හැකි 26 හැවිරිදි ෆිර්මිනෝ 2014 වසරේ සිට මේ දක්වා බ්‍රසීල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තරඟ 19 කදී ගෝල 5 ක් රැස් කරගැනීමට සමත් වී තිබේ. එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායම නියෝජනය කරන ෆිර්මිනෝ බ්‍රසීල ක්‍රීඩකයෙකු විසින් එක් තරඟ වාරයකදී වාර්තා කරන ලද වැඩිම ප්‍රිමියර් ලීග් ගෝල සංඛ්‍යාවට ද හිමිකම් කියයි.

  1. ෆිලිප් කුටීනියෝ

“කුටීනියෝ (ඉදිරියෙන්) සහ ආර්ජෙන්ටිනාවේ එවර් බනේගා (දකුණේ) (liverpoolfc.com)

25 හැවිරිදි බ්‍රසීලයේ ෆිලිප් කුටීනියෝ ඉදිරිපෙළ සහ ප්‍රහාරක මැදපෙළ ක්‍රීඩකයෙකු වේ. දුර සිට ගෝල ලබාගැනීමේ හැකියාවත්, ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව ගෝල වාර්තා කිරීමට ඇති හැකියාවත් නිසා මේ වනවිටත් කුටීනියෝ පාපන්දු ලෝකයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වී හමාරයි. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරන කුටීනියෝ ලොව තෙවැනි වැඩිම මුදලකට හුවමාරු වූ ක්‍රීඩකයාගේ වාර්තාවට ද හිමිකම් කියයි. ඒ එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායමේ සිට ස්පාඤ්ඤයේ බාර්සිලොනා කණ්ඩායම වෙත මෙම වසරේ ජනවාරි මස යූරෝ මිලියන 160 ක මුදලකට හුවමාරු වීමත් සමඟයි.

2010 වසරේ සිටම බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළද 2014 වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයේ දී බ්‍රසීල කණ්ඩායමේ දොරටු කුටීනියෝ හට විවර නොවීය. ඒ පිළිබඳව එම වකවානුවේ දී ක්‍රීඩා ලෝලීන් සිය නොසතුට පළ කරන ලදී. කෙසේවෙතත් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ස්ථීර වශයෙන්ම බ්‍රසීලය නියෝජනය කරන කුටීනියෝ මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී පායන තරු අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බව නොරහසකි.

  1. රොබර්ට් ලෙවන්ඩොව්ස්කි

“රොබර්ට් ලෙවන්ඩොව්ස්කි” (Fuente/Getty)

පෝලන්ත පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරන රොබර්ට් ලෙවන්ඩොව්ස්කි මේ දක්වා පිට පිට 7 වතාවක් වසරේ පෝලන්ත පාපන්දු ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා තිබේ. 29 හැවිරිදි ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන ලෙවන්ඩොව්ස්කි 2008 වසරේ සිට පෝලන්ත පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් තරඟ 93 කදී ගෝල 52 ක් රැස් කරගෙන ඇත. ජර්මනියේ බයර්න් මියුනික් කණ්ඩායමේ ගෝල මැෂිම වන ලෙවන්ඩොව්ස්කි 2018 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් පැවති යුරෝපානු තේරීම් තරඟ වලදී ගෝල 16 ක් ලබා වැඩිම ගෝල ලාභියා බවට ද පත් වූයේය. බොහෝ ක්‍රීඩා ලෝලීන් ආදරය කරන ක්‍රීඩකයෙකු වන ලෙවන්ඩොව්ස්කි මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී නිසැක වශයෙන්ම විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇත.

  1. මොහොමඩ් සලා

“ඊජිප්තුව මෙවර පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ මොහොතේ දී ක්‍රීඩා ලෝලීන් විසින් සලාව කරමත තබාගත් අවස්තාව” (gruporadialcentro.com.ar)

ඊජිප්තුවේ මොහොමඩ් සලා මේ දක්වා ඊජිප්තුව වෙනුවෙන් තරඟ 57 කදී ගෝල 33 ක් ලබාගැනීමට සමත් වී තිබේ. ඉදිරිපෙළ ක්‍රීඩක මොහොමඩ් සලා නියෝජනය කරන්නේ එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායම වන අතර එංගලන්ත ප්‍රිමියර් ලීග ඉතිහාසයේ එක් තරඟ වාරයක් තුළ වැඩිම ගෝල ලාභියා වීමට මෙම තරඟ වාරයේ දී සලා ට අවශ්‍යව ඇත්තේ තවත් එක් ගෝලයක් පමණි. (මෙහි සම වාර්තාවට හිමිකම් කියන්නේ ගෝල 31 බැගින් රැස් කරගෙන ඇති ඇලන් ශියරර් 1995/96, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2007/08 සහ ලුයිස් සුවාරෙස් 2013/14 ය. සලා ද 2017/18 තරඟ වාරය තුළ මේ දක්වා ප්‍රිමියර් ලීගයෙහි ගෝල 31 ක් රැස් කරගෙන ඇති අතර මෙවර තරඟ වාරයේ දී ලිවර්පූල් කණ්ඩායමට තවත් තරඟ 4 ක් ඉතිරිව තිබේ. එම තරඟ 4 තුළදී සලා ගෝලයක් ලබා ගතහොත් මෙම ලැයිස්තුවෙහි මුල් තැනට පත්වීමට සලාට හැකිවේ.)

25 හැවිරිදි සලා 2017/18 තරඟ වාරයේ දී එංගලන්තයේ ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කරන හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමිකරගන්නා ලදී. 2017 වසරේ දී ‘වසරේ අප්‍රිකානු ක්‍රීඩකයා” ලෙසින්ද සම්මානයට පාත්‍ර වූ සලා 2018 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් පැවති අප්‍රිකානු තේරීම් තරඟ වලදී වැඩිම ගෝල ලාභියා (සම) බවට ද පත් වූයේය. නමුත් ඊජිප්තු කණ්ඩායම එතරම් ශක්තිමත් කණ්ඩායමක් නොවන බැවින් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී වැඩි තරඟ ප්‍රමාණයක් සලා ට ලැබේ යැයි අනුමාන කළ නොහැකි නමුත් ලැබෙන තරඟ වලදී සලා සිය සුපුරුදු දක්ෂතා දක්වනු ඇති බවනම් බොහෝ ක්‍රීඩා ලෝලීන් අනුමාන කරන කරුණක් වේ.

  1. ඉස්කෝ

“ඉස්කෝ” (Aitor Alcalde/Getty Images)

ස්පාඤ්ඤයේ ප්‍රහාරක මැදපෙළ ක්‍රීඩක ඉස්කෝ මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ජාත්‍යාන්තර පාපන්දු ලෝකයට පායන තරුවක් වනු ඇත. 2013 වසරේ සිට ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඉස්කෝ එහිදී තරඟ 26 ක් තුළ ගෝල 10 ක් රැස් කර තිබේ. පන්දුව තවත් ක්‍රීඩකයෙකුට ලබාදීමේ දී (pass) වැඩි දක්ෂතා පෙන්නුම් කරන මෙම 26 හැවිරිදි ක්‍රීඩකයාගේ සාර්ථක පන්දුව ලබාදීමේ (passing accuracy) ප්‍රතිශතය 90% ක ඉතා ඉහළ අගයක් ගනී. ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ඉස්කෝ පසුගිය චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉතාලියේ යුවෙන්ටස් (Juventus) කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරඟයේ දී 100% සාර්ථකව අනෙකුත් ක්‍රීඩකයින්ට පන්දුව ලබා දී තිබේ.

  1. කිලියන් එම්බැපේ

“කිලියන් එම්බැපේ ස්පාඤ්ඤට එරෙහි තරඟයක දී “ (tarafdari.com)

තවමත් 19 හැවිරිදි ප්‍රංශයේ කිලියන් එම්බැපේ ලොව දෙවැනි වැඩිම මුදලකට කණ්ඩායම් දෙකක් අතර හුවමාරු වූ පාපන්දු ක්‍රීඩකයා වීමේ වාර්තාවට හිමිකම් කියයි. ඒ පසුගිය වසරේ දී මොනකෝ කණ්ඩායමේ සිට ප්‍රංශයේ පැරිස් සේන්ට් ජර්මාන් (PSG) කණ්ඩායම වෙත යූරෝ මිලියන 180 ක මුදලකට එම්බැපේ හුවමාරු වීමත් සමඟයි. (මෙම මුදල ගෙවීමට නියමිතව ඇත්තේ මෙම වසරේ දී ය. ලොව වැඩිම මුදලකට හුවමාරු වූ පාපන්දු ක්‍රීඩකයා වන්නේ බ්‍රසීලයේ නෙයිමාර් ය. පසුගිය වසරේ දී නෙයිමාර් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ සිට ප්‍රංශයේ PSG කණ්ඩායම වෙත හුවමාරු වූයේ යූරෝ මිලියන 222 ක ඇති දැවැන්ත මුදලකටය.)

බොහෝ විචාරකයින් හිටපු බ්‍රසීල සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ සමඟින් එම්බැපේව සසඳන අතර මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම තරුණ ක්‍රීඩකයා ට හිමි සම්මානය දිනාගැනීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙසින් ද ඉදිරිපෙළ ක්‍රීඩක එම්බැපේ සැලකිය හැක.

  1. ගේබ්‍රියල් හේසුස්

“ගේබ්‍රියල් හේසුස්” (gilabola.com)

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා එම්බැපේ හා සටනක් දීමට සිටින ප්‍රධානම ක්‍රීඩකයා ලෙසින් 21 හැවිරිදි බ්‍රසීලයේ ගේබ්‍රියල් හේසුස් නම් කළ හැක. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන හේසුස් 2016 වසරේ සිට බ්‍රසීල පාපන්දු කණ්ඩායම නියෝජනය කර ඇති අතර එහිදී තරඟ 15 කදී ගෝල 9 ක් රැස් කරගෙන තිබේ. එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරන හේසුස් මෙවර ප්‍රිමියර් ලීගය මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට දිනා දීමට ද ( තරඟ කිහිපයක් ඉතිරිව තිබියදීම මෙවර ප්‍රිමියර් ලීගය ජයග්‍රහණය කිරීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට හැකිවිය.) විශාල වැඩ කොටසක් කළ ක්‍රීඩකයෙකි.

  1.  ටිමෝ වර්නර්

“ටිමෝ වර්නර්” (sports.tv5monde.com)

22 හැවිරිදි ජර්මනියේ ටිමෝ වර්නර් නියෝජනය කරන්නේ ජර්මනියේ ආර්.බී. ලෙප්සිග් කණ්ඩායමයි. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන වර්නර් මේ දක්වා තරඟ 12 කදී ජර්මනිය නියෝජනය කර ඇති අතර එහිදී ගෝල 7 ක් ලබාගැනීමට වර්නර්ට හැකිවී තිබේ. පසුගිය වසරේ පැවති ෆිෆා කන්ෆෙඩරේෂන්ස් කුසලානයේ දී වැඩිම ගෝල ලාභීන් අතර සම තැන පසුවූ වර්නර් එම කුසලානය ජර්මනියට ජයග්‍රහණය කර දීමට ප්‍රමුඛස්ථානය ගත් ක්‍රීඩකයෙකි. පසුගිය වතාවන් කිහිපයේ දී පැවති පාපන්දු ලෝක කුසලාන වලදී ජර්මනිය බොහෝ අලුත් තරු සොයාගත් අතර 2002 වසරේ දී මිරස්ලෝව් ක්ලෝස, 2006 වසරේ දී ලූකස් පොඩොල්ස්කි, 2010 වසරේ දී තෝමස් මුලර් සහ 2014 වසරේ දී මාරියෝ ගොට්සේ එලෙස ජර්මනිය විසින් සොයාගත් තරු කිහිපයකි. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වන මිරස්ලෝව් ක්ලෝසගෙන් හිස් වූ අඩුව පිරවීමට ජර්මානු කණ්ඩායමට එක් වී සිටින වර්නර් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී පාපන්දු ලෝකයට පායන අලුත් තරුවක් වනවාට කිසිදු සැකයක් නැත.

Cover – Getty Images

Related Articles