Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර් සමාජ පළමුපෙළ තරගාවලියේ දී කැපී පෙණුනු යොවුන් පිතිකරුවන් 5 දෙනෙක්

පසුගියදා අවසන් වුණු ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමුපෙළ ඒ කොටසෙහි ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ඒ එහිදී නවක පිතිකරුවන් කිහිප දෙනෙකුගේම දක්ෂතා හොඳින් ප්‍රකට වීම නිසා යි. ජාතික කණ්ඩායම පරාජය පිට පරාජය ලබන මොහොතක, මේ ප්‍රවණතාවය ඇති වීම ඉතා සුභවාදී ලකුණක් බැව් ක්‍රිකට් විචාරකයින් පවසනවා. මෙලෙස දීප්තිමත් අනාගතයක පෙර ලකුණු පෙන්වූ යොවුන් ක්‍රීඩකයින් 5 දෙනෙක් ඔබ හමුවට ගෙන එන්නට අපි අදහස් කළා.

ඕෂධ ප්‍රනාන්දු

Sameera Peiris/ Sportsphotography.lk

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන 26 හැවිරිදි ඕෂධ ප්‍රනාන්දු මෙවර තරගාවලියෙහි වැඩිම කතාබහට ලක් වූ ක්‍රීඩකයා යි. තරග 9ක් තුළ ඉනිම 16ක් ක්‍රීඩා කරමින් ලකුණු 1181 ලබාගැනීමට ඔහු සමත් වූ අතර ඊට ශතක 6ක් හා අර්ධශතක 4ක් ඇතුළත් වුණා. තරගාවලිය තුළ ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 73.81ක් වූ අතර උපරිම ලකුණු සංඛ්‍යාව වූයේ 234ක්. මේ දක්ෂතා නිසාම එළැඹෙන දකුණු අප්‍රිකා සංචාරයේ ටෙස්ට් කණ්ඩායම සඳහාත් ඔහු නම් කර තිබෙනවා. ඕෂධ මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ ආදි සිසුවෙක්.

පැතුම් නිස්සංක

dailynews.lk

ශ්‍රී ලාංකීය ක්‍රිකට් අඹරේ නැගී එන දීප්තිමත්ම තාරකාවක් ලෙස හැඳින්වෙන පැතුම් නිස්සංක නියෝජනය කරන්නේ එන්.සී.සී ක්‍රිකට් කණ්ඩායම යි. මෙවර තරගවාරයේ දී තරග 7 කට පමණක් සහභාගී වූ ඔහු එහිදී ඉනිම 13ක් ක්‍රීඩා කොට ලකුණු 1088ක් ලබා තිබෙනවා. මෙහිදී ඔහු ශතක හා අර්ධශතක 4 බැගින් රැස්කොට ඇති අතර වැඩිම ලකුණු සංඛයාව වන්නේ නොදැවී ලබාගත් ලකුණු 206කුයි. පැතුම් මෙම තරගවාරයේ 90.66ක සාමාන්‍යයක් රඳවාගෙන ඇති අතර විශේෂත්වය වන්නේ තවමත් 20 වියැති ඔහු මේ වන විට සහභාගී වී ඇති සියළු පළමුපෙළ තරග සලකා බැලීමේ දී 67.97 ක විශිෂ්ට සාමාන්‍යයක් රඳවාගෙන සිටීම යි. ඔහු කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙක් වෙනවා. අයර්ලන්ත ඒ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඇතුළත් වීම නිසා තරග කිහිපයක් ඔහුට මගහැරුණු අතර ඔහු එහිදී ද ද්විත්ව ශතකයක් (217) වාර්තා කළා.

ප්‍රියමාල් පෙරේරා

ThePapare.com

කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන 23 හැවිරිදි ප්‍රියමාල් පෙරේරාත් මෙවර විශිෂ්ට දක්ෂතා දක්වා තිබෙනවා. එ තරග 10ක් තුළ ඉනිම 17ක් ක්‍රීඩා කොට ලකුණු 1001ක් රැස් කරගෙන යි. මේ අතරවාරයේ ශතක 4ක් හා අර්ධශතක 3ක් රැස් කරගැනීමට ඔහු සමත්කම් දක්වා තිබෙන අතර නොදැවී ලබාගත් ලකුණු 206 ඔහුගේ හොඳම දක්ෂතාව වනවා. ප්‍රියමාල් මේ තරගවාරයේ 83.41ක ඉහළ සාමාන්‍යයක් රඳවාගැනීමට සමත් වී තිබෙනවා. ඔහු කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි සිසුවෙක්.

ඇන්ජෙලෝ පෙරේරා

dailymirror.lk

එක්දින හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති 28 හැවිරිදි ඇන්ජෙලෝ පෙරේරා නියෝජනය කරන්නේ එන්.සී.සී ක්‍රීඩා සමාජය යි. මෙවර තරගවාරයේ දී තරග 6ක් පමණක් ක්‍රීඩා කොට එහිදී ඉනිම 12ක් තුළ ලකුණු 882ක් රැස් කරගැනීමට ඔහු සමත් වී තිබෙනවා. ශතක 4ක් හා අර්ධශතක 2ක් එහිදී ඔහු රැස්කරගෙන ඇති අතර රඳවාගත් සාමාන්‍යය 88.20 ක්. වැඩිම ලකුණු සංඛ්‍යාව 231ක් වන අතර විශේෂත්වය වන්නේ එය රැස් කළ තරගයේ අනෙක් ඉනිමේදීත් ඔහු විසින් ද්විත්ව ශතකයක් රැස් කරගැනීමයි. ඇන්ජෙලෝ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙක් වෙනවා.

සචිත්‍ර සේරසිංහ

islandcricket.lk

මේ වන විට 31 වියැති, දමිල ක්‍රීඩා සමාජය නියෝජනය කරන සචිත්‍ර සේරසිංහ කිහිප විටකදීම ජාතික කණ්ඩායමේ දොරටුව අභියසටම පැමිණි ක්‍රීඩකයෙක්. මෙවර තරගවාරයේදීත් තරග 10ක් තුළ ඉනිම 14ක් ක්‍රීඩා කොට ලකුණු 1001ක් ලබාගන්නට ඔහු සමත්ව සිටින්නේ ශතක 5 ක් හා අර්ධශතකයක් සමගිනුයි. වැඩිම ලකුණු 204ක් වන අතර ඔහු මෙවර 83.41ක සාමාන්‍යකට ද උරුමකම් කියනවා. සචිත්‍ර කොළඹ නාලන්දාවේ ආදි සිසුවෙක් වෙනවා. එතරම් යොවුන් ක්‍රීඩකයෙක් නොවුණ ද නිතර දක්ශතා අතර සිටීම නිසා ඕනෑම මොහොතක ජාතික කණ්ඩායමට තේරීමට හැකියාවක් ඇති ක්‍රීඩකයෙක් ලෙස ඔහු හඳුන්වන්නට පිළිවන්.

කවරයේ පින්තූරය- santificarnos.com

Related Articles