Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැලැන්ඩර් වසරක දී වැඩි ම තරග දිනූ වාර්තාව සතු කර ගත් මැක්ස් වර්ස්ටාපන්

දශක ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියනා ෆෝමියුලා වන් ඉතිහාසයේ එක් වර්ෂයක ලබා ගත් ජයග්‍රහණ වාර්තාව ජර්මනියේ මයිකල් ෂූමාකර් සහ ජර්මනියේ ම සෙබස්තියන් වෙටල් සතු වුණා. ඒ දෙදෙනා ම අදියර 13 බැගින් ජයග්‍රහණය කරමින්.එම වාර්තා අභිබවා 2022 වසර අවසන් වීමට තවත් අදියර 2 ක් ඉතිරි ව තිබියදී ම ජයග්‍රහණ 14 ක් සම්පූර්ණ කිරීමට මැක්ස් වර්ස්ටාපන් සමත් වුණා.

සෙබස්තියන් වෙටල් (වමේ) සහ මයිකල් ෂූමාකර් (දකුණේ) – www.skysports.com

අසාර්ථක ආරම්භයක්

2021 වසරේ ද ෆෝමියුලා වන් ලෝක ශූරයා බවට පත් වූ වර්ස්ටාපන් මේ වසරේ දී සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ නෑ. රෙඩ්බුල් ධාවන කණ්ඩායම නියෝජනය කරනා ඔහුට මුල් අදියර තුළදී මෝටර් රථයේ විවිධ අඩුපාඩු වලට මුහුණ දෙන්නට සිදු වුණා.

ඔහුගේ රථය මුහුණ පෑ කාර්මික දෝෂ හේතුවෙන් මැක්ස් වර්ස්ටාපන් බහරේන් අදියරේ 19 වන ස්ථානයට පත් වුණා. නමුත් සෞදි අරාබියේ දී තම දක්ෂතාව නැවත ප්‍රදර්ශනය කළ ඔහු එම අදියර ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

මුල් අදියරවල සාර්ථක වූ ෆෙරාරි ධාවක ලෙක්රෙක් – www.autoweek.com

ඉන් අනතුරුව 2022 ලෝක ශූරතාවේ තෙවන අදියර ලෙස පැවැත්වුණේ ඕස්ට්‍රේලියනු අදියර යි. මෙහිදී ද තමන්ගේ මෝටර් රථයේ දෝෂය නිසා පසු බැසීමට මැක්ස් වර්ස්ටාපන්ට සිදු වුණා. ඔහුට තරගය නිමා කිරීමට නොහැකි වෙද්දී ෆෙරාරි ක්‍රීඩක ශෝල් ලෙක්රෙක් ඕස්ට්‍රේලියා අදියරේ ජයග්‍රහණය වාර්තා කළා. ඒ අනුව ලෝක ශූරතාවේ පළමු තරග තුන අවසන් වෙද්දී ශෝල් ලෙක්රෙක් ජයග්‍රහණ 2 ක් සහ එක් දෙවනි ස්ථානයක් ලබා සිටියා. මැක්ස් වර්ස්ටාපන් ලබා ගෙන තිබුණේ සෞදි අරාබි අදියරේ ජයග්‍රහණය පමණ යි.

මෝටර් රථයේ කාර්මික දෝෂ නිවැරැදි වෙයි

ඉහත සඳහන් කළ කාර්මික දෝෂ හේතුවෙන් රෙඩ්බුල් කණ්ඩායමට ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුණේ නෑ. එමිලියා රොමානෝ අදියරේ පටන් තමන්ගේ මෝටර් රථයේ පැවති දෝෂ නිවැරදි කර ගැනීමට රෙඩ්බුල් කාර්මික කණ්ඩායම සමත් වුණා. මේ නිසා එතැන් පටන් මැක්ස් වර්ස්ටාපන් සහ ඔහුගේ රෙඩ්බුල් සගයා වූ සර්ජියෝ පෙරෙස් වඩාත් උද්යෝගයෙන් තරග බිමට පිවිසියා.

එමිලියා රොමානෝ අදියර ජයග්‍රහණය කරමින් නැවත තම රිද්මයට අවතීර්ණ වූ මැක්ස් වර්ස්ටාපන් ඉන් පසුව පැවති මයාමි සහ ස්පාඤ්ඤ අදියර ද ජයග්‍රහණය කළා. ඔහුගේ මෙම ජයග්‍රහණ නිසා මුල් තරග වටවල දී වාසි ලබාගෙන සිටි ශෝල් ලෙක්රෙක් ඇතුළු ෆෙරාරි කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සටහන අභිබවා යෑමට ද රෙඩ්බුල් කණ්ඩායම සමත් වුණා.

වර්ස්ටාපන් මයාමි අදියර ජයග්‍රහණය කිරීමෙන් පසු – www.people.com

ඉන් අනතුරු ව පැවති 7 වන අදියර වූ මොනාකෝ අදියරේ දී මැක්ස් වර්ස්ටාපන් තෙවන ස්ථානයට ඇද වැටුණා. කණ්ඩායම වෙනුවෙන් වගකීම ඉටු කළ සර්ජියෝ පෙරෙස් එදින වර්ෂාව මධ්‍යයේ අසීරු ධාවන පථය තුළ ජයග්‍රහණය වාර්තා කළා. මේ නිසා තවදුරටත් ෆෙරාරි ධාවකයන්ට එරෙහි ව දිගින් දිගට ම සාර්ථක වන්නට රෙඩ්බුල් ධාවකයන් දෙපළට හැකියාව ලැබුණා. වර්ස්ටාපන් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව සිටි ශෝල් ලෙක්රෙක් මොනාකෝ අදියරේ සිව්වන තැනට පත්වීම හේතුවෙන් ලෝක ශූරතා ලකුණු සටහනේ ඉදිරියෙන් සිටීමට මැක්ස් වර්ස්ටාපන් සමත් වුණා.

ෆෙරාරි අඩුපාඩු

තරගවාරයේ මුල් අවදියේ දී රෙඩ්බුල් ධාවකයන් මුහුණ දුන් කාර්මික දෝෂවලට ඉන් පසුව ෆෙරාරි ධාවකයන් මුහුණ දුන්නා. මේ නිසා අවස්ථා කිහිපයක දී ම අතරමඟ දී තරග නිමා කිරීමට ශෝල් ලෙක්රෙක්ට සහ කාලෝස් සයින්ස්ට සිදු වුණා. අසර්බයිජාන සහ කැනඩා යන අදියර දෙක ම මැක්ස් වර්ස්ටාපන් පහසුවෙන් ජයග්‍රහණය කළා.

තවමත් තරගය අතහැරීමට තමන් සූදානම් නොවන බව පෙන්වූ ෆෙරාරි ධාවක කාලෝස් සයින්ස් බ්‍රිතාන්‍ය අදියර ජයග්‍රහණය කළා. ඔහු පසුපස යමින් ඊළඟට පැවති ඔස්ට්‍රියානු අදියරේ ජයග්‍රහණය ලබා ගැනීමට ශෝල් ලෙක්රෙක් සමත් වුණා. ඉහත තරග ද්විත්වයේදී වර්ස්ටාපන් 7 වන සහ 2 වන ස්ථානයන් හි තරගය නිමා කළා. ෆෙරාරි රථයේ අඩුපාඩු මෙන් ම ඉන් පසුව වර්ස්ටාපන් ගේ ධාවනයේ විශිෂ්ටත්වය ඔහු ලෝක ශූරතාවේ ඉදිරිටය ම රැගෙන ගියා.

රෙඩ්බුල් ධාවන සගයන් දෙපළ වන වර්ස්ටාපන් සහ පෙරෙස් – www.planetf1.com

ඉන් අනතුරුව ආරම්භ වූ ප්‍රංශ අදියරේ සිට පිළිවෙළින් හංගේරියා අදියර, බෙල්ජියම් අදියර, නෙදර්ලන්ත අදියර සහ ඉතාලි අදියර වශයෙන් පිට පිට ජයග්‍රහණ 5 ක් ලබා ගැනීමට මැක්ස් වර්ස්ටාපන්ට හැකියාව ලැබුණා. මෙම ජයග්‍රහණ නිසා ඔහු ලෝක ශූරතාව ලබා ගැනීමට වඩාත් ආසන්න වුණා. මෝටර් රථයේ අඩුපාඩු මෙන් ම අසාර්ථක ධාවනය නිසා ෆෙරාරි ක්‍රීඩකයන්ට වර්ස්ටාපන්ට සමීප වීමේ හැකියාව ලැබුණේ නෑ.

පිට පිට ම දෙවන ලෝක ශූරතාව

17 වෙනි අදියර ලෙසින් පැවති සිංගප්පූරු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. එහිදී වර්ස්ටාපන් නැවතත් 7 වන ස්ථානය දක්වා පසු බැස ගිය ද කණ්ඩායමේ වගකීම කරට ගත් සර්ජියෝ පෙරෙස් රෙඩ්බුල් වෙනුවෙන් එම අදියර ජයග්‍රහණය කළා. මීළඟ ධාවන අදියර බවට පත් වූ ජපාන අදියරේ ජයග්‍රහණය තහවුරු කර ගත් මැක්ස් වර්ස්ටාපන් පිට පිට ම දෙවන වතාවටත් ෆෝමියුලා වන් ලෝක ශූරයා ලෙසින් කිරුළු පැළඳුවා.

ජපාන අදියර ජයග්‍රහණය කරමින් ඔවර්ස්ටාපන් පිට පිට ම දෙවන වරටත් ලෝක ශූරයා බවට පත් වුණා – www.planetf1.com

එතැනින් නොනවතින ඔහු අමෙරිකානු ෆෝමියුලා වන් අදියර ද ජයග්‍රහණය කළා. එම ජයග්‍රහණය සටහන් වූයේ 2022 වසරේ මැක්ස් වර්ස්ටාපන් ලබාගත් 13 වන ජයග්‍රහණය ලෙසින්. මීට ප්‍රථම 2004 දි මයිකල් ෂූමාකර් සහ 2013 දි සෙබස්තියන් වෙටල් යන දෙපළ ද ජයග්‍රහණ13 බැගින් වාර්තා කොට තිබුණා. වර්ස්ටාපන් එම වාර්තාව සම කිරීමට සමත් වූ අතර ම ඔහුට එය බිඳ හෙළීමට තවත් අදියර 3 ක් ඉතිරි වී තිබීම ද විශේෂත්වයක්.

වැඩි ම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කළ ධාවකයා

මයිකල් ෂූමාකර් සහ සෙබස්තියන් වෙටල් සතු වාර්තාව තමන් සතු කර ගැනීමේ අරමුණින් නෙදර්ලන්ත ජාතිකයා මෙක්සිකෝවේ දී තරග බිමට පිවිසියා. එහිදී සුපිරි ධාවනයක නිරත වූ ඔහු පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ එදා මෙදා තුර ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ කැලැන්ඩර වසරක ලබා ගත් වැඩි ම ගෝන් ප්‍රී ජයග්‍රහණ වාර්තාව තම නම ඉදිරියෙන් සටහන් කරගනිමින්.

මේ වන විට නව වාර්තාවට හිමිකම් කියනා මැක්ස් වර්ස්ටාපන් 2022 දී ලබා ගෙන ඇති ජයග්‍රහණ ගණන 14 ක්. මෙම වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ හැකියාව ද ඔහුට පවතිනවා. ඒ මේ වසර තුළ සාඕ පාලෝ අදියර සහ අබුඩාබි අදියර යන ද්විත්වය ම ඉතිරි ව තිබීම නිසා යි. කෙසේ වෙතත් 2022 ෆෝමියුලා වන් ලෝක ශූරයා ලෙසින් මැක්ස් වර්ස්ටාපන් සහ කණ්ඩායම් ශූරයන් ලෙසින් රෙඩ්බුල් ධාවන කණ්ඩායම දැනටමත් තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගෙන අවසන්..

ලෝක වාර්තාව තැබූ මෙක්සිකෝ අදියරේ ධාවනයේ යෙදෙමින් – www.planetf1.com

2022 වසරේ මැක්ස් වර්ස්ටාපන් පැවති සියලු ම අදියරවලදී දැක්වූ දක්ෂතා

අදියරස්ථානය
1. බහරේන අදියර19
2. සෞදි අරාබි අදියර1
3. ඕස්ට්‍රේලියා අදියර
4. එමිලියා රොමානෝ අදියර (ඉතාලිය)1
5. මයාමි අදියර (අමෙරිකාව)1
6. ස්පාඤ්ඤ අදියර1
7. මොනාකෝ අදියර3
8. බාකු අදියර (අසර්බයිජානය)1
9. කැනඩා අදියර1
10. බ්‍රිතාන්‍ය අදියර7
11. ඔස්ට්‍රියා අදියර2
12. ප්‍රංශ අදියර1
13. හංගේරියා අදියර1
14. බෙල්ජියම් අදියර1
15. නෙදර්ලන්ත අදියර1
16. ඉතාලි අදියර1
17. සිංගප්පූරු අදියර7
18. ජපාන අදියර1
19. අමෙරිකා අදියර1
20. මෙක්සිකෝ අදියර1
සමස්ථ ජයග්‍රහණයන් ගණන14

කවරයේ ඡායාරූපය - මැක්ස් වර්ස්ටාපන් - www.motorsports.com / www.skysports.com
මූලාශ්‍ර :
www.f1.com
www.autosport.com
www.racingnews365.com
www.motorsports.com

Related Articles