Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවෙන් නැවුණු සෞදි නීති

ලෝක කුසලානය නිමා වී දින කිහිපයක් ඉක්ම යද්දී ම පාපන්දු ලොව උණුසුම් කළ තවත් පුවතක් පැතිර ගියා. ඒ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අල් නසාර් මිලට ගැනීමේ පුවත යි. එම ආරංචිවලට අනුව රොනාල්ඩෝ වෙනුවෙන් යුරෝ මිලියන 200 ක වාර්ෂික වැටුපක් ගෙවීමට ද ඔවුන් තම එකඟතාව පළ කර තිබුණා.

රොනාල්ඩෝ අල් නසාර් සමග ගිවිසුම් අත්සන් කළ මොහොත – www.cnn.com

37 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ මෙම වසරේ දී 38 වන වියට එළඹීමට නියමිත වනවා. ඔහු 2021/22 තරගවාරයේදී ක්‍රීඩා කළ අන්දම පිළිබඳ ව බොහෝ යුරෝපා ක්‍රීඩා සමාජ සෑහීමකට පත් වුණේ නෑ. ලෝක කුසලානයට ප්‍රථමයෙන් රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟින් තරග 16 ක් ක්‍රීඩා කොට ලබා සිටියේ ගෝල 3 ක් පමණ යි.

මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රොනාල්ඩෝ අතර ඇති වූ විරසකය

2022 වර්ෂයේ දී ඒ වන විට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරමින් සිටි ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමෙන් නික්ම යාමට ඔහු තීරණය කොට තිබුණා. කණ්ඩායම් කිහිපයකට ම රොනාල්ඩෝ එක් වීමට තීරණය කළ බවට කටකතා පැතිර ගියත් අවසානයේ දී ඔහු තමන්ගේ ක්‍රීඩා දිවියේ මුල් අවදියේ ක්‍රීඩා කළ මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟින් එක් වුණා. එය බොහෝ දෙනා විශ්වාස කළ පරිදි සාර්ථක අවසානයක් කරා ගමන් කළේ නෑ.

2021/22 තරග වාරයේ දී රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමගින් තරමක සාර්ථක තරගවාරයක් නිමා කළා. තරග 38 ක් ක්‍රීඩා කරමින් ඔහු රැස් කළ ගෝල සංඛ්‍යාව 25 ක්. 2021/22 තරගවාරයේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් කිසිදු ශූරතාවක් ජයග්‍රහණය කළේ නෑ. ඔවුන් එංගලන්ත ප්‍රිමියර් ලීගයේ මුල් කණ්ඩායම් 4ට ඇතුළත් නොවූ නිසා 2022/23 චැම්පියන්ස් ලීග් නියෝජනය ද මැන්චෙස්ටර් යුනයිටඩ්ට අහිමි වුණා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ ක්‍රීඩා කරමින් – www.marca.com

මේ හේතුවෙන් පසුගිය 2022 ජූනි මාසයේ දී රොනාල්ඩෝ වෙනත් කණ්ඩායමක් හා එක්වනු ඇති බවට වාර්තා පළ වුණා. කෙසේ වුවත් චැම්පියන්ස් ලීග් ක්‍රීඩා කරන කණ්ඩායමක් හා එක් වීමට රොනාල්ඩෝට හැකියාව ලැබුණේ නෑ. මේ නිසා රොනාල්ඩෝ සහ මැන්චෙස්ටර් යුනයිටඩ් අතර ගිවිසුම පරිදි ඔහු දිගට ම කණ්ඩායමේ රැඳී සිටියා. 2022/23 නව තරග වාරය ආරම්භ වීමත් සමඟ ම ගැටලු රාශියක් නිර්මාණය වුණා.

මැන්චෙස්ටර් යුනයිටඩ් නව තරග වාරය සඳහා නෙදර්ලන්ත ජාතික පුහුණුකරු එරික් ටෙන් හග් ගේ සේවය ලබා ගැනීමට කටයුතු කළා. ටෙන් හග් යනු ස්වභාවයෙන් ම තද ගති ඇති පුහුණුකරුවෙක්. ඔහු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ වත්මන් ක්‍රීඩා රටාව සම්බන්ධයෙන් සෑහීමකට පත් වූයේ නෑ. වර්තමානයේ දී හොඳ පාපන්දු ක්‍රීඩා කිරීමට නම් රොනාල්ඩෝට දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට ටෙන් හග් ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළා.

ටෙන් හග් සහ රොනාල්ඩෝ ගැටෙයි

ඉහත කරුණු කාරණාවලට අමතර ව නව තරග වාරය ආරම්භ වීමට පෙර පැවති සුහද තරගයක දී රොනාල්ඩෝ පළමු අර්ධය අවසන් වූ පසු ක්‍රීඩක බංකුව වෙතට ගැනීමට ටෙන් හග් කටයුතු කළා. මේ හේතුවෙන් උරණ වූ රොනාල්ඩෝ තරගය අවසන් වීමටත් ප්‍රථමයෙන් ක්‍රීඩාංගණයෙන් නික්ම ගියා.

‍රොනාල්ඩෝ සහ එරික් ටෙන් හග් – www.skynews.com

ඉන් අනතුරු ව තරගවාරය මැදදී පැවති ටොටන්හැම් සමඟ තරගයේ දී රොනාල්ඩෝ බංකුවේ දිගින් දිගට ම තැබීමට ටෙන් හග් කටයුතු කළා. මේ සිදුවීම නිසා රොනාල්ඩෝ තරගය නිමා වීමට මත්තෙන් ක්‍රීඩාංගණයෙන් නැවත වතාවක් පිටත් ව ගියා. එයට දඬුවමක් වශයෙන් රොනාල්ඩෝට ඊළඟ තරගය ද තහනම් වුණා. මේ හේතුව නිසා ම පුහුණුකරු සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතරේ විශාල මතභේදයක් නිර්මාණය වී තිබුණා.

අවාසනාවකට මෙන් ලැබුණ අවස්ථාවලදී සාර්ථක වීමටත් රොනාල්ඩෝට හැකියාව ලැබුණේ නෑ. පෙර සඳහන් කළ පරිදි ම ඔහු ක්‍රීඩා කළ තරග 16 කදී ලබා ගත්තේ ගෝල 3 ක් පමණ යි. මැන්චෙස්ටර් යුනයිටඩ් ද තරග වාරය ආරම්භයේ සිට ම දැඩි පසුබෑමකට ලක් ව සිටියා. මේ හේතුව සහ අසාර්ථක වීම මත ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවෙන් සිට ගැනීමට බොහෝ පිරිසක් කටයුතු කළේ නෑ. අළු යට තිබූ මෙම ගිනි පොකුරු ලෝක කුසලානයට ප්‍රථමයෙන් ඇවිළී ගියා.

රොනාල්ඩෝ ටොටන්හැම් තරගය අතරතුර පිට ව යන ආකාරය – www.talksport.com

පියර්ස් මෝගන් හා පැවති සම්මුඛ සාකච්ඡාව

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2022 පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට ප්‍රථමයෙන් පියර්ස් මෝගන් නම් මාධ්‍යවේදියා සමඟින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී රොනාල්ඩෝ ඉදිරිපත් කළ ප්‍රකාශ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සහ පාපන්දු ලොව ගිනියම් කිරීමට සමත් වුණා.

තමන් මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් නොසලකා හැරි බවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කෙළින් ම චෝදනා එල්ල කළා. පුහුණුකරු මෙන් ම ඇතැම් ක්‍රීඩකයන් ද තමාට කිසිදු සහයෝගයක් ලබා නොදුන් බවත් මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය තවමත් යාවත්කාලීන නොවී යල් පැන ගිය ආකාරයෙන් පවතින බවටත් රොනාල්ඩෝ එල්ල කළ චෝදනාවලට ඇතුළත්.

උපතේ දී මිය ගිය තම දරුවා ගේ මරණය සම්බන්ධයෙන් ලිවර්පූල් ප්‍රේක්ෂකයන් ගෞරවය ලබා දෙද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ප්‍රේක්ෂකයන් තමා සමඟ සිටියේ නැති බවටත් රොනාල්ඩෝ කියා සිටියා. මේ හේතුව නිසා ම බොහෝ මැන්චෙස්ටර් යුනයිටඩ් ප්‍රේක්ෂකයන් ද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ එම ප්‍රකාශ අනුමත නොකරන තත්ත්වයක් උද්ගත වුණා.

රොනාල්ඩෝ සහ පියර්ස් මෝගන් අතර පැවති සම්මුඛ සාකච්ඡාව – www.manchesterevening.com

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් පුහුණුකරු එරික් ටෙන් හග් ඇතුළු මැන්චෙස්ටර් යුනයිටඩ් පාලනාධිකාරිය දැඩි අප්‍රසාදය පළ කර සිටියා. මේ හේතුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ එකඟතාවත් ඇතුව මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ තිබූ ඔහුගේ කොන්ත්‍රාත්තුව සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට කටයුතු යෙදුණා. රොනාල්ඩෝ ලෝක පාපන්දු කුසලාන තරගාවලියට එක් වන්නේ ක්‍රීඩා සමාජයක් රහිත ක්‍රීඩකයෙක් වශයෙන්.

අසාර්ථක ලෝක කුසලානය

මැන්චෙස්ටර් යුනයිටඩ් අර්බුදය නිමා කර ගෙන රොනාල්ඩෝ ලෝක පාපන්දු කුසලාන තරගාවලියට පැමිණියේ බලාපොරොත්තු රැසක් ද සහිතව යි. 37 හැවිරිදි ඔහුගේ අවසන් පාපන්දු ලෝක කුසලානය ද මෙය වුණා. එහිදී ද බලාපොරොත්තු වූ තරම් දක්ෂතා දැක්වීමට ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී රොනාල්ඩෝ සමත් වූයේ නෑ.

ඝානාව සමඟින් මූලික වටයේ පළමු තරගයේ දී දඬුවම් පහරක් මඟින් ලබා ගත් ගෝලය හැරෙන්නට වෙනත් ගෝල ලබා ගැනීමට ඔහු අසමත් වුණා. මේ නිසා ම අවසන් 16 දෙනාගේ වටයේ තරගයේ දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩක බංකුවේ තැබීමට පෘතුගාල පුහුණුකරු ෆර්නැන්ඩෝ සැන්ටොස් කටයුතු කළා. රොනාල්ඩෝ ආදේශ ක්‍රීඩකයෙක් ලෙසින් එහිදී භාවිත වුණා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරොක්කෝව හමුවේ පරාජයට පත් වූ මොහොත – www.espn.com

අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරොක්කෝව හමුවේ පරාජයට පත් ව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසි වන්නට පෘතුගාලයට සිදු වුණා. අසාර්ථක ලෝක කුසලානය නිසා රොනාල්ඩෝ ගේ ඉදිරි ක්‍රීඩා දිවිය අර්බුදයකට මුහුණ දී තිබූ බව ප්‍රකාශ කිරීම නිවැරැදි යි. මන්ද යත් ඔහු මිලට ගැනීමට යුරෝපයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ කැමති වූයේ නෑ. මේ හේතුවෙන් රොනාල්ඩෝට විකල්පයක් සොයා ගැනීමට අවශ්‍ය වී තිබුණා.

සෞදි අරාබිය සහ පාපන්දුව

සෞදි අරාබි පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ දී ආජන්ටිනාව පරාජයට පත් කරමින් ලොව පුරා එක රැයකින් ජනප්‍රිය වූ කණ්ඩායමක්. වසර ගණනාවක සිට සෞදි පාපන්දු ලීගය ද තරගකාරී මට්ටමකට රැගෙන ඒමට ඔවුන් උත්සාහ දරමින් සිටිනවා. විශේෂයෙන් ම අරාබි රටක් ලෙස ඔවුන් සතු ව විශාල ධනස්කන්ධයක් පැවතීමේ ප්‍රයෝජනය සෞදි පාපන්දුව වෙනුවෙන් යෙදවීමට ඔවුන් කටයුතු කරමින් සිටියා.

සෞදි අරාබිය මීට අමතර ව තවත් විශාල වැඩකට සූදානම් වෙමින් සිටිනවා. ඒ 2030 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගැනීමේ මෙහෙයුම යි. සෞදි අරාබිය, ඊජිප්තුව සහ ග්‍රීසිය යන රටවල් ත්‍රිත්වය මෙලෙස ලෝක කුසලානයේ සත්කාරකත්වය වෙනුවෙන් ලංසු තැබීමට කටයුතු කළා. ලෝක කුසලානය වෙනුවෙන් තනි සත්කාරකත්වය හා සම සත්කාරකත්වය සඳහා ලංසු 10කට වඩා මේ වන විටත් ඉදිරිපත් වී අවසන්.

‍සෞදි අරාබිය ඉදිකිරීමට බලාපොරොත්තු වන නවීන පන්නයේ පාපන්දු ක්‍රීඩාංගණයක සැලැස්මක් – www.skysports.com

මේ නිසා ම සෞදි අරාබිය ලෝක කුසලාන සත්කාරක තරගය ජයග්‍රහණය කිරීමට වෙනත් විශේෂ අන්දමේ කටයුත්තකට අත ගැසීමට සූදානම් වෙමින් තිබුණා. ග්‍රීසිය සහ ඊජිප්තුව ද මෙලෙස තම සටන් සගයා වන සෞදි අරාබියට උපරිම සහයෝගය දැක්වීමට කටයුතු කළා. එහි පළමු පියවර වෙනුවෙන් අපූරු පුද්ගලයෙක් පළමු පියවර තැබුවා.

මුසල්ලි අල් මුඅම්මර් සහ අල් නසාර්

මුසල්ලි අල් මුඅම්මර් යනු හිටපු සෞදි ලීගයේ සභාපති තනතුර දැරූ පුද්ගලයා යි. ඔහු අලෙවිකරණය සම්බන්ධයෙන් හා වාණිජ විෂය සම්බන්ධයෙන් උපාධිධාරියෙක්. එයට අමතර ව ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය පිළිබඳව ද උපාධිධාරියෙක්. මුසල්ලි අල් මුඅම්මර් වර්තමානයේදී අල් නසාර් ක්‍රීඩා සමාජයේ සභාපති ලෙසට කටයුතු කරනවා.

රොනාල්ඩෝ සහ පියර්ස් මෝගන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවත්, ඉන් පසුව රොනාල්ඩෝ සහ මැන්චෙස්ටර් යුනයිටඩ් අතර ඇතිවූ බිඳ වැටීමත් පිළිබඳ ව අධ්‍යනය කළ මුඅම්මර් යුරෝ මිලියන 200 ක අති දැවැන්ත මුදලකට අල් නසාර් හා එක් වන්නැයි රොනාල්ඩෝට ඇරියුම් කළා. එම ඇරයුම රොනාල්ඩෝ ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කළ බව සඳහන් වනවා.

මුසල්ලි අල් මුඅම්මාර් සහ රොනාල්ඩෝ – www.thesun.com

රොනාල්ඩෝ සහ අල් නසාර් අතරේ ගිවිසුමක් ඇති වන බවට පාපන්දු ලොව පුරා කටකතා පැතිර යෑම ආරම්භ වූයේ ලෝක කුසලානය පැවැත්වෙන සමයේදී යි. රොනාල්ඩෝ සමග සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ පියර්ස් මෝගන් ද මෙම කටකතා අසත්‍ය බවට ප්‍රකාශ කොට තිබුණා. දිගින් දිගට ම අල් නසාර් සහ රොනාල්ඩෝ කතිකාවත පැතිර යද්දී සියල්ලන් ම විමතියට පත් කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2023 නව වසර එළඹීමට මත්තෙන් අල් නසාර් සමඟින් එකතු වුණා.

සත්‍ය වශයෙන් ම සිදුවූයේ කුමක් ද?

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි පාපන්දු තරුවක් ලෝක කුසලාන සත්කාර තරගය ආරම්භ වීමට ප්‍රථමයෙන් තම පාපන්දු ලීගය වෙතට රැගෙන ඒමට හැකි නම් එය සමස්ත සෞදි අරාබියට ම අතිශය වාසිදායක කාරණයක් වනවා. එපමණක් නොව ඔහු ලෝක කුසලාන සත්කාරකත්වය ලැබීමේ වටයේ සන්නාම තානාපතිවරයෙක් බවට පත් කිරීමට ද සෞදි අරාබිය සූදානම්.

රොනාල්ඩෝ ගේ අසාර්ථක තරග කාල සහ ලෝක කුසලාන අසාර්ථකත්වය සාර්ථක ව නිරීක්ෂණය කළ මුසල්ලි අල් මුඅම්මර් තම යෝජනාව රොනාල්ඩෝ වෙත ඉදිරිපත් කළා. රොනාල්ඩෝ ඒ වන විටත් ජර්මනියේ අයින්ච්‍රැක්ට් ෆ්‍රෑන්ක්ෆර්ට් සමඟින් එකතු වීමට උත්සාහ කළත් එය සාර්ථක එකඟතාවක් නොවූ බවට එම ක්‍රීඩා සමාජයේ ප්‍රධානීන් සැළ කර සිටියා. මේ හේතුවෙන් යුරෝපා ක්‍රීඩා සමාජවලින් තමන්ට අවස්ථාව නොලැබෙන විට දී ආකර්ෂණීය කොන්ත්‍රාත්තුවකින් තමන්ට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලබා ගත හැකි බවට මුඅම්මර් දැන සිටියා.

සෞදි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් (ඔහු මේ වන විට එංගලන්තයේ නිව්කාසල් යුනයිටඩ් හි හිමිකාරිත්වය දරනවා) – www.thetimesofisreal.com

මුඅම්මර්ට අමතර ව සෞදි පාපන්දු අධිකාරිය සහ සෞදි කුමාරයා ද මෙම ගනුදෙනුව පිටුපස සිටි බවට කටකතා පැතිර තිබෙනවා. රොනාල්ඩෝට සන්නාම තානාපති ධූරය ලබා දීමේ අරමුණ ද එය යි. යුරෝ මිලියන 200 ක වාර්ෂික වැටුපක් යනු යුරෝපයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක ප්‍රධානත ම ක්‍රීඩකයෙක් උපයන ගණනටත් වඩා දෙගුණයක් පමණ වනවා. එවැනි විශාල මුදල් කන්දරාවක් වියදම් කිරීමට නම් අනිවාර්යයෙන් ම වෙනත් අරමුණක් තිබිය යුතු බවට ජාත්‍යන්තර විචාරකයන් බොහෝ දෙනෙක් පෙන්වා දෙන කරුණක්.

රොනාල්ඩෝ වෙනුවෙන් අන්ධ වුණු සෞදි නීති

සෞදි අරාබිය යනු බොහෝ දෙනෙක් දන්නා පරිදි දැඩි නීති රීති ක්‍රියාත්මක වන රටක්. ඔවුන්ගේ සුළු වැරදිවලට පවා අත් පා කපා දැමීම්, කස පහර එල්ල කිරීම්, හිස ගසා දැමීම් වැනි දැඩි දඬුවම් එහි ක්‍රියාත්මක වනවා. සෞදි අරාබියේ නීතිය තුළ විවාහ වීමකින් තොරව කාන්තාවකට සහ පිරිමියකුට එකට වාසය කිරීම තහනම් වනවා. එය එරට බරපතළ ගණයේ වරදක්.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ සහකරු හා ඔහුගේ පෙම්වකිය ජෝර්ජිනා රොද්රිගෙස් සහ දරුවන් සමඟ සෞදි අරාබියේ රියාද් හි දී – www.dailysabah.com

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ පෙම්වතිය වන ජෝර්ජියානා රොද්රිගෙස් තවමත් නීතියෙන් විවාහ වී නෑ. ඔවුන් දෙදෙනාට දරුවන් සිටිය ද යුරෝපීය සංස්කෘතිය අනුව විවාහ නොවී දරුවන් ලැබීම පුදුමයකට කරුණක් නොවෙ යි.

එය සෞදි අරාබිය වැනි රටක දැඩි දඬුවම් ලැබෙන වරදක්. සත්‍ය වශයෙන් ම සෞදි නීතියට අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සහ ජෝර්ජියානා රොද්රිගෙස්ට එකට වාසය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජියානා රොද්රිගෙස් – www.goal.com

එය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට පමණක් හරිහැටි ක්‍රියාත්මක නොවන නීතියක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය පළ කර තිබුණේ රොනාල්ඩෝ වෙනුවෙන් සෞදි නීතිය ද අන්ධ වී ඇති බව යි. තම රටේ කිසිවකුට නොනැමෙන නීතිය පවා කුණු කූඩයට දමමින් රොනාල්ඩෝ තබා ගෙන සෞදිය ලබා ගැනීමට උත්සාහ කරන්නේ 2030 ලෝක කුසලාන සත්කාරකත්වය ද? ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් දැන ගැනීමට හැකි වනු නොඅනුමාන යි.

කවරයේ ඡායාරූපය - ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ - www.marca.com
මූලාශ්‍ර :
www.skysports.com
www.bleacherreportfootball.com
www.euronews.com

Related Articles