Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතියේ උණුසුම් වුණු කෙළි බිමේ තොරතුරු

ලෝකයේ අසිරිමත්ම ක්‍රීඩා මංගල්‍යය ලෙසින් සැලකෙන ඔලිම්පික් උළෙල තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත යි. අන්න ඒ හින්දම මේ දවස්වල ක්‍රීඩා ලෝකය ගොඩක් උණුසුම් වෙලා තිබෙනවා. ඒ අතරතුර ක්‍රිකට් පිටිය ද කාර්යබහුල වී තිබෙන්නේ රටවල් කිහිපයක් ආශ්‍රිතව ක්‍රිකට් තරගාවලි ක්‍රියාත්මක වන නිසා යි. එවැනි වටපිටාවක ගෙවුණු සතියේ ක්‍රීඩා පිටියේ සිදුවුණු විශේෂ සිදුවීම් ඇතුළත් මෙම ලිපිය Roar සිංහල වෙතින් ඔබ වෙත තිළිණ කරනවා.

කැන්ගරුවන් පරදවා කොදෙව්වන් ජය පැන් බොයි 

20/20 ක්‍රිකට් පිටියේ සිටින ප්‍රබල ම කණ්ඩායම් දෙකක් වන ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පසුගිය දිනවල තරග 5කින් සමන්විත 20/20 තරගාවලියක් ක්‍රියාත්මක වුණා. කොදෙව් දූපත්වල දී පැවැත්වුණු එම තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. එහි දී මුල්ම වරට නිකලස් පූරන් කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබාදීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

කොදෙව් නායක පූරන් ජයග්‍රාහී කුසලානය සමඟ
කොදෙව් නායක පූරන් ජයග්‍රාහී කුසලානය සමඟ – getty images

ඒ අයුරින් කොදෙව්වන්ට පහසු ජයක් හිමිවුණු තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු ඕස්ට්‍රේලියානු පිතිකරු මිචෙල් මාෂ් ඉනිම් 5කදී ලකුණු 219ක් ලබා ගත්තා. කොදෙව්වන් වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ලෙන්ඩල් සිමන්ස් ඉනිම් 5කදී ලකුණු 165ක් වාර්තා කළා. ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පන්දුවෙන් සුපිරි දස්කම් දක්වමින් කඩුලු 12ක් ලබාගත් හේඩ්න් වොල්ෂ් තරගාවලිය පුරාවටම කඩුලු 12ක් දවාගනිද්දී මිචෙල් මාෂ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුලු 8ක් බිඳ දැමුවා. මිචෙල් මාෂ් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත් වුණත් තරගාවලියේ වීරයා සම්මානය හේඩ්න් වොල්ෂ්ට උරුම වුණු බව සිහිපත් කළ යුතුයි.

ජෝකොවිච් විම්බල්ඩන් කිරුළ පිට පිට ම තෙවන වරටත් දිනා ගනියි 

1877 දී ආරම්භ වුණු විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ලොව පැරණිත ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය ලෙසින් සලකනවා. 134 වන වරටත් පැවැත්වුණු මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය පසුගිය ජූලි 11 වැනිදා නිමාවට පත්වුණා. එහි දී දකින්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම වුණේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් වැජඹෙන සර්බියාවේ නොවැක් ජෝකොවිච් පිට පිටම තෙවන වරටත් විම්බල්ඩන් පිරිමි ඒකල

පිරිමි ඒකල ශූරතාවය දිනාගත් ජෝකොවිච්
ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් පිරිමි ඒකල ශූරතාව දිනාගත් ජෝකොවිච් – getty images

ශූරතාව දිනා ගැනීම යි. එය ජෝකොවිච් විම්බල්ඩන් පිරිමි ඒකල කිරුළ දිනා ගත් 6 වන අවස්ථාව ලෙසින් සටහන් වුණා.

පහත දක්වා තිබෙන්නේ මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ ප්‍රධාන තරග ඉසව් පහේ ශූරතා දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව යි.

පිරිමි ඒකල ශූරතාව– නොවැක් ජෝකොවිච් (සර්බියාව)

කාන්තා ඒකල ශූරතාව– ඈෂ්ලි බාටි (ඕස්ට්‍රේලියාව)

පිරිමි යුගළ ශූරතාව– නිකොලා මෙක්ටික් සහ මේට් පැවික් (ක්‍රොයේෂියාව) 

කාන්තා යුගළ ශූරතාව– ෂෙයි සූ-වෙයි (චීන තායිපේ) සහ එලිස් මර්ටන්ස් (බෙල්ජියම)

මිශ්‍ර යුගළ ශූරතාව– නීල් ස්කුප්ස්කි (මහා බ්‍රිතාන්‍ය) සහ ඩෙසරේ ක්‍රෝචෙක් (ඇමරිකාව)

අයර්ලන්ත පිතිකරුවකු ගෙන් නව ලෝක වාර්තාවක් 

අයර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත වුණු එක්දින තරගාවලියක් අයර්ලන්තයේ දී පසුගිය දිනවලපැවැත්වුණා.  තියුණු සටනකින් පසුව  1-1ක් ලෙසින් අවසන් වුණු එම තරගාවලියේ දෙවන තරගයේ දී අයර්ලන්ත ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 43ක පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළා. එය අයර්ලන්ත කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන් එක්දින තරගයකින් පරාජය කළ මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා. එම තරගාවලිය යටතේ පැවැත්වුණු තෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 70ක පහසු ජයක් හිමිවුණත් සිමී සිං නම් අයර්ලන්ත පිතිකරුවා නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. එහි දී අයර්ලන්ත ඉනිමේ අංක 8 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි සිමී පන්දු 91කින් නොදැවී ලකුණු 100ක් වාර්තා කළා. එය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 පිතිකරුවකු ශතකයක් ලබාගත් මුල් ම අවස්ථාව බවට පත්වුණා.

සිමී සිං ශතකය ලබාගත් මොහො
සිමී සිං ශතකය ලබාගත් මොහොත – gettyimages

එදාමෙදා තුර එක්දින තරගවල දී අංක 8 පිතිකරුවන් ගේ හොඳම ඉනිම් පහ පහත දක්වන්නට පුළුවන්.

1) සිමී සිං (අයර්ලන්තය)- 100* (91)- දකුණු අප්‍රිකාවට එරෙහිව 2021 වසරේ දී 

2) ක්‍රිස් වෝක්ස් (එංගලන්තය)- 95* (92)- ශ්‍රී ලංකාවට එරෙහිව 2016 වසරේ දී 

3) සෑම් කරන් (එංගලන්තය)- 95* (83)- ඉන්දියාවට එරෙහිව 2021 වසරේ දී 

4) නේදන් කෝල්ටර්-නයිල් (ඕස්ට්‍රේලියාව)- 92 (60)- කොදෙව්වන්ට එරෙහිව 2019 වසරේ දී 

5) තෝමස් ඔඩෝයෝ (කෙන්යාව)- 84 (97)- බංග්ලාදේශයට එරෙහිව 2006 වසරේ දී 

20/20 ලෝක කුසලානයේ කාණ්ඩ ප්‍රකාශයට පත් කරයි 

ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යන රටවල් ආශ්‍රිතව පැවැත්වීමට නියමිතව තිබෙන 20/20 ලෝක කුසලාන තරගාවලියේ එක් එක් තරග කාණ්ඩයට අයත් රටවල් පසුගිය දිනක ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ දී එක් එක් කාණ්ඩයට අයත් වන කණ්ඩායම් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

A කාණ්ඩය – ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය , නැම්බියාව 

B කාණ්ඩය – බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව 

20/20 ලෝක කුසලානය
20/20 ලෝක කුසලානය – India Tv News

සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ දී කාණ්ඩ දෙකෙන්ම වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක බැගින් ඊළඟ තරග වටයට සුදුසුකම් ලැබීමට නියමිත යි. පහත දක්වා තිබෙන්නේ සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ දී එක් එක් කාණ්ඩයට ඇතුළත්ව තිබෙන කණ්ඩායම් පිළිබඳව යි.

1 කාණ්ඩය- එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, A1, B2

2 කාණ්ඩය– ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, A2, B1

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තොත් 1 වන කාණ්ඩයට එක්වන අතර දෙවන ස්ථානය දිනා ගත්තොත් 2 වන කාණ්ඩයේ රටවල් සමඟ තරග වැදීමට සිදුවනු ඇති.

9 දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් පැරා ඔලිම්පික් තරගාවලියට 

ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය මෙවර 16 වන වරටත් ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙනවා. අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත ගිම්හාන පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා 9 දෙනකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා. ඔවුන්ගේ නම් පහත දක්වන්නට පුළුවන්. 

1) දිනේෂ් ප්‍රියන්ත හේරත්- හෙල්ල විසි කිරීම (F46)

2) සමිත දුලාන්- හෙල්ල විසි කිරීම (F44)

3) සම්පත් බණ්ඩාර- දුනු විදීම 

4) කුමුදු ප්‍රියංකා- මීටර් 100 සහ දුර පැනීම (T45/46)

5) සම්පත් හෙට්ටිආරච්චි- හෙල්ල විසි කිරීම (F44)

6) සමන් සුබසිංහ- මීටර් 400 (T47)

7) පාලිත බණ්ඩාර- යගුලිය විසි කිරීම (F42)

8) මහේෂ් ජයකොඩි- ඔරු පැදීම 

9) ඩී.එස් ධර්මසේන- ටෙනිස් 

දිනේෂ් ප්‍රියන්ත හේරත්
දිනේෂ් ප්‍රියන්ත හේරත් – Daily News

1996 වසරේ සිට අඛණ්ඩව පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාව මේ දක්වා ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට සමත්ව තිබෙනවා. ඉන් පළමු පදක්කම හිමිකරගත්තේ ප්‍රදීප් සංජය නම් කෙටිදුර ධාවකයා යි. ඒ  2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 (T46) ඉසව්ව යටතේ යි. ඉන් වසර 4කට පසුව පැවති රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ දී දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීම (F46) තරග ඉසව්ව යටතේ තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නා. ඒ අයුරින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් උරුම කර දුන් දිනේෂ් මෙවර ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිත යි. 

ජයග්‍රාහී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම
ජයග්‍රාහී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම – News First

ශ්‍රී ලංකාව ආසියා වොලිබෝල් ශූරතාවලියට සුදුසුකම් ලබයි 

2021 ආසියා වොලිබෝල් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයක් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පසුගිය ජූලි 14 වැනිදා පැවැත්වුණා. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ දී පැවති එම තරගයෙන් තරග වට 3-0ක පහසු ජයක් හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එහි දී ලකුණු තත්ත්වය 25-23, 25-13, 25-22 ලෙසින් සටහන් වුණා. ඒ අයුරින් ලබාගත් වටිනා ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියා කුසලාන වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. එළඹෙන සැප්තැම්බර් 12 සිට 19 දක්වා ජපානයේ දී පැවැත්වීමට නියමිත එම තරගාවලිය සඳහා රටවල් 16ක් සුදුසුකම් ලබාගෙන තිබෙනවා. එහි දී  C කාණ්ඩය ඔස්සේ තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග වටයේ දී  චීනය, ඕස්ට්‍රේලියාව සහ ක්වේට් යන කණ්ඩායම් සමඟ තරග වදිනු ඇති. 

කවරයේ ඡායාරූපය- ඕස්ට්‍රේලියා-කොදෙව් 20/20 තරගාවලියේ අවස්ථාවක් (gettyimages)

මූලාශ්‍ර- cricinfo

wimbledon.com 

paralympic.org 

Related Articles