Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොදෙව්වන් විසින් කැන්ගරුවන් පැරදූ අවසන් ටෙස්ට් තරගාවලියේ නිමාව

මෙල්බර්න් ටෙස්ට් තරගයේ ශේන් වෝන්ගේ පිබිදීම හා බ්‍රයන් ලාරා සිඩ්නි පිටියේ දී ලැබූ ඔහුගේ මංගල ටෙස්ට් ශතකය පිළිබඳ ව පසුගිය කොටසින් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා. අද එතැන් සිට මෙම අපූරු තරගාවලිය පිළිබඳ ව අපි කතා කරමු.

ඇඩිලේඩ් පිටියේ දී යළි පිබිදුණු කොදෙව්වන්

ඇඩිලේඩ් ඕවල් පිටියේ පැවති සිව්වන ටෙස්ට් තරගය සඳහා ජිමී ඇඩම්ස් වෙනුවට කෙනී බෙන්ජිමන් කොදෙව් පිලට එක්වූ අතර, සිඩ්නි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් ග්‍රේග් මැතිව්ස් වෙනුවට පිටදඟ පන්දු යවන්නෙකු වූ ටීම් මේ වසර 4ක පමණ නිහැඬියාවකින් පසු ඕස්ට්‍රේලියානු පිලට එක් වුණා. මීට අමතර ව පසු කලෙක ක්‍රිකට් ලොව කතාබහට ලක්වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වූ ජස්ටින් ලැංගර් මෙම ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් ලබාගැනීම ද විශේෂයෙන් ම සිහිපත් කළ යුතු යි. තරගාවලියට

නැවතත් අවතීර්ණ වීමට නම් කොදෙව්වන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුණු නිසා ඔවුන් මෙම තරගයට අවතීර්ණ වූයේ කෙසේ හෝ තරගය ජයගැනීමේ අභිප්‍රාය ඇති ව යි.

තරගාවලිය තුළ මුල්මවරට මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායක රිචඩ්සන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙපළ වූ හේන්ස් හා සිමන්ස් වටිනා ලකුණු 84ක සබඳතාවයක් මුල් කඩුල්ල වෙනුවෙන් එක් කළ ද, ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට කොදෙව් මැදපෙළ පිතිකරුවන් අසමත් වීම නිසා කොදෙව් ලකුණු පුවරුව 84/0 සිට 134/5 දක්වා ඉක්මන් බිඳවැටීමකට ලක් වුණා. නමුත් මෙම අවස්ථාවේ පිටියට එක්වූ බ්‍රයන් ලාරා කඩුලු රකින ක්‍රීඩක ජූනියර් මරේ සමග 6 වන කඩුල්ලට ලකුණු 55ක සටන්කාමී සබඳතාවයක් පැවැත්වුව ද, ලාරා ලකුණු 52කට දැවීයාමත් සමග නැවතත් කොදෙව්වන් අවදානම් අඩියකට වැටුණා. මෙම අවස්ථාවේ මර්ව් හියුස් ක්‍රියාත්මක වෙමින් ඉක්මනින් ම තවත් කොදෙව් කඩුලු 2ක් දවාගැනීමත් සමග ම කොදෙව් ලකුණු පුවරුව 206/8 බවට පත්වුව ද, ජූනියර් මරේ සටන්කාමී ඉනිමක් දියත් කරමින් නොදැවී ලබාගත් ලකුණු 49 නිසා කොදෙව්වන් සිය මුල් ඉනිමට ලකුණු 252ක් ලබාගත්තා.

වොල්ෂ් මැක්ඩර්මට් ව දවාගැනීමේ සතුට සමරමින්

එදා ලකුණු 64කට කඩුලු 5ක් ලබාගනිමින් මර්ව් හියුස් කොදෙව් ඉනිම සුනුවිසුණු කළ අතර, එය ඔහු කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් තෙවන අවස්ථාව යි.

පළමු දිනයේ අවසන් පන්දුවාර කිහිපය තුළ ඕස්ට්‍රේලියානු පිලට සිය මුල් ඉනිම වෙනුවෙන් පිතිකරණයේ යෙදීමට සිදු වූ අතර, එය පන්දුවට පහරදෙන පිලට විශාල අභියෝගයක් වුණා. එදා මෙම පීඩනයට සාර්ථක ව මුහුණදීමට අසමත් වූ කැන්ගරුවන් දිනය නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 2ක් ලබාසිටියේ මාක් ටේලර් බිෂොප්ගේ පන්දුවක් හමුවේ දැවීයාම නිසා යි.       

තරගයේ දෙවන දිනයට වරින්වර වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එතරම් පන්දුවාර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසා දිනය නිමාවන විට සිය මුල් ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියානු පිල කඩුලු 3ක් දැවී ලකුණු 100ක් ලබා සිටියා. තෙවන දිනය ආරම්භයේ දී ම පෙරදින වර්ෂාව ඇදවැටීම නිසා වේගපන්දු යවන්නන්ට තිබූ හිතකර තත්ත්වය උපයෝගී කරගත් ඇම්බ්‍රෝස් බෝඩර්, හීලි, හා ස්ටීව් වෝ යන පිතිකරුවන්ව ඉතාමත් ඉක්මනින් දවාගැනීම නිසා එක්වර ම ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 112/6ක් බවට පත්වුණා. නමුත් මෙම අවස්ථාවේ මර්ව් හියුස් ලබාගත් ලකුණු 43 නිසා කැන්ගරු මුල් ඉනිම 213ක් දක්වා ගෙනයාමට ඔවුන්ට හැකි වූ අතර කොදෙව්වන් වෙනුවෙන් 74/6ක් ලෙස කඩුලු ලබාගනිමින් කර්ට්ලි ඇම්බ්‍රොස් මනරම් පන්දු යැවීමක නිරත වුණා. මේ වන විට කොදෙව්ව්න්ට ද මෙම තණ තීරුවේ පන්දුවට පහරදීම අපහසු බව පෙනී ගියේ, ඔවුන්ගේ මුල් කඩුලු 4 ද ලකුණු 65ක් තුළ දැවීයාමත් සමගින්. නමුත් මෙම අවස්ථාවේ නායක රිචඩ්සන් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙමින් කොදෙව්වන් වෙනුවෙන් ගෙන ගිය අභීත පිතිහරඹය නිසා කොදෙව් ඉනිම 145/6ක් දක්වා ස්ථාවර තත්ත්වයකට පත්වුව ද, වෝන් ලකුණු 72කට රිචඩ්සන් දවාගැනීමත් සමග ම නැවතත් තරගය දෙපිලට ම විවෘත වුණා. නමුත් මේ අවස්ථාවේ එක්වර ම කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වූ ටිම් මේ අවසන් කොදෙව් කඩුලු 3 ම 1 ලකුණක් තුළ දවා ගැනිම නිසා කොදෙව් ඉනිම ලකුණු 146කට සීමා වූ අතර, ඕස්ට්‍රේලියාවට ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා. වසර 4කට පසු ව ඕස්ට්‍රේලියානු පිලට එක්ව කොදෙව්වන් මවිත කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටිම් මේ ලකුණු 9කට කඩුලු 5ක් දවා ගනිමින් සිය ටෙස්ට් දිවියේ ඉනිමක හොඳ ම පන්දු යැවීම වාර්තා කළා.

බ්‍රයන් ලාරා හා කීත් ඇතර්ටන් තරගයෙන් අනතුරුව ජය සමරමින්

කොදෙව් පන්දු යවන්නන් ඉදිරියේ සිව්වන දිනයේ ලකුණු 186ක් හඹායාම අසීරු කටයුත්තක් බව එදා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඒවන විට නොදැන සිටියා නොවේ නමුත්, එදා ඔවුන්ට කළ හැකි කිසිවක් නොතිබූ අතර ඔවුන් මුලසිට ම පන්දුවට පහර දුන්නේ ඉතා අසීරුවෙන්. ඇම්බ්‍රෝස්, වොල්ෂ්, හා බිෂොප්ගේ විශිෂ්ට පන්දු යැවීම ඉදිරියේ එදා අන්ත අසරණ වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවාගේ මුල් කඩුලු 7 ම ලකුණු 74ක් තුළ බිඳවැටුණ ද, සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වූ ජස්ටින් ලැංගර් පහසුවෙන් පරාජය බාරගැනීමට සූදානම් වූයේ නැහැ. එදා පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 144/8ක් බවට පත් කරමින් ලැංගර් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් කළේ කොදෙව්වන්ට යම් අනතුරු ඇඟවීමක්. නමුත් බිෂොප් ලැංගර් ව ලකුණු 54කට දවාගැනීමත් සමග ම කැන්ගරු ලකුණු පුවරුව 144/9ක් බවට පත් වූ අතර, තරගයේ වාසිය සෑම අතින් ම කොදෙව්වන් දෙසට නැඹුරු වන්නට වුණා. ලකුණු 9කට කඩුලු 5ක් දවාගනිමින් කැන්ගරුවන්ට හුස්ම ගන්නට අවස්ථාව ලබාදුන් ටිම්, මෙම අවස්ථාවේ සටන අත්හැරීමට කිසි ලෙසකින් සූදානම් වූයේ නැහැ. ඔහු අවසන් පිතිකරු මැක්ඩර්මට් ව අනිත් අන්තයේ තබාගනිමින් අභීත ව සටන් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කැන්ගරු ලකුණු පුවරුව 184/9ක් බවට පත්වූයේ මේ ලකුණු 42ක් හා මැක්ඩර්මට් ලකුණු 18ක් ලබාගනිමින් ගොඩනැඟූ ලකුණු 40ක සබඳතාවය නිසයි. මෙම අවස්ථාවේ කැන්ගරුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් පමණක් අවශ්‍ය වූ අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් රසිකයන් ජයග්‍රහණය සැමරීම සඳහා බලා සිටියේ නොඉවසිල්ලෙන්. නමුත් මේ අවස්ථාවේ පන්දු යවමින් සිටි කට්නි වොල්ෂ් පරාජය පිළිගැනීමට සූදානම් නොවූ අතර, එම අවස්ථාවේ සිය සීමා ඉර වෙත ගිය ඔහු, එහි සිට වේගයෙන් දිව එමින් අපූරු කෙටි පන්දුවක් මැක්ඩර්මට් වෙත එල්ල කළා. කෙලින් ම සිය හෙල්මටය දෙසට පැමිණෙන කෙටි පන්දුවෙන් ආරක්ෂා වීමට මැක්ඩර්මට් උත්සාහ කළ ද, ඉතාමත් අවාසනාවන්ත අන්දමින් හෙල්මටයේ වැදුණු පන්දුව අනතුරුව අත් ආවරණයේ දැවටෙමින් කඩුලු රකින ජූනියර් මරේ වෙත ඇදී ගිය අතර, ඔහු එය සුරැකිව රැකගැනීමත් සමග ම කොදෙව්වන් උද්දාමයට පත්ව පිටිය පුරා දිව ගියා. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ අඩු ම පරතරය යි. එදා ඇඩිලේඩ් පිටියේ දී කොදෙව්වන් ලකුණු 1කින් ජයගත් එම තරගයේ  වීරයා සම්මානය ඇම්බ්‍රෝස් දිනාගත් අතර, එම ජයග්‍රහණය කොදෙව්වන් ව තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් දිරිමත් කරන්නට වුණා.

ඇම්බ්‍රෝස් කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

පර්ත් පිටියේ දී කොදෙව්වන් ජයපැන් බොයි

ඇඩිලේඩ් නුවර දී ලද ජයග්‍රහණය සමග ඉතාමත් උද්යෝගී අයුරින් පර්ත් ටෙස්ට් තරගයට අවතීර්ණ වූ කොදෙව්වන්ට කාසියේ වාසිය පරාජය වීම නිසා මුලින්ම පන්දු යැවීමට සිදුවුණා. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඉතා සීරුවෙන් පන්දුවට පහරදෙමින්, ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 85/2ක් දක්වා ඉහළ නැංවූ අතර, ඒ වන විට ඩේවිඩ් බූන් ලකුණු 44ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියා. මෙම අවස්ථාවේ නායක රිචඩ්සන් ඔහු සතු සුපිරි ම පන්දු යවන්නා වූ කර්ට්ලි ඇම්බ්‍රෝස් පන්දු යැවීමට කැඳෙව්වා. මෙම තරගාවලියට පෙර බෝඩර් දුටු සිහිනය වූයේ මෙම ෆ්රෑන්ක් වොරල් කුසලානය ජයග්‍රහණය කිරීමයි. නමුත් එදා ඇම්බ්‍රෝස් ඕස්ට්‍රේලියානු නායකයාගේ එම සිහිනය බොඳ කරමින් 1 ලකුණකට කඩුලු 7ක් ලබාගනිමින් 85/2ක් ලෙස තිබූ ඕස්ට්‍රේලියානු ඉනිම 119කට සීමා කළා. එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇම්බ්‍රෝස් ලකුණු 25කට කඩුලු 7ක් ලබාගත්තා. අනතුරුව සිය මුල් ඉනිම ඇරඹූ කොදෙව්වන් දිනය නිමාවන විට 135/1ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු වූයේ පළමු දිනයේ ම තරගයේ පාලනය ඔවුන් අතට ගනිමින්.

තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුව නායක රිචඩ්සන් ප්‍රමුඛ කොදෙව්වන් එය සමරමින් (espn cricinfo)

දෙවන දිනයේ ඉතා සීරුවෙන් කොදෙව්වන් පන්දුවට පහරදුන් අතර, ඔවුන්ගේ පිල වෙනුවෙන් සිමන්ස් ලබාගත් ලකුණු 80 හා කීත් ඇතර්ටන් ලබාගත් ලකුණු 77 නිසා ලකුණු 322ක් ඔවුන් මුල් ඉනිමට ලබාගත්තේ ඕස්ට්‍රේලියානු පිලට වඩා ලකුණු 203ක් ඉදිරියෙන් සිටිමින්. ලකුණු 203ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට මෙවර ද කොදෙව් පන්දු යවන්නන්ගෙන් සමාවක් නොලැබුණු අතර, දිනය නිමාවන විට ඔවුන් 75/4ක් ලෙස ලකුණු ලබාගනිමින් අසීරු අඩියක යි පසුවුණේ. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 128ක් පිටුපසින් සිට තෙවන දිනය ඇරඹූ කැන්ගරුවන්ට උදෑසනින් ම ලකුණු 52ක් ලබා සිටි ඩේවිඩ් බූන්ගේ කඩුල්ල අහිමිවීම බලවත් පාඩුවක් වුණා. බූන් දවාගැනීමත් සමග ම නැවතත් ක්‍රියාත්මක වූ බිෂොප් නායක බෝඩර් ව ලකුණු ලබාගැනීමට පෙර ම පිටියෙන් ඉවත් කිරීමත් සමග ම කැන්ගරු පරාජය ඉක්මන් වූ අතර, අවසානයේ දී ඉයන් බිෂොප් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගනිමින් කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 25ක ජයක් උරුමකර දුන්නා. තරගාවලියේ තරග 3ක් අවසන් වන විට 1-0ක් ලෙස පසුපසින් සිටි කොදෙව්වන්, අවසානයේ දී තරගාවලියේ ජය 2-1ක් ලෙස ලබාගන්නේ පිට පිටම ජයග්‍රහණය කළ 8වන ෆ්රෑන්ක් වොරල් තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමින්. තරගය පුරාවට කඩුලු 9ක් හා තරගාවලිය තුළ කඩුලු 36ක් දවාගත් ඇම්බ්‍රෝස්, තරගයේ වීරයා සම්මානය හා තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තා.

තරගාවලිය ජයග්‍රහණය කිරීමේ සතුට සතුට සමරන කොදෙව්වන්(espncricinfo)

මෙම තරගාවලියෙන් පසු කොදෙව්වන්ට කිසිදු දිනෙක කැන්ගරුවන් ව ටෙස්ට් තරගාවලියකින් පරාජය කිරීමට නොහැකිවීම තුළින් කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය මනා ව පෙන්නුම් කරනවා.

 

කවරයේ ඡායාරූපය:

ඇඩිලේඩ් ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රීතියට පත්ව සිටින කොදෙව්වන් (espncricinfo)

මූලාශ්‍රය:

Espncricinfo

Related Articles