Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෝටර් රථ ධාවන ඉතිහාසයේ Le Mans ඛේදවාචකය

මෝටර් රථ ධාවන තරග යනු අතීතයේ පටන් ම ලොව ජනප්‍රිය ක්‍රීඩා ඉසව්වලින් එකක් ලෙස හැඳින්වීම වරදක් නොවෙයි. මෙම ධාවන තරග මේ වන විට ලොව පුරා විවිධාකාරයෙන් ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාවේ අපට ද වසර පුරාවට විවිධ යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරග නැරඹීමේ අවස්ථාව ලැබී තිබෙනවා. මෙම ක්‍රීඩාව පිටුපස සැඟව ගිය භයානක පැතිකඩකුත් ඇති බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්.

පැයට සැතපුම් සිය ගණනක වේගයෙන් ඉදිරියට ඇදෙන මෙම රථයක ඇතිවන සුළු දෝෂයකින් හෝ රියදුරා අතින් සිදුවන සුළු අත්වැරද්දකින් විශාල හානියක් සිදු වීමේ ඉඩකඩ පවතිනවා. වර්තමානයේ දී විශේෂ ආරක්ෂක උපක්‍රම රාශියක් ක්‍රියාත්මක වීම නිසා රථයකට අනතුරුවලින් සිදු වන හානිය අවම කර ගැනීමට හැකිව තිබුණත් අතීතයේ දී විශාල වශයෙන් එවන් ආරක්ෂක උපක්‍රම භාවිත වූයේ නෑ. මේ නිසා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් රැසක් මෝටර් රථ ධාවන තරග ඉතිහාසය පිරික්සීමේ දී දැක ගත හැකි වනවා. 

Le Mans ධාවන පථයේ තරඟය ක්‍රියාත්මක වෙමින්
Le Mans ධාවන පථයේ තරඟය ක්‍රියාත්මක වෙමින් – www.second-a-lap.blogspot.com

ලෝක ශූරයන් පවා එම අනතුරුවලින් මියගිය අවස්ථා මෙන් ම මෝටර් රථ තරග නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් පවා මේවාට ගොදුරු වූ අවස්ථා සටහන් වනවා. එවැනි විශාල ඛේදවාචකයක් වාර්තා වන්නේ 1955 වසරේ ප්‍රංශයේ Le Mans හී දි යි. එහිදී සිදුවූ අනතුර යි. මේ අනතුරට ධාවකයන් මෙන් ම ප්‍රේක්ෂකයන් ද ගොදුරු වුණා. මෙය අදටත් හැඳින්වෙන්නේ මෝටර් ධාවන ඉතිහාසයේ එක් අඳුරු දිනයක් ලෙසට යි. එය Le Mans Disaster යන නමින් හැඳින්වෙනවා. 

World Sportscar Championship!

1950 දශකය ආරම්භයේ සිට ම මෝටර් රථ ධාවන තරග ලොව පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වුණා. විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ව සමස්ත ලෝකය ම  කාර්මික විප්ලවයකට මුල පුරා සිටි අතර ම, නම් දැරූ මෝටර් රථ නිෂ්පාදන සමාගම් ධාවන තරගවලට නවීන රථ එක් කිරීමට උත්සුක වුණා. එමඟින් ජයග්‍රහණ ලබා ගෙන තමන්ගේ සන්නාම ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන්ගේ මූලික අභිප්‍රාය බවට පත්ව තිබුණා. 

1950 දශකයේ මර්සිඩීස් බෙන්ස් සමාගම විසින් ධාවන තරඟ වලට එක් කල නවීන රථයක්
1950 දශකයේ මර්සිඩීස් බෙන්ස් සමාගම ධාවන තරගවලට එක් කළ නවීන රථයක් – www.motorsports.com

1955 වසරේ World Sportscar Championship සඳහා කණ්ඩායම් තුනක් සටනක නිරත ව සිටියා. ඒ මර්සිඩීස් බෙන්ස්, ෆෙරාරි සහ ජගුවර් යන කණ්ඩායම්. මේ කණ්ඩායම් සියල්ල ම පාහේ තමන්ගේ අති නවීන මෝටර් රථ නිෂ්පාදනයට මෙන් ම ලෝක ශූරතාව තමන්ගේ කණ්ඩායමට දිනා ගැනීමට ද විශාල වශයෙන් වෙහෙස වෙමින් සිටියා. එකල මෙම මෝටර් රථයක උපරිම වේගය පැයට කිලෝමීටර් 270ක් පමණ වූ බව සඳහන්. මෙම තරගය ඇරඹීමට ප්‍රථමයෙන් ම මැග්නීසියම් යොදා ගනිමින් වඩා සැහැල්ලු මෝටර් රථයක් නිර්මාණය කිරීමට ද මර්සිඩීස් බෙන්ස් සමත්ව තිබුණා. 

තරගයේ ආරම්භය

1955 වසරේ ජූනි මස 11 වන දා සවස 4ට පමණ මෙම තරගය ආරම්භ වුණා. ඒ ප්‍රංශයේ Le Mans ධාවන පථයේදී යි. තරගය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් පැමිණ සිටියා. ලෝක ශූරතාව ආරම්භ වූ ආකාරයෙන් ම මෙම අදියරේදීත් වැඩි වාසි හිමි කර ගනිමින් ෆෙරාරි, ජගුවර් සහ මර්සිඩීස් බෙන්ස් ධාවකයන් ඉදිරියෙන් ම ගමන් කළා. 

පළමු පැය ඇතුළත දී තරගයේ වැඩි වාසි ඉහත කණ්ඩායම් ත්‍රිත්වයට හිමි වෙද්දී දෙවන පැය වන විට ෆෙරාරි ක්‍රීඩක Eugenio Castellotti තරමක් පසු බෑමකට ලක් ව සිටියා. සවස 6.20 පසුවන විට තරගයේ 35 වන වටය ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ම ජගුවර් සහ මර්සිඩීස් ක්‍රීඩකයන් කරට කර සටනක සහ අධිවේගී ධාවනයක නිරත ව සිටියා. 

අනතු‍රින් යන්තමින් ගැලවුණ මර්සිඩීස් ක්‍රීඩක Juan Fangio
අනතු‍රින් යාන්තමින් ගැලවුණු මර්සිඩීස් ක්‍රීඩක Juan Fangio – www.fliker.com

35 වන වටයේ අවසන් භාගයට ළඟා වෙද්දී ජගුවර් ක්‍රීඩක Mike Harwthon, මර්සිඩීස් ක්‍රීඩකයන් දෙපළ වන Juan Fangio සහ Pierre Levegh සමඟ ඔස්ටින් හාලි ක්‍රීඩක Lance Macklin එක පෙළට වේගයෙන් ගමන් කරමින් සිටියා. මේ මොහොතේදී මැද ගමන් කරමින් සිටි ඔස්ටින් හාලි ක්‍රීඩක Macklin ගේ මෝටර් රථයේ පිටුපස මර්සිඩීස් ක්‍රීඩක Levegh ගේ මෝටර් රථය ගැටීමකට ලක් වුණා. 

Le Mans ඛේදවාචකය!

ඒ ගැටීමෙන් අනතුරුව පැයට කිලෝමීටර් 200 ක පමණ වේගයෙන් මර්සිඩීස් ක්‍රීඩක Pierre Levegh ගේ මෝටර් රථය ප්‍රේක්ෂකාගාරයට විසි වුණා. ඉහළින් විසි වන මෝටර් රථයේ එන්ජිම ඇතුළු ඉදිරිපස කොටස තෙරෙපෙමින් සිටි ප්‍රේක්ෂකයන් අතරින් විනාශකාරී ලෙසට ගමන් කළා. වඩා හොඳ දර්ශනයක් නැරඹීම සඳහා ඉනිමං ඔස්සේ ඉහළට ගමන් කොට සිටි ප්‍රේක්ෂකයන් රැසක් ඉහළ විසි වූ මෝටර් රථයේ ගොදුරු බවට පත් වුණා. මෝටර් රථයේ පසුපස කොටස වෙනම විසි වෙද්දී රථයෙන් ඉවතට වැටුණු ධාවක Levegh ගේ හිස, ධාවන පථයේ වැදී කුඩුපට්ටම් වී තිබුණ බව සඳහන්. 

Levegh ගේ ගැටීමට ලක් වූ ඔස්ටින් හාලි ක්‍රීඩක Lance Macklin ගේ මෝටර් රථය අනෙක් පස බැම්මේ වැදී ඡායාරූපය ශිල්පියෙක්ගේ සහ පොලිස් නිලධාරියෙක්ගේද ගැටී නැවත විසි වෙද්දී ඔහු මෝටර් රථයෙන් ඉවතට පැන ගැනීමට සමත් වුණා. මේ නිසා Macklin බරපතළ තුවාල රහිත ව දිවි ගලවා ගත්තා.  විසිවී ගිය Levegh ගේ මර්සිඩීස් රථයේ පසුපස කොටසේ ඉන්ධන කාන්දු වීම නිසා ඒ අසල විශාල ගින්නක් නිර්මාණය වුණා.  

අනතු‍රින් පසුව ගිනිගෙන දැවෙන මෝටර් රථය. පසෙක පිටතට විසිව සිටින්නේ රියදුරු Pierre Levegh ය.
අනතු‍රින් පසු ගිනි ගෙන දැවෙන මෝටර් රථය. පසෙක පිටතට විසිව සිටින්නේ රියදුරු Pierre Levegh ය – www.pledgetimes.com

පෙර සඳහන් කළ ආකාරයට රථය වඩා සැහැල්ලු කිරීමේ අරමුණින් මර්සිඩීස් කණ්ඩායම නිර්මාණය කළේ මැග්නීසියම් යොදා ගත් මෝටර් රථයක්. රථයේ තිබූ මැග්නීසියම් නිසා ගින්න වඩා වේගයෙන් පැතිරීම ආරම්භ වුණා. මේ සම්බන්ධයෙන් අවබෝධයක් නොතිබූ ගිනි නිවන සේවකයන් ගින්න නිවීමට දිගට ම ජලය යොදා ගත් අතර ජලය නිසා මැග්නීසියම් දහනය වීම තවදුරටත් ඉක්මන් වුණා. මේ නිසා වැඩි වේලාවක් නොගොස් මෝටර් රථයේ ඉතිරිය සම්පූර්ණයෙන් ම දහනය වී අවසන් වුණා.

තැන තැන විසිරුණ මළ සිරුරු!

අනතුරෙන් පසු ව එයට ගොදුරු වී තුවාළ ලැබූ සහ මිය ගිය ප්‍රේක්ෂකයන් සෑම තැනක ම පාහේ දක්නට ලැබුණා. ජගුවර් කණ්ඩායමේ රියදුරෙක් වූ ඩන්කන් හැමිල්ටන් තම මතකය අවදි කරමින් ප්‍රකාශ කළේ සෑම තැනක ම වේදනාව, මළවුන් සහ බලාපොරොත්තු සුන් වී කෑගසන ව්‍යසනයක් තමා දුටු බවත්, එය තමන්ට සිහිනයක් මෙන් හැඟී ගිය බවත්. 

අනතුරෙන් පසුව මියගිය අයගේ මළ සිරුරු තබා තිබෙන ආකාරය
අනතුරෙන් පසුව මියගිය අයගේ මළ සිරුරු තබා තිබුණු ආකාරය – www.dailymail.co.uk

මෙම අනතුරෙන් මර්සිඩීස් බෙන්ස් ධාවක Pierre Levegh ඇතුළු නරඹන්නන් 84 දෙනෙක් මිය ගියා. තුවාල ලැබූ පිරිස 120 කට අධික බව ද සඳහන්. අදටත් මෝටර් රථ ධාවන ඉසව්වක දී සිදුවූ විශාලත ම ඛේදවාචකය ලෙසින් මෙය සැලකෙනවා. එය සමස්ත ක්‍රීඩා ලොවක් කම්පා කිරීමට පවා සමත් වුණා. අනතුරෙන් පසුව ධාවක Levegh ගේ ප්‍රාණය නිරුද්ධ වී ගිය සිරුර ධාවන පථය මත වැටී තිබුණ අතරම මර්සිඩීස් කණ්ඩායම් සගයා වූ John Fitch හා ඔහුගේ බිරිය ඒ අසල රැඳී සිටියා. ධාවකයාගේ සිරුර බැනරයකින් පසුව වැසූ බව සඳහන්. 

මෙම අනතුර සහ මැග්නීසියම් යොදා ගනිමින් නිර්මාණය කළ මෝටර් රථය සම්බන්ධයෙන් මර්සිඩීස් බෙන්ස් කණ්ඩායම කනගාටුවට පත් වුණා. ඔවුන් සියලුම මෝටර් රථ ධාවන තරගවලින් තමන් ඉවත් වන බව එදින රාත්‍රියේ දී ම ප්‍රකාශ කළා. 1989 වසර වනතෙක් මර්සිඩීස් බෙන්ස් කණ්ඩායමක් ධාවන තරග සඳහා එක් වුණේ නෑ. ප්‍රංශය, ස්පාඤ්ඤය, බටහිර ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂාව තහවුරු වන තෙක් තම රටතුළ පැවැත්වීමට නියමිත ව තිබූ සියලු ම මෝටර් රථ ධාවන තරග තාවකාලික ව අත්හිටුවීමට කටයුතු කළා. 

වර්තමානයේදී ධාවන තරඟ සඳහා යොදා ගන්නා අති නවීන මර්සිඩීස් බෙන්ස් කණ්ඩායමේ රථයක්
වර්තමානයේදී ධාවන තරඟ සඳහා යොදා ගන්නා අති නවීන මර්සිඩීස් බෙන්ස් කණ්ඩායමේ රථයක් – www.autosports.com

මේ ආකාරයෙන් අනතුරුදායක වන මෝටර් ධාවන තරග ඉසව් අදටත් ලොව පුරා ඉතාමත් ම ජනප්‍රිය ලෙසින් පැවැත්වෙනවා. එදා අනතුරට පත් වූ මර්සිඩීස් බෙන්ස් කණ්ඩායම අද පිට පිට 8 වතාවක් ෆෝමියුලා 1 කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට සමත් ව තිබෙනවා. 7 වරක් ලෝක ශූරයා වූ ලුවිස් හැමිල්ටන් ද මර්සිඩීස් බෙන්ස් කණ්ඩායමේ සාමාජිකයෙක්. අතීතයෙන් උගත් පාඩම් නිසා ම වර්තාමනයේ දී පැවැත්වෙන ධාවන ඉසව් සඳහා ආරක්ෂාව අංක 1 කිරීමට ලොව පුරා ධාවන සම්මේලන කටයුතු යොදා තිබෙනවා. 

කවරයේ ඡායාරූපය - www.igtcars.com
 මූලාශ්‍ර :

www.gq-magazine.co.uk

www.motorious.com

 www.history.com

www.motorsports.com

Related Articles