Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානය දිනන්න වැඩි ඉඩක් ඇත්තේ කාටද?

ක්‍රීඩා තරගාවලියකට එහා ගිය සැණකෙළියක් බඳු පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ දී අද (20 වැනි දා) ආරම්භ වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. එවැනි මොහොතක මෙවර පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමේ අරමුණ සහිතව කණ්ඩායම් 32 ක් කටාර් හි කඳවුරු බැඳ ගත්තා.

මේ කණ්ඩායම් 32 අතුරින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට වඩාත් ම ඉඩ ඇති කණ්ඩායම් 6 ක් සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා.

1. බ්‍රසීලය

ප්‍රබල බ්‍රසීල කණ්ඩායම – www.sportingnews.com

කවදත් පාපන්දු පිටියට රජවරුන් බිහි කළ බ්‍රසීලය 2022 ලෝක කුසලානයට ද සුපිරි තරු රැසකගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට කටයුතු කළා. සෑම විටෙක ම පාහේ ලෝක කුසලානයට සහභාගී වන හොඳ ම සංචිතයක් ඔවුන් සතු යි. 1958, 1962, 1970, 1994 සහ 2002 යන වසරවල දී පාපන්දු ලෝක ශූරතාව දිනා ගෙන වැඩි ම වතාවක් ලෝක ශූරයන් වූ කණ්ඩායම ලෙසින් බ්‍රසීලය ඉතිහාසගත වී සිටිනවා. ඉනික්බිති වසර 20 ක් ගතව යන තෙක් පාපන්දු ලොවේ නම් දැරූ හැඩකාරයන්ට ලෝක කුසලාන පහස විඳීමට හැකියාව ලැබුණේ නෑ.

ප්‍රංශයේ පී.එස්.ජී. ක්‍රීඩා සමාජයේ නායකයා ද වන ආරක්ෂක ක්‍රීඩක මාර්කිනියොස් සමස්ත බ්‍රසීල කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. ඔහුට අමතර ව බ්‍රසීලය වෙනුවෙන් තමන්ගේ අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කරන බවට නෙයිමාර් ප්‍රකාශ කොට සිටියා. යුරෝපයේ ප්‍රපල ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩා කරන තරු රැසක් ම බ්‍රසීලය සතු යි.

වර්තමානයේ දී ලොව සිටින ප්‍රබලත ම දැල් රකින්නන් දෙපළක් වන ඇලිසන් බෙකර් සහ එඩර්සන් මොරායෙස් යන දෙපළ ම බ්‍රසීල සංචිතයට නම් වුණා. සෙන්ටර් බැක් ක්‍රීඩකයන් වන 2014 ලෝක කුසලානයේ දී බ්‍රසීල නායකත්වය දැරූ තියාගෝ සිල්වා සමඟින් මාර්කිනියොස් සහ එඩර් මිලිටාවෝ යන ප්‍රබලයන් සංචිතයට ඇතුළත් වනවා. ෆුල් බැක් ක්‍රීඩකයන් අතරේ 39 හැවිරිදි වියේ පසුවන ඩැනි අල්වෙස් තමන්ගේ අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත යි.

බ්‍රසීලයේ ප්‍රධාන ම බලාපොරොත්තුව වන නෙයිමාර් – www.theexpresstribune.com

කැසමීරෝ ගේ ආරක්ෂිත මැදපෙළ ක්‍රීඩා රටාවට සහාය වෙමින් ෆැබින්යෝ, ලුකාස් පකුයේටා, බෲනෝ ගුයිමාරෙස් වැනි ප්‍රබලයන් බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කරනවා. සංචිතයේ වඩාත් ශක්තිමත් ඉදිරිපෙළක් සහිත බ්‍රසීලය වෙනුවෙන් නෙයිමාර් සමඟ විනිසියස් ජූනියර්, ගේබ්‍රියෙල් ජීසස්, රිචාලිසන්, ඇන්තනි වැනි නම් දැරූ ක්‍රීඩකයන් ගණනාවක් ඇතුළත් කිරීමට බ්‍රසීලය කටයුතු කළා.

කලක පටන් බ්‍රසීලය වෙනුවෙන් ප්‍රහාරක ක්‍රීඩකයන් වූ රොබෙර්ටෝ ෆර්මිනෝට සහ ගේබ්‍රියෙල් බාර්බෝසාට මෙවර ලෝක කුසලාන සංචිතයේ තම ස්ථාන අහිමි වුණා. ඒ වගේ ම ආසනල් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන ආරක්ෂක ක්‍රීඩක ගාබ්රියෙල්ට ද බ්‍රසීල සංචිතයේ තැනක් හිමි වුණේ නෑ. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ස්ථානය හිමි බ්‍රසීලය මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට විශාල ඉඩකඩක් සහිත කණ්ඩායමක්.

ලෝක කුසලානයට සහභාගී වන බ්‍රසීල සංචිතය

දැල් රකින්නෝ

ඇලිසන් බෙකර් (ලිවර්පූල්)

එඩර්සන් මොරායෙස් (මැන්චෙස්ටර් සිටි)

වෙවර්ටන් (පල්මෙයිරාස්)

ආරක්ෂක ක්‍රීඩකයෝ

ඩැනිලෝ (යුවෙන්ටස්)

ඩැනි අල්වෙස් (පූමාස්)

ඇලෙක් සැන්ඩ්‍රෝ (යුවෙන්ටස්)

ඇලෙක්ස් ටෙලෙස් (සෙවියා)

තියාගෝ සිල්වා (චෙල්සි)

මාර්කිනියොස් (පී.එස්.ජී)

එඩර් මිලිටාවෝ (රියාල් මැඩ්රීඩ්)

බ්‍රමර් (යුවෙන්ටස්)

මැදපෙළ ක්‍රීඩකයෝ

කැසමිරෝ (මැන්චෙස්ටර් යුනයිටඩ්)

ෆැබින්යෝ (ලිවර්පූල්)

බෲනෝ ගුයිමාරෙස් (නිව්කාසල්)

ෆ්‍රෙඩ් (මැන්චෙස්ටර් යුනයිටඩ්)

ලුකාස් පකුයේටා (වෙස්ට් හැම් යුනයිටඩ්)

එවර්ටන් රිබෙයිරෝ (ෆ්ලැමෙන්ගෝ)

ඉදිරිපෙළ ක්‍රීඩකයෝ

නෙයිමාර් (පී.එස්.ජී.)

විනිසියස් ජූනියර් (රියාල් මැඩ්රීඩ්)

ගේබ්‍රියෙල් ජීසස් (ආසනල්)

ඇන්තනි (මැන්චෙස්ටර් යුනයිටඩ්)

රපීන්යා (බාසිලෝනා)

රිචාලිසන් (ටොටන්හැම්)

ගේබ්‍රියෙල් මාටිනෙලි (ආසනල්)

රොද්රිගෝ (රියාල් මැඩ්රීඩ්)

පෙද්රෝ (ෆ්ලැමෙන්ගෝ)

2. එංගලන්තය

එංගලන්තය 2021 යුරෝ කුසලාන අනුශූරතාව පවා දිනා ගත්තා – www.khelnow.com

1966 වසරේදී තම මුල් ම පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමෙන් වසර 56 කට පසු තම සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණ සහිත ව එංගලන්තය ලෝක කුසලානයට සහභාගී වනවා. පසුගිය වසර කිහිපය පුරාවට ම සුපිරි දක්ෂතා සහිත ක්‍රීඩකයන් ගණනාවක් ම එංගලන්තය සතු වුණා. මේ හේතුවෙන් වසර කිහිපයක සිට ඔවුන් ප්‍රධාන පාපන්දු තරගාවලි තුළ සැලකියයුතු මට්ටමේ දක්ෂතා ප්‍රදර්ශනය කළා.

නිමාවූ 2018 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය තෙක් පැමිණි එංගලන්තය එම තරගයෙන් ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත් වුණා. එංගලන්තය ඉන් අනතුරු ව 2021 පැවති යුරෝ කුසලාන අවසන් මහා තරගයට පැමිණියා. එවර ද අවාසනාවන්ත ලෙස ඉතාලිය හමුවේ පරාජයට වීමට ඔවුන්ට සිදු වුණා. එංගලන්තය අවසන් වතාවට සහභාගී වූ ප්‍රධාන තරගාවලිවල සුපිරි දක්ෂතා දැක්වුවත් එම තරගාවලි ජයග්‍රහණයකින් අවසන් වූයේ නෑ.

මේ නිසා ම මෙවර ලෝක කුසලානයට තමන් සතු සියලු ම බර අවි එකතු කර ගන්නා එංගලන්තය වසර 56 කට පසු සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් තරග වදිනවා. පසුගිය වසර කිහිපයේ දී එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය අතිශය තරගකාරී වීම නිසා දක්ෂ ක්‍රීඩකයන් රැසක් ම එංගලන්තයට හිමි වුණා. ඔවුන් සියල්ලෝ ම පාහේ යුරෝපයේ හොඳ ම ක්‍රීඩා සමාජ නියෝජනය කරනවා.

ජෝන් ස්ටෝන්ස්, කයිල් වෝකර්, ඇලෙක්සැන්ඩර් ආනෝල්ඩ් වැනි සෙන්ටර් බැක් සහ ෆුල් බැක් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් එංගලන්ත පසු පෙළ ශක්තිමත් ව තිබෙනවා. විශේෂයෙන් ම එංගලන්ත ෆුල්බැක් ක්‍රීඩකයන් වඩාත් වේගයෙන් ආක්‍රමණශීලී ව ක්‍රීඩා කරන බව නොරහසක්. ජූඩ් බෙලින්හැම්, මේසන් මවුන්ට් වැනි තරුණ ක්‍රීඩකයන් සහ ජෝර්ඩන් හෙන්ඩර්සන් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් ද එංගලන්ත මැද පෙළ සමන්විත යි.

එංගලන්තයේ නායකත්වය හැරී කේන්ට හිමිව තිබෙනවා – www.japantimes.com

වඩා ශක්තිමත් ඉදිරිපෙළක් සහිත මෙම කණ්ඩායමේ නායකත්වය ටොටන්හැම් ඉදිරි පෙළ ක්‍රීඩක මෙන් ම 2018 පාපන්දු ලෝක කුසලානයේ වැඩි ම ගෝල ලාභියා ද වූ හැරී කේන්ට හිමි ව තිබෙනවා. කේන්ට අමතරව පිල් ෆෝඩෙන්, ජැක් ග්‍රේලිෂ්, මාකස් රශ්ෆෝර්ඩ් වැනි දැවැන්ත නම් රැසක් ම එංගලන්තය සතු යි. ලෝක ශ්‍රේණිගත කිරීම් හි 5 වන තැන හිමි ව තිබෙන එංගලන්තය මෙවර ලෝක කුසලානයේ දී සෑහෙන දුරක් ගමන් කළ හැකි කණ්ඩායමක්.

ලෝක කුසලානයට සහභාගී වන එංගලන්ත සංචිතය

දැල් රකින්නෝ

ජෝර්ඩන් පික්ෆර්ඩ් (එවර්ටන්)

නික් පෝප් (නිව්කාසල් යුනයිටඩ්)

ආරොන් රැම්ස්ඩේල් (ආසනල්)

ආරක්ෂක ක්‍රීඩකයෝ

ජෝන් ස්ටෝන්ස් (මැන්චෙස්ටර් සිටි)

ඇලෙක්සැන්ඩර් ආර්නෝල්ඩ් (ලිවර්පූල්)

එරික් ඩයර් (ටොටන්හැම්)

කෝනර් කෝඩි (එවර්ටන්)

බෙන් වයිට් (ආසනල්)

ලූක් ශෝ (මැන්චෙස්ටර් යුනයිටඩ්)

කයිල් වෝකර් (මැන්චෙස්ටර් සිටි)

හැරී මැග්ගුයර් (මැන්චෙස්ටර් යුනයිටඩ්)

කිරියන් ට්‍රිප්පියර් (නිව්කාසල් යුනයිටඩ්)

මැදපෙළ ක්‍රීඩකයෝ

කැල්වින් පිලිප්ස් (මැන්චෙස්ටර් සිටි)

ඩෙක්ලන් රයිස් (වෙස්ට් හැම් යුනයිටඩ්)

කෝනර් ගලගර් (චෙල්සි)

ජූඩ් බෙලින්හැම් (බොරුසියා ඩොර්ට්මුන්ඩ්)

ජෝර්ඩන් හෙන්ඩර්සන් (ලිවර්පූල්)

මේසන් මවුන්ට් (චෙල්සි)

ඉදිරිපෙළ ක්‍රීඩකයෝ

හැරී කේන් (ටොටන්හැම්)

මාකස් රශ්ෆෝර්ඩ් (මැන්චෙස්ටර් යුනයිටඩ්)

කලම් විල්සන් (නිව්කාසල් යුනයිටඩ්)

පිල් ෆෝඩෙන් (මැන්චෙස්ටර් සිටි)

ජැක් ග්‍රේලිෂ් (මැන්චෙස්ටර් සිටි)

බුකායෝ සකා (ආසනල්)

ජේම්ස් මැඩිසන් (ලෙයිෂ්චර් සිටි)

රහීම් ස්ටර්ලින් (චෙල්සි)

3. පෘතුගාලය

පෙරළිකාර ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත පෘතුගාලය – www.sportsbreif.com

ලෝක කුසලාන තරගාවලියේ විශාල කතාබහකට ලක් නොවුණත් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් පෘතුගාලය සතු යි. ඔවුන් සියල්ලෝ ම පාහේ ලොව ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයන් හි ක්‍රීඩා කරනවා. 1966 දී සහ 2006 දී ලෝක කුසලාන අවසන් පූර්ව වටය නියෝජනය කිරීම හැරෙන්නට වෙනත් දස්කමක් ඉතිහාසයේ පෘතුගාලය නමින් සටහන් වන්නේ නෑ.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ නායකත්වයෙන් සමන්විත වන පෘතුගාලය යනු ඕනෑම මොහොතක ප්‍රබල යැයි සම්මත ඕනෑම අයෙක් පරාජය කිරීමට තරම් හැකි කණ්ඩායමක්. අත්දැකීම් බහුල පෙපේ සහ ප්‍රිමියර් ලීග් වසරේ ක්‍රීඩකයා යන සම්මානය පවා දිනා ගත් රුබෙන් ඩියාස් දෙපළ එරට පසුපෙළ ශක්තිමත් කරනවා. නුනෝ මෙන්ඩෙස්, ජාවෝ කැන්සෙලෝ වැනි ෆුල්බැක් ක්‍රීඩකයන්ට ආක්‍රමණශීලී ව කටයුතු කළ හැකි යි.

ඉන් අනතුරුව පෘතුගාලය සතු ව ශක්තිමත් මැද පෙළ ක්‍රීඩකයන් රැසක් ම සිටිනවා. බර්නාඩෝ සිල්වා, බෲනෝ ෆර්නැන්ඩස් වැනි මෑත කාලීනව හොඳ රිද්මයක් පවත්වා ගෙන යන ක්‍රීඩකයන් පෘතුගාල මැදපෙළට අයත්. ඉහත නම් සඳහන් කළ අය පාපන්දු ක්‍රීඩා සමාජ පිටිය තුළ නැතිව ම බැරි ක්‍රීඩකයන් ලෙසින් ප්‍රකට ව තිබෙනවා.

ලෝක පාපන්දු ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා වෙමින් ගෝල 117 ක් තමන්ගේ නමට ලියා ගෙන තිබෙන, 37 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන ඉදිරිපෙළ බළඇණිය ද ලොව ඕනෑම ආරක්ෂක වළල්ලක් බිඳ හෙළිය හැකි තරම් ශක්තිමත්. ඇන්ඩ්‍රේ සිල්වා, ජාවෝ ෆීලික්ස්, රෆායෙල් ලියාවෝ වැනි තරු රොනාල්ඩෝට සහාය ලබා දෙනවා.

පෘතුගාලයේ ම බලාපොරොත්තුව බවට පත්ව සිටිනා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – www.olympics.com

මැදපෙළ ක්‍රීඩක රෙනාටෝ සැන්චෙස් පෘතුගාල සංචිතයට නම් වුණේ නෑ. ඔහුට අමතර ව ඉදිරිපෙළ ක්‍රීඩක රෆා සිල්වාට ද ලෝක කුසලාන සංචියට ඇතුළත් වීමට නොහැකි වුණා. ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩකයෙක් වන දියෝගෝ ජෝටාට ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට අවාසනාවන්ත ලෙස ලෝක කුසලානය මඟ හැරී ගියා. කෙසේ වුවත් මෙම පෘතුගාල කණ්ඩායම මෙවර තරගාවලිය තුළ පෙරළිකාරයන් වන බවට අනුමාන කළ හැකි යි.

ලෝක කුසලානයට සහභාගී වන පෘතුගාල සංචිතය

දැල් රකින්නෝ

දියෝගෝ කොස්තා (පෝර්ටෝ)

ජොසේ සා (වුල්වහැම්ප්ටන්)

රූයි පැට්රීෂියෝ (රෝමා)

ආරක්ෂක ක්‍රීඩකයෝ

දියෝගෝ ඩැලොට් (මැන්චෙස්ටර් යුනයිටඩ්)

ජාවෝ කැන්සෙලෝ (මැන්චෙස්ටර් සිටි)

ඩැනිලෝ පෙරෙයිරා (පී.එස්.ජී.)

පෙපේ (පෝර්ටෝ)

රුබෙන් ඩියාස් (මැන්චෙස්ටර් සිටි)

ඇන්ටෝනියෝ සිල්වා (බෙන්ෆිකා)

නුනෝ මෙන්ඩෙස් (පී.එස්.ජී.)

රෆායෙල් ගුරෙයිරෝ (බොරුසියා ඩොර්ට්මුන්ඩ්)

මැදපෙළ ක්‍රීඩකයෝ

ජවෝ පලීන්යා (ෆුල්හැම්)

රුබෙන් නෙවෙස් (වුල්වහැම්ප්ටන්)

බර්නාඩෝ සිල්වා (මැන්චෙස්ටර් සිටි)

බෲනෝ ෆර්නැන්ඩස් (මැන්චෙස්ටර් යුනයිටඩ්)

ජාවෝ මාරියෝ (බෙන්ෆිකා)

මතායෙස් නූනෙස් (වුල්වහැම්ප්ටන්)

ඔටාවියෝ (පෝර්ටෝ)

විටින්යා (පී.එස්.ජී.)

විලියම් කවාලියෝ (රියාල් බෙටිස්)

ඉදිරිපෙළ ක්‍රීඩකයෝ

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (මැන්චෙස්ටර් යුනයිටඩ්)

ඇන්ඩ්‍රේ සිල්වා (රෙඩ්බුල් ලිප්සිග්)

ගොන්සාලෝ රාමෝස් (බෙන්ෆිකා)

ජාවෝ ෆීලික්ස් (ඇට්ලෙටිකෝ මැඩ්රීඩ්)

රෆායෙල් ලියාවෝ (ඒ.සී. මිලාන්)

රිකාඩෝ හොර්ටා (බාර්ගා)

4. ජර්මනිය

21 වන සියවසේ ලෝක කුසලාන තුළ සාර්ථක ම කණ්ඩායම බවට පත් වූ ජර්මනිය – www.bavarianfootballworks.com

ලෝක කුසලාන අවසන් මහා තරග 8 ක් ක්‍රීඩා කොට එයින් 4 ක ශූරතාව ජයග්‍රහණය කිරීමේ මහේශාඛ්‍ය අතීතයක් ජර්මනිය සතු වනවා. ඔවුන් කවදත් සාම්ප්‍රදායික ව ලෝක කුසලාන තරග තුළ හොඳින් දස්කම් දක්වනවා. මෙවර ලෝක කුසලානය සඳහා ද නවක මෙන් ම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ගෙන් සමන්විත ක්‍රීඩකයන් 26 දෙනෙක් නම් කිරීමට ජර්මනිය කටයුතු කළා.

21 වන ශතවර්ෂය ඇතුළත පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල 2018 හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවක දී ම අවම වශයෙන් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ජර්මනිය සමත් වුණා. ඔවුන් මෑතකාලීන ව පාපන්දු ලෝක කුසලානවල දැක්වූ දක්ෂතා වලට එය හොඳ ම උදාහරණයක්.

ජර්මනිය සතුව හොඳ පාපන්දු ලීගයක් පවතින අතර ම ඒ හේතුව නිසා සෑම විටෙක ම පාහේ තරුණ දක්ෂ ක්‍රීඩකයන් රැසක් ඉදිරියට පැමිණෙනවා. එම ක්‍රීඩකයන් නිවැරැදි මඟ පෙන්වීමක් යටතේ තබා ගැනීම හේතුවෙන් එරට පාපන්දු ක්‍රීඩාව මෙලෙස ඉහළ මට්ටමක පවතිනවා. මෙවර ලෝක කුසලානයට එක් වන කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දැල් රකින ක්‍රීඩක මැනුවෙල් නෝයර්ට යි. 2014 ලෝක ශූර ජර්මන් කණ්ඩායමේ දැල් රකින්නා මෙන් ම තරගාවලියේ දක්ෂතම දැල් රකින්නා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

ඇන්ටෝනියෝ රූඩිගාර්, නිකලස් සූලේ වැනි ක්‍රීඩකයන් ගෙන් ජර්මන් පසුපෙළ සවිමත් වී තිබෙනවා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් අතරේ වඩාත් සාර්ථක මැදපෙළක් ද ජර්මනිය සතු වනවා. ලියෝන් ගොරෙට්ස්කා, මැදපෙළ මෙන් ම ෆුල්බැක් ක්‍රීඩකයෙක් ලෙසින් ද ක්‍රීඩා කළ හැකි ජෝශුවා කිමිච්, ඉල්කායි ගුන්ඩුවාන් මෙන් ම නවක තරුවක් වන ජමාල් මුසියලා ගෙන් ද ජර්මන් මැදපෙළ සමන්විත යි.

ජර්මනියේ ඉදිරිපෙළ මෙහෙයවන තෝමස් මුලර් – www.bavarianfootballworks.com

2010 පාපන්දු ලෝක කුසලානයේ වැඩි ම ගෝල ලාභියා මෙන් ම 2014 ලෝක ශූර ජර්මන් කණ්ඩායම වෙනුවෙන් වැඩි සේවයක් සිදු කළ තෝමස් මුලර් ගේ මෙහෙයවීමෙන් ජර්මන් ආක්‍රමණය සමන්විත වනවා. කායි හැවෙර්ට්ස්, සර්ජ් ග්නැබ්රි, ලිරෝයි සානේ වැනි දක්ෂ නවකයන් තෝමස් මුලර් ගේ අත්දැකීම් සමඟ සටන් වැදීමට නියමිත යි. මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 4 දක්වා පැමිණීමට ජර්මනියට විශාල ඉඩකඩක් පවතිනවා.

ලෝක කුසලානයට සහභාගී වන ජර්මන් සංචිතය

දැල් රකින්නෝ

මැනුවෙල් නෝයර් (බයන් මියුනිච්)

මාක් ඇන්ඩ්‍රේ ටර් ස්ටෙගන් (බාසිලෝනා)

කෙවින් ට්‍රැප් (ෆ්‍රෑන්ක්ෆර්ට්)

ආරක්ෂක ක්‍රීඩකයෝ

ආමෙල් බෙලා-කොචාප් (සවුත්හැම්ප්ටන්)

මතායෙස් ගින්ටර් (ෆ්‍රෙයිබර්ග්)

ක්‍රිස්ටියන් ගන්ටර් (ෆ්‍රෙයිබර්ග්)

තිලෝ කර්හර් (වෙස්ට් හැම් යුනයිටඩ්)

ලුකාස් ක්ලොස්ටර්මාන් (රෙඩ්බුල් ලිප්සිග්)

ඩේවිඩ් රවුම් (රෙඩ්බුල් ලිප්සිග්)

ඇන්ටෝනියෝ රූඩිගාර් (රියාල් මැඩ්රීඩ්)

නිකෝ ශ්ටොල්කබෙට් (බොරුසියා ඩොර්ට්මුන්ඩ්)

නිකලස් සූලේ (බොරුසියා ඩොර්ට්මුන්ඩ්)

මැදපෙළ ක්‍රීඩකයෝ

ලියෝන් ගොරෙට්ස්කා (බයන් මියුනිච්)

ජෝශුවා කිමිච් (බයන් මියුනිච්)

ජොනාස් හොෆ්මාන් (බොරුසියා මොන්චන්ග්ලැඩ්බැච්)

ඉල්කායි ගුන්ඩුවාන් (මැන්චෙස්ටර් සිටි)

මාරියෝ ගොට්සේ (ෆ්‍රෑන්ක්ෆර්ට්)

ජමාල් මුසියලා (බයන් මියුනිච්)

ජූලියන් බ්‍රැන්ඩ්ට් (බොරුසියා ඩොර්ට්මුන්ඩ්)

ඉදිරිපෙළ ක්‍රීඩකයෝ

කරිම් අඩෙයෙමි (බොරුසියා ඩොර්ට්මුන්ඩ්)

සර්ජ් ග්නැබ්රි (බයන් මියුනිච්)

කායි හැවෙර්ට්ස් (චෙල්සි)

යොවුසොෆා මොවුයාකෝ (බොරුසියා ඩොර්ට්මුන්ඩ්)

තෝමස් මුලර් (බයන් මියුනිච්)

නිකලස් ෆුල්ක්රග් (වර්ඩර් බර්මන්)

ලිරෝයි සානේ (බයන් මියුනිච්)

5. ප්‍රංශය

ප්‍රංශය 2018 ලෝක පාපන්දු ශූරතාව දිනා ගත් මොහොත – www.wisconsinmuslimjournel.com

වත්මන් ලෝක පාපන්දු ශූරයන් වන ප්‍රංශය තමන්ගේ ලෝක ශූර නාමය ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තුව සහිතව මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසෙනවා. 2018 තරගාවලියේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් බහුතරයක් ම මෙවර ද ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය ලබා දෙනවා. මේ නිසා 2018 මෙන්ම ප්‍රබල කණ්ඩායමක් 2022 දී ද ප්‍රංශය සතු යි.

1998 සහ 2018 වර්ෂවල පාපන්දු ලෝක ශූරතාව දිනා ගත් ප්‍රංශය 2006 තරගාවලියේ අනු ශූරයන් බවට පත් වුණා. වසර 20 කට පසුව සමස්ත රටේ ම බලාපොරොත්තුවලට පණ දුන් ක්‍රීඩකයන් මෙවර ද එම බලාපොරොත්තු සුරක්ෂිත කරනු ඇතැයි ප්‍රංශ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වනවා. මේ නිසා ම ප්‍රංශ ක්‍රීඩකයන් ගේ කරපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

2018 කණ්ඩායමේ නායකත්වය දැරූ දැල් රකින ක්‍රීඩක හියුගෝ ලොරිස් ම මෙවරත් කණ්ඩායමේ නායකත්වය දරනවා. ඔහුට අමතර ව සෙන්ටර් බැක් ක්‍රීඩකයන් වන රෆායල් වෙරානේ, ඩයොට් උපමෙකානෝ මෙන් ම අවශ්‍ය විටෙක ෆුල් බැක් ක්‍රීඩකයෙක් ලෙසින් ද ක්‍රීඩා කරනා ජුල්ස් කුන්ඩේ ප්‍රංශයේ ආරක්ෂාව තර කරමින් සිටිනවා. වෙරානේ පසුගිය දා ආබාධයකට ලක් වුවත් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට තරම් ශාරීරික යෝග්‍යතාවකින් පසු වනවා.

පසුගිය ලෝක කුසලානය දිනා දීමට විශාල දායකත්වයක් ලබා දුන් න්ගෝලෝ කාන්ටේ සහ පෝල් පොග්බා යන දෙදෙනා ම මෙවර ලෝක කුසලානයට සහභාගී වන්නේ නෑ. ඒ අවාසනාවන්ත ආබාධ තත්ත්වයන් හේතුවෙනු යි. ඒඩ්රියන් රැබියොට් සහ එඩුවාර්ඩෝ කැමවින්ගා යන දෙපළට මැදපෙළ විශාල බරක් පැවරී තිබෙනවා.

මෙවර බැලොන් ඩොර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ බෙන්සෙමා – www.goal.com

මෙවර පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් අතරේ වඩාත් අවධානම් ම ඉදිරිපෙළ ක්‍රීඩකයන් සිටින්නේ ප්‍රංශය සතු ව බව පැවසීම අතිශයොක්තියක් නොවේ. මෙවර බැලොන් ඩොර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ කරීම් බෙන්සෙමා මෙන් ම පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරගයේ ගෝල ලබා ගත් ඇන්ටොයින් ග්‍රීස්මාන් සහ කිලියන් ම්බප්පේ ද ප්‍රංශ ඉදිරි පෙළ සවිමත් කරනවා. 2022 ලෝක කුසලානය ද ජයග්‍රහණය කරමින් පිට පිට ම දෙවන වතාවත් ලෝක ශූරයන් වීමේ විශාල සම්භාවිතාවක් ප්‍රංශය සතු යි.

ලෝක කුසාලාන නියෝජනය කරනා ප්‍රංශ සංචිතය

දැල් රකින්නෝ

හියුගෝ ලොරිස් (ටොටන්හැම්)

ඇල්පොන්සේ ඇරියෝලා (වෙස්ට් හැම් යුනයිටඩ්)

ස්ටීව් මන්ඩන්ඩා (රෙනෙස්)

ආරක්ෂක ක්‍රීඩකයෝ

බෙන්ජමින් පවාඩ් (බයන් මියුනිච්)

ජුල්ස් කුන්ඩේ (බාසිලෝනා)

ප්‍රස්නල් කිම්පෙම්බේ (පී.එස්.ජී.)

විලියම් සැල්බියා (ආසනල්)

රෆායෙල් වෙරානේ (මැන්චෙස්ටර් යුනයිටඩ්)

ලූකාස් හර්නැන්ඩස් (බයන් මියුනිච්)

තියෝ හර්නැන්ඩස් (ඒ.සී.මිලාන්)

ඩයොට් උපමෙකානෝ (බයන් මියුනිච්)

ඊබ්‍රාහිම් කොනාටේ (ලිවර්පූල්)

මැදපෙළ ක්‍රීඩකයෝ

ඒඩ්රියන් රැබියොට් (යුවෙන්ටස්)

අවුරෙලියන් ට්චොනාමි (රියාල් මැඩ්රීඩ්)

යුසුෆ් ෆොෆානා (මොනාකෝ)

මටේයෝ ගුඑන්ඩෝසි (මාසෙයී)

ජෝර්ඩන් වෙරෙටොවුට් (මාසෙයී)

එඩුවාර්ඩෝ කැමවින්ගා (රියාල් මැඩ්රීඩ්)

ඉදිරිපෙළ ක්‍රීඩකයෝ

කින්ස්ලි කෝමාන් (බයන් මියුනිච්)

කිලියන් ම්බප්පේ (පී.එස්.ජී.)

කරීම් බෙන්සෙමා (රියාල් මැඩ්රීඩ්)

ඔලිවර් ජිරූඩ් (ඒ.සී.මිලාන්)

ඇන්ටොයින් ග්‍රීස්මාන් (ඇට්ලෙටිකෝ මැඩ්රීඩ්)

ඔස්මාන් ඩෙම්බෙලේ (බාසිලෝනා)

ක්‍රිස්ටෝපර් න්කුන්කු (රෙඩ්බුල් ලිප්සිග්)

6. ආජන්ටිනාව

දකුණු අමෙරිකානු කලාපයේ ප්‍රබලයෙක් වන ආජන්ටිනාව – www.sportscafe.com

1978 පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමෙන් අනතුරු ව දියේගෝ මැරඩෝනා ගේ මෙහෙයවීමෙන් 1986 ද ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ආජන්ටිනාව සමත් වුණා.1990 දී ලෝක කුසලාන අනුශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව නැවත ලෝක කුසලාන අවසන් මහා තරගයක් නියෝජනය කිරීමට ඔවුන් වසර 24 ක් බලා සිටියා. එවර මැරඩෝනා ගේ අවතාරය ලෙසින් නම් දැරූ ලියොනල් මෙසී ගේ නායකත්වයෙන් යුතුව ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඔවුන්ට 2014 දී අනුශූරතාවෙන් සෑහීමට පත් වන්නට සිදු වුණා. ලියොනල් මෙසී ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන් ම වසර 36 කින් ලෝක කුසලානයක් දිනා නොමැති ආජන්ටිනාව මෙවර ලෝක කුසලානයට පිවිසෙන්නේ එය ජයග්‍රහණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන යි. 2019 සිට ජාත්‍යන්තර පාපන්දු පිටියේ අපරාජිත ව සිටිනා ඔවුන් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 3 වන ස්ථානයේ පසුවනවා.

2021 කොපා අමෙරිකා ශූරතාව ජයග්‍රහණය කළ ආජන්ටිනා කණ්ඩායමේ දැල් රකින්නා මෙන් ම තරගාවලියේ දක්ෂත ම දැල් රකින්නා ද වූ එමිලියානෝ මාර්ටිනෙස් ගේ දැල් රැකීමෙන් සවිමත් ඔවුන්ට හොඳ ආරක්ෂක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම දායකත්වය ලබා දෙනවා. අත්දැකීම් බහුල නිකොලස් ඔටමෙන්ඩිට සහාය වන ක්‍රිස්ටියන් රොමේරෝ සහ ලිසන්ඩ්‍රෝ මාර්ටිනෙස් යන දෙපළ මෑත කාලීන ව පාපන්දු පිටියේ ප්‍රකට ව ඇති ක්‍රීඩකයන් දෙපළක්.

ආජන්ටිනා මැදපෙළ ක්‍රීඩකයන් අතරින් සුවිශේෂී දස්කම් දක්වමින් සිටි ජියොනි ලොසෙල්සෝට ඇතිවූ ආබාධයක් නිසා මෙවර ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට නොහැකි වනවා. එය ඔවුන්ගේ මැදපෙළට විශාල බලපෑමක් ඇති කළා. කෙසේ වුවත් ලියන්ද්‍රෝ පැරඩෙස් සහ රොඩ්රිගෝ ඩි පවුල් යන ක්‍රීඩකයන් දෙපළට ආජන්ටිනා මැද පෙළ වගකීම පැවරී තිබෙනවා.

ආජන්ටිනා බර කරට ගෙන සිටින සුපිරි පාපන්දු තරුව, ලියොනෙල් මෙසී – www.thejapantimes.com

පෙර සඳහන් කළ ආජන්ටිනාව අනුශූරතාව දිනා ගත් 2014 පාපන්දු ලෝක කුසලානයේ දක්ෂත ම ක්‍රීඩකයා මෙන් ම දකුණු අමෙරිකා පාපන්දු ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා වෙමින් ගෝල 90 ක් ලබා ගෙන සිටින ලියොනල් මෙසී සමස්ත රටක ම බලාපොරොත්තු තම කර මත තබාගෙන ක්‍රීඩා කරනවා. ඔහුට සහාය ලබා දෙන ලවුටාරෝ මාටිනෙස්, ඈන්හෙල් ඩි මරියා, පවුලෝ ඩිබාලා යන ක්‍රීඩකයන් ආජන්ටිනා ඉදිරිපෙළ සවිමත් කරන බව පැවසීම නිවැරැදි යි.

ලෝක කුසලානයට සහභාගී වන ආජන්ටිනා සංචිතය

දැල් රකින්නෝ

එමිලියානෝ මාර්ටිනෙස් (ඇස්ටන් විලා)

ජෙරනිමෝ රුල්ලි (වියරියාල්)

ෆ්‍රැන්කෝ අර්මානි (රිවර් ප්ලේට්)

ආරක්ෂක ක්‍රීඩකයෝ

නවෙල් මොලීනා (ඇට්ලෙටිකෝ මැඩ්රීඩ්)

ගොන්සාලෝ මොන්සියාල් (සෙවියා)

ක්‍රිස්ටියන් රොමේරෝ (ටොටන්හැම්)

ජර්මන් පසෙල්ලා (රියාල් බෙටිස්)

නිකොලස් ඔටමෙන්ඩි (බෙන්ෆිකා)

ලිසන්ඩ්‍රෝ මාර්ටිනෙස් (මැන්චෙස්ටර් යුනයිටඩ්)

මාර්කස් ඇකුනා (සෙවියා)

නිකොලස් තලියෆිකෝ (අයෑක්ස්)

ජුවාන් ෆොයිත් (වියරියාල්)

මැදෙපෙළ ක්‍රීඩකයෝ

රොඩ්රිගෝ ඩි පවුල් (ඇට්ලෙටිකෝ මැඩ්රීඩ්)

ලියන්ඩ්‍රෝ පැරඩෙස් (යුවෙන්ටස්)

ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් (බ්‍රයිටන්)

ගීඩෝ රොඩ්රිගස් (රියාල් බෙටිස්)

පපු ගෝමස් (සෙවියා)

එන්සෝ ෆර්නැන්ඩස් (බෙන්ෆිකා)

එසිකියොල් පලාසියොස් (බයර් ලෙවර්කුසන්)

ඉදිරිපෙළ ක්‍රීඩකයෝ

ඈන්හෙල් ඩි මරියා (යුවෙන්ටස්)

ලවුටාරෝ මාර්ටිනෙස් (ඉන්ටර් මිලාන්)

ජූලියන් අල්වාරෙස් (මැන්චෙස්ටර් සිටි)

නිකොලස් ගොන්සාලෙස් (ෆියොරෙන්ටීනා)

වකීම් කොරේයා (ඉන්ටර් මිලාන්)

පවුලෝ ඩිබාලා (රෝමා)

ලියොනල් මෙසී (පී.එස්.ජී.)

කවරයේ ඡායාරූපය - බ්‍රසීලයේ නෙයිමාර්, ප්‍රංශයේ කිලියන් ම්බප්පේ, එංගලන්තයේ හැරී කේන් - www.thenewyoker.com, www.league1.com, www.themirror.com
මූලාශ්‍ර:
www.allfootball.com
www.bleacherreportfootball.com
www.fifa.com
www.qatar2022.com

Related Articles