Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බැංගලෝරයට වැරදුනේ කොතැනද?

“අපෙන් තරඟය ගිලිහුනා. මං හිතන්නේ අපි සන්රයිසස් කණ්ඩායමට නැවත තරඟය වෙත ප්‍රවිෂ්ට වෙන්න අවස්තාව ලබාදුන්නා. තරඟාවලිය පුරාවටම ඒක තමයි සිද්ධවුණේ” රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙහි නායක විරාත් කෝලි විසින් මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ පෙරේදා (මැයි 7) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 5 කින් පරාජය වීමෙන් අනතුරුවයි.

මෙවර IPL තරඟාවලියේ තම කණ්ඩායම ක්‍රීඩා කල තරඟ 10 න් තරඟ 3 ක් පමණක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගෙන සිටින රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවෙයි. පසුගිය වසර කිහිපයේ දී ම සැලකිය​ යුතු මට්ටමේ දක්ෂතාවක් දැක්වීමට අපොහොසත් වූ RCB කණ්ඩායම, IPL හි දැනට ක්‍රීඩා කරන කණ්ඩායම් අතුරින් මේ වනවිට කිසිදු IPL ශූරතාවක් හිමිකරගෙන නොමැති කණ්ඩායම් ත්‍රිත්වයෙන් ද එකකි. සිය කණ්ඩායම මේ ආකාරයට ලබන පසුබෑම පිලිබඳ ලොව පුරා සිටින, RCB කණ්ඩායමට සහය දක්වන ක්‍රීඩා ලෝලීන් විවිධ මත දක්වති. ඕනෑම ක්‍රීඩාවක දී ක්‍රීඩා ලෝලීන් දක්වන අදහස් ඉතාමත් වැදගත් වන අතර RCB කණ්ඩායම දක්වන පසුබෑම පිලිබඳ ක්‍රීඩා ලෝලීන් දක්වන අදහස්වල එකතුවක් ඔබ හමුවේ තැබීමට අප කටයුතු කලේ ඒ අනුවයි.

ක්‍රීඩක වෙන්දේසිය

“ලෝකේශ් රාහුල් විසින් මෙවර පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වමින්” (AFP)

මෙම වසරේ ජනවාරි මස අග පැවති IPL ක්‍රීඩක වෙන්දේසියෙන් උපරිම ප්‍රතිඵල​ නොගත් කණ්ඩායමක් ලෙසින් RCB කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. වෙන්දේසියේ දී තරු මට්ටමේ ක්‍රීඩකයින් සහ ප්‍රවේගකාරී පිතිකරුවන් වෙත එතරම් උනන්දුවක් නොදැක්වූ RCB කණ්ඩායම ඉතාමත් සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකයින් රැසක් සිය කණ්ඩායමට එකතුරගැනීමට කටයුතු කරන ලදී. ප්‍රශ්නය ඇරඹුනේ එතැනින් ද?

කිසිසේත්ම නොමැත. ප්‍රශ්නය ඇරඹුනේ එතැනටත් එහා සිය කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් නොකර කණ්ඩායමේ තබාගැනීමට ඉඩ ලැබුණු අවස්ථාවේ සිටයි. උපරිම වශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු සිය කණ්ඩායමේ තබාගැනීමට තිබූ වටිනා අවස්ථාවේ දී RCB කණ්ඩායම විසින් වෙන්දේසියට ඉදිරිපත් නොකර සිය කණ්ඩායමේ රඳවාගත් ක්‍රීඩකයින් තිදෙනා වූයේ ඉන්දීය නායක විරාත් කෝලි, දකුණු අප්‍රිකාවේ සුපිරි ක්‍රීඩක ඒ බී ඩි විලියර්ස් සහ 20 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක සෆ්රාස් ඛාන් ය. කෝලි සහ ඩි විලියර්ස් පිලිබඳ කිසිදු ගැටළුවක් නොමැති වූවත් සෆ්රාස් ඛාන් පිලිබඳ ගැටළුවක් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත​.

විරාත් කෝලි සහ ඩි විලියර්ස්ට පිලිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 17 සහ 11 බැගින් මුදලක් ගෙවීමට බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබූ නිසා ලෝකේශ් රාහුල් වැනි තවත් එක් තරු මට්ටමේ ක්‍රීඩකයෙකු රඳවාගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. (ඉන්දීය රුපියල් කෝටි 33 ක් පමණක් එම රඳවාගන්නා ක්‍රීඩකයින් තිදෙනාට ලබාදිය යුතුයි.) නමුත් අනෙක් අතින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි, සුරේෂ් රයිනා සහ රවින්ද්‍ර ජඩේජා ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රෝහිත් ශර්මා, හර්දික් පාන්ඩියා සහ ජස්ප්‍රීට් බුම්රා යන සුපිරි ක්‍රීඩකයින් එම මුදලටම (කෝටි 33 ට) රඳවා ගත්තානම් RCB කණ්ඩායමට එසේ කල නොහැකි වූයේ ඇයිද යන විශාල ප්‍රශ්නාර්ථය මතුවේ. එය කණ්ඩායම වෙනුවෙන් ඉහල තීරණ ගන්නා පිරිසගෙන් සිදුවූ විශාල වැරැද්දකි. ඒ අනුව තරඟාවලිය ඇරඹීමටත් ප්‍රථම RCB කණ්ඩායමට විශාල ප්‍රශ්නයක් තිබුණි.

දුර්වල පන්දු රැකීම

RCB කණ්ඩායමෙහි දුර්වල පන්දු රැකීම තරඟාවලිය පුරාවටම දැකගත හැකිවිය.

“මුරුගන් අශ්වින් විසින් ක්‍රිස් ලින් ගේ උඩපන්දුව ගිලිහූ අවස්තාව” (BCCI)

  1. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති ප්‍රථම තරඟයේ දී චෙන්නායි කණ්ඩායමේ අම්බටි රයිදු ලකුණු 61 දී ලබාදුන් උඩපන්දුවක් උමේෂ් යාදව් විසින් අත්හැරි පසු රයිදු විසින් 6 පහර දෙකක් සහ 4 පහරක්ද එල්ල කල අතර ලකුණු 82 ක් ලබාගැනීමට සමත්විය. එම තරඟයෙන් බැංගලෝරය පරාජය වීමට බලපෑ ප්‍රධානම හේතුවක් වූයේ ද රයිදුගේ ඉනිමයි.
  1. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේ දී කල්කටා කණ්ඩායමේ ක්‍රිස් ලින් ලකුණු 7 දී ලබාදුන් උඩපන්දුවක් දඟ පන්දු යවන ක්‍රීඩක මුරුගන් අශ්වින්ගේ දෑතින් ගිලිහෙන ලදී. කල්කටා කණ්ඩායම විසින් ජයගත් එම තරඟයේ දී ක්‍රිස් ලින් නොදැවී ලකුණු 62 ක් ලබාගත්තේ තරඟයේ වීරයා බවට ද පත්වෙමිනි.
  1. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති දෙවැනි තරඟයේ දී ඩ්වේන් බ්‍රාවෝ 0 සහ ලකුණු 1 දී ලබාදුන් උඩපන්දු දෙකක් කඩුලු රකින ක්‍රීඩක පාතීව් පටෙල් සහ යුස්වේන්ද්‍ර චහාල් විසින් අතහැරීමෙන් පසු නායක දෝනි සමඟින් එක් වූ බ්‍රාවෝ චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙනයන ලදී.

තරඟය අවසන් කරන්නෙක් නොමැති වීම

“පාන්ඩියා සහෝදරයින්”(AP)

විශ්වාසවන්ත තරඟය අවසන් කරන්නෙක් (Finisher) මෙවර ද බැංගලෝරයට නොමැත. නිදසුනක් ලෙසින් මුම්බායි කණ්ඩායමට පොලාර්ඩ් සහ පාන්ඩියා සහෝදරයින් සිටිති. පන්ජාබ්යට ඩේවිඩ් මිලර් සහ මාර්කස් ස්ටොයිනිස් සිටිති. දිල්ලියට ග්ලෙන් මැක්ස්වෙල් සිටියි. චෙන්නායි කණ්ඩායමට බොහෝ ක්‍රීඩකයින් සිටිති. කල්කටා කණ්ඩායමට අන්ද්‍රේ රසල් සිටියි. නමුත් බැංගලෝරයට? මෙය හදිසියේ මතුවූ ගැටළුවක් නොවේ. පසුගිය වසර 7,8 ක කාලයක සිටම පවතින ප්‍රශ්නයකි. නමුත් වසර ගණනාවක් තිස්සේ පවතින මෙවැනි අත්‍යාවශ්‍ය ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට බැංගලෝරය එතරම් කරදර වන්නේ නැත.

නායකයා, ප්‍රධාන පුහුණුකරු ඇතුළු කණ්ඩායමේ කළමනාකාරීත්වය

“කෝලි සහ වෙටෝරි” (news18)

පසුගිය වසර ගණනාවක සිටම බැංගලෝර් කණ්ඩායම ලබන අසාර්ථකත්වය නිසා නායකයා, ප්‍රධාන පුහුණුකරු ඇතුළු කණ්ඩායමේ කළමනාකාරීත්වය වෙත චෝදනා එල්ලවීම වැළක්විය නොහැකි කාරණයකි.මේ ඉන් කිහිපයකි.

  • නවසීලන්තයේ ඩැනියෙල් වෙටෝරි බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර උසුලන්නේ 2014 වසරේ සිටයි. විරාත් කෝලි ද 2014 වසරේ බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය උසුලයි. නමුත් තවමත් ශක්තිමත් කණ්ඩායමක් ගොඩනගා ගැනීමට ඔවුන් දෙදෙනාට නොහැකි වී තිබේ.
  • අවසාන පන්දුවාර යැවීමට එතරම් හොඳ මට්ටමේ පන්දු යවන්නෙක් ද නොවන නවසීලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක කෝරේ ඇන්ඩර්සන් හට තරඟ 3 කදී 16-20 වැනි පන්දුවාරය දක්වා පන්දුවාර 6 ක් යැවීමට විරාත් කෝලි විසින් පන්දුව ලබාදී තිබෙන අතර එහිදී පන්දුවාර 5.4 කදී ඇන්ඩර්සන් විසින් ලකුණු 89 ක් ප්‍රතිවාදී කණ්ඩායම් වෙත ලබා දී තිබේ. මෙවැනි තීරණ වලින් කෝලිගේ නායකත්ව කුසලතා පිලිබඳ ගැටළු මතුවේ.
  • පන්දු යැවීමට යම් කුසලතාවයක් තිබෙන තුන් ඉරියව් ක්‍රීඩක නවසීලන්තයේ කොලින් ඩි ග්‍රෑන්ඩෝම් හට තරඟාවලිය පුරා යැවීමට ලබා දී තිබෙන්නේ පන්දුවාර 8 ක් පමණි.
  • ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක පාතීව් පටෙල් තරඟයකට යොදාගන්නේ තරඟ 9 කට පසුවය. නවසීලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සවුති තරඟයකට යොදාගන්නේ තරඟ 8 කට පසුවය. ඉන්පසු ඔවුන් දෙදෙනාම බැංගලෝරය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වන ලදී.
  • පසුගිය වසර කිහිපය පුරාවටම බැංගලෝර් කණ්ඩායම නිසා සිය ක්‍රීඩා කෞශල්‍යය දියුණු කරගත් ක්‍රීඩකයින් කී දෙනෙකු සිටීද? වෙනත් කණ්ඩායම් නිසා සිය දක්ෂතා වර්ධනය කරගෙන ජාතික කණ්ඩායම් පවා නියෝජනය කරගත් ක්‍රීඩකයින් විශාල ගණනක් සිටියත් බැංගලෝර් කණ්ඩායම නිසා එලෙස වර්ධනය වූ ක්‍රීඩකයින් සිටින්නේ කිහිප දෙනෙකු පමණි. වැදගත්ම කාරණය වන්නේ සමස්තයක් ලෙසින් වෙනත් කණ්ඩායම් වල සිට පැමිණෙන දක්ෂ ක්‍රීඩකයින් බැංගලෝර් කණ්ඩායමේ දී දක්ෂතා දැක්වීමට අපොහොසත් වීමයි. අනෙක් අතට එම ක්‍රීඩකයින් බැංගලෝරයේ සිට වෙනත් කණ්ඩායමකට ගිය පසු නැවතත් හොඳින් දක්ෂතා දක්වති. මෙයට උදාහරණ ඕනෑතරම් ඔබ දන්නවා ඇත. ඉතින් මෙම කාරණයේ දී නායකයා, පුහුණුකරු ඇතුළු කළමනාකාරීත්වයට නිදහසට කරුණු නැත.
  • වර්තමානයේ බැංගලෝර් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන්නේ දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් ය. 2011 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඉන්දීය පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කල කර්ස්ටන් ඉන්පසු දකුණු අප්‍රිකා පිලේ ද පුහුණුකරු වශයෙන් කටයුතු කලේය. ඩැනියෙල් වෙටෝරි දඟ පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් ගැරී කර්ස්ටන් ප්‍රධාන පුහුණුකරු වූවානම් එය බැංගලෝරයට යහපත් වනු ඇත.

කෝලි සහ ඩි විලියර්ස් මතින් යැපීම

“ඩි විලියර්ස්” (BCCI)

පසුගිය වසර කිහිපය පුරාම මුල් පෙළ පිතිකරුවන්ගෙන් යැපීම බැංගලෝර් කණ්ඩායමට සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණි. මෙවරත් එය එසේමයි. පෙර වසරවලදී කෝලි සහ ඩි විලියර්ස්ට අමතරව ක්‍රිස් ගේල් සහ ලෝකේශ් රාහුල් ද බැංගලෝර් කණ්ඩායමට සිටි අතර මෙවර ඔවුන්ද නොමැති බැවින් එම වගකීමද පැටවී තිබෙන්නේ කෝලි සහ ඩි විලියර්ස්ගේ කර මතය. කෝලි හෝ ඩි විලියර්ස් දෙදෙනාගෙන් කෙනෙකු හෝ දෙදෙනාම ලකුණු අතරට පැමිණියහොත් ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තුවක් තැබිය හැකි අතර එසේ නොවුනහොත් ජයග්‍රහණයේ බලාපොරොත්තු අතහැරීමට බැංගලෝරයට සිදුවී තිබේ. කෝලි සහ ඩි විලියර්ස් හැර වෙනත් කිසිදු මට්ටමේ විශ්වාසවන්ත, තරඟයක් ජයග්‍රහණය කරවීමට හැකි පිතිකරුවෙකු බැංගලෝර් කණ්ඩායමේ නොමැති බව ඔබට පැවසීම අවශ්‍ය දෙයක් නොවේ.

පන්දු යැවීම

“නේතන් කෝටර්-නයිල් කල්කටා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී” (BCCI)

මෙවර බැංගලෝර් කණ්ඩායම සකසාගත් අඩුපාඩුවක් වේ නම් ඒ පන්දු යැවීමයි. ඉතාමත් හොඳ මට්ටමේ පන්දු යවන්නන් පිරිසක් සිය කණ්ඩායමට එකතුකර ගැනීමට RCB කණ්ඩායම කටයුතු කරන ලදී. නමුත් දඟ පන්දු යවන්නන්ගේ හෝ වේග පන්දු යවන්නන්ගේ සුසංයෝගයක් මේ වන තෙක් දැකගත නොහැකි වී තිබේ. වරින් වර විවිධ ක්‍රීඩකයින් අත්හදා බලමින් සිටිනා නමුත් තවමත් එම කාර්යය අවසන් වී නැත. විශේෂයෙන්ම අවසාන පන්දුවාර කිහිපයේ දී බැංගලෝර් කණ්ඩායමෙන් විශාල වශයෙන් ලකුණු ලබාගැනීමට ප්‍රතිවාදීන්ට හැකිවී තිබේ.

මෙයට බලපෑ ප්‍රධානම හේතුව වශයෙන් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන නේතන් කෝටර්-නයිල්ගේ ආබාධය තවමත් සුව නොවීම සඳහන් කල හැක. ක්‍රීඩක වෙන්දේසිය අවස්ථාවේ ද කෝටර්-නයිල් ආබාධයෙන් පෙළුන අතර ඔහුව කණ්ඩායමට ගෙන බැංගලෝර් කණ්ඩායම විසින් සිදුකල අවදානම්සහගත ක්‍රියාවද RCB කණ්ඩායමේ අවාසියටම සිදුවුනි. කෝටර්-නයිල් සිටියානම් අවසාන පන්දුවාර කිහිපය හොඳින් යවනු ඇති සිතිය හැකි අතර ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනත් යම් වෙනසකට ලක්වීමට ඉඩ තිබුණි.

සාම්ප්‍රදායික වීම

“සූර්යකුමාර් යාදව්” (meramumbai.com)

සාමාන්‍ය ක්‍රිකට් සම්ප්‍රදායෙන් එපිටට ගොස් අලුත් යමක් RCB කණ්ඩායමෙන් සිදුවන්නේ කලාතුරකිනි. උදාහරණ ලෙසින් පිතිකරණයට දක්ෂ මැදපෙළ හෝ පසුපෙළ ක්‍රීඩකයෙක් ඉනිම ආරම්භ කිරීමට යොදාගැනීම, (කල්කටා කණ්ඩායම සුනිල් නරායින් යොදාගන්නා ආකාරයට) දඟ පන්දු යවන්නන් වැඩි වශයෙන් මුල් පන්දුවාර 6 තුල භාවිතා කිරීම, (බොහෝ කණ්ඩායම් මෙය සිදු කරනු ලබයි) එසේත් නැතිනම් පිතිකරණ ලැයිස්තුවේ යම් වෙනසක් සිදුකරමින් අත්හදාබැලීමක් සිදුකිරීම (මුම්බායි කණ්ඩායම සූර්යකුමාර් යාදව් යොදාගන්නා ආකාරයට) ආදිය​ බැංගලෝරයෙන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. ඔවුන් සාම්ප්‍රදායික ක්‍රීඩා රටාවකම නියැලෙන අතර සෑම අවස්ථාවකදීම විරාත් කෝලි පමණක් කැපී පෙනෙයි.

අතීතය සහ වර්තමානය

“2009 වසරේ RCB කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්” (sportzwiki.com)

2008-10 සහ 2011- ලෙසින් බැංගලෝරයේ යුග දෙකක් බෙදා වෙන් කලහැක. 2011 න් පසු යුගයේ දී කණ්ඩායමේ නායකත්වය හිමිවූයේ ඩැනියෙල් වෙටෝරිටය. කෝලි අනාගත නායකයා ලෙසින් අනෙක් පසින් සිටියේය. ඒ ආකාරයෙන් බැලුවහොත් මෙම ක්‍රීඩකයින් දෙදෙනාට 2014 වසරේ සිට නොව 2011 වසරේ සිටම බැංගලෝරයේ සැලකිව යුතු වගකීමක් හිමිවී තිබේ. නමුත් ඔවුන් දෙදෙනාම එම වගකීම නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් වී තිබේ.

අනෙක් අතින් 2011 න් පසුව RCB කණ්ඩායමේ හිමිකාරීත්වයෙන් කණ්ඩායම දෙසට අනවශ්‍ය බලපෑම් එල්ල විය. 2016 වසරේ දී කැරීබියානු තරඟ සංචාරයක් අතරතුරේ දී ලෝකේශ් රාහුල් විසින්, ඔහු විසින් බියර් බෝතලයක් අතින් අල්ලාගෙන සිටින ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවියක පල කිරීම නිසා එවකට RCB හි හිමිකරුවන් විසින් රාහුල්ගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට සූදානම් වන ලදී. සත්‍ය වශයෙන්ම ඔවුන් එසේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට සැරසුනේ රාහුල් විසින් එසේ බියර් බෝතලයක් ද සමඟින් ඡායාරූපයක් මුදාහැරියාට නොව RCB හිමිකරීත්වයට අයත් සමාගමේ නොවන වෙනත් බියර් වර්ගයක ඡායාරූපයක් මුදාහැරීම නිසාය.

“අපි මූල්‍යමය වශයෙන් අසීරු අවස්තාවක අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙනත් සමාගමකට අයත් බියර් පානය කරනවා. යම් හෙයකින් ඔහු අපහට දැන්වූවානම් අපගේ නිෂ්පාදන එහිදී සොයාගැනීමට නොහැකි බව, අප ඊළඟ ගුවන්යානයේ ම අපගේ නිෂ්පාදන ඔහු වෙත යවනවා”

මෙම කතාව ප්‍රකාශ කරන ලද්දේ එවකට RCB කණ්ඩායමේ හිමිකාරීත්වය විසිනි. නමුත් වර්තමානයේ ඔවුන්ට RCB කණ්ඩායමේ කිසිදු හිමිකාරීත්වයක් නොමැති වූවත් මෙවැනි දෑ සිදුකිරීම නිසා ක්‍රීඩකයින් කනගාටුවට පත් වීම වැළක්විය නොහැකි කරුණක් වන අතර ඉන් කණ්ඩායම, හිමිකාරීත්වය සහ ක්‍රීඩකයා අතර තිබෙන සම්බන්ධයට දැඩි බලපෑමක් ඇතිවේ. යම් මුදලක් අඩුවෙන් හෝ ලබාගෙන RCB කණ්ඩායමේ ම රාහුල් මෙවර නොරැඳුනේ මෙම හේතුව නිසා වන්නටත් පුළුවනි.

“රේ ජෙනින්ග්ස් සහ වෙන්කටෙෂ් ප්‍රසාද්” (flickr.com/royalchallengersbangalore)

නමුත් 2008-10 යුගයේ දී කණ්ඩායමට මෙවැනි අතපෙවීම් සිදුවුනේ නැත. රාහුල් ඩ්‍රාවිඩ්, කෙවින් පීටර්සන් සහ අනිල් කුම්බ්ලේ විසින් එම යුගයේ දී RCB නායකත්වය ඉසිලූ අතර එයට අමතරව ජාක්ස් කාලිස්, රොබින් උතාප්පා, ඩේල් ස්ටේන්, කැමරන් වයිට්, ජෙසී රයිඩර්, මාක් බවුචර්, ඔයින් මෝර්ගන්, රොස් ටේලර් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කළහ. මාර්ටින් ක්‍රෝ, රේ ජෙනින්ග්ස් කණ්ඩායමේ පුහුනුකාරීත්වය දැරීය. වෙන්කටෙෂ් ප්‍රසාද් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කලේය. ක්‍රීඩකයින් සිය වගකීම් කොටසත්, පුහුණුකරුවන් සිය වගකීම් කොටසත් ඉටු කල අතර කණ්ඩායමේ හිමිකාරීත්වය ඔවුන්ගේ වගකීමද නිසි අයුරින් ඉටු කිරීමට පසුබට නොවීය. එබැවින් එම යුගයේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වර්තමාන කණ්ඩායමට වඩා බෙහවින් ශක්තිමත් කණ්ඩායමක් විය. 2009 වසරේ අනුශූරයින් විය. 2010 වසරේ අවසන් පූර්ව වටයට ඇතුලත් විය.

එසේනම් ලොව පුරා සිටින RCB කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස් දෙස බැලූ විට පෙනී යන්නේ RCB කණ්ඩායමට බොහෝ තැන වැරදී තිබෙන බවයි. මෙම ලිපිය ලියන අවස්ථාව​ වන විටත් (මැයි 9) RCB කණ්ඩායම මෙවර IPL තරඟාවලියෙන් ඉවතට විසිවී නොමැති අතර තවදුරටත් අවසාන කණ්ඩායම් 4 සඳහා එක්වීමට ඔවුන්ට හැකියාව ඇත. නමුත් මේ වනවිට එය ඉතා දුෂ්කර කාර්යයක් වී හමාරයි. ලොව පුරා බොහෝ රසිකයින් ආදරය කරන RCB කණ්ඩායම නැවතත් ප්‍රබල කණ්ඩායමක් ලෙසින් නැගී සිටිනු දැකීම සියලුම රසිකයින්ගේ අපේක්ෂාව වන අතර ඔවුන්ට වැරදී තිබෙන මෙම කාරනා වලින් කිහිපයක් හෝ නිවැරදි කරගතහොත් නැවතත් ප්‍රබල කණ්ඩායමක් ලෙසින් RCB කණ්ඩායමට නැගී සිටිය හැක.

Cover – “කෝලි සහ ඩි විලියර්ස්” (AFP)

Related Articles