Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විනිසුරු තීරණය රොනාල්ඩෝට ලෝක කුසලාන වරම් අහිමි කරයි ද?

සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එළඹෙන නොවැම්බර් මාසයේ, කටාරයේ දී ආරම්භ වීමට නියමිතව පවතින 2022 පාපන්දු ලෝක කුසලානය නියෝජනය කිරීම අහිමි වීමේ අවදානමක් හටගෙන තිබෙනවා. එයට හේතුව වී තිබෙන්නේ පාපන්දු ලෝක කුසලානය සඳහා පැවැත්වෙන යුරෝපීය සුදුසුකම් ලැබීමේ වටවල මුල් අදියරෙන් පෘතුගාලය ඉවතට විසි වීමත් සමඟ යි. ඒ අනුව ඔවුන්ට අවසන් පිළිමළුන් පිටු දැකීමේ වටය ක්‍රීඩා කිරීමට සිදු වනවා.

A කාණ්ඩයෙන් පෘතුගාලය සටන් බිමේ!

2022 පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ යුරෝපීය වටයේ A කාණ්ඩයෙන් පෘතුගාලය තරග බිමට එක් වුණා. පෘතුගාලයට අමතරව A කාණ්ඩය යටතේ පිළිවෙළින් සර්බියාව, අයර්ලන්තය, ලක්සම්බර්ග් සහ අසර්බයිජානය තරග වැදුණා. සුදුසුකම් ලැබීමේ වට මැද දී කටාරය විශේෂ ආරාධිතයෙක් ලෙසින් A කාණ්ඩයේ තරගවලට එක් වූවත් එම තරග සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු පුවරුවට එක් වුණේ නෑ.

පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම
පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම – www.tumblr.com

එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමත් සමඟින් තම රටේ දී එක් තරගයක් සහ ප්‍රතිවාදී රටේ දී තවත් තරගයක් බැගින් ක්‍රීඩා කරමින් එක් ප්‍රතිවාදියකු සමඟ තරග 2 බැගින් ක්‍රීඩා කළා. ඒ අනුව කණ්ඩායමකට හිමි වීමට නියමිත ව තිබූ තරග සංඛ්‍යාව 8ක්. මුල් තරග 7 අවසන් වෙද්දී පෘතුගාලය පිළිවෙළින් අසර්බයිජානය ගෝල 1-0 ක් සහ ගෝල 3-0ක්, ලක්සම්බර්ග් ගෝල 3-1 ක් සහ 5-0 ක්, අයර්ලන්තය ගෝල 2-1ක් ලෙසින් පරාජයට පත් කළා. මීට අමතර ව ඔවුන් සර්බියාවට එරෙහිව ගෝල 2-2 ක් සහ අයර්ලන්තයට එරෙහිව ගෝල 0-0 ලෙස තරග දෙකක් ජය පැරදුමෙන් තොරව නිමා කළා.

අසාධාරණ විනිසුරු තීන්දුව

පෘතුගාලය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන තරඟය ලෙසින් සර්බියාව සමඟින් 2021 වසරේ මාර්තු මස 28 වැනිදා ක්‍රීඩා කළා. මෙම තරගය පැවැත්වුණේ සර්බියාවේදි යි. පළමු අර්ධයේ දී පෘතුගාලය වෙනුවෙන් දියේගෝ ජෝටා ගෝල 2ක් වාර්තා කළා. දෙවන අර්ධයේදී තරගය අත නොහැරි සර්බියා ක්‍රීඩකයන් ගෝල 2ක් රැස් කරමින් තරගය 2-2ක් ලෙසින් සම මට්ටමට රැගෙන ආවා. ගෝලවල හිමිකරුවන් වූයේ ඇලෙක්සැන්ඩර් මිට්රොවිච් සහ පිලිප් කොස්ටිච් දෙදෙනා යි.

තරගය කෙමෙන් කෙමෙන් අවසන් මොහොතට එළඹෙද්දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට අවසාන අතිරේක මිනිත්තු කිහිපයේ දී අවස්ථාවක් ලැබුණු අතර ඔහු එය ගෝල දැල වෙතට යොමු කළා. මේ මොහොතේදී සර්බියානු ආරක්ෂක ක්‍රීඩකයෙක් එය වලක්වාලීමට සමත් වුණා. ඔහු පන්දුව ඉවතට යොමු කරද්දී එය ගෝල සීමාව ඉක්මවා ගිය ආකාරයක් දක්නට ලැබුණත් එය පැති විනිසුරු ප්‍රතික්ෂේප කළේ ගෝලයක් නොවන බවට පවසමින්.

සර්බියා තරඟයේදී විනිසුරුවරුන් විසින් ලබා දීමට ප්‍රතික්ෂේප කළ ගෝලය
සර්බියා තරඟයේදී විනිසුරුවරුන් ලබා දීමට ප්‍රතික්ෂේප කළ ගෝලය – www.caughtoffside.com

 පසු පුනරූපණ නිරීක්ෂණයේ දී පැහැදිලි වූයේ එය නිත්‍ය වශයෙන් ම ගෝලයක් වන බව යි. කෙසේ වෙතත් තරගයට Goal Line Technology හෙවත් ගෝලය නැවත ගෝලයක් ද යන්න විමසීමේ තාක්ෂණය යොදා ගැනුණේ නෑ. මේ නිසා මෙම තරගය අවසන් වුණේ ගෝල 2-2 ලෙසින් ජය පරාජයෙන් තොර විසඳුමක් ලබා දෙමිනුයි. මෙය පෘතුගාලයට අවසන් මොහොතේදී දරුණු ලෙස බලපෑවා.

අවසන් තරග දිනය 

යුරෝපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවල දී පළමු කාණ්ඩ වටයේ ඒ ඒ කාණ්ඩවල පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නියමිත යි. එලෙස ලෝක කුසලානයට එක් වන කණ්ඩායම් ගණන 10ක්. ඒ කාණ්ඩ 10ක් අතරින්. මේ ආකාරයට අවසන් තරග දිනය එළඹෙන විට සර්බියාව සහ පෘතුගාලය යන කණ්ඩායම් දෙක ම ප්‍රසාද ලකුණු 17 බැගින් ලබාගෙන සිටියා. කෙසේ වෙතත් ගෝල වෙනස සහ සර්බියාව තුළ ගෝල දෙකක් ලබා ගැනීම නිසා ප්‍රසාද ලකුණු සම වුවත් පෘතුගාලය ඉදිරියෙන් පසු වුණා. මෙම තරගය 0-0, 1-1 හෝ 2-2 ලෙසින් අවසන් කර ගැනීම නිසා පෘතුගාලයට ලෝක කුසලානයේ තම ස්ථානය තහවුරු කරගැනීමට නියමිත ව තිබුණා. 

තරගය පැවැත්වුණේ පෘතුගාලයේ දී 2021 නොවැම්බර් මස 15 වැනි දා යි. තරගය ආරම්භ වූ විගස ම ගෝලයක් වාර්තා කළ රෙනාටෝ සැන්චෙස් පෘතුගාලය පෙරමුණට රැගෙන ආවා. න33 වන මිනිත්තුවේදී ඩුසාන් ටැඩිච් සර්බියාවට ගෝලයක් ලබා දෙමින් තරගය සම කළා. තරගය ඉන් පසුව 1-1 ලෙසින් අවසන් වන ආකාරයක් දක්නට ලැබුණ ද අවසන් මිනිත්තුවේ දී ටැඩිච් ලබා දුන් පන්දුව ඇලෙක්සැන්ඩර් මිට්රොවිච් ගෝලයක් බවට පරිවර්තනය කළේ සමස්ත පෘතුගාලයේ ම හදවත් මොහොතකට නතර කරමින්.

සර්බියාව සමග පැවති තරඟය පරාජය වීමෙන් අනතුරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
සර්බියාව සමඟ පැවති තරඟය පරාජය වීමෙන් අනතුරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – www.marca.com

මෙම ගෝලය සර්බියා ජයග්‍රහණය මෙන් ම ඔවුන් A කාණ්ඩයේ මුල් ස්ථානයට පැමිණීම ද තහවුරු කළා. ඒත් සමඟින් 2022 ලෝක කුසලානයේ තමන්ගේ ස්ථානය ද සර්බියාව වෙන් කර ගත්තා. මුල් තරගයේ සර්බියාවට එරෙහි ව රොනාල්ඩෝ ලබා ගත් ගෝලය ගෝලයක් නොවීමේ ප්‍රශ්නාර්ථය ඉතිරි කරමින් පෘතුගාලය A කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වුණා.

ඉතාලියද? පෘතුගාලයද?

 පෘතුගාලයට තවත් එක් බලාපොරොත්තුවක් ඉතිරි ව තිබෙනවා. එනම් ලෝක කුසලානය සඳහා යුරෝපයෙන් කණ්ඩායම් 13ක් එක් කර ගැනීමට නියමිත නිසායි ඒ. ඒ අතරට කාණ්ඩ ශූරයන් ලෙසින් කණ්ඩායම් 10ක් සෘජුව ම එකතු වනවා. අනෙක් කණ්ඩායම් ත්‍රිත්වය සඳහා පිළිමළුන් පිටු දැකීමේ වටයක් පැවැත්වීමට යුරෝපීය පාපන්දු ෆෙඩරේෂණය සූදානමින් පසු වනවා. එය පැවැත්වෙන්නේ පහත ආකාරට යි.

මේ වටය සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා ගත්තා. මෙහිදී ඉහත සඳහන් කළ කාණ්ඩ වටයේ දෙවන ස්ථාන ලබා ගත් කණ්ඩායම් 10 සහ තේරුණු කණ්ඩායම් සියල්ල ඉවත් කළ විට UEFA Nations League තරගාවලියේ මීළඟට හොඳ ම දස්කම් දැක්වූ කණ්ඩායම් 2 වශයෙන් කණ්ඩායම් 12ක් මෙම වටයට සුදුසුකම් ලබා ගත්තා. එහිදී මේ කණ්ඩායම් 12, 4 බැගින් වූ අදියර 3 කට වෙන් කෙරුණා. එම අදියර 3 යටතේ කණ්ඩායම් 4 වෙන වෙනම අවසන් පූර්ව වටයේ තරගයක් සහ අවසන් මහා තරගයක් ක්‍රීඩා කරනවා. එම අදියර 3 අවසන් මහා තරග 3 ජයග්‍රහණය කරන කණ්ඩායම් ත්‍රිත්වය 2022 ලෝක කුසලාන වරම් ලබා ගැනීමට නියමිතයි.

මෙහිදී පෘතුගාලය සිටින අදියරේ ඔවුන් තුර්කිය සමඟින් අවසන් පූර්ව වටය ක්‍රීඩා කරනවා. අනෙක් පසින් ඉතාලිය උතුරු මැසිඩෝනියාව සමඟින් අවසන් පූර්ව වටය ක්‍රීඩා කිරීමට නියමිතයි. බොහෝ පාපන්දු ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් පළ කරන මත වලට අනුව මෙම අදියරේ අවසන් තරගය සඳහා එක් වීමට ඉඩ ඇත්තේ පෘතුගාලය සහ ඉතාලිය යි. ඔවුන්ගෙන් 2022 ලෝක කුසලාන වරම් දිනා ගැනීමට ඉඩ තිබෙන්නේ එක් අයකුට පමණක් වීම තරගකාරීත්වය වඩාත් තියුණු කරනවා.

2018 ගිලිහුණු ලෝක කුසලානය

ඉතාලියට 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නියෝජනය ද අහිමි වී ගියා. ඒ සුදුසුකම් ලැබීමේ වට පරාජයට පත් වීම නිසා යි. ඉන් අනතුරු ව ඉතාලිය තමන්ගේ පාපන්දු වෙන ම අයුරකින් සංවර්ධනය කළ අතර ම ඔවුන් 2018 සිට පරාජය වී තිබෙන්නේ එකම එක තරගයක් පමණ යි. 2021 යුරෝ පාපන්දු ශූරතාව දිනා ගැනීමට ද ඉතාලියට හැකියාව ලැබුණා. 2018 දී ගිලිහී ගිය අවස්ථාව 2022 වර්ෂයේදී ලබා ගැනීමට ඉතාලිය තමන්ගේ උපරිමය යොදා සටන් වදිනු ඇති.

පෘතුගාලයට කරට කර සටනක් ලබා දීමට නියමිතව සිටින පසුගිය වසරේ යුරෝ ශූරයන් බවට පත් වූ ඉතාලිය
පෘතුගාලයට කරට කර සටනක් ලබා දීමට නියමිතව සිටින පසුගිය වසරේ යුරෝ ශූරයන් බවට පත් වූ ඉතාලිය
  – www.theeconomist.com

 මෑතකාලීන ව ලොව බිහිවූ දක්ෂත ම ක්‍රීඩකයන් කිහිප දෙනා ගෙන් අයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අවසන් ලෝක කුසලානය මෙය වීමට වඩාත් ඉඩකඩ පවතිනවා. මන්දයත් ඔහු මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන නිසා යි. මේ නිසා රොනාල්ඩෝ සහ පෘතුගාලය 2022 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තම සියලුම ශක්තිය යොදවන්නේ නැතිනම් එය විමතියට කරුණක් වනවා.

මෙම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 25 වැනි දා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.30 ටත්, එහි අවසන් තරග මාර්තු මස 30 වැනි දා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12.15 ටත් පැවැත්වීමට නියමිත යි. එදින නිමාවන විට ඉතාලිය ද පෘතුගාලය ද නැතහොත් වෙනත් අනපේක්ෂිත කණ්ඩායමක් 2022 ලෝක කුසලානයට එක් වේ ද යන්න පාපන්දු ප්‍රේක්ෂකයන්ට දැකබලාගත හැකි වනු ඇති.

කවරයේ ඡායාරූපය - ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ  - wwos.nine.com.au
මූලාශ්‍ර :

www.uefa.com

allfootball.com

www.fifa.com

www.skysports.com

Related Articles