Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විම්බල්ඩන්හි නොමැකෙන සලකුණ: රොජර් ෆෙඩරර්

ලොව පැරණිතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය ලෙසින් හඳුන්වන්නේ විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය යි.

1877 වසරේ එංගලන්තයේ දී ආරම්භ වුණු මෙම තරගාවලිය ලොව පුරා සිටින ටෙනිස්ලෝලීන් වඩාත්ම ප්‍රිය කරන ටෙනිස් තරගාවලිය බවට පත්ව තිබෙනවා. විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය යටතේ ප්‍රධාන වශයෙන් ඉසව් 5ක් පැවැත්වෙනවා. පිරිමි ඒකල, කාන්තා ඒකල, පිරිමි යුගල, කාන්තා යුගල, සහ මිශ්‍ර යුගල වශයෙන් පැවැත්වෙන එම ඉසව් අතුරින් පිරිමි ඒකල ඉසව්වට ප්‍රධාන තැනක් හිමිවෙනවා. එම නිසාම විම්බල්ඩන්  තරගාවලියේ පිරිමි ඒකල ඉසව්ව ජයග්‍රහණය කරන ක්‍රීඩකයා ප්‍රේක්ෂක අවධානය වැඩියෙන් දිනාගන්නවා. එලෙස විම්බල්ඩන් ඉතිහාසයේ ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් ක්‍රීඩකයන් අතුරින් ස්විට්සර්ලන්ත ක්‍රීඩක රොජර් ෆෙඩරර්ට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ ඔහු වැඩිම වරක් එම කිරුළ දිනාගත් නිසා යි. 

2003 වසරේ දී ෆෙඩරර් මුල්ම වරට විම්බල්ඩන් කිරුළ දිනාගනියි 

2003 ව්ම්බල්ඩන් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 128 දෙනෙකු සහභාගි වුණා. එලෙස සහභාගි වුණු ක්‍රීඩකයන් 16 බැගින් කාණ්ඩ 8කට බෙදා වෙන්කරනු ලැබුවා. ඒ අනුව එම කාණ්ඩ 8හි ජයග්‍රාහකයන්ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට වරම් හිමිවුණා. එහිදී 3 වැනි කාණ්ඩය යටතේ තරග වැදුණු ෆෙඩරර් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ තෙවන කාණ්ඩයේ ප්‍රථමයා වෙමින්.

ෂැල්කන්ව පරාජය කළ ෆෙඩරර් අවසන් පූර්ව වටයට 

අර්ධ අවසන් පූර්ව වටයේ දී ෆෙඩරර්ට තරග වැදීමට සිදුවුණේ නෙදර්ලන්ත ටෙනිස් ක්‍රීඩක ස්ජෙන්ග් ෂැල්කන් සමග යි. එම අවදියේ ටෙනිස් පිටියේ සිටි එතරම් ප්‍රබල ක්‍රීඩකයෙකු නොවුණු ෂැල්කන් හමුවේ ෆෙඩරර් තරග වට 3-0ක පහසු ජයක් ලැබුවා. එහිදී තරගයේ ලකුණු තත්ත්වය 6-3, 6-4ක්, සහ 6-4ක් ලෙසින් සටහන් වුණා.

ඇමරිකානු ක්‍රීඩක රොඩික්ව පරාජය කළ ෆෙඩරර් විම්බල්ඩන් අවසන් තරගයට 

එම අවධියේ ටෙනිස් පිටියේ සිටි දක්ෂ තරුණ ක්‍රීඩකයෙකු වුණු ඇන්ඩි රොඩික්ට එරෙහිව ෆෙඩරර් අවසන් පූර්ව තරගයේ දී තරග වැදුණා. එහිදී ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් පළමු වටය ෆෙඩරර් ජයග්‍රහණය කළේ 7-6ක් ලෙසින්. කරට කර සටනක් ලබාදෙමින් පළමු වටය ජයග්‍රහණය කිරීමෙන් පසුව දක්ෂ තරග රටාවක නිරතවුණු ෆෙඩරර් ඉතිරි තරග වට දෙකම 6-3 වශයෙන් ජයග්‍රහණය කළේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබමින්.

ෆෙඩරර් විම්බල්ඩන් අවසන් තරගය තියුණු සටනකින් පසුව ජයගනියි 

ෆෙඩරර්ට අවසන් තරගයේ දී තරග වැදීමට සිදුවුණේ 1998 ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අනු ශූරතාවය දිනූ ඕස්ට්‍රේලියාවේ මාක් පිලිපොසිස් සමග යි. එදා ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු වටය ෆෙඩරර් ජයග්‍රහණය කළේ 7-6ක් ලෙසින්. පළමු වටය එලෙස ජයග්‍රහණය කිරීමෙන් පන්නරය ලද ෆෙඩරර් දෙවන වටයත් 6-2ක් ලෙසින් ජයග්‍රහණය කළා. නමුත් තෙවන වටයේ දී පිලිපොසිස් නැවතත් තියුණු අභියෝගයක් ෆෙඩරර් වෙත එල්ල කළත් එම තරග වටයත් 7-6ක් ලෙස ෆෙඩරර් ජයග්‍රහණය කළේ මුල්ම වරට විම්බල්ඩන් පිරිමි ඒකල ශූරතාවය දිනාගනිමින්. 

ෆෙඩරර් 2003 විම්බල්ඩන් ශූරතාවය දිනාගත් අවස්ථාව (gettyimages)

පිට පිටම වසර 4ක් විම්බල්ඩන් පිරිමි ඒකල ශූරයා වුණු ෆෙඩරර් 

2003 වසරේ දී මුල්ම වරට විම්බල්ඩන් පිරිමි ඒකල ශූරතාවය දිනාගත් ෆෙඩරර් 2007 වසර දක්වා අඛණ්ඩව එම කිරුළ රැකගැනීමට සමත්වුණා. 1968 වසරේ දී විම්බල්ඩන් තරගාවලිය විවෘත එකක් කිරීමෙන් පසුව පිට පිටම වසර 5ක් පිරිමි ඒකල කිරුළ දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව ෆෙඩරර්ට ලැබුණා. ෆෙඩරර්ට පෙර එම දස්කම් දැක්වූ ස්වීඩනයේ බියොන් බෝර්ග් 1976-1980 කාලය තුළ විම්බල්ඩන් කිරුළ අඛ ණ්ඩවජයග්‍රහණය කර තිබුණා.

රොඩික් හමුවේ දෙවරක්ම කිරුළ රැකගත් ෆෙඩරර් 

2004 විම්බල්ඩන් අවසන් තරගයේ දී ෆෙඩරර්ට තරග වැදීමට සිදුවුණේ 2003 වසරේ දී ඇමරිකානු විවෘත ශූරතාවය දිනාගත් ඇමරිකාවේ ඇන්ඩි රොඩික් සමග යි. එදා අවසන් තරගයේ පළමු වටය රොඩික් 6-4ක් ලෙසින් ජයග්‍රහණය කළ ද ඉතිරි වට 3ම ෆෙඩරර් 7-5, 7-6, සහ 6-4 ලෙසින් ජයග්‍රහණය කළේ පිට පිටම දෙවන වරටත් විම්බල්ඩන් ශූරයා වෙමින්.

ෆෙඩරර්-රොඩික් අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2005 විම්බල්ඩන් පිරිමි ඒකල අවසන් තරගය සඳහා ෆෙඩරර් සුදුසුකම් ලබාගත්තේ 2001 ඇමරිකානු විවෘත සහ 2002 විම්බල්ඩන් තරගාවලිවල ශූරයා වුණු ඕස්ට්‍රේලියාවේ ලේටන් හෙවිට් පරාජය කරමින්. එලෙස ඉතාමත් දක්ෂ ලෙස තරග වදිමින් අවසන් තරගය දක්වා පැමිණි ෆෙඩරර්ට එහිදී නැවතත් හමුවුණේ ඇමරිකානු ක්‍රීඩක ඇන්ඩි රොඩික්. 2004 වසරේ දී මෙන් නොව මෙවර ඉතාමත් පහසුවෙන් රොඩික්ව 6-2, 7-4, සහ 6-4ක් ලෙසින් පරාජය කළ ෆෙඩරර් නැවත වරක් විම්බල්ඩන් ශූරතාවය දිනාගත්තා.

ෆෙඩරර් 2005 විම්බල්ඩන් ශූරයා බවට පත්වී (gettyimages)

නඩාල් හමුවේ පිට පිටම දෙවරක් විම්බල්ඩන් ශූරයා බවට පත්වීමට ෆෙඩරර්ට හැකිවෙයි 

රෆායල් නඩාල් සහ රොජර් ෆෙඩරර් ටෙනිස් පිටියේ දී නිතරම හමුවුණු ප්‍රතිවාදීන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනා මුල්ම වරට විම්බල්ඩන් අවසන් තරගයක දී හමුවුණේ 2006 වසරේ දී යි. එදා තරුණ ක්‍රීඩකයෙකු ලෙසින් ෆෙඩරර් සමග විම්බල්ඩන් අවසන් තරගයේ දී තරග වැදුණු නඩාල් පළමු වටය 6-0ක් ලෙසින් පරාජයට පත්වුණා. නමුත් දෙවන වටයේ දී 7-6ක් ලෙසින් තියුණු පරාජයක් ලැබූ නඩාල් තෙවන වටය 7-6ක් ලෙසින් ජයග්‍රහණය කළා. එලෙස නඩාල් තරගයට අවතීර්ණ වුණත් සිව්වන වටය 6-3ක් ලෙස ජයග්‍රහණය කළ ෆෙඩරර් පිට පිටම සිව්වන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනාගත්තා.

ෆෙඩරර්-නඩාල් අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 විම්බල්ඩන් පිරිමි ඒකල අවසන් තරගයේ දී නැවත වරක් ෆෙඩරර් සහ නඩාල් හමුවුණා. එම අවධිය වන විට තරමක් අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙකු වුණු නඩාල් අවසන් තරගයේ දී ෆෙඩරර්ට ලබාදුන්නේ ප්‍රබල සටනක්. එහිදී තියුණු මුහුණුවරක් ගත් පළමු වටය ෆෙඩරර් 7-6ක් ලෙසින් ජයග්‍රහණය කරන විට දෙවන වටය නඩාල් ජයග්‍රහණය කළේ 6-4ක් ලෙසින්. ඉන් පසුව පැවති තීරණාත්මක තෙවන වටය ෆෙඩරර් 7-6ක් ලෙසින් ජයගත්තත් සිව්වන වටයේ ජය නඩාල්ට හිමිවුණේ 6-2ක් ලෙසින්. ඒ අනුව විම්බල්ඩන් ශූරයා තේරීම සඳහා පැවති 5 වැනි වටයේ දී සියලුම අත්දැකීම් ප්‍රයෝජනයට ගත් ෆෙඩරර් 6-2ක් ලෙසින් නඩාල්ව පරාජය කළා. එහිදී පිට පිටම 5 වැනි වරටත් විම්බල්ඩන් කිරුළ දිනාගත් ෆෙඩරර් ස්වීඩන් ජාතික බියොන් බෝර්ගේ විම්බල්ඩන් වාර්තාවක් සම කළා.

නඩාල් විසින් ෆෙඩරරගේ විම්බල්ඩන් වාර්තාවට තිරිංග දමයි 

2008 විම්බල්ඩන් තරගාවලිය සඳහා ෆෙඩරර් අවතීර්ණ වුණේ පිට පිටම විම්බල්ඩන් පිරිමි ඒකල කිරුළ 6 වතාවක් දිනාගත් එකම ක්‍රීඩකයා බවට පත්වීමට යි. නමුත් එදා ෆෙඩරර්ගේ සිහින බොඳකළ නඩාල් තියුණු සටනකින් පසුව මුල්මවරට විම්බල්ඩන් කිරුළ දිනාගත්තා. එහිදී 6-4, සහ 6-4 ලෙසින් පළමු වට 2ම නඩාල් ජය කළත් 7-6, සහ 7-6 ලෙසින් ඊළඟ වට 2ම ෆෙඩරර් ජයග්‍රහණය කළා. ඉන් පසුව ජයග්‍රාහකයා තේරීම සඳහා පැවති අවසන් වටයේ දී 9-7ක් ලෙසින් නඩාල් ජයග්‍රහණය කළේ ප්‍රබල සටනකින් පසුව යි.

නඩාල් විම්බල්ඩන් ශූරතාවය දිනාගත් අවස්ථාව (gettyimages)

2008 වසරෙන් පසුව ෆෙඩරර්ගේ දස්කම් ගිලිහී ගියා 

2009 වසරේ සිට 2019 වසර දක්වා පැවති විම්බල්ඩන් තරගාවලිවල දී ෆෙඩරර්ගේ නැගීම් සහ බැසීම් දක්නට ලැබුණා. එම නිසාම ඔහු විම්බල්ඩන් පිටිය තුළ පවත්වාගෙන ගිය ආධිපත්‍යය ඔහුගෙන් ගිලිහී ගියා.

පසුගිය වසර 11 තුළ ෆෙඩරර්ට තෙවරක් විම්බල්ඩන් ශූරයා වුණා

2009 වසරේ දී පැවති විම්බල්ඩන් අවසන් තරගයේ දී නැවත වරක් ෆෙඩරර් සහ රොඩික් හමුවුණා. එම අවදියේ දක්නට ලැබුණු දීර්ඝතම විම්බල්ඩන් පිරිමි ඒකල අවසන් තරගය එය වුණා. එහිදී තියුණු සටනකින් පසුව ෆෙඩරර් නැවතත් කිරුළ ලබාගත්තේ 5-7, 7-6, 7-6, 3-6, සහ 16-14ක් ලෙස ලකුණු ලබාගනිමින්. ඉන් පසුව 2012 තරගාවලියේ දී නැවතත් අවසන් තරගයට පිවිසි ෆෙඩරර් එහිදී ඇන්ඩි මරේව 4-6, 7-5, 6-3, සහ 6-4ක් ලෙස පරාජය කරමින් ශූරතාවය දිනාගත්තා. එලෙස 7 වැනි වරටත් කිරුළ දිනාගත් ෆෙඩරර් 8 වැනි වරට විම්බල්ඩන් පිරිමි ශූරතාවය දිනාගත්තේ 2017 වසරේ දී යි. එහිදී සර්බියානු ක්‍රීඩක මාරින් සිලික්ව 6-3, 6-1 සහ 6-4 ලෙස පහසුවෙන්ම පරාජය කිරීමට ෆෙඩරර්ට හැකිවුණා.

ෆෙඩරර් අවසන් වරට 2017 වසරේ විම්බල්ඩන් ශූරයා වුණු අවස්ථාව (gettyimages)

නොවැක් ඩිකොවිච් හමුවේ පරාජය වුණු අවසන් තරග ත්‍රිත්වය 

 2014 සහ 2015 යන වසර 2 දීම ෆෙඩරර් විම්බල්ඩන් අවසන් තරග පරාජය වුණේ ඩිකොවිච් හමුවේ යි. එහිදී 7-6, 4-6, 6-7, 7-5, සහ 4-6 ලෙසින් 2014 අවසන් තරගය පරාජය වුණු ෆෙඩරර් 6-7, 7-6, 6-4, සහ 6-3 ලෙසින් 2015 අවසන් තරගය පරාජය වුණා. නැවතත් 2019 විම්බල්ඩන් අවසන් තරගයේ දී ෆෙඩරර් සහ ඩිකොවිච් හමුවුණා. එහිදී පැය 4 විනාඩි 57ක කාලයක් පැවති එම තරගය විම්බල්ඩන් ඉතිහාසය තුළ වැඩිම කාලයක් පැවති පිරිමි ඒකල අවසන් තරගය ලෙසින් වාර්තා අතරට එක්වුණා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගය ඩිකොවිච් ජයග්‍රහණය කළේ 7-6, 1-6, 7-6, 4-6, සහ 13-12 ලෙසින්. 

2019 විම්බල්ඩන් පිරිමි ඒකල අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

කලක් විම්බල්ඩන් පිටියේ සුපිරි තරුවක් වුණත් වර්තමානය වන විට ෆෙඩරර්ගෙන් එම දස්කම් ගිලිහී යමින් පවතිනවා. නමුත් එදා ෆෙඩරර් විම්බල්ඩන් පිටිය තුළ තැබූ වාර්තා අසමසම නිසා විම්බල්ඩන් ඉතිහාසය තුළ ඔහුගේ නම සැමදා රැඳී පවතිනු ඇති.

කවරයේ ඡායාරූපය - ෆෙඩරර් විම්බල්ඩන් කුසලානය සමග (gettyimages)

Related Articles