Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දඬුවම් පහරින් විසඳුණු තරග

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා 22 වන පාපන්දු ලෝක කුසලානය නිමාවට පත් වූයේ ආජන්ටිනාව තෙවන වරටත් පාපන්දු ලෝක ශූරයන් බවට පත් කරමින්. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණය වෙනුවෙන් දඬුවම් පහර දක්වා ගමන් කිරීමට සිදු වුණා.

එය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයක් දඬුවම් පහර තෙක් ගමන් කළ තෙවන අවස්ථාව යි. ඉතිහාසයේ මීට ප්‍රථමයෙන් තරග කිහිපයක් ම මෙලෙස දඬුවම් පහර වට දක්වා ගමන් කළා. 

ආජන්ටිනාව 2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ මොහොත – www.fifa.com

පාපන්දු ලෝක කුසලාන ආරම්භ කර පැවති මූලික තරගාවලිවල දී දඬුවම් පහර වට ක්‍රියාත්මක වුණේ නෑ. මුල් ලෝක කුසලානවල දී අතිරේක කාලය අවසන් වූ පසුවත් තරගය සම වී තිබෙනවා නම් තවත් තරගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය වුණා. එම නීතිය වෙනස් කරමින් 1978 පාපන්දු ලෝක කුසලානයේ සිට දඬුවම් පහර වට දක්වා ගමන් කිරීමට නීති සංශෝධනය වී තිබුණා. අද කතා කරන දඬුවම් පහර වට මාලා ආරම්භ වන්නේ 1978 පාපන්දු ලෝක කුසලානයේ පටන් කිවහොත් නිවැරැදි යි. 

පළමු දඬුවම් පහර තරගය

1978 පාපන්දු ලෝක කුසලානයේ දී ප්‍රථමයෙන් දඬුවම් පහර වට හඳුන්වා දුන්න ද කිසිදු තරගයක් ඒ දක්වා ගමන් කළේ නෑ. මේ හේතුවෙන් දඬුවම් පහර වට දක්වා ගමන් කළ පළමු තරගය නැරඹීමට 1982 වර්ෂය වනතෙක් රැඳී සිටීමට සිදු වුණා. 1982 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව වටයේ තරගයට බටහිර ජර්මනිය සහ ප්‍රංශය තරග වැදුණා. අතිශය උණුසුම් තරගයක් වූ මෙම ගැටුම අතිරේක කාලය අවසන් වූයේ ගෝල 3-3 ක් බවට සටහන් කරමින්. මේ හේතුවෙන් ජයග්‍රාහකයා තෝරා ගැනීමට ඉතිහාසයේ පළමු වතාවට දඬුවම් පහර වටයක් දක්වා ගමන් කිරීම ට සිදු වුණා.

එම තරගයෙන් දඬුවම් පහර 5-4 ක ජයග්‍රහණයක් ලැබූ ජර්මනිය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ලෝක කුසලාන දඬුවම් පහර වට ඉතිහාසයේ ප්‍රථම ගෝලය ලබා ගත් තැනැත්තා බවට ප්‍රංශයේ ඇලන් ගිරෙස්සේ ඉතිහාසගත වුණා. එමෙන් ම පළමු දඬුවම් පහර අසාර්ථක කර ගත් ක්‍රීඩකයා වූයේ බටහිර ජර්මනියේ උලි ස්ටියෙලිකේ යි. එම ජයග්‍රහණයෙන් පසුව බටහිර ජර්මනිය ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්ත ද ඔවුන් ලෝක ශූරතාව ජයග්‍රහණය කළේ නෑ. 

ජර්මනිය පළමු දඬුවම් පහර වටයේ තරගය ජය ගත්තා – www.fifa.com

1982 ලෝක කුසලානයෙන් පසුව 1986 තරගාවලියේ දී තරග 3 ක් දඬුවම් පහර වට දක්වා ගමන් කළා. නැවත වතාවක් පළමු අර්ධ අවසන් පූර්ව වටයේ දී දඬුවම් පහර වටයක් වෙත ගමන් කිරීමට ප්‍රංශයට සිදු වුණා. නමුත් එවර පාපන්දු ලොවේ රජුන් වූ බ්‍රසීලය දඬුවම් පහර 4-3 කින් පරාජයට පත් කරමින් ප්‍රංශය තරගය ජයග්‍රහණය කළා. 1986 ලෝක කුසලානයේ දී බටහිර ජර්මනිය දඬුවම් පහර වටයෙන් මෙක්සිකෝව ද, බෙල්ජියම දඬුවම් පහර වටයෙන් ස්පාඤ්ඤය ද පරාජයට පත් කළා. 

ආජන්ටිනාව දඬුවම් පහර වාර්තාවලට

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වන විට ප්‍රේක්ෂකයන්ට දඬුවම් පහර දක්වා තරගයක් ගමන් කිරීම අමුතු සිදුවීමක් වූයේ නෑ. එවර අවසන් 16 දෙනාගේ වටයේ තරගයක දී රුමේනියාව පරාජයට පත් කරමින් දඬුවම් පහර 5-4 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අයර්ලන්තයට හැකියාව ලැබුණා.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී ආජන්ටිනාව සහ යුගොස්ලෝවියාව ගෝල ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් දඬුවම් පහර වටයක් දක්වා ගමන් කළා. එම තරගය දඬුවම් පහර 3-2 කින් ආජන්ටිනාව ජයග්‍රහණය කළා. සුපිරි ක්‍රීඩක දියේගෝ මැරඩෝනාට තම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට එවර අවස්ථාව නොලැබීම ද විශේෂත්වයක්. 

අර්ධ අවසන් පූර්ව වටයෙන් පසුව ආජන්ටිනාව සහ සත්කාර ඉතාලිය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබුණා. එම තරගය ද දඬුවම් පහර දක්වා ගමන් කළ අතර එය ද ගෝල 4-3 ලෙසින් ආජන්ටිනාව ජයග්‍රහණය කළා. එය එක් ලෝක කුසලාන තරගාවලියක් තුළ කණ්ඩායමක් දඬුවම් පහර තරග ද්විත්වයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව බවට එය වාර්තා පොත් අතරට එක් වුණා. එවර දියේගෝ මැරඩෝනා තම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

ආජන්ටිනාව 1990 පාපන්දු ලෝක කුසලානයේ ඉතාලිය පරාජයට පත් කළ මොහොත – www.italynews.com

1990 තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයට ජර්මනිය සහ එංගලන්තය තරග වැදුණා. එම අවසන් පූර්ව වටය ද දඬුවම් පහර දක්වා ගමන් කළා. අදටත් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එක් අවස්ථාවක අවසන් පූර්ව වටයේ තරග ද්විත්වය ම දඬුවම් පහර දක්වා ගමන් කළේ 1990 දී පමණ යි. එම තරගය ගෝල 4-3 ක් වශයෙන් ජයග්‍රහණය කළ ජර්මනිය අවසන් මහා තරගයට පිවිසීමට සමත් වූවා පමණක් නොව එහිදී ආජන්ටිනාව පරාජයට පත් කරමින් ලෝක ශූරතාව ද ජයග්‍රහණය කළා.

පළමු වතාවට අවසන් තරගයක් දඬුවම් පහර වටයට

1994 වසරේ අමරිකා එක්සත් ජනපදයේ දී පැවති පාපන්දු ලෝක කුසලානයේ දඬුවම් පහර දක්වා ගමන් කළ තරග සංඛ්‍යාව 3 ක්. එහි විශේෂත්වය වූයේ ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් තරගයක් දඬුවම් පහර දක්වා ගමන් කිරීම යි. අවසන් තරගයට ප්‍රථමයෙන් මෙක්සිකෝව පරාජය කළ බල්ගේරියාවත්, රුමේනියාව පරාජය කළ ස්වීඩනයත් දඬුවම් පහර මඟින් ජයග්‍රහණය සටහන් කර ගත්තා. 1994 ලෝක කුසලාන අවසන් තරගයට බ්‍රසීලය සහ ඉතාලිය සුදුසුකම් ලබා තිබුණා. 

ඒ වන විට වසර 64 ක ඉතිහාසයක් හිමි ලෝක කුසලානයේ පළමු වතාවට අවසන් මහා තරගයක අතිරේක කාලයේ දී ද ගෝල වාර්තා වූයේ නෑ. 0-0 ක් ලෙසින් අවසන් වූ ඉතාලි බ්‍රසීල තරගයේ ජයග්‍රහණය සොයා යෑම වෙනුවෙන් දඬුවම් පහර වටයක් ක්‍රියාත්මක වුණා. එහිදී ගෝල 3-2 කින් ඉතාලිය පරාජයට පත් කළ බ්‍රසීලය 1970 වසරට පසුව ලෝක ශූරතාව දිනා ගත්තා. ඉතාලිය වෙනුවෙන් තරගාවලිය පුරාවට කැපී පෙනෙන දස්කම් දැක්වූ රොබෙර්ටෝ බැජියෝට අවසන් දඬුවම් පහර සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණේ නෑ. 

ඉතාලිය පරාජය කළ බ්‍රසීලය 1994 ලෝක පාපන්දු කිරුළ ජයග්‍රහණය කළා – www.goal.com

ඉන් පසුව පැවති 1998 පාපන්දු ලෝක කුසලානයේ දී නැවත වතාවක් එංගලන්තය දඬුවම් පහරවලින් පරාජයට පත් වුණා. එවර ඔවුන්ගේ ප්‍රතිවාදියා වූයේ ආජන්ටිනාව යි. අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් වූ මෙම තරගයට පසුව සත්කාර ප්‍රංශය සහ ඉතාලිය අර්ධ අවසන් පූර්ව වටයේ දී දඬුවම් පහර දක්වා ගමන් කළා. 

1994 අවසන් මහා තරග පරාජයේ අමිහිරි මතක නැවත අලුත් කරගත් ඉතාලිය එවර ප්‍රංශය හමුවේ දඬුවම් පහරවලින් පරාජයට පත් වුණා. සිව්වන වතාවට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයේ තරගයක් දඬුවම් පහර තෙක් ගමන් කළා. එවර නෙදර්ලන්තයට අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි කළ බ්‍රසීලය දඬුවම් පහර 4-2 ක ජයග්‍රහණයක් සනිටුහන් කර ගත්තා. කෙසේ වුවත් බ්‍රසීලයට ලෝක ශූරතාව දිනා ගැනීමට හැකියාව ලැබුණේ නෑ. 

තවත් අවසන් තරගයක්!

2002 පාපන්දු ලෝක කුසලානය තුළ දඬුවම් පහර දක්වා ගමන් කළේ තරග දෙකක් පමණ යි. ස්පාඤ්ඤය සහ අයර්ලන්තය අතර අවසන් 16 දෙනාගේ වටය යටතේ පැවති තරගයෙන් ස්පාඤ්ඤය දඬුවම් පහර 3-2 කින් ජයග්‍රහණය කළා. අනතුරුව නැවතත් අර්ධ අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤය සහ දකුණු කොරියාව දඬුවම් පහර දක්වා ගමන් කළ ද එවර ජයග්‍රහණය දකුණු කොරියාව සතු වුණා. 

2006 ලෝක කුසලානයට දඬුවම් පහර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී අත්වන්නේ විශේෂ ස්ථානයක්. යුක්රේනය සහ ස්විට්සර්ලන්තය අතර අවසන් 16 දෙනාගේ වටයේ තරගය දඬුවම් පහරවලින් ජයග්‍රහණය කිරීමට යුක්රේනය සමත් වුණා. ජර්මනිය සහ ආජන්ටිනාව සහභාගී වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ද දඬුවම් පහර තෙක් ගමන් කළා. කෙසේ වෙතත් එම තරගය ජර්මනිය ජයග්‍රහණය කළ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ආජන්ටිනාව දඬුවම් පහරවලින් පරාජයට පත් වූ පළමු අවස්ථාව ද එය වුණා. 

ඉතාලිය 1994 පරාජය අකාමකා දමමින් 2006 දඬුවම් පහරවලින් ලෝක කුසලානය ජයග්‍රහණය කළා – www.fifa.com

එංගලන්තය සහ පෘතුගාලය අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ද දඬුවම් පහර වට දක්වා ගමන් කළා. එම තරගයෙන් එංගලන්තය පරාජයට පත් වූයේ පිට පිට ම තෙවන වතාවටත් දඬුවම් පහර වටයකින් පරාජයට පත් වෙමින්. එංගලන්තය ඒ වන විටත් ලෝක කුසලාන තුළ දඬුවම් පහරවලින් තරගයක් ජයග්‍රහණය කොට තිබුණේ නෑ. 2006 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට ඉතාලිය සහ ප්‍රංශය සුදුසුකම් ලබා ගත්තා. එවර තරගය ද දඬුවම් පහර තෙක් ගමන් කළේ අවසන් මහා තරගයක් දඬුවම් පහර තෙක් ගමන් කළ දෙවන අවස්ථාව ද සටහන් කරමින්. 

වසර 12 කට ප්‍රථමයෙන් ලෝක කුසලාන අවසන් තරගයක් දඬුවම් පහරවලින් පරාජයට පත් වීමේ අඩුපාඩුව නැවත සිදු නොකළ ඉතාලිය එවර ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. ඉතාලිය තම සියලු ම දඬුවම් පහර සාර්ථක කර ගනිද්දී ප්‍රංශ ක්‍රීඩක ඩේවිඩ් ට්‍රෙසුගේට් ගේ පහර සාර්ථක වූයේ නෑ. දඬුවම් පහරින් ලෝක කුසලානය ජයග්‍රහණය කළ දෙවන රට බවට පත් වීමට ඉතාලිය සමත් වුණා. 

2010, 2014 සහ 2018

2010 පාපන්දු ලෝක කුසලානයේ තරග දෙකක් දඬුවම් පහර වටවලට ගමන් කළා. එහිදී ජපානය පරාජයට පත් කළ පැරගුවේ සහ ඝානාව පරාජය කළ උරුගුවේ ජයග්‍රහණයන් හිමි කර ගත්තා. 2014 ලෝක කුසලානයේ පැවති තරගවලින් දඬුවම් පහර වටවලින් චිලී පරාජය කළ බ්‍රසීලයත්, ග්‍රීසිය පරාජය කළ කොස්ටා රිකාත්, කොස්ටා රිකාව පරාජය කළ නෙදර්ලන්තයත්, නෙදර්ලන්තය පරාජය කළ ආජන්ටිනාවත් ජයග්‍රහණ ලබා ගත්තා. ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගය ලෝක කුසලාන අවසන් පූර්ව වට දඬුවම් පහර තෙක් ගමන් කළ ඉතිහාසයේ 5 වන වතාව වීම ද විශේෂත්වයක්.

2014 පාපන්දු ලෝක කුසලානයේ ආජන්ටිනා නෙදර්ලන්ත තරගයේ අවස්ථාවක් – www.fifa.com

ඉන් අනතුරුව පැවති 2018 පාපන්දු ලෝක කුසලානයේ දී ක්‍රොඒෂියාව සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. ඔවුන් අවසන් 16 දෙනාගේ වටයේ දී ඩෙන්මාර්කය දඬුවම් පහර 3-2 ක් හා රුසියාව දඬුවම් පහර 4-2 ක් ලෙසින් පරාජයට පත් කළා. එය 1990 වර්ෂයේ ආජන්ටිනාවෙන් පසුව කණ්ඩායමක් එකම ලෝක කුසලානයක දඬුවම් පහර තරග ද්විත්වයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද වීම විශේෂත්වයක්. 

2018 තරගාවලියේ ස්පාඤ්ඤය පරාජයට පත් කරමින් දඬුවම් පහර 4-2 ක ජයක් සත්කාර රුසියාව ලබා ගැනීමට සමත් වීම ද ඓතිහාසික අවස්ථාවක් වශයෙන් සැලකෙනවා. මෙම ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයක දී කොලොම්බියාව පරාජයට පත් කරමින් දඬුවම් පහර 4-3 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වුණා. අවස්ථා තුනක අසාර්ථකත්වයෙන් පසුව එංගලන්තය මෙම ජයග්‍රහණය ලැබීම ද සඳහන් කළ යුතු කරුණක්. 

ක්‍රොඒෂියාව 2018 වර්ෂයේ රුසියාව පරාජය කරමින් දෙවන දඬුවම් පහර වටයෙන් ද ජයග්‍රහණය කළා – www.sportingnews.com

2022 තරගාවලිය 

2022 පාපන්දු ලෝක කුසලානය යනු ඉතිහාසයේ වැඩි ම වතාවක් දඬුවම් පහර මඟින් විසඳුණු තරග සහිත තරගාවලිය බවට පත් වුණා. 2022 දී දඬුවම් පහර දක්වා ගමන් කළ තරග සංඛ්‍යාව 5 ක්. එහිදී ප්‍රථමයෙන් ම අවසන් 16 දෙනාගේ වටයේ දී ජපානය පරාජය කළ ක්‍රොඒෂියාවත් ප්‍රභල ස්පාඤ්ඤය පරාජයට පත් කරමින් පෙරළිකාර ජයක් ලැබූ මොරොක්කෝවත් දඬුවම් පහර වට ජයග්‍රහණ වාර්තා කළා.

ඉන් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ දී නැවත වතාවක් අවස්ථා ද්විත්වයක් එක ම තරගාවලියේ දී ජයග්‍රහණය කරමින් දඬුවම් පහර 4-2 ක් ලෙස බ්‍රසීලය පරාජයට පත් කළ ක්‍රොඒෂියාව ජයග්‍රහණය ලබා ගත්තා. අර්ධ අවසන් පූර්ව වටයේ දී නෙදර්ලන්තය සහ ආජන්ටිනාව නැවතත් ලෝක කුසලානයේ දී දඬුවම් පහර වටයක මුණ ගැසුණා. නැවත වතාවක් නෙදර්ලන්තය අභිබවා ගිය ආජන්ටිනාව එවර ගෝල 4-3 ක ජයග්‍රහණයක් හිමි කර ගත්තා.

2022 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දඬුවම් පහරක් වැලැක්වීම සමරන ආජන්ටිනා දැල් රකින ක්‍රීඩක එමි මාර්ටිනෙස් – www.losangelestimes.com

උද්වේගකර ස්වභාවයක් ගත් 2022 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ද දඬුවම් පහර තෙක් ගමන් කළා. අතිරේක කාලය අවසන් වන විට ආජන්ටිනාව සහ නෙදර්ලන්තය ගෝල 3-3 ක් ලබා සම තත්ත්වයේ පසුවීම නිසා මෙලෙස දඬුවම් පහර දක්වා තරගය යොමු වීමට හේතු වුණා. එහිදී ආජන්ටිනාව ගෝල 4-2 ක ජයක් ලබා ලෝක කුසලානය දිනා ගත්තා. එක් තරගාවලියක දඬුවම් පහර වටවලින් තරග දෙකක් ජයග්‍රහණය කළ දෙවන අවස්ථාව සටහන් කිරීමට ද ආජන්ටිනාව සමත් වුණා. 

දඬුවම් පහර වට සාරාංශය 

ලෝක කුසලාන ඉතිහාසයේ දඬුවම් පහර අවස්ථාවල රජවරුන් බවට පත්ව සිටිනා ආජන්ටිනාව ක්‍රීඩා කළ සමස්ත දඬුවම් පහර වට සංඛ්‍යාව 7 ක්. එයින් 6 ක් ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුණා. එමෙන් ම ලෝක කුසලාන ඉතිහාසයේ එක් දඬුවම් පහර වට 4 බැගින් ක්‍රීඩා කොට තවදුරටත් අපරාජිත ව පසු වීමට ක්‍රොඒෂියාව සහ ජර්මනිය සමත් වී තිබෙනවා. මෙක්සිකෝව, රුමේනියාව සහ ජපානය අවස්ථා ද්විත්වය බැගින් දඬුවම් පහර වට ක්‍රීඩා කළත් ඉන් එකක්වත් ඔවුන් ජයග්‍රහණය කළේ නෑ. 

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම දඬුවම් පහර වට ගණනක් ජයග්‍රහණය කළ ආජන්ටිනාව – www.skysport.com

ස්පාඤ්ඤය අවස්ථා 4 ක දී දඬුවම් පහර වටවලින් තරග පරාජයට පත් වී තිබෙනවා. ඉතිහාසයේ වැඩි ම වතාවක් දඬුවම් පහර වලින් තරග පරාජයට පත් වීමේ වාර්තාව ද ස්පාඤ්ඤය සතු යි. අමෙරිකා එක්සත් ජනපදය 6 වතාවක් පාපන්දු ලෝක කුසලාන පිළිමළුන් පිටු දැකීමේ වටයේ ක්‍රීඩා කළත් ඔවුන් එක් අවස්ථාවක් හෝ දඬුවම් පහර වට තෙක් ගමන් කළේ නෑ. එය ද වාර්තාවක්. එංගලන්තය, නෙදර්ලන්තය සහ ඉතාලිය අවස්ථා 4 බැගින් දඬුවම් පහර වට ක්‍රීඩා කළත් ජයග්‍රහණය කර ඇත්තේ 1 ක් පමණ යි. 

දඬුවම් පහර වට සඳහා වැඩි ම සහභාගී වීමේ වාර්තාව ඉතාලියේ රොබෙර්ටෝ බැජියෝ, ආජන්ටිනාවේ ලියොනල් මෙසී සහ ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රිච් සතු වනවා. ඔවුන් අවස්ථා තුනක දී දඬුවම් පහර වට ක්‍රීඩා කළා. එම අවස්ථා ත්‍රිත්වයේ දී ම තම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ලුකා මොඩ්රිච් සහ ලියොනල් මෙසී පමණ යි. වැඩි ම දඬුවම් පහර සංඛ්‍යාවක් නැවැත්වීමේ දැල් රකින්නාට හිමි වාර්තාවට සිව් දෙනෙක් උරුමකම් කියනවා. 

ඒ ආජන්ටිනාවේ සර්ජියෝ ගොයිකොචේයා, බ්‍රසීලසයේ ක්ලවුඩියෝ ටෆාරෙල්, ක්‍රොඒෂියාවේ ඩැනියෙල් සුබසිච් සහ ක්‍රොඒෂියාවේ ඩොමිනික් ලිවාකොවිච් යන සිව් දෙනා දඬුවම් පහර 5 බැගින් නවත්වා තිබෙනවා. එක් දඬුවම් පහර වටයක දී පෘතුගාලයේ රිකාඩෝ, ක්‍රොඒෂියාවේ ඩැනියෙල් සුබසිච් සහ ක්‍රොඒෂියාවේ ඩොමිනික් ලිවාකොවිච් යන තිදෙනා දඬුවම් පහර තුන බැගින් නැවැත්වීමට සමත් වුණා. 

ලියොනල් මෙසී (දකුණේ) සහ ලුකා මොඩ්රිච් (වමේ) – www.goal.com

1978 දඬුවම් පහර වට ආරම්භ කිරීමෙන් පසුව පැවති පිළිමළුන් පිටු දැකීමේ වටයේ තරග 166 ක් අතුරින් තරග 35 ක් දඬුවම් පහර දක්වා ගමන් කළා. එහිදී දඬුවම් පහර 320 ක් ලබා ගෙන තිබෙන අතර ඉන් 222 ක් සාර්ථක කර ගෙන තිබෙනවා. දඬුවම් පහර සාර්ථක කර ගැනීම ප්‍රතිශතයක් ලෙස 69.38% ක්. 2026 වසරේ සිට පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 වටයක් ද පැවැත්වීමට යෝජනා වී ඇති බැවින් ඉතිරි තරගාවලිවලදී මීට වඩා දඬුවම් පහර වට බලාපොරොත්තු විය හැකි යි.

කවරයේ ඡායාරූපය - දඬුවම් පහරින් ලැබූ 2022 ලෝක කුසලාන ජයග්‍රහණය සමරන ආජන්ටිනා ක්‍රීඩකයෝ - www.optussport.com
මූලාශ්‍ර -
www.fifa.com
www.goal.com
www.allfootball.com

Related Articles