Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇෆ්ඝනිස්ථානය​ සහ කොදෙව්වෝ 2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබති

එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ඝනිස්ථානය​ට සහ කොදෙව්වන්ට හැකිවිය. ඒ 2019 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වූ තරඟ වල දී ඉතා ප්‍රබල සටනකින් අනතුරුව සුපර් සික්ස් වටයේ ප්‍රථම ස්ථාන දෙක හිමිකරගනිමින් ය. 2019 ලෝක කුසලානය වෙනුවෙන් රටවල් 8 ක් මීට පෙර සුදුසුකම් ලබා සිටි අතර සත්කාරක එංගලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය එම රටවල් 8 වේ. 2019 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 10 ක් සහභාගී වීමට නියමිත අතර මෙම රටවල් 8 ට අමතරව ලෝක කුසලානය සඳහා සහභාගී වන ඉතිරි රටවල් 2 ක තෝරාගැනීම සඳහා තේරීම් තරඟ පැවැත්වුණි.

මෙම මස 4 වැනිදා සිට 25 වැනිදා දක්වා සිම්බාබ්වේ දේශයේ පැවැත්වූ තේරීම් තරඟ වෙනුවෙන් රටවල් 10 ක් පසුගිය සති තුන පුරාවට සටන් වැදුනි. තරඟ 34 කින් සමන්විත මෙම තේරීම් තරඟ පැවැත්වූයේ රවුන්ඩ්-රොබින් සහ පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයටයි. ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නිත්‍ය නායක ඇශ්ගර් ස්ටැනික්සායි ආබාධයකට ලක්වීම නිසා මුල් තරඟ කිහිපයේ දී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම මෙහෙය වූයේ 19 හැවිරිදි රෂීඩ් ඛාන් විසිනි. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තේරීම් තරඟ සඳහා සහභාගී නොවන්නට කයිරන් පොලාර්ඩ්, අන්ද්‍රේ රසල්, සුනිල් නරායින් සහ ඩරන් බ්‍රාවෝ තීරණය කර තිබුණි. කාලයක් මුළුල්ලේ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකළ සිම්බාබ්වේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් සහ කයිල් ජාවිස් ද මීට මාස කිහිපයකට පෙර සිට නැවතත් සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරති. මූලික වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වුණි.

A කාණ්ඩය – අයර්ලන්තය, නෙදර්ලන්තය, පැපුවා නිව් ගිනීයාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (එ.අ.එ), බ.ඉ.කො

B කාණ්ඩය – ඇෆ්ඝනිස්ථානය​, හොංකොං, නේපාලය, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ

කොදෙව්වන් වෙනුවෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළ රුව්මන් පවෙල් (Rovman Powell / Twitter)

මාර්තු මස 4 වැනිදා සිට මාර්තු මස 12 වැනිදා දක්වා මූලික වටයේ දී තරඟ 20 ක් පැවැත් වූ අතර මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩයෙන් ඉහළම දක්ෂතා දැක් වූ කණ්ඩායම් 3 බැගින් සුපර් සික්ස් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ඒ අනුව A කාණ්ඩයෙන් බ.ඉ.කො., අයර්ලන්තය, එ.අ.එ රාජ්‍යය සහ B කාණ්ඩයෙන් සත්කාරක සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, ඇෆ්ඝනිස්ථානය​ සුපර් සික්ස් වටයට පිවිසුණි. සුපර් සික්ස් වටයේ දී එක් කණ්ඩායමකට තරඟ 3 කට සහභාගී වන්නට නියමිතව තිබුණි. ඒ මූලික වටයේ දී එම කණ්ඩායම නියෝජනය කළ කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් දෙක හැර අනෙක් කාණ්ඩයෙන් මූලික වටයේ දී තරඟ වැදුණු කණ්ඩායම් 3 සමඟයි. තවද මූලික වටයේ දී එම කණ්ඩායම නියෝජනය කළ කාණ්ඩයෙන් සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබූ අනෙකුත් කණ්ඩායම් දෙක සමඟ මූලික වටයෙහි පැවති තරඟ වල ප්‍රසාද ලකුණු ( සහ ද.ල.වේ. ඇතුළු අනෙකුත් සියලුම කරුණු) සුපර් සික්ස් වටයට අදාළ විය. ඒ අනුව සුපර් සික්ස් වටයේ දී එක් කණ්ඩායමකට සුපර් සික්ස් වටයේ තරඟ 3 ක ප්‍රථිපලද මූලික වටයෙහි තරඟ 2 ක ප්‍රථිපල ද බලපාන ලදී.

මාර්තු මස 15 වැනිදා සිට සුපර් සික්ස් වටය පැවැත් වූ අතර සුපර් සික්ස් වටයෙහි ඉහළින්ම සිටින කණ්ඩායම් ද්විත්වයට 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්තාව පැවතුණි. සියලුම කණ්ඩායම් තරඟ 4 කට බැගින් සහභාගී වී සිටි අවස්ථාවෙහි සුපර් සික්ස් වටයෙහි ප්‍රථිපලය දැක්වුණේ පහත පරිදිය.

සුපර් සික්ස් වටයේ තරඟ තුනක් ඉතිරිව තිබියදී ප්‍රසාද ලකුණු පුවරුව​

ඒ අනුව එ.අ.එ රාජ්‍යය පමණක් ඒ වනවිට තරඟාවලියෙන් ඉවතට ගොස් සිටි අතර අනෙකුත් කණ්ඩායම් 5 ටම 2019 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ අවස්තාව ඒ වන විටත් ඉතිරිව පැවතුණි. සුපර් සික්ස් වටයෙහි අවසාන තරඟ තුන පැවැත්වුනේ බ.ඉ.කො සහ ස්කොට්ලන්තය, සිම්බාබ්වේ සහ එ.අ.එ. රාජ්‍යය, අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය​ අතරය. බ.ඉ.කො සහ ස්කොට්ලන්තය අතර තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට නිසැක වශයෙන්ම 2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ හැකියාව පැවතුනි. සිම්බාබ්වේ සහ එ.අ.එ. රාජ්‍යය අතර  තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන්ටද නිතැතින්ම 2019 ලෝක කුසලානය නියෝජනය කිරීම අවස්තාව පැවතුනි. අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය​ අතර තරඟය ජයගන්නා කණ්ඩායමට 2019 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබාගැනීමට නම් අනෙකුත් තරඟ දෙකෙහි ප්‍රථිපල මත යැපීමට සිදු වී තිබුණි.

බ.ඉ.කො සහ ස්කොට්ලන්තය අතර තරඟය

මාර්තු 21 වැනි දින හරාරේ හී දී

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව​ කොදෙව්වන්ට ලබාදෙන ලදී. කොදෙව්වන්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අතර ක්‍රිස් ගේල් සහ ෂේ හෝප් දෙදෙනාම ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යැවීමට ස්කොට්ලන්ත වේග පන්දුයවන ක්‍රීඩක සෆියාන් ෂරීෆ් ට හැකිවිය. ඉන්පසු එවින් ලුවිස් සහ මාලන් සැමුවෙල්ස් කොදෙව් ඉනිම ගොඩනැගූහ. ලුවිස් ලකුණු 66 ක්ද සැමුවෙල්ස් ලකුණු 51 ක්ද රැස් කරන ලදී. අවසානයේදී කාලෝස් බ්‍රත්වේට්ගේ ප්‍රයෝජනවත් ලකුණු 24 ද සමඟින් කොදෙව්වන් සියල්ලන්ම දැවී ලකුණු 198 ක් ලබාගත්හ. පන්දු යැවීමේ දී සෆියාන් ෂරීෆ් සහ බ්‍රැඩ් වීල් කඩුලු තුන බැගින් ලබාගැනීමට සමත්විය.

ලකුණු 199 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට​ පිටියට පිවිසි ස්කොට්ලන්තය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 35.2 දී තරඟය නවත්වන විට කඩුලු 5 කට ලකුණු 125 ක් ලබාතිබුණි. නමුත් ඒ වනවිට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරඟය ජයගැනීමට නම් ස්කොට්ලන්තය ලකුණු 131 ක් ලබාසිටිය යුතුවිය. ඒ අනුව කොදෙව්වන් තරඟය ලකුණු 5 කින් ජයග්‍රහණය කර 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගත්හ. මෙම තරඟයේ දී ස්කොට්ලන්තයට එරෙහිව දෙනු ලැබූ විනිසුරු තීරණයක් කාගේත් කතා බහට ලක්විය. තවද පන්දු රැකීමේ දී කොදෙව්වන් විසින් උඩපන්දු කිහිපයක්ම අතහරින ලදී. ස්කොට්ලන්තය වෙනුවෙන් රිචී බෙරින්ටන් ලකුණු 33 ක් ද කොදෙව්වන් වෙනුවෙන් කෙමාර් රෝච් සහ ඈෂ්ලි නර්ස් කඩුලු දෙක බැගින් ලබාගත්හ. ස්කොට්ලන්තයේ සෆියාන් ෂරීෆ් තරඟයේ වීරයා ලෙසින් නම් කරන ලදී.

සිම්බාබ්වේ සහ එ.අ.එ. රාජ්‍යය අතර තරඟය

මාර්තු මස 22 වැනි දින හරාරේ හී දී

සිම්බාබ්වේ කණ්ඩායමට අතිශයින්ම වැදගත් තරඟයක් වූ මෙම තරඟයෙහි කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගන්නා ලදී. එම වැරදි තීරණයත් සමඟින් එතැන් සිට සියලුම දෑ සිදුවූයේ සිම්බාබ්වේ කණ්ඩායමට අවාසි සහගත වන ආකාරයටය. එමීර් කණ්ඩායමේ ක්‍රීඩකයින් හොඳින් පන්දුවට පහරදුන් අතර වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ ඉනිම නතරකරන විට එමීර් ක්‍රීඩකයින් පන්දුවාර 47.5 ක් තුළ කඩුලු 7 කට ලකුණු 235 ක් ලබාගෙන සිටියහ. එමීර් කණ්ඩායම වෙනුවෙන් රමීස් ශාසාඩ් ලකුණු 59 ක්ද සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්ඩර් රාසා කඩුලු 3 ක්ද ලබාගැනීමට සමත්විය.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව සිම්බාබ්වේ කණ්ඩායම හිමිවූ ඉලක්කය පන්දුවාර 40 ක් තුළ ලකුණු 230 කි. නමුත් නියමිත පන්දුවාර 40 තුළදී සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 7 කට ලකුණු 226 ක් පමණි. ඒ අනුව ස්කොට්ලන්තය ලකුණු 3 කින් තරඟය ජයගන්නා ලදී. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ ෂෝන් විලියම්ස් ලකුණු 80 ක් රැස් කළ අතර එමීර් රාජ්‍යය වෙනුවෙන් මොහොමඩ් නවීඩ් කඩුලු 3 ක් බිඳහෙළන ලද්දේ තරඟයේ වීරයා සම්මානය ද ලබාගනිමින්ය.

අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය​ අතර තරඟය

මාර්තු මස 23 වැනිදා හරාරේ හී දී

අයර්ලන්තයට එරෙහිව රෂීඩ් ඛාන් විශිෂ්ට දක්ෂතා දක්වන ලදී (samaa.tv)

පසුගිය තරඟ දෙකෙහි ප්‍රතිඵල​ අනුව මෙම තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමට 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට නිත්‍ය අවකාශය හිමිවන තත්ත්වයක් වූ අතර යම් හෙයකින් මෙම තරඟය සමවුවහොත් හෝ අතහැර දැමීමට සිදුවුවහොත් සිම්බාබ්වේ කණ්ඩායමට එම අවස්ථාව ලැබීමට නියමිතව තිබිණ​. අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඩ් කාසියේ වාසිය හිමිකගෙන ප්‍රථමයෙන් පන්දුවට තීරණය කරන ලදී. අයර්ලන්තය වෙනුවෙන් සියලුම ක්‍රීඩකයින් පාහේ ලකුණු රැස් කළ නමුත් ඔවුන්ගේ ඉනිම මඳක් මන්දගාමී විය. එහි ප්‍රතිපලයක් ලෙසින් නියමිත පන්දුවාර 50 අවසානයේ දී අයර්ලන්තයට ලබාගැනීමට හැකිවූයේ කඩුලු 7 කට ලකුණු 209 ක් පමණි. අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටර්ලින් ලකුණු 55 ක්ද කෙවින් ඕ’බ්‍රයන් ලකුණු 41 ක් ද රැස් කළහ. ඇෆ්ඝනිස්ථානය​ වෙනුවෙන් රෂීඩ් ඛාන් කඩුලු 3 ක් ද දව්ලත් සද්‍රාන් කඩුලු 2 ක්ද බිඳහෙලීය.

ඒ අනුව ඇෆ්ඝනිස්ථානය​ට 2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට අවැසිව තිබුනේ ලකුණු 210 කි. මෙම තේරීම් තරඟවල මූලික වටයෙහි තරඟ දෙකක් ඇෆ්ගනිස්තානය ජය පෙනි පෙනී පරාජය වූ අතර මෙම අවස්ථාවේ දී එය සිදු නොකිරීමට ඔවුන් වගබලාගන්නා ලදී. ඇෆ්ඝනිස්ථානය​ට ඉතා හොඳ ආරම්භයක් ලැබුණි. ඒ ප්‍රවේගකාරී පිතිකරු මොහොමඩ් ශාසාඩ් සහ ගුල්බදීන් නයීබ් පන්දුවාර 16.3 ක් තුළ ලකුණු 86 ක් ලකුණු පුවරුවට එකතු කිරීම නිසාය. ඉන්පසු අනෙක් පිතිකරුවන්ද සියල්ලන්ම පාහේ පිත්තෙන් සිය දායකත්වය ලබාදුන් අතර පන්දුවාර 49.1 ක් තුළ කඩුලු 5 කට ලකුණු 213 ක් ලබාගනිමින් ඇෆ්ඝනිස්ථානය​ 2019 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබාගන්නා ලදී. තරඟයේ වීරයා වූ මොහොමඩ් ශාසාඩ් ලකුණු 54 ක් ද ගුල්බදීන් නයීබ් ලකුණු 45 ක් ද ලබාගත්හ. අයර්ලන්තය වෙනුවෙන් සිමී සිං කඩුලු 3 ක් බිඳහෙළන ලදී. සුපර් සික්ස් වටයෙන් අනතුරුව තේරීම් තරඟාවල ප්‍රතිපලය පහත පරිදි වේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානය​ සහ කොදෙව්වන් 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදී.

සුපර් සික්ස් වටය අවසන් වූ පසු සමස්ත ප්‍රසාද ලකුණු සටහන

සුපර් සික්ස් වටයේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබූ ඇෆ්ඝනිස්ථානය​ සහ බ.ඉ.කො කණ්ඩායම් අතර ඊයේ (25) තේරීම් තරඟ වල අවසාන මහා තරඟය පැවැත්වුන අතර මෙය හුදෙක්ම ප්‍රදර්ශන තරඟයක් ලෙස හැඳින්විය හැක.

ඇෆ්ඝනිස්ථානය​ සහ බ.ඉ.කො අතර අවසාන මහා තරඟය

මාර්තු මස 25 වැනි දින හරාරේ හී දී

කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කාසියේ වාසිය හිමිකරගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. තරඟයේ මුල සිටම කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ ඇෆ්ඝනිස්ථානය​ පන්දු යවන්නන් කොදෙව් පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට ඉඩ නොදෙන ලදී. එහි ප්‍රථිපලයක් ලෙස කොදෙව් ඉනිම පන්දුවාර 46.5 කට සීමා වූ අතර කොදෙව්වන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 204 ක් පමණි. කොදෙව්වන් වෙනුවෙන් රුව්මන් පවෙල් ලකුණු 44 ක්ද ශිම්රන් හෙට්මියර් ලකුණු 38 ක් ද වාර්තා කරන ලදී. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් 16 වියැති දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් අර් රහමාන් කඩුලු 4 ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ඝනිස්ථානය​ පන්දුවාර 40.4 ක් තුළ කඩුලු 3 කට ජයග්‍රාහී ඉලක්කය පසු කරන්නට සමත්විය. ඇෆ්ඝනිස්ථානය​ වෙනුවෙන් නැවතත් දක්ෂතා ප්‍රදර්ශනය කළ ආරම්භක පිතිකරු මොහොමඩ් ශාසාඩ් ලකුණු 83 ක් රැස් කළ අතර ඔහුට කදිම සහයක් ලබාදුන රහමාත් ෂා ලකුණු 51 ක් රැස් කරන ලදී. කොදෙව්වන් වෙනුවෙන් ක්‍රිස් ගේල් කඩුලු 2 ක් බිඳහෙලීය. මොහොමඩ් ශාසාඩ් තරඟයේ වීයා වූ අතර තුන් ඉරියව්වෙන්ම දක්ෂතා ක්‍රීඩා කළ සිම්බාබ්වේ හි සිකන්ඩර් රාසා තරඟාවලියේ වීරයා විය.

සමස්තයක් ලෙස මෙම තේරීම් තරඟ ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී. 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා කොදෙව්වන්ට සහ ඇෆ්ඝනිස්ථානය​ට විශාල ආයාසයක් දැරීමට සිදුවූ අතර ඇෆ්ඝනිස්ථානය​ මූලික වටයේ දී ඔවුන් මුහුණදුන් තරඟ 3 ක් පිට පිට පරාජය වී මෙලෙස 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම අතිශයින් පැසසිය යුත්තකි. එයින් අදහස් වන්නේ තේරීමේ තරඟ වලට සහභාගී වූ අනෙකුත් කණ්ඩායම් ද ඉතාමත් හොඳින් ක්‍රීඩා කර ඇති බවය. කෙසේ නමුත් මෙවැනි තරඟ වලදී විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ ක්‍රමය ප්‍රයෝජනයට ගන්නේ නම් එය වඩාත් යහපත් බව බොහෝ දෙනාගේ අදහසයි. එසේනම් ඇෆ්ඝනිස්ථානය​ සහ කොදෙව්වන් බොහෝ ආයාසයකින් යුතුව ලබාගත් මෙම ජයග්‍රහණය 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ලෙහෙසියෙන් ඉවතට විසි නොකරනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් වන අපි බලාපොරොත්තු වෙමු.

Cover: ඇෆ්ඝන් පිළ​ (Cricfit)

Related Articles