Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ශූර ආජන්ටිනාව ගැන ක්‍රීඩා තරු කියන කතා

2022 පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ දී දෙසැම්බර් මස 18 වනදා අවසන් වූයේ වසර 36 කට පසු ව ආජන්ටිනාව ලෝක පාපන්දු ශූරයන් බවට පත් කරමින්. පෙරළි රැසක් සිදු වූ, අනපේක්ෂිත ප්‍රතිපල ගණනාවක් වාර්තා වූ මෙවර තරගාවලිය ඉතිහාසයේ පැවැත්වූ හොඳ ම ලෝක කුසලානයක් ලෙස නම් වී තිබෙනවා. ලෝක කුසලාන අවසන් මහා තරගය ද මේ සියල්ලට ම නොදෙවෙනි තරගයක් බවට පත් වුණා.

ලෝක පාපන්දුවේ නොමැකෙන නාමයක් ඉතිරි කළ ලියොනල් මෙසී ගේ අවසන් ලෝක කුසලාන තරගය මෙන් ම අනාගත පාපන්දු තරුවක් වීමට දිදුළමින් සිටිනා කිලියන් ම්බප්පේ පිට පිට ම දෙවන වරටත් ලෝක ශූරයා වීමේ අභිප්‍රායෙන් සිටීම මෙම තරගය තව තවත් උණුසුම් කළා. මෙසී එම අවසන් මහා තරගයේ දී ගෝල 2 ක් වාර්තා කරද්දී ම්බප්පේ ගෝල 3 ක් වාර්තා කළා. අවසානයේ දී දඬුවම් පහර 4-2 ක් වශයෙන් පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාව සතු වුණා.

ආජන්ටිනාව ලෝක ශූරතාව දිනා ගත් අවස්ථාව – www.eurosport.com

ආජන්ටිනාව ලබා ගත් මෙම ඉතිහාසගත ජයග්‍රහණයත් සමඟින් සමස්ත ලෝකය ම එයට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කළා. මෙය ඉතිහාසයේ පැවති විශිෂ්ටත ම ලෝක කුසලාන අවසන් මහා තරගය බවට මාධ්‍ය, ක්‍රීඩාවට සම්බන්ධ චරිත මෙන් ම ක්‍රීඩාවට සම්බන්ධ නොවන චරිත ද ප්‍රකාශ කොට සිටියා.

බොහෝ දෙනෙක් ලියොනල් මෙසී ගේ ජයග්‍රහණය වෙනුවෙන් තම සුබපැතුම් එක් කිරීමට අමතක කළේත් නෑ. ලක්ෂ සංඛ්‍යාත ආජන්ටිනා වැසියන් එරට වීදි පුරා ප්‍රීතිඝෝෂා නගමින් තමන්ගේ පාපන්දු විරුවන් පිළිගන්නා ආකාරය ද දකින්නට ලැබුණා.

ආජන්ටිනාව වෙනුවෙන් තම සහයෝගය ලබාදුන් උසේන් බෝල්ට් – www.sportsbrief.com

ප්‍රතිචාර දැක්වූ ක්‍රීඩකයෝ

“මේක තමයි මං දැකපු හොඳ ම ලෝක කුසලාන අවසන් තරගය” ඔලිම්පික් රන් පදක්කම් 8 ක් ජයග්‍රහණය කොට ලොව වේගවත් ම මිනිසාට හිමි ලෝක වාර්තාව තමන් සතු කර ගෙන සිටින උසේන් බෝල්ට් ආජන්ටිනා ජර්සියකින් සැරසී ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

“අපි හුස්ම ගන්න අමතක වෙලා හිටියේ. එක හිතාගන්න බැරි අවසන් තරගයක්. තරගය නැරඹීමම පුදුම වාසනාවක්. මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නෑ වගේම මම ආයේ කවදාවත් මෙහෙම දෙයක් දකින එකකුත් නෑ.” හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩක ඇලන් ශේරර් BBC මාධ්‍ය ජාලය වෙතට එලෙස තම අදහස් ප්‍රකාශ කළා.

“ඔව් මට හෘදයාබාධයක් හැදෙනවා. මොකද මම පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹමිනුයි ඉන්නේ” ලෝක කුසලාන අවසන් මහා තරගයේ උණුසුම හෘදයාබාධයක් සෑදීමට තරම් දරුණු බවට සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට සිටියා.

සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් – Al Bello/Getty Images

බැලොන් ඩොර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ එංගලන්ත පාපන්දු ක්‍රීඩක මයිකල් ඔවෙන් ද අවසන් මහා තරගය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට අමතක කළේ නෑ.

“ආජන්ටිනාවට සුබ පතනවා. සුපිරි තරගයක්. අනිවාර්යයෙන්ම මේක නේද හොඳ ම අවසන් තරගය? මෙසී තමන්ගේ පාපන්දු දිවිය ඉහළට ම රැගෙන ආවා. ම්බාප්පේ ගැන කනගාටුයි. අවසන් මහා තරගයේ දී ගෝල ත්‍රිත්වයක් ලබාගෙනත් ඔහු හිස් අතින් ගෙදර යනවා”

පේලේ – Getty Images

මෙම ක්‍රීඩකයන්ට අමතරව පාපන්දු ලොවේ කිරුළු දැරූ පේලේ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ආජන්ටිනාව ලෝක කුසලානය ජයග්‍රහණය සමරන ඡායාරූපයක් එක් කොට තිබුණා.

“ආජන්ටිනාවට සුබපැතුම්. මේ වෙලාවේ දියේගෝ සිනහවෙමින් ඉන්නවා ඇති”

මෙසී සහ මැරඩෝනා වෙනුවෙන් නිර්මාණය වූ ඡායාරූප – www.goal.com

ඔහුට අමතර ව දියේගෝ මැරඩෝනා ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද ආජන්ටිනා ලෝක ශූරයන් වීම සැමරුවා. මැරඩෝනා ගේ මිය යාමෙන් අනතුරු ව මෙම ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔහුගේ දරුවන් ඉදිරියට ගෙන යනවා. එම පිටුවේ 1978, 1986 සහ 2022 ලෝක ශූරතා ත්‍රිත්වයම ආජන්ටිනාව ජයග්‍රහණය කළ අවස්ථා දැක්වීමට කටයුතු කර තිබුණා.

එහි සඳහන් වූයේ “ආජන්ටිනාව ලෝක ශූරයන්. මේ මහලු මිනිසා ඔබේ ආඩම්බරය ගැන මවා ගන්නවා. අලුතෙන් ම ප්‍රීතිය රැගෙන ආවාට ස්තූතියි.”

මැරඩෝනා ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද ආජන්ටිනා ලෝක ශූරයන් වීම සැමරුවා – www.gettyimages.com

බ්‍රසීලය වෙනුවෙන් 2002 ලෝක ශූරතාව දිනා ගැනීමට විශාල වැඩ කොටසක් සිදු කරමින් ගෝල්ඩන් බූට් සම්මානය පවා දිනා ගත් රොනාල්ඩෝ නසාරියෝ මෙවර ආජන්ටිනාව වෙනුවන් ආධාර කළා. බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවත් වීමෙන් පසුව එරට හිටපු පාපන්දු තරු රැසක් ම ලියොනල් මෙසී වෙනුවෙන් තම සහාය පළ කිරීම විශේෂත්වයක්. රොනාල්ඩෝ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ආජන්ටිනා ජයග්‍රහණය පිළිබඳ ව සටහනක් තැබීමට අමතක කළේ නෑ,

“මං දැක්කා බ්‍රසීලියානුවන් හුඟ දෙනෙක් වගේම ලෝකේ පුරාම ඉන්න මිනිස්සු බහුතරයක් මෙසී වෙනුවෙන් අවසන් තරගයේදී තම සහාය පළ කරපු ආකාරය. යුගයක් මවිත කරපු, යුගයක නායකත්වය දරපු ඔහුට මෙය හොඳම සමුගැනීමක්. මෙසීට සුබපැතුම්!”

2022 ලෝක කුසලානය නැරඹීමට පැමිණි හිටපු බ්‍රසීල පාපන්දු තරු (වමේ සිට – කාකා, කෆු, රොබෙර්ටෝ කාලෝස් සහ රොනාල්ඩෝ නසාරියෝ) – www.vnexpress.com

මෙම සුබපැතුම්වලට අමතර ව මෙසීගේ කුඩා කල සිට වසර ගණනාවක් ම නිවහන වූ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය ඔහු වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ගිණුමේ ඡායාරූප රාශියක් ම පළ කිරීමට කටයුතු කළා.

2014 දී ආජන්ටිනාව පරාජයට පත් කරමින් ලෝක ශූරතාව දිනූ ජර්මනිය නියෝජනය කළ බැස්ටියන් ශ්වෙන්ස්ටයිගර්, පිලිප් ලාම් වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ආජන්ටිනා ජයග්‍රහණය අපේක්ෂා කළා.

මෙසී බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජ මාධ්‍ය හමුවක දී – www.gettyimages.com

එම ජර්මන් කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයෙක් වූ ජෙරොම් බොටෙන්ග් ආජන්ටිනාවට සුබපැතුම් එක් කළා. 2014 පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහී ගෝලය ලබාගත් මාරියෝ ගොට්සේ ආජන්ටිනා ජයග්‍රහණය සමරන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙතට මුදාහැරීම ට කටයුතු කළා.

මැන්චෙස්ටර් යුනයිටඩ් සහ එංගලන්ත නායකත්වය දැරූ වේන් රූනි, සුපිරි ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ, බ්‍රසීල හිටපු පාපන්දු තරු වන රිවාල්ඩෝ, රොබර්ටෝ කාලෝස්, ස්පාඤ්ඤ හිටපු පාපන්දු තරු වන ඇන්ඩ්‍රෙස් ඉනියෙස්ටා, ෂාවි හර්නැන්ඩස්, සුපිරි බාස්කට්බෝල් ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් වැනි ක්‍රීඩා තරු සිය ගණනක් ලියොනල් මෙසී සහ ආජන්ටිනා වෙනුවෙන් තම සුබපැතුම් එක් කිරීමට කටයුතු කළා.

ප්‍රතිචාර දැක්වූ ක්‍රීඩකයන් නොවන චරිත

පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධයක් නොමැති දැවැන්ත චරිතවල ද අවධානය යොමු වී තිබුණා. ලොව සිටිනා බලගතු දේශපාලන නායකයන්, නළු නිළියන් වැනි බොහෝ දෙනෙක් මෙම සුපිරි අවසන් තරගය පිළිබඳව තම අදහස් මෙලෙස ප්‍රකාශ කළා.

ජයග්‍රහණය සමරන ආජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් – www.today90.com

ආජන්ටිනා ජනාධිපති ඇල්බෙර්ටෝ ෆර්නැන්ඩස් මෙම ජයග්‍රහණය නිසා උද්දාමයට පත් වී සිටිනවා. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තමන්ගේ කණ්ඩායමට සුබ පැතුම් එක් කිරීමට අමතක කළේ නෑ.

“කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකාරිත්වයට ස්තූතියි. අපි ලෙහෙසියෙන් අතහරින්නේ නෑ කියන එකට ඔවුන් හොඳ ම උදාහරණයක්. අන්න ඒක නිසා අපිට විශිෂ්ට මිනිස්සු සහ විශිෂ්ට අනාගතයක් උරුම වෙනවා.”

2018 ලෝක කුසලාන අවසන් තරගය මෙන්ම 2022 ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පැමිණ සිටියා. තරග පරාජයෙන් පසුව ප්‍රංශ ක්‍රීඩා විවේකාගාරය වෙතට පැමිණෙන ඔහු එහිදී ක්‍රීඩකයන් ඇමතීමට ද අමතක කළේ නෑ. මැක්‍රෝන් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේ, “ලෙ බ්ලූස් (Les Blues) අපිට සිහිනයක් නිර්මාණය කළා”ලෙසටයි.

*ලෙ බ්ලූස් (Les Blues) යනු ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම හැඳින්වෙන අන්වර්ථ නාමය යි.

පරාජයෙන් පසු ප්‍රංශ ක්‍රීඩකයන් අතරට පැමිණි ජනපති මැක්‍රෝන් – www.zeenews.com

“ආජන්ටිනා අසල්වාසීන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉතාම සතුටට පත් වෙලා ඉන්නේ. මෙසී සුපිරි තරගයක් ක්‍රීඩා කළා. ඔහුට සහ ඩි මරියාට මේ ජයග්‍රහණය ලැබිය යුතුමයි. අනෙක් ක්‍රීඩකයන් ට මෙන්ම පුහුණුකාරිත්වය ට ද මගේ සුබ පැතුම් එක් කර සිටිනවා” මෙලෙස ආජන්ටිනාව වෙනුවෙන් තම සතුට එක් කළේ එරට ප්‍රධානතම පාපන්දු ප්‍රතිවාදියා වන බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා යි.

ප්‍රංශයේ අගමැති එලිසබෙත් බෝර්නේ ද අවසන් තරගය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ, “බොහොම ස්තූතියි ලෙ බ්ලූස්. අවසානය වනතෙක් ම අපි ඔබත් සමග රැඳී සිටියා. මේ චාරිකාවට ස්තූතියි. අපිට ලබාදුන් සිහිනය ට ස්තූතියි. මේ විශිෂ්ට අවසන් තරගයත් ස්තූතියි.”

අමෙරිකානු හිටපු ජනාධිපති බරක් ඔබාමා යනු හොඳ පාපන්දු රසිකයෙක්. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලියොනල් මෙසී ට GOAT (Greatest OF All Time) යනුවෙන් හැඳින්වීමට ද කටයුතු කළා. “ආජන්ටිනාවට සහ GOAT (Greatest OF All Time) ට මෙම සුපිරි ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මාගේ සුබපැතුම් එක් කර සිටිනවා.”

අමෙරිකානු හිටපු ජනාධිපති බරක් ඔබාමා යනු හොඳ පාපන්දු රසිකයෙක් – www.gettyimages.com

“මේ පාපන්දු තරගය තිබුණ උණුසුම් ම තරගයක් ලෙසින් මතකයේ රැඳී තිබේවි. FIFA ලෝක ශූරතාව දිනා ගත් ආජන්ටිනාවට සුබ පැතුම් එක් කර සිටිනවා. ඔවුන් තරගාවලිය පුරාවටම හොඳින් ක්‍රීඩා කළා. ඉන්දියානුවන් මිලියන ගණනක් ආජන්ටිනා සහ මෙසී ගේ ජයග්‍රහණය නිසා සතුටට පත් වී සිටිනවා”

මෙලෙස ඉන්දියානුවන් පවා සතුටට පත්වී සිටින බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අදහස් ප්‍රකාශ කළා.

ලෝක කුසලාන අවසන් තරගය නරඹන ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් – www.snopes.com

බොලිවුඩයේ රජු ලෙසින් මිලියන ගණනින් රසික හදවත් සොරාගත් ශාරුක් කාන් ද අවසන් තරගය සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කළා. “ලොව තිබුණ හොඳම ලෝක කුසලාන අවසන් තරගයක් වෙලාවේදී අපි ජීවත් වෙනවා. මට මතක් වෙනවා මගේ අම්මත් එක්ක කුඩා රූපවාහිනියකින් ලෝක කුසලානය නරඹපු හැටි. දැන් ඒ මොහොතම මගේ ළමයි එක්ක. ඔබට ස්තූතියි මෙසී දක්ෂතාවය, කැපවීම සහ හීන පිළිබඳව අපිට විශ්වාසය ලබා දුන්නාට.”

ඉහත නම් සඳහන් පුද්ගලයන්ට අමතර ව බොහෝ රාජ්‍ය නායකයන්, නළු නිළියන් තම සුබ පැතුම් කණ්ඩායම් ද්විත්වයට ම එක් කිරීමට කටයුතු කළා. ලොව ධනවත් ම මිනිසා වන එලෝන් මස්ක් පවා අවසන් මහා තරගය නැරඹීමට ලුසයිල් අයිකොනික් ක්‍රීඩාංගනය ට පැමිණ සිටියා. අවසන් තරගයට ලොව පුරා ලැබුණ අවධානය පිළිබඳව එයින් වටහාගත හැකි යි.

ලියොනල් මෙසී ගේ හොඳම මිතුරෝ

මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය ආජන්ටිනාව ට මෙන්ම ලියොනල් මෙසීට ද ඉතාම වැදගත් වුණා. මෙයට ප්‍රථම ලෝක කුසලාන 4 ක් ක්‍රීඩා කළ ද ජයග්‍රහණය ලබා ගැනීමට මෙසීට හැකියාව ලැබුණේ නෑ. තම සාර්ථක ම ලෝක කුසලානය ක්‍රීඩා කළ 35 හැවිරිදි මෙසී තරගාවලිය පුරාවට ගෝල 7 ක් සහ ගෝල ලබා ගැනීමට සහාය වීම් 3 ක් වාර්තා කර ගනිමින් දක්ෂත ම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානයෙන් ද පිදුම් ලැබුවා. තම පාපන්දු දිවිය තුළ දිනාගැනීමට නොහැකි වූ එකම කිරුළ වන පාපන්දු ලෝක කුසලානය ඔහු දිනා ගැනීම බොහෝ දෙනෙක් ප්‍රීතියට පත් කිරීමට සමත් වුණා.

මෙසී ගේ කලක පටන් හොඳම මිතුරන් දෙදෙනාගෙන් අයෙක් වූ ආජන්ටිනා ක්‍රීඩක සර්ජියෝ ඇගුවේරෝ තරගාවලිය පුරාවට ම කණ්ඩායම සමඟින් රැඳී සිටියා. ඇගුවේරෝ හට පසුගිය වසරේ ඇතිවූ හදවත් රෝගී තත්ත්වයක් නිසා හදිසියේම පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සිදු වුණා.

තමන් විශ්‍රාම ගොස් සිටිය ද මෙසී සහ ආජන්ටිනා කණ්ඩායම ඇගුවේරෝ අමතක කළේ නෑ. ආජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ව ඔහු තත්ත්පර කිහිපයකින් තම හොඳම මිතුරා වන ලියොනල් මෙසී අසලට පැමිණීමට කටයුතු කළා. ඔහු කණ්ඩායම සමඟින් එකතු වී ජයග්‍රහණය සැමරීමට ද අමතක කළේ නෑ.

ලියොනල් මෙසී තම කරමත තබාගෙන යන ඇගුවේරෝ – www.timesnow.com

මෙසී ගේ අනෙක් හොඳම මිතුරා වන උරුගුවේ ක්‍රීඩක ලුයිස් සුආරෙස් තරගය නිමා වූ වහාම මෙසී සමඟින් ලබාගත් වීඩියෝ දුරකතන සංවාදයක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කිරීමට කටයුතු කළා. ඉන් පසුව මෙසී ලෝක කුසලානය අතැතිව සිටින ඡායාරූපයක් ලුයිස් සුආරෙස් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා. “සුබපැතුම් මිත්‍රයා. පාපන්දු ලෝක ශූරයා. ඔවුන්ට අවශ්‍ය මොනවද අහන්න? ඔබ තමයි දැනට ඉන්න සහ ඉදිරියටත් ඉන්න සුපිරිම ක්‍රීඩකයා”. මෙවර තම අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කළ සුආරෙස් ට මූලික වටයෙන් ම ඉවත් වීමට සිදු වුණා.

ඔබ මේ සියල්ලම ලැබීමට අනිවාර්යයෙන් ම සුදුසුයි

ලියොනල් මෙසී ගේ තවත් හොඳම මිතුරෙක් වන ස්පාඤ්ඤ ක්‍රීඩක සේස් ෆැබ්‍රිගාස් තමන්ගේ නිවසේ සිටිමින් මෙසී ලෝක කුසලාන සමරන වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරමින් සටහනක් තැබුවා.

“මේ ඉතිහාසගත ඡායාරූපයෙන් කාලකෙට කලින් මතුවෙලා ආපු සියලුම විවාද අවසන් වෙනවා. ඔබ මේ සියල්ලම ලැබීමට අනිවාර්යයෙන්ම සුදුසුයි. ඔබ මේ මොහොත එනකන් අතාරින්නේ නැතුව සටන් කළා. ඔබ ඉතාම හොඳ යහලුවෙක්. සුබපැතුම්”

මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වුවත් තම හොඳම මිතුරා වෙනුවෙන් පණිවිඩයක් තැබීමට නෙයිමාර් අමතක කළේ නෑ. ලියොනල් මෙසී ගෝල්ඩන් බෝල් සම්මානය අතැති ව ලෝක කුසලානය සමඟ සිටිනා ඡායාරූපයක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරමින් “සුබපැතුම් සහෝදරයා” යනුවෙන් කෙටි සටහනක් තැබීමට නෙයිමාර් කටයුතු කර තිබුණා.

ලුයිස් සුආරෙස් සහ නෙයිමාර් යන දෙපළම මෙසී වෙනුවෙන් තම සුබපැතුම් එක් කළා – www.fcbarcelona.com

ඉහත නම් සඳහන් සියලුම දෙනාට අමතර ව මෙසී සමඟින් බාසිලෝනා ක්‍රීඩා කළ ක්‍රීඩකයන්, ඔහුගේ PSG මිතුරන්, ආජන්ටිනා ජාතික කණ්ඩායමේ සගයන් මෙන්ම බිරිය සහ බිරිඳගේ මිතුරන් ද ආජන්ටිනාව ට සහ ලියොනල් මෙසීට තම සුබපැතුම් එක් කොට තිබුණා. මෙසී සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ලෝක කුසලාන ජයග්‍රහණය සමරන ආකාරයේ ඡායාරූප ලොව පුරාම මාධ්‍ය වාර්තා කිරීමට කටයුතු කළා.

මෙසී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කළ ජයග්‍රාහී ඡායාරූප මේ වන විට ලොව සමාජ මාධ්‍ය ඉතිහාසයේ වැඩි ම ප්‍රතිචාර ගණනක් ලැබූ වාර්තාවට ද හිමිකම් කියනවා. මෙම සටහන තබන අවස්ථාව වන විටත් එයට ලැබුණ ප්‍රතිචාර මිලියන 71 ක් ඉක්මවා ගොස් තිබුණා.

ජයග්‍රහණය සමරන මෙසීගේ පවුල – www.people.com

ආජන්ටිනාවෙන් ලැබෙන ප්‍රතිචාර

පසුගිය 21 වනදා ආජන්ටිනා වේලාවෙන් අලුයම 3 ට පමණ ජයග්‍රාහී කණ්ඩායම තම මවු රටට ළඟා වූවා. ඔවුන් පිළිගැනීම සඳහා වේලාව ප්‍රශ්නයක් කර නොගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එරට අගනුවරට එක්ව සිටියා. ඉන් අනතුරුව විවෘත බස් රථයකින් කණ්ඩායම රැගෙන ගිය අතර එදින උදෑසන වෙද්දී ප්‍රධාන රථ පෙළපාලිය ආරම්භ වුණා.

දහවල් වන විට මිලියන 4 කට අධික ජනතාවක් පොරකමින් තම පාපන්දු විරුවන් පිළි ගැනීමට බුවනෝස් අයර්ස් අගනුවරට එක්ව සිටියා. ඔවුන් එක දිගට ම ගීත ගායනා කරමින්, ආජන්ටිනා ජාතික ධජයන් අතැති ව වීදි පුරා නර්ථනයේ යෙදෙන ආකාරය දකින්නට ලැබුණා. මෙම ජයග්‍රහණය නිසා ආජන්ටිනාව එදිනට පසු දින ජාතික නිවාඩු දිනයක් ද ප්‍රකාශ කළා. නමුත් ඉන් පසුවත් අගනුවර රැඳී සිටින ජනයා ජයග්‍රහණය සමරමින් සිටිනවා.

මිලියන 4 කට අධික ජනතාවක් ආජන්ටිනා ජයග්‍රහණය සැමරීමට එක්ව සිටියා – www.aljazeera.com

එම ජයග්‍රාහී රථ පෙළපාලිය අතරතුර ඇති වූ අධික රථවාහන තදබදය හේතුවෙන් ක්‍රීඩකයන්ට තම නිවෙස් බලා යාමට ද අපහසු වුණා. මේ නිසාවෙන් ඔවුන් හෙලිකොප්ටර් යානයක් මාර්ගයෙන් නැවත තම නිවෙස් බලා පිටත් කිරීමට කටයුතු යෙදුණා. එහිදී තම උපන් නගරය වන රොසාරියෝ වෙතට පැමිණි ලියොනල් මෙසීට ජනයාගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. ඔහු වටා රොක් වූ ආජන්ටිනා වැසියන් තම නගරයේ වීරයා වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නැගුවා.

තවමත් ආජන්ටිනාව පුරාවට ජයග්‍රාහී සාද

වසර 36 කට පසුව ලැබුණ මෙම ජයග්‍රහණය වෙනුවෙන් තවමත් ආජන්ටිනාව පුරාවට ජයග්‍රාහී සාද ක්‍රියාත්මක වනවා. බොහෝ කාලයක පටන් බලාපොරොත්තු වූ මෙම ජයග්‍රහණය ආජන්ටිනා ප්‍රේක්ෂකයන් උද්දාමයට පත් කිරීමට සමත් වුණා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට මෑත ඉතිහාසයේ දී ක්‍රීඩා ජයග්‍රහණයක් වෙනුවෙන් ලැබුණ ඉහළත ම අවධානය වන්නේ ද මෙය යි. සමස්ත ලෝක ජනගහනයෙන් අඩකට වඩා ප්‍රමාණයක් සජීවි ව රූපවාහිනිය ඔස්සේ පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය නැරඹූ බවට ද සඳහන්.

කවරයේ ඡායාරූපය - ආජන්ටිනාව 2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ මොහොත - www.nbcnews.com
මූලාශ්‍ර -
www.cnn.com
www.news18.com
www.instagram.com
www.twitter.com

Related Articles