Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක බව රැකදෙන දිලිසෙන විකට් කූරු

මීට දශකයකට පමණ පෙර එක්දින හෝ 20/20 ජාත්‍යන්තර තරගයක් සඳහා දැව ආශ්‍රයෙන් නිෂ්පාදනය කළ විකට් කූරු සහ බේල්ස් භාවිතා කරනු ලැබුවා. නමුත් දිනෙන් දින ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රම සහ මෙවලම් හඳුන්වා දෙන ආකාරය පසුගිය කාල සමයේ දක්නට ලැබුණු දෙයක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් Zings නම් LED විකට් කූරු සහ බේල්ස් ජාත්‍යන්තර 20/20 සහ එක්දින තරග සඳහා භාවිතා කිරීමට අනුමැතිය ලබාදුන්නා.

ක්‍රිකට් තරග සඳහා යොදාගන්නා සාමාන්‍ය බේල්ස් සහ විකට් කූරු 

ක්‍රිකට් තරගයක් පැවැත්වීම සඳහා විකට් කූරු හයක් සහ බේල්ස් හතරක් යොදාගනු ලබනවා. සාමාන්‍යයෙන් විකට් කූරක උස අඟල් 28ක් පමණ වන අතර, දුරින්ම පිහිටි විකට් කූරු දෙක අතර පරතරය අඟල් 9ක් පමණ වනවා. එසේම විකට් කූරක උපරිම විෂ්කම්භය සෙන්ටිමීටර් 3.81ක් ලෙසින් සටහන් වන විට අවම විෂ්කම්භය සෙන්ටිමීටර් 3.49ක් වනවා. අතීතයේ දී සෑම ක්‍රිකට් තරග රටාවක් සඳහාම භාවිතා කළ දැවයෙන් සෑදූ විකට් කූරු සහ බේල්ස් නිපදවීමට බහුලවම යොදාගෙන තිබුණේ  ඈෂ් නම් ලී වර්ගය යි.

ලී විකට් කූරු සහ බේල්ස් (gettyimages)

දැවයෙන් සෑදු බේල්ස් සහ විකට් කූරූ ආශ්‍රිතව මතු වුණු ගැටලු 

එක්දින සහ 20/20 ක්‍රිකට් තරග ඉතාමත් උද්වේගකර නිසා නිවැරදි විනිසුරු තීරණ ලබාදීම තුළින් තරගයේ තියුණු බව රැකගැනීමට හැකිවනවා. එවැනි තියුණු තරගයක දී ලබාදෙන වැරදි විනිසුරු තීරණයකින් තරගයේ ප්‍රතිඵලය පවා උඩු යටිකුරු වීමේ හැකියාව තිබෙනවා. ක්‍රිකට් තරගයක දුවද්දී දැවීයාම් සහ stump කිරීම් සිදුවන අවස්ථාවල දී පිටියේ විනිසුරුවරයා අවසන් තීරණය ලබාදීමේ බලය තෙවන විනිසුරුවරයා වෙත පවරන අවස්ථාවන් දක්නට ලැබෙනවා. එවැනි අවස්ථාවල දී විකට් කූරු මතින් බේල්ස් ඉවත්වන මොහොත නිරීක්ෂණය කිරීම තරමක් අසීරු වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් අවස්ථාවන්වල තෙවන විනිසුරුවන් පවා වැරදි තීරණ ලබා දෙනවා. 

තෙවන විනිසුරුවරයාට තීරණයක් ලබාදීමට අසීරු වන අවස්ථාවක් (gettyimages)

zings LED විකට් කූරු පිළිබඳව අදහස ඇති වුණු ආකාරය 

එලෙස දැවයෙන් නිපද වූ විකට් කූරු සහ බේල්ස් නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවයට හානියක් සිදුවන විට ගුණාත්මක බවින් වැඩි LED විකට්ටුවක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රොන්ටේ එකර්මන් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයාට යි. ඔහුට එම විකට්ටුව නිර්මාණය කිරීම සඳහා අදහසක් පහළ වී තිබුණේ සිය දියණිය සතුව තිබුණු සෙල්ලම් බඩුවක් දැකීමෙන් පසුව යි. බේල්සයක හැඩයෙන් සමන්විත වුණු එම සෙල්ලම් බඩුව තුළ LED බල්බ දැල්වෙන ආකාරය නිරීක්ෂණය කළ එකර්මන් Zings LED විකට්ටුව නිර්මාණය කිරීම සඳහා සැලැස්මක් සකස් කරගනු ලැබුවා. ඉන් පසුව ක්‍රමයෙන් එය වැඩි දියුණු කළ එකර්මන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගුණාත්මක බවින් වැඩි විකට් කූරු සහ බේල්ස් නිර්මාණය කරනු ලැබුවා.

බ්‍රොන්ටේ එකර්මන් (Industry Leaders Fund) 

එහි ක්‍රියාකාරිත්වය

Zings LED බේල්ස් යුගලයට අඩු වෝල්ටීයතාවයක් සහිත විදුලි කෝෂ දෙකකින් විදුලිය සපයනු ලබනවා. විකට්ටුව සමග පවතින ස්පර්ශය ගිලිහුණු විට එය හඳුනා ගත හැකි ක්ෂුද්‍ර සකසන (microprocessor) බේල්ස් යුගලය තුළ සවි කොට තිබෙනවා. එහි දී ක්ෂුද්‍ර සකසන යුගලය ඔස්සේ රේඩියෝ සංඥාවක් නිකුත් කරනවාත් සමගම විකට් කූරුවලට සම්බන්ධ LED බල්බ දැල්වීම සිදුවනවා. එම ක්‍රියාවලියේ දී LED බල්බ ක්‍රියාත්මක වීම සඳහා ගතවන්නේ  තත්පරයෙන් 1/1000 ක් වැනි කෙටි කාලයක් පමණ යි. 

2019 ලෝක කුසලාන තරගාවලියේ දී භාවිතා වුණු ආකාරය (gettyimages)

කරළියට පැමිණි ආකාරය 

2012/13 ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ දී Zings LED විකට් කූරු මුල්ම වරට අත්හදා බලනු ලැබුවා. එහි දී ලද සාර්ථක ප්‍රතිඵල නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා LED විකට් කූරු යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වුණේ  2013 වසරේ ජුලි මාසයේ දී යි. එහි ප්‍රතිඵලයක් වශයෙන්  2014 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම නවීන ක්‍රමය යොදාගනු ලැබුවා. ඒ අනුව Zings LED විකට් කූරු යොදාගත් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලෙසින් එය ඉතිහාසගත වුණා. 

2014 T20 ලෝක කුසලාන තරගාවලියේ දී භාවිතා වුණු ආකාරය (gettyimages)

දැනට භාවිතා කරන තරගාවලි 

වර්තමානය වනවිට බොහෝ රටවල් එක්දින සහ 20/20 තරගාවලි සඳහා Zings LED විකට් කූරු සහ බේල්ස් යොදාගනු ලබනවා. ටෙස්ට් තරග සඳහා මෙය භාවිතා නොකරනු ලැබුවත් ඕස්ට්‍රේලියාව දිවා/රාත්‍රී ටෙස්ට් තරග සඳහා පමණක් LED විකට් කූරු සහ බේල්ස් භාවිතා කරනු ලබනවා. එසේම ඕස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලිය, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි ප්‍රධාන ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය කරනවා. එලෙස නවීන තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදීමෙන් තරගයක් තුළ විනිසුරුවරයන් අතින් සිදුවන වැරදි ප්‍රමාණයෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා. එමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකබව ආරක්ෂා වනවා.

වැයවන අධික මුදල 

Zings LED විකට් කූරු සහ බේල්ස් ගුණාත්මක බවින් වැඩි නිසාම එය මිල දී ගැනීම සඳහා අධික මුදලක් වැයවනවා. ඒ අනුව 2020 වසර වන විට ලෝකයේ ක්‍රියාත්මක වන එක් එක් ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා මෙම කට්ටල එකක් මිල දී ගැනීම සඳහා වැය වී තිබෙන මුදල් ප්‍රමාණයන් මෙසේ දැක්විය හැකියි.

*ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය – රුපියල් ලක්ෂ 30

* ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලිය – ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000

*පාකිස්ථානු ප්‍රිමියර් ලීග් තරගාවලිය – රුපියල් ලක්ෂ 47.5

*එංගලන්ත T20 Blast තරගාවලිය – පවුම් 23,472

*බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය – ටකා 2450674

අතීතයේ දී ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීමෙන් පසුව විකට් කූරක් ගලවාගෙන එය සිහිවටනයක් ලෙසින් තබාගැනීම සිරිතක්ව පැවතුණා. නමුත් වර්තමානයේ දී ක්‍රිකට් පිටිය තුළ භාවිතා වන Zings LED විකට් කූරු නිසා එම සැමරුම අතීතයට එක් වී හමාර යි.

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයයන්- sportekz

Related Articles