බොහෝ කරුණු සම්බන්ධයෙන් බටහිර රටවලට සාපේක්ෂව අප සෑහෙන වාසනාවන්තය. උදාහරණයක් ලෙස, අපේ දෙමාපියෝ බටහිර රටවල් වලදී මෙන් අපට වයස දහඅටක් වූ විගස නිවසින් එලියට ඇද නොදමන අතර අපට වයස අවුරුදු 40ක් වී තට්ටය පෑදුණ ද පුදුමයකට මෙන් ඔවුන්ට අප බරක් ලෙස නොහැඟේ. මෙහි ඇති එකම නරක පැත්ත වන්නේ නිවස හැරදා විදෙස් ගත වීමට අප තුළ මේ නිසා අනවශ්‍ය පැකිලීමක් නිර්මාණය වීමයි. ස්ථිර පදිංචියට, උසස් අධ්‍යාපනයේ නිරත වීමට හෝ, වෙනකක් තබා සති දෙකක කෙටි සංචාරයකට වුවද විදෙස් ගතවීම ශ්‍රී ලාංකික අපට තැතිගන්වන සුළු අත්දැකීමකි. රෙදි ටික සෝදා දෙන්නට වත් කිසිවෙකු නොමැති බව සිහිවන බොහෝ දෙනෙකුට මැරෙන තුරුම ගෙදර ඉන්නට සිතෙන්නේ මෙබැවිනි.

විදෙස් ගත වූ අප, දෙමව්පියන්ගේ නිරන්තර රැකවරණය නොමැති ව කෙසේ හෝ තනිවම ජිවිතයට මුහුණ දීමට හුරු වී ඇති නමුදු, නිවස හැරදා විත් වසර ගණනාවකට පසුව වුවත් සිත් සාංකාවෙන් පුරවා දෑසට කඳුළු ගෙන එන සමහර දේවල් තිබේ. ගතින් ගව් දහස් ගණනක් ඈත් වී සිටියද සිතෙන් තවමත් ශ්‍රී ලාංකිකයන් වන අප, ගෙදර මතක් වන බව පවසමින් තවමත් විස්තරාත්මක ෆේස්බුක් පෝස්ට් ලියන්නේ ද, දෙමාපියන්ට WhatsApp හා Viber වලින් අපගේ දුක් ගැනවිලි, අදෝනා පවසමින් කන්කෙඳිරි ගාන්නේ ද හුදෙක්ම ඒ සබඳතාවය නොනැසී පවත්වා ගැනීමේ අරමුණෙනි. ඔබ විදෙස් රටක ජිවත්ව ඇත්නම් හෝ දැනටමත් ජිවත් වෙමින් සිටින්නේ නම් පහත දේවල් නිසැකයෙන්ම ඔබට හුරුපුරුදු ලෙස දැනෙනු ඇත.

අම්මාගෙන් අතින් සැදු කෑම වේලක් කෑමට ඇතිවන හදිසි දොළදුක

එලෙසම අම්මාට කතාකරන්නට නොලැබෙන බවද දැඩි දුකට හේතුවන කරුණකි. චායරුපය: ජෙහාන් R .

අම්මා කෙතරම් රසට ඉවූවද හැමදාම එකම රසැති කෑම කා එපා වී සිටි අප නිරන්තරයෙන්ම පිටතින් යමක් කෑමට, වෙනසකට, වඩා ආශා කළෙමු. කුඩා කාලයේදී, අම්මා පිළියෙළ කර දෙන මාමයිට් බටර් සැන්ඩ්විච් එක සහ ලාවට කළු වී ගෙන එන කෙසෙල් ගෙඩියට වඩා ආපන ශාලාවෙන් යමක් කෑම අපට ඉමහත් ආශ්වාදයකි. වයසින් වැඩුණු විට වුවද, උපන්දින සැමරුමක් හෝ විශේෂ අවස්ථාවක දී පිටතින් ආහාර ගැනීම අපට නවතම අත්දැකීමක් විය.  එපමණක් නොව, පිටතින් ආහාර ගන්නා අපි දැන් අපට කැමති දේ මිලයට ගෙන ආහාරයට ගත හැකි තරම් ස්වාධීන වයසකට එළඹ ඇති බව සිතමින් ආඩම්බර වූ කාලයක් ද තිබිණි. ඒ කෙසේ වුවද, පසු කාලයේ විදෙස් ගත වූ අපට මවගේ ආහාර වේල තරම් ලොව අන් කිසිවක් රස නොමැති බව සැණෙකින් අවබෝධ වී ගියේය. කිසිම කෑමක් අම්මා උයන ඒවා තරම් රස නැත. මෙය අපේ දෙවන කරුණට හොඳ ප්‍රවේශයකි.

පිටින් ගන්නා ආහාර වල ඇති මෙලෝ රහක් නැති බව

විදෙස් ගත වී මුල් මාස දෙක තුන තුළ නම් වෙන කන්නට දෙයක් නැති  අපි පිටතින් ආහාර ගත්තෙමු. එහෙත්, වැඩි කල් නොගොස්ම සියලුම ආහාර වලින් දැනෙන්නට ගත්තේ එකම රහකි, එයද එයද දරාගත නොහැකි තරම් අධික හෝ මද ලුණු රහකි. අවන්හල් වල සහ භෝජන ශාලා වල ආහාර වලට වඩා නිවසේ ආහාර ප්‍රියජනක ලෙස දැනෙන්නේ අම්මා ආහාර පිසින විට අපගේ රුචි අරුචි කම් ගැන සිතා බලා ආදරයෙන් අපට ආහාර පිළියෙළ කර දෙන නිසාය. අප වෙනුවෙන්ම පිළියෙළ කර නැති හීල් වී ගිය ලුණු අධික ආහාර වේලකට වඩා වැඩි දෙයක් අවන්හලකින් බලාපොරොත්තු වීම එක අතකට අපේ මෝඩ කමය. හිත හදාගෙන හුදෙක්ම පණ ගැට ගසා ගැනීමට පමණක් ආහාර ගන්නා අපට නොබෝ කලකින්ම දිවේ රසාංකුර ලුණු රසට හැර අන් කිසිවකට උත්තර නොදෙන බව පසක් වන්නේ ශෝචනීය ලෙසිනි.

සීනි සම්බල් යනු කෙතරම් ආශ්චර්ය ජනක ආහාරයක් දැයි වැටහීම

සීනි සම්බල් – දෙවියන්ගේ ආහාරය. චායාරුපය: karenskitchen.us

වැඩි කල් නොගොස්, උදෑසන, දිවා, රාත්‍රී ආහාර වේල් වලට පමණක් නොව ඒ අතර මැද ගන්නා සියලුම පොඩි ස්නැක් සඳහා අපේ පිහිටට එන දිව්‍යමය ආහාරය සීනි සම්බල් ය. ඕනෑම වෙලාවක, ඕනෑම ආකාරයේ ආහාරයක් සමඟ, එනම් පාන්, පීසා, බිස්කට්, බත් යන මේ ඕනෑම එකක් සමඟ එකසේ සීනි සම්බල් භාවිතා කලහැකිනිසා නොදැනීම සීනි සම්බල් අති විශාල ප්‍රමාණයක් අපේ බඩට යයි. සීනි සම්බල් වල නියම අගය දැනෙන්නට පටන් ගන්නේ අපේ ස්ටොක් එක හිඳී ගිය පසුය. ළඟම ඇති ඉන්දියානු අවන්හලට පිම්මේ දුව යන අපිට සීනි සම්බල් එහිද සොයා ගන්නට නොමැති නම් දැනෙන ඒ අසරණ බව වචන වලින් විස්තර කළ හැකි නොවේ.

ගෙදරින් එවන කෑම බීම වල ඇති අගය

බඩගින්නේ දුක්විඳින ලාංකිකයන්ගේ පිහිටට. චායාරුපය: මැලිබන්

අනිවාර්යයෙන්ම මෙයට සීනි සම්බල් ඇතුලත් ය. ඒ හැරුණු විට, මන්චි/මැලිබන් බිස්කට්, කිස්ට් ජෑම්, අඹ චට්නි පෙට්ටි පිටින්ම මෙහි අඩංගු වෙයි. ගෙදරින් එවන ලද බඩු මුට්ටු විවෘත කරන විට දැනෙන සතුට කිසිවකට සමකල නොහැකි අතර පැයක් පමණ ගත වන තුරු මේ ලැබුණු ධන නිධානය ගැන උඩ පනිමින් සතුට ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිරිතයි. නියම සටන පටන් ගන්නේ ඉන් පසුවය. මේ ටික පරිස්සම් කරගන්නේ කොහොමද? ගෙදරින් සීනි සම්බල් බෝතලයක් ලැබෙන ඕනෑම කෙනෙකුට තිබෙන ලොකුම ප්‍රශ්නය එය පුස් වලින් ආරක්ෂා කර ගැනීමයි. ශීතකරණයේ තබන්නේ නැත් නම් ඉක්මනින්ම බෝතලයේ සුදු පැහැති පුස් දැක ගත හැකි වනු ඇත. මෙය ලියූ ලේඛිකාව නම් සාමාන්‍යයෙන් කරන්නේ ඕනෑ දෙයක් වෙච්චාවේ යැයි සිතා උදේට උදේට ඒ පුස් බැඳුණු කෑලි ටික වීසි කර බෝතලය අවසන් වන තුරුම ආහාරයට ගැනීමයි. පොඩ්ඩක් හෝ විසිකර දැමීමට සිදුවීම ඉමහත් පාප කර්මයක් ලෙස දැනෙන අතර අත්වැරදීමෙන් බිම වැටෙන සෑම විස්කෝතුවක් ගානේ ම මහා විනාසයක් වූ පරිද්දෙන් අපි ශෝක වන්නෙමු. මැණිකක් රකිනා නා රජෙක් මෙන් කිරිටොපි සහ මාරි බිස්කට් තොගය කාමරයේ සිටින සාමාජිකයන්ගේ උකුසු ඇස් වලින් රැක ගත්තද  කරුමයකට මෙන් යමෙක් ඒවා ඉල්ලුව හොත් යටි සිතෙන් බැන වදිමින් සලාක ක්‍රමයට සන්තකයම බෙදා දෙන්නට අපට සිදුවේ. මොනවා කරන්න ද ඉතින්!

පොහොය දිනවල ඇති අගය

මෙය කොතරම් ලස්සනද? චායාරුපය: Nazly Ahmed

අවුරුද්ද පුරාවට ඕනෑවටත් වඩා නිවාඩු දින ඇති ශ්‍රී ලාංකික අපට පොහෝ දිනයක වටිනාකම දැනෙන්නට නම් විදෙස් ගත විය යුතුමය. සෑම පුර පෝදිනක් ලං වන විටම අපිට සිහි වන්නේ, අපි මෙහේ පණ යන තුරු වැඩ කරන අතරතුර ලංකාවේ මිනිසුන් සැනසිල්ලේ බණකට පිරිතකට සවන් දීගෙන හෝ  කැමති නම් කට ගොන්නක් බී ගෙන ඔහේ පාඩුවේ නිවසට වී සිටිනා බවය. මෙවන් වේලාවට හඳ දෙස බලමින් උඩු බිරීමට සිතේ, ඒ හඳ මෝදු වී ගෙන එන බැවින් උමතු වූ නිසා නොව, පුරා දිනක් මුළුල්ලේ නිවසට වී කිසිවක් නොකර, නින්දක් දමා පා වෙවී සිටි ඒ යටගියාව සිහි වීමෙනි. ලොව ඇති අනෙක් රටවල් වලටත් ලංකාවේ මෙන් ඥානාන්විතව සිතා බලා, පුර පෝ දා හඳ අගය කරනු වස් එය නිවාඩු දිනයක් කරන්නට බැරි ඇයි? අනේ ඉතින් නිවාඩු දින කෙතරම් වැඩි කළත් අපෙන් නම් ඊට කිසිදු විරෝධයක් නොමැත.

විදේශ මුදල් රුපියල් ශත වලට සිතෙන් හැරවිය හැකි වීම

දිනෙන් දින අගය පහත යන රුපියලට පින් සිදුවන්නට ඉන්දියාවට ගියත් ලංකාවේ අපි දුප්පත් බව අපට හැඟී යයි.  සිතින්ම මුදල් වර්ග රුපියල් වලට හරවා ගැනීමට අපි නොබෝ කලින්ම නිපුණත්වයක් ලබන්නෙමු. මෙහේ ෂැම්පු එකක් ඇමෙරිකානු ඩොලර් දොළහක්? හප්පා, මාර ගණන් නේ. එතකොට, මිදි? කිලෝ එකක් ම ඕස්ට්‍රේලියානු ඩොලර් දෙකයිද? ලාභයිනේ..ලංකාවේ නම් මෙහෙම ලැබෙන්නේ නැහැ.. ටොයිලට් පේපර් රෝලක් ඉන්දියානු රුපියල් හැටක් වෙනවද දෙවියනේ? ඊළඟ පාර එන විට අමතක නොකර මේවා නම් ගෙදරින් ගෙන ආ යුතුයි. පහසු ලෙස හැඟුනත් මෙය එසේ මෙසේ කෙරුවාවක් නොවේ.

ලංකාවේ සිටි තරම් හොඳ යාළුවන් කිසි දිනෙක ඔබට හමු නොවේ

සමහර විට අපි අපේ ජීවිතය තුළ දී ලැබිය හැකි ‘එළකිරි’ යාළුවන් ධාරිතාවය ඉක්මවා තිබිය හැක, තවත් එවැන්නන් හමු නොවන්නේද එබැවින් විය හැක. එයනම් හරිම අපරාධයකි. නුහුරු ගතියකින් තොරව නිරන්තර කතා බහේ යෙදිය හැකි, සිත් වේදනාවෙන් සිටින විට දුක බෙදා ගත හැකි, කරදරයේ වැටුනු විට උපකාරයක් බලාපොරොත්තු විය හැකි මිතුරන් අපි සියල්ලන්ටම අවශ්‍ය වේ. අපේ මිතුරන් ලංකාවේ ඉඳන් එකට එක් වී විනෝද වන චායාරුප පෝස්ට් කරන විට දැනෙන තනිකම ඉමහත්ය.

රට රටවල් වල කාලය එකිනෙකට වෙනස් බැවින් ද, අපි ගැන සිත සිතාම සිටීමට නොහැකි ඔවුන් හට ඔවුන්ටම කියා ජිවිතයක් තිබෙන බැවින් ද අපට අපේ ජීවිතය කෙතරම් වද වේදනාවක් ද යන්න ගැන ඔවුන්ට මැසිවිලි ඉදිරිපත් කිරීමද සැමවිටම කළ හැක්කක් නොවේ. මිතුරු සාද සහ රෑ දොළහට දෙන සර්ප්‍රයිස් පාටි දැන් හුදෙක්ම, රාත්‍රී ආහාර වේලට කොහෙත්ම සම්බන්ධයක් නැති වේදනාකාරී සංවේදනයක් කුස ප්‍රදේශයේ ඇති කරවන ඈත අතීතයේ මතක සටහන්ම පමණක් වී ඇත.

සෘතු විපයාසය පිලිබඳ සංකල්පය

සාමාන්‍යයෙන් ලංකාවට වසියි, එක්කෝ පායයි, එක්කෝ ඒ දෙකම ටික ටික දක්නට තිබේ. මේ කරදරකාර සෘතු විපර්යාස ලංකාවේ අපට කිසිදිනෙක තිබී නැත. ලංකාවේ මුළු අවුරුද්ද පුරාවට ඇත්තේ නිවර්තන ග්‍රීෂ්ම කාලය නිසා කොට කලිසම් වසර පුරාවටම කරදරයක් නැතිව ඇඳිය හැකි. ග්‍රීෂ්ම සෘතුව නම් අපට කිසි ගේමක් නැති වනු ඇතැයි විදෙස් ගත වන විට අප සිතා ගෙන යන්නේ මේ නිසායි. එසේ වුවද, ග්‍රීෂ්ම සෘතුව නම් මොකක් ද, අපට ඕවත් වැඩ ද කියා දෙසැම්බරයේ ඔස්ට්‍රේලියාවට යන අපට සෙන්ටිග්‍රේඩ් අංශක 40ක උෂ්ණත්වයකටද, ජුලි වල කැලිෆෝනියාවට ගොස් අංශක 16 ක උෂ්ණත්වයකටද, මුහුණේ බිත්තරයක් ගානට තම්බාගතහැකි උෂ්ණත්වයක් ඇති ඉන්දියාවේ ග්‍රීෂ්ම සෘතුවටද මුහුණ දීමට සිදු වන්නේ හාස්‍යජනක ලෙසය. සැබැවින්ම මෝසම් සෘතුව හැරුණු විට මේ සෘතු කෙරුවාව අපට හරි යන්නේම නැත. ශිත සෘතුව ගැන කුමන කතා ද? අපට හැඟෙන්නේ එය සෑහෙන්න රොමැන්ටික් සහ සුන්දර දෙයක් ලෙසය. වසර පුරාවට ලැබෙන හිරු එලිය වෙනුවට හිම වැටෙන සුන්දර ශිත කාලගුණයක් පැතීම අප වන් දිවයින් වල සිටින්නන් ගේ චිත්ත මායාවන් බව කිව යුතුය. එයට ඇත්තටම මුහුණ දෙන්නට වූ විට හිරු එලිය පොදක් දුටු විගස ඒ වෙත දිව යාමට තරම් අසරණ තත්වයකට අප පත් වේ. හිම සහ අයිස් හැම තැනම තිබෙන්නේ ලස්සනට, ලොව සෞන්දර්ය වැඩවීම ට යයි සිතන අපි රන්ජන් රාමනායක මෙන් හිමේ වැඩ කෑලි එකක් දෙකක් දැමීමට උත්සාහ කරමු, එහි අවසාන ප්‍රතිපලය ඔබත් මමත් දැන් හොඳින් දන්නා බැවින් මෙහි සඳහන් නොකරමු.

අන්තර්ජාලය අපගේ ඉටු-දෙවියන්ය

දුරකථනය අතට ගෙන තමන්ගේ හොඳම මිතුරාට ඇමතිය නොහැකි වූ විට ඇතිවන හැඟීම ඔබ දනියි. අන්තර්ජාතික දුරකථන ඇමතුම් වියදම් සහගත නිසා අපේ පිහිටට එන්නේ  Skype, WhatsApp, Viber, Facebook වැනි ඒවායි. කලකට ඉහත දී, අපි හැරුණු කොට ගෙදර වෙනත් සාමාජිකයන් ද සිටින බව සිහි කරමින් රාත්‍රී කෑම මේසයේ ඉඳගෙන සිටීම පවා මහා හිසරදයක් ලෙස සැලකූ අපම නොබෝ දිනකින් ගෙදරට Skype වලින් කතා කිරීමටම වෙනම විශේෂ කාල සීමාවන්, යම් යම් දින වෙන්කර ගන්නෙමු. අන්තර්ජාල සම්බන්ධතාවය හොඳ මට්ටමක නොමැති විටක සහ සම්බන්ධතාවය දුර්වල විටක හෝ අතේ මුදල් නොමැති නම් සහ ඩේටා ඉවර වී ගොස් ඇති විටක ඇති දුක දරාගත නොහැකි අතර එවන් වෙලාවට කරනුයේ පැත්තකට ගොස් ජීවිතය ගැන කල්පනා කිරීමය.

තවමත් ලංකාවේ සැපදායී නිවහනක ජිවත් වන්නන්ට මේවා වැඩකට නැති දේ මෙන් හැඟෙනු ඇත – ඕවත් මහ දේවල් ද? එසේ වුවද, ඒ කුඩා කුඩා දේවල් වලින්, එනම් නිවසින් එන සුවදායී මෘදු සුවඳ, කඩ පොළ වල, රීලෝඩ් කඩ වල සහ සමස්තයක් ලෙස අපේ රටේම ඇති ඒ හුරුපුරුදු කලබැගෑනියෙන් ඈත් ව සිටීම ඉමහත් වේදනාකාරී වන අතර ආපසු නිවස බලා ඒම අතිශය සැනසිලිදායක අත්දැකීමකි. අප ආපසු නිවස බලා එන්නේ රුවල් හැකිලී සිඳී ගිය නෞකා මෙන්, ආදරය, සතුට පමණක් නොව මේ රටෙන්ම පමණක් ලැබෙන ඒ සිඟිති සිඟිති ‘ආතල්’ හැඟීම් නැවත රස විඳීමේ නොනිමි ආශාවකින් යුතුව බව කිව යුතුය.