මැණික් පතලකට ගිය ගමනක්

මැණික්වලට ප්‍රසිද්ධ රත්නපුරේ බව කවුරුත් දන්නවා. හැබැයි රත්නපුරේ කීවාට දැන් වැඩිපුර මැණික් පතල් කපන්නේ ඉන් ඔබ්බට පිහිටි පැල්මඩුල්ල, වටාපොත, නිවිතිගල  කලවාන වගේ පැතිවලයි. මේ ලිපියේ තියෙන්නේ කලවානේ මැණික් පතලකට ගිය ගමනක් ගැන අපේ අත්දැකීමක්.

කලවානේ පතලක් නොමැති කුඹුරක් සොයාගත නොහැකි තරමටම මැණික් ගැරීම ප්‍රචලිත වෙලා. ගොඩ පතල්, ගැඹුරු දෝනා පතල්, ගඟ ඇදීමේ පතල් ආදී සෑම පතල් වර්ගයක්ම මේ කඳුකර ප්‍රදේශයේදී දැකගත හැකිය. එමෙන්ම යාන්ත්‍රික මැණික් ගැරීමද මෙහිදී සිදුවෙනවා.

කපා ඔප දැමූ මැණික්. (wiccadaily.com)

කලවානට මෙපිටින් පිහිටි හගරන්ගලින් හැරුණු අප ගිය ජීප් රථය තේ වගාබිම්, ලඳු, කුඹුරු මැදින් වළ ගොඩැලි අතරින් දිවෙන මාර්යේ ගමන් කළා. බලපත්‍ර රැගෙන ප්‍රසිද්ධියේ මැණික් ගරන අතරම, පරිසරය වනසමින් ගංඟාවල, ඇළ දොළවල ඉවුරු හාරමින්ද වනාන්තරවල ගස්වැල් විනාශ කරමින්ද සිදුකෙරෙන හොරෙන් මැණික් ගැරීමත් මෙහි සුලබයි.

“අවුරුදු 40කට විතර ඉස්සර මැණික් පතල්වලට දැන් වගේ ආණ්ඩුවේ නීති තිබුණේ නැහැ. ආණ්ඩුවේ ඉඩම්වල මැණික් ගැරීමට ඒ කාලේ ගම්මුලාදෑනියා බලපත්‍ර දුන්නා. 1972 දී මැණික් සංස්ථාව පිහිටවූවාට පස්සේ පතල්වලට නීති ආවා.”

සමහර මැණික්වල වටිනාකම කියැවෙන්නේ රුපියල් මිලියන ගණනින් හෝ කෝටි ගණනින්. මැණික් මිලදී ගන්නා මුදලාලිලා පැමිණෙන්නේද කෝටි ගණනක් වටිනා සුපිරි වාහන වලින්. එහෙත් පොළෝ ගැබේ නිදන්වී ඇති මැණික් සොයා අඳුරු පතල්වල අඳුරු දෝනාවල සිරවී ඉල්ලම් සොයනා මිනිසුන්ගේ ජීවිතය නම් කටුකයි. ඒ වගේම අවදානම්. එහෙත් ධනවත් වීමේ සිහිනය සිත තුළ තෙරපාගෙන ඔවුහු මැණික් සොයනවා.

“අවුරුදු 40කට විතර ඉස්සර මැණික් පතල්වලට දැන් වගේ ආණ්ඩුවේ නීති තිබුණේ නැහැ. ආණ්ඩුවේ ඉඩම්වල මැණික් ගැරීමට ඒ කාලේ ගම්මුලාදෑනියා බලපත්‍ර දුන්නා. 1972 දී මැණික් සංස්ථාව පිහිටවූවාට පස්සේ පතල්වලට නීති ආවා.” මේ ගැන අදහස් දැක්වූ අපට මඟපෙන්වන වෙම්බියගොඩ ටී.එම්. නිලන්ත කිව්වා.

ඉල්ලම් පස් ගරා මැණික් සොයමින්. (tropicalceylon.com)

“මේ ඉඩම හුඟ කාලයක ඉඳන් මැණික් වලට ප්‍රසිද්ධයි. ඒ හින්දා ඉස්සර ඉඳන්ම මෙතන මැණික් පතල් කපා තිබෙනවා. අපි පතල පටන් අරන් අවුරුදු දෙකක් වෙනවා. පතල හාරන විට අපට පැරණි පතල්වලට පාවිච්චි කරපු ලෑලිත් හමුවුණා.” පතල් හිමිකරු කිව්වා.

පතලේ ආදායම බෙදීම

මැණික්වලින් ලැබෙන ආදායම බෙදන්නේ කොහොමද? අපි ඔහුගෙන් ප්‍රශ්න කළා.

“මේක හවුල් පතලක්. ඒ කියන්නේ වැඩකරන අය ඔක්කොම පතලේ හවුල්කාරයෝ. එයාලා තමන්ගේ වියදමින් දවස ගත කරමින් පතල කපනවා. මැණික් විකුණුවාම ආදායමින් 1/3ක් අයිතිකාරයට ලැබෙනවා. ප්‍රධාන බාස් තමයි පතලේ හැමදෙයක්ම බලාගන්නේ. මැණික්වල වටිනාකමෙන් සියයට 3ක් එයාට ලැබෙනවා. ලක්ෂයකට රුපියල් 7500 ක් වගේ එක් අයකුට ලැබෙනවා.”

“පතලේ ගැඹුර මනින්නේ තට්ටුවලින්. තට්ටුවක උස අඩි 3ක් හෙවත් රියන් දෙකක්. තට්ටු 30ක් ගැඹුර පතලකට ලීවලට විතරක් ලක්ෂ 6ක් විතර යනවා. පතල ශක්තිමත්ව අවුරුදු කිහිපයක් තබාගත යුතු නිසා හොඳ ලී පාවිච්චි කරන්න ඕනෑ. එක තට්ටුවකට රියන් 8 ක් දිග (දැව කොට) 4ක් යනවා.”

“හාරන මුල් කාලය හරිම දුෂ්කර කාලයක්. ඉල්ලම හමුවී මැණික් ගරනකම් පතලෙන් කිසිම ආදායමක් ලැබෙන්නෙ නැති නිසා තමයි ඒ. මේ කාලය සමහරවිට මාස 6 ක් වගේ වෙන්න පුළුවන්. ඒ කාලයේ මැණික් පතලේ අයිතිකාරයාගෙන් අතමාරු ඉල්ලා ගන්නවා. සල්ලි මදි වුණාම ණය වෙනවා.” පතල්කරුවෙක් අපට කිව්වා.

පතලට බසිමින්. (refeshingsrilankablogspot.com)

දෝනාවල කඩන ඉල්ලම් පස්, දබරය ඔස්සේ ඉහළට එනවා. අයෙක් දබරය කරකවනවා. මට මතක් වුණා බෝගල මිනිරන් පතලට ගිය ගමන. මේ පතලේ පතුළ නොපෙනෙන තරම් ගැඹුරුයි. පතලේ ගැඹුර අඩි 75ක්. සාමාන්‍යයෙන් පතල් වළේ දිග රියන් 8ක්ද, පළල රියන් 4ක් ද වෙනවා.

පතල් සංස්කෘතිය

ඉල්ලම් පස්. (gemcottage.com)

පතල හාරන අතර දැව සැකිල්ල තැනීම ද එක්තරා කලාවක්. එයටම ආවේණික සම්ප්‍රදායික තාක්ෂණයක් එහිදී භාවිත කරනවා. එයට ශිල්පීය දක්ෂකමක් අවශ්‍යයි. අලුතෙන් පතලක් හාරන විට මුල්ම තට්ටුව දැවවලින් සකසා එය බිම තබා වළ හාරයි. රියන් දෙකක් ගැඹුරට හෑරීම කළ පසු දෙවන තට්ටුව සවි කරනවා. එසේ ගැඹුරටම තට්ටු සවිකරමින් පතල් වළ හෑරීම සිදුවෙනවා.

පතල් කර්මාන්තය වටා වෙනම උප සංස්කෘතියක් තිබෙනවා. එයට ආවේණික බස් වහරක්ද තිබෙනවා. පතලේ දිග අතට සවි කරන ලී දිගන. හරහට යොදන ලී පේකඩයි. දිගන සහ බිත්තිය අතරට සිරස්ව පුවක් පටි සවි කරනවා, පුවක් පටි හා පොළොව අතර හිඩැසට කැකිල්ල යොදනවා, දිගන් වශයෙන් යොදන ලී පතල තුළට තෙරපීම වැළැක්වීමට පේකඩ නම් ලී මුක්කු යොදා ගන්නවා.

පතලේ දෝනා

පතලේ යට සිට. (refreshinsrilankablogspot.com)

ඉල්ලම ඇති කොටස පතුවළයි, ඉල්ලමට යටින් පිහිටා ඇත්තේ මාලාවයි. ඉල්ලම දික් අතට පිහිටා ඇත්නම් හරස් දෝනාවක් කපමින් ඉල්ලම ගොඩ ගන්නවා. දෝනාවල පස් කඩා වැටීම වැළැක්වීමට සිරස්ව මුක්කු ගසා ලී රාමු සකස් කරනවා. පතල්වල සිදුවන අනතුරුවලින් දෝනා කඩා වැටීම ප්‍රධාන වන හෙයින් දෝනාවල වැඩ කිරීමේදී දැඩි සැලකිල්ලක් අවශ්‍යයි.

දෝනාවේ වහලයට යොදන්නේ වහල් පොලුයි. පතුලට යොදන්නේ අඩි පොලු යි. වහලට යොදන පුවක් පටි වහල් පටි, වහල් පොල්ලට ගසන මුක්කු කත්තු. එදා දෝනාවලට ආලෝකය ලබා ගත්තේ ඉටිපන්දම්වලින් වුවත් අද එතනට විදුලි බල්බ පැමිණිලා.

ප්‍රවේසමින් කකුල තියාගෙන බහින්න. හැම වෙලේම අත් දෙකෙන්ම රිට අල්ලා ගන්න යයි පතලට බැසීමට සූදානම් වන අපිට පතලේ බාසුන්නැහේ උපදෙස් දුන්නා. දෝනා බිත්තිවලින් නිතර ජලය වෑස්සෙනවා. ඔක්සිජන් වායුව සම්පූර්ණයෙන් ගලා නොඑන නිසා ඇතුළත ඇත්තේ තරමක උණුසුමක්. දෝනාව ඉදිරියට හාරමින් පස් තට්ටු කඩා වැටීම වැළැක්වීමට වහල් පොලු සහ අඩි පොලු යොදමින් දික් කරන අන්දම අපි දුටුවා. මේ නිසා දිනකට දෝනාවේ හෑරිය හැක්කේ අඩි තුන හතරක් පමණයි.

වාඩියට පසෙකින් ඇත්තේ කමතයි. ගොඩට ගන්නා ඉල්ලම් පස් ගරන්නේ කමතේදී. එය අඩි 10X10 ප්‍රමාණයේ වළක්. පතලෙන් පොම්ප කරන ජලය මෙහි පුරවා ගැරුම් වට්ටිවලින් ඉල්ලම් ගරනවා. ගැරුම් වට්ටිවල ඉතිරිවන මැණික් සහිත වැලි නාම්බුව නම් වෙනවා. නාම්බුව පරීක්ෂා කර බලන්නේ පතල් බාසුන්නැහේ. පතලේ හිමිකරුද ඒ අවස්ථාවට එක් වෙනවා

අප ඈතින් සිට බලනවාට වඩා පතල් රස්සාව හරිම කටුකයි. ඒත් අපේ පොළෝ ගැබ තුළ දිනකට දහස් ගණනක් මැණික් සොයා ඉල්ලම් කඩනවා.

කවරයේ පින්තුරය: Sri Lankan Spirit

Related Articles