ලෝක සිතියමේ එක් කුඩා තිතක් පමණක් වුවත් ශ්‍රී ලංකාව යනු නොසෑහෙන තරම් විදේශ ආක්‍රමණ වලට සහ අඩන්තේට්ටම් වලට ලක්වී තිබෙන රටකි. ඒ හා සලකන කළ අපට ඇත්තේ අඳුරු යටගියාවකි. කෙසේ වුවද යටත්විජිත පාලනයෙන් මිදී ස්වෛරී රාජ්‍යයක් ලෙස දෙපයින් නැගී සිටි අපට ඔවුන් ඉතිරි කරගොස් තිබුණේ අපූර්ව සංස්කෘතික මිශ්‍රණයකි. ඒ එක එකක් සංස්කෘතියෙන් අපට ගැළපෙන, හුරුපුරුදු දේ උකහා ගෙන අපි අපේම කියා මුහුන් හෙළ සංස්කෘතියක් තනාගෙන ඇත්තෙමු. මීට හොඳම උදාහරණය අපේ ආහාර පාන වර්ගයි. අප සැවොම හොඳින් දන්නා හඳුනන සමහර ආහාර වර්ග පිට දේශ දේශාන්තර වලින් පැවත එන්නේ යැයි කිවහොත් බොහෝ දෙනෙක් පුදුමයට පත් වනු ඇත. ඒ එපමණටම එම ආහාර අප සංස්කෘතියට මේ වනවිට කාවැදී ඇති බැවිණි. මෙහි දැක්වෙන්නේ එවන් ශ්‍රී ලාංකික ප්‍රවෙනියක් නොමැති, එහෙත් ශ්‍රී ලාංකික බවට අපි කෙමෙන් හරවා ගෙන තිබෙන ආහාර වර්ග කිහිපයකි. මින් පැහැදිලිවම පෙනෙන කරුණ වන්නේ ලාංකික අපට එසේ එහෙන් මෙහෙන් ලැබෙන යම් යම් දේ බෝ වී යන පුරුද්දක් තිබූව ද අපි එය අපේම, ඇතැම් විට කලින් තිබූ ආකාරයටත් වඩා හොඳ, අනන්‍යතාවයක් බවට වෙනස් කරගැනීමට සමර්ථයන් වන බවය.   

කොකිස්

ස්වීඩන් භාෂාවෙන් හඳුන්වන ‘රොසෙට්’ වලට වඩා කොකිස් කියන නම කොයි තරම් අපූරුද?

කොකිස් නොමැති සිංහල අවුරුදු කෑම මේසයක් අසම්පුර්ණ ය. එහෙත් මේ කැවිලි වර්ගය ලන්දේසින්ගෙන් පැවත එන්නක් බව ඔබ දැන සිටියා ද? කොකිස් යන නමද විස්කෝතු වලට ලන්දේසි භාවිතා කරන “කූකියා” කියන පදයෙන් බිඳී ආවකි. නිකමට ස්විඩිෂ් කුකීස් කියන නම ගූග්ල් වල සර්ච් කර බලන්න, ඔබට අපේ කොකිස් වලම චායාපිටපතක් දැකගත හැකි වනු ඇත.

ලම්ප් රයිස්

ලම්ප් රයිස් බටහිර ජනාවාසකරණයෙන් අපට වුණු එක හොඳකි. (Flava8.wordpress.com)

බටහිර ජාතීන්ගේ යටත්විජිතයක් වීම නිසා ලංකාවට හිමි වූ දේවල් වලට වඩා අහිමි වූ දේ බොහෝ ය. එසේ හිමි වූ දේවල් අතර ලම්ප් රයිස් වැනි හොඳ දේවල් එකක් දෙකක් නැත්තේද නොවේ. මස් කරියක්, වම්බටු මොජුවක් සීනි සම්බෝලයක් සහ මීටිබෝල් ව්‍යාංජනයක් මස් හොදි සමඟ කෙහෙල් කොලේ ඔතා ලැබෙන ලම්ප් රයිස් අපේ රටේ ප්‍රසිද්ධ ආහාර වර්ගයකි. එහෙත් මෙය ද අපට ලන්දේසින්ගෙන් දායාද වුවකි. කෙසේ වුවත් නිසැකයෙන්ම ආසියානු ගතියක් මෙම ආහාරයේ තිබෙන නිසා මෙය බොහෝ විට බටහිර රටකින් පැවත එන ආහාරයක් නොව ජාවා ඉන්දුනීසියා වැනි ගිණිකොන දිග ආසියානු රටවල් වලින් අතරමගදී අහුලා ගෙන විත් දේශීය කුළුබඩු ආදිය මිශ්‍ර කර තමන්ගේ සංස්කරණයක් ලෙස අපේ බර්ගර් ජනයා වෙත දායාද කළ එකක් විය යුතුය.

ලව් කේක්

ලාංකීය ඉණා බෙහෙත

පෘතුගීසින් මෙය Bolo D’Amor හැඳින්වුවද බොහෝ දෙනෙක් අසා ඇති නම ලව් කේක් ය. ලාංකික අපේ ලව් කේක් එකට මුලික යුරෝපීය සංඝටක වලට අමතරව කජු, රෝස වතුර, කරඳමුංගු වැනි දේද අඩංගු වේ. ඉතින් මෙයට ලව් කේක් කියාම කියන්නේ ඇයි? ජනප්‍රවාදයට අනුව ලව් කේක් භාවිතා වී ඇත්තේ ලාංකීය ඉණා බෙහෙත් වලින් කෙරෙන කාර්යයය සඳහාම ය. අම්මාවරු තම දියණියව විවාහ කරවීමට ඇස ගසාගෙන සිටින තරුණයාට මෙම කේක් කෑමට දී ඔහුගේ සිත නම්මවා ගත් බව කියවෙන අතර ඉතින් එවැනි දියණියන් එහෙම සිටින මැදිවියේ කාන්තාවන් ඔබට ලව් කේක් වලින් සංග්‍රහ කිරීමට සැරසෙන විට මදක් පරිස්සම් වීම කොයිකටත් නුවණට හුරුය.

ආප්ප, පිට්ටු සහ ඉඳිආප්ප

උදේට දවල්ට රෑට කටට රසට!– (inside.lk/food)

මේ ආහාර වර්ග තුනට අභාෂය ලැබී ඇත්තේ අපේ අසල්වැසි රටෙනි. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පැවත එන මේවා ඔවුන් හඳුන්වන්නේ ආපම්, පුට්ටු වැනි නම් වලිනි. එළු මස් ආප්ප වැනි අප අසා නැති වර්ගයේ නානාවිධ ආප්ප ඔවුන් සාදාගන්නා අතර ලංකාවේ  ද පැණි ආප්ප, බිත්තර ආප්ප, ප්ලේන් ආප්ප, කිරි අප්ප ආදී වශයෙන් ආප්ප වර්ග රාශියක් තිබේ. එසේම අපේ ආප්ප සහ පිට්ටු කේරළයේ ඒවාට සාපේක්ෂව කුඩා අතර කට්ට සම්බල් හෝ සිනිසම්බල් විශාල ප්‍රමාණයක් සමඟ ආහාරයට ගැනේ. මේ නිසා කේරළයේ ඉඳිආප්ප  තුනක් හෝ ආප්ප දෙකක් පමණ කෑ විට බඩ පිරී යන අතර ලංකාවේ ඉඳිආප්පයක් සාමාන්‍යයෙන් එක කටකට පවා මදිය.

වටලප්පන්

සියලු ජාති ආගම් බේද අමතක කරවන සුළු ආහාරයකි

සෑම මුස්ලිම් උත්සව සමයකදීම සියල්ලන්ම පුල පුලා බලාසිටින අනිවාර්ය අංගය වටලප්පන් ය. මුස්ලිම් ජනතාව පමණක් නොව මුළුමහත් ලාංකිකයන්ටම වටලප්පන් වලට ඇත්තේ පුදුම කැමැත්තකි. දියවැඩියාවට අතවනන මෙම අති ප්‍රණීත කෑම වර්ගය අපට දායාද වූයේ, ලන්දේසීන් තම නැගෙනහිර ඉන්දියානු සමාගමේ වැඩ කටයුතු වලට එරෙහි වී යන්නන් අතුගා දැමීමේ පරමාර්ථයෙන් 1708 වසරේ පටන් ලංකාවට ගෙන්වා ගත මැලේ ජනතාවගෙනි. ඒ අතීතය කෙතරම් අඳුරු අප්‍රසන්න එකක් වුවද වටලප්පන් ගැන සිතා අපට පොඩි සතුටක් ගතහැක.

ආහාර වර්ගයක්ම නොවුවත් මේ අතරම බයිලා ගැනද යමක් කීම සුදුසු යැයි සිතමු. බයිලා වලට ද ඇත්තේ විදේශීය සම්භවයකි. හොඳහැටි බී ගත් විට වෙරි හිඳීමට සහාය වන බයිලා එක අතකට අපේ නිල නොලත් ජාතික සංගීතය යැයි කිව හැක. බයිලා වලට විවිධ සම්භව තිබෙන අතර සියවස් ගණනක් පුරාවට ලංකාවේ බයිලා සංගීතය පැවතී තිබේ. ලංකාවේ රජවරුන් සමඟ සටන් කිරීමට අප්‍රිකානු වහලුන් සහ සොල්දාදුවන් මෙහි ගෙන ආ පෘතුගීසි සමඟ ලංකාවට බයිලා දායාද වුවද, අද කාලයේ වෙරිමතින් සිටින පුද්ගලයන් හට නටමින් රඟ දක්වන්නට හොඳම පසුබිම් සංගීතය ලැබෙන්නේ බයිලා වලිනි. ඔබේ මනසේ ඇඳුනු ඒ විචිත්‍ර මනෝරූපයත් සමඟම, අපේ යයි සලකන මේ අච්චාරු සංස්කෘතිය සහ අහම්බෙන් අපට දායාද වූ බොහෝ වෙස්වලාගත් ආශිර්වාදයන් ගැන මොහොතකට සිහිකිරීමට ඔබට ඉඩ දී අපි මෙම ලිපිය අවසන් කරන්නෙමු.