Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ මිනිස්සු හිමිකම් කියන පුදුමාකාර ගිනස් වාර්තා

අපි ඇත්ත තත්වය ගැන හිතලා බැලුවොත් ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ඉන්දියාවට පහළින් තියන ඉන්දියානු සාගරයට අයත් දූපතක් වුණු ශ්‍රී ලංකාව ගැන ලෝකයේ බොහෝ දෙනෙක් දන්නේ හරිම අඩුවෙන්. වෙන රටක ඉගෙන ගන්න ගිය හෝ රැකියාවක් කරන්න ගිය කෙනෙක් නම් ඔබත් මේ තත්වය හොඳටම අත් දැකලා ඇති. දකින කවුරු වුණත් හිතන්නේ අපි ඉන්දියාවෙන් ඇවිත් කියලයි. ඉතින් අපේ රට ගැන ක්‍රිකට්, තේ වගේ මාතෘකා ගැන වැඩි උනන්දුවක් නැති කෙනෙක්ට කියලා දෙන්න ගියාම තියන අමාරුව දන්නේ එහෙම අත්දැකීමක් ලබපු කෙනෙක් විතරයි.

මේ වගේ වෙලාවක එයා දන්නා දෙයක් ලංකාව එක්ක සම්බන්ධ කරන්න උත්සාහ කරන එක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදිහට එයා ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එක GAP එකක් නම් අපිට කියන්න පුළුවන් “ඔයාගේ ටී ෂර්ට් එක ශ්‍රී ලංකාවේ හදපු එකක්. ලේබල් එකේ බලන්න Made in Sri Lanka  කියලා ගහලා තියෙනවා. මම ශ්‍රී ලංකාවෙන්” කියලා කියන්න පුළුවන්. මේ වගේ කිව්වාම ලංකාව ගැන වැඩි විස්තරයක් නොදන්නා කෙනෙක් වුණත් නිකන්ම ශ්‍රී ලාංකිකයෙක් කියනවාට වඩා සැලකිල්ලක් දක්වනවා. [මේක ඉතින් ටිකක් අඳුරන කෙනෙක්ට කතා කරද්දී පාවිච්චි කරන්න ඕන උපායක්. එක පාරටම ඒ වගේ දෙයක් කිව්වාම එයාල ටිකක් බය වෙන්නත් ඉඩ තියෙනවා.]

ලංකාව අඳුරන්නේම නැති කෙනෙක්ට වුණත් ලංකාව තියෙන්නේ ඉන්දියාවට පහලින් කියලා කිව්වාම සාමාන්‍යයෙන් දළ අවබෝධයක් ලැබෙනවා. ස්මාට් ෆෝන් එකක් තියෙනවා නම් මැප් එකක් අරගෙන පෙන්නන්නත් පුළුවන්. ප්‍රශ්නේ කියන්නේ සමහරු හිතන්නේ ලංකාව ඉන්දියාවේම කොටසක් කියන එකයි. ඉතින් ඒකත් එහෙම නැහැ, අපි ස්වාධීන ජාතියක් කියලා කියන්න සිද්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් ශ්‍රී ලංකාව තියෙන තැන ගැන අවබෝධයක් ලබා දෙන්න පුළුවන් වුනොත් කතාවටත් එක්ක කියන්න පුළුවන් දේවල් තව තියනවා. දැන් යුද්ධය ඉවරයි, අපි තමයි 1996දි සහ 2012දි ක්‍රිකට් ලෝක කුසලානය ගත්තේ වගේ බොහෝ දෙනා දැනගන්න ඉඩක් තියෙන කරුණු මේ වැඩේට පාවිච්චි කරන්න.

ඒත් ඉතින් මේවාත් දැන් ටික ටික එපා වෙන මාතෘකා බවට පත් වෙලා. ක්‍රිකට් පැත්තෙනුත් කතා කරන්න තරම් හොඳක් නැහැනේ දැන්. ඉතින් roar එකේ අපි හිතුවා ලංකාවේ නාමය ලෝක මට්ටමෙන් සටහන් කරපු කාරණා කිහිපයක් ගැන ඔබට විස්තර අරගෙන එන්න. ලංකාවේ වැසියන් ලංකාවේදී වගේම වෙනත් රටවල් වලට ගිහිනුත් දක්වපු විවිධ දක්ෂතා අතරින් ගිනස් ලෝක වාර්තා පොතට එකතු වුණු දේවල් කිහිපයක් ගැන කියන එක ඒ වැඩේට හොඳ ආරම්භයක් වේවි.

ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ මිනිස්සු තියපු ගිනස් වාර්තා සේරම මේ වගේ ලිපියක ලියන්න බැහැ කියලා. ඒ නිසා අපි කල්පනා කළා මේ අතරින් වැදගත් කියලා හිතුණු කාරණා කිහිපයක් විතරක් විස්තර කරන්න. මේවායින් සමහරක් පස්සේ කාල වල වෙනත් රටවල අය බිඳ දැම්මත් වැඩි හරියක් තවමත් ලෝක වාර්තා විදිහට තියනවා. ඉතින් අපි මුලින්ම කිව්වා වගේ වෙනත් රටක කෙනෙක් එක්ක කතාවට වැටුණු වෙලාවක මේ කාරණා වුණත් කතාවට එකතු කර ගත්තොත් ලංකාව ගැන ඔවුන්ගේ අවධානය යොමු කරවන්න ඔබටත් වැඩි අවස්ථාවක් ලැබේවි. එහෙනම් බලමුකෝ අපේ කට්ටිය තියපු ලෝක වාර්තා ටික.

විවාහ උත්සව

අපේ රටේ විවාහ උත්සවයකට නැත්නම් වෙඩින් එකකට නොගිය කෙනෙක් නැති තරම්. මේ අතරින් කාලයක් තිස්සේ කාගේත් අවධානයට ලක් වුණු විවාහ උත්සවත් බොහොමයි. සමහර විට ප්‍රසිද්ධ නළු නිළියන්, ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්ගේ දූ පුතුන් වගේ කවුරුත් දන්නා හඳුනන පිරිස් විවාහ වෙද්දී මේ වගේ රට පුරාම ලොකු කතා බහක් ඇති වෙනවා. නමුත් ලෝක වාර්තා තියපු නිසාත් අවධානයට ලක් වුණු විවාහ උත්සව එහෙමත් මේ අතර තිබුණා. අපි දැන් කියන්න යන්නේ ඒ වගේ කිහිපයක් ගැනයි.

වැඩිම දෙවැනි මනාලියන් ගණන

මේ විවාහ උත්සවය කාලයක් යන තුරුම ලෝකයේ වැඩිම දෙවැනි මනාලියන් ගණනක් හිටපු මංගල උත්සවය විදිහට වාර්තා අතර තිබුණා. රූපය : dailymail.co.uk

මේ විවාහ උත්සවය කාලයක් යන තුරුම ලෝකයේ වැඩිම දෙවැනි මනාලියන් ගණනක් හිටපු මංගල උත්සවය විදිහට වාර්තා අතර තිබුණා. රූපය : dailymail.co.uk

2013 නොවැම්බර් 8 වෙනිදා මීගමුවේ පැවැත්වුණු නලින් හා නිසංසලා කියන දෙපළගේ විවාහ උත්සවය රට පුරාම කතා බහට ලක් වුණේ එක් මනාලියක් සඳහා සිටි වැඩිම දෙවැනි මනමාලියන් ගණන විදිහට ගිනස් වාර්තා අතරට එකතු වුණු නිසයි. මේ විවාහය සඳහා වාර්තාගත දෙවැනි මනමාලියන් 126 දෙනෙක්, දෙවැනි මනමාලයන් 25 දෙනෙක්, මල් කුමාරියන් 23ක් සහ මල් කුමාරයන් 20 දෙනෙක් සහභාගී වුණා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ඒ කාලේ ලංකාවේ ජනාධිපති ආර්යාව වුණු ශිරන්ති රාජපක්ෂ මහත්මියත් මේ උත්සවයට සහභාගී වුණා.

මීට කලින් මේ වාර්තාවට හිමි කම් කිව්වේ දෙවැනි මනමාලියන් 96 දෙනෙක් එක්ක විවාහ උත්සවය සමරපු තායිලන්ත ජාතික යුවලක්. ඔවුන්ගේ වාර්තාව 30 දෙනෙකුගෙන් ඉක්මවා යන්න නලින් හා නිසංසලා යුවලට හැකි වුණා.

අවාසනාවකට වගේ අපේ රටට හිමි වුණු මේ වාර්තාව දැන් හිමි වෙලා තියෙන්නේ ඇමරිකාවේ ටීනා ඇකල්ස් කියලා කාන්තාවකටයි. 2015 අප්‍රේල් 18 වෙනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වුණු ඇයගේ විවාහ උත්සවයට දෙවැනි මනමාලියන් 168ක් සහභාගී වීමත් එක්ක මේ ලෝක වාර්තාව ඇයට හිමි වුණා.

ඉතින් මේ ලිපිය කියවලා ඒ වාර්තාව ආයෙත් ලංකාවටම හිමි කර ගන්න කාට හරි හිතුණා නම් roar අපෙන් ඔබට උණුසුම් සුභ පැතුම්!

දෙවැනි මනාලියන්, දෙවැනි මනාලයන් සහ ලොකුම මල් කළඹ

මේ විවාහ උත්සවයට ලෝක වාර්තා තුනක්ම හිමි වුණා

මේ විවාහ උත්සවයට ලෝක වාර්තා තුනක්ම හිමි වුණා

ඇත්තටම කලින් අපි කිව්ව නලින් හා නිසංසලා යුවල නෙවෙයි ලංකාවෙන් මේ වගේ වාර්තාවක් තියන්න මුලින්ම හිතුවේ. 2003දී කැනඩාවේ ඔන්ටාරියෝ නුවර පැවැත්වුණු කැනඩා ජාතික ක්‍රිස්ටා රාසනායගම් සහ ශ්‍රී ලාංකික සුරේෂ් ජෝකිම් අරුලානන්දම් යුවලගේ විවාහ උත්සවයටත් දෙවැනි මනමාලියන් 79ක්ම සහභාගී වුණා. විශේෂත්වය කියන්නේ මේ දෙවැනි මනමාලියන් අතර වයස අවුරුද්දක දැරියකගේ ඉඳලා අවුරුදු 79 වයස කාන්තාවකුත් හිටපු එක!

ඒ වගේම තමයි මේ උත්සවයට සහභාගී වුණු දෙවැනි මනමාලයන් 47 තමයි වැඩිම දෙවැනි මනමාලයන් ගණනට අයත් වාර්තාවට හිමි කම් කියන්නේ. ඒ අතරත් අවුරුදු 2ක දරුවෙක්ගේ ඉඳලා අවුරුදු 63ක් වයස කෙනෙක් දක්වා සියලු වයස් වලට අයත් පිරිසක් ඉඳලා තියෙනවා. අනිත් කාරණාව තමයි මෙයාලා පාවිච්චි කරපු මල් කලඹ. දිගින් අඩි 197කටත් වැඩි මේ මල් කලඹ තවමත් දිගම මල් කළඹ විදිහට ගිනස් ලෝක වාර්තා අතර බිඳ නොවැටී තියනවා.

තේ

ලංකාව ගැන ඉස්සර ඉඳන් වැඩි දෙනෙක් දන්නේ ලෝකයේ හොඳම තේ නිෂ්පාදකයා කියලයි. පහුගිය කාලයේ නිෂ්පාදනය කෙරෙන ප්‍රමාණයෙන් තිබුණ මුල් තැන අපිට අහිමි වුණත් තවමත් ලෝකය පුරාම ඉහලම පිලි ගැනීමක් තියෙන්නේ ලංකාවේ තේ වලටයි. ඉතින් තේ වලින් අපි වාර්තා තියලා තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ අපි කියන්න යන්නේ තේ අංශයෙන් ලංකාව හිමිකම් කියන ලෝක වාර්තා ගැනයි.

ලොකුම තේ කෝප්පය

ලෝකයේ මෙතෙක් පෙරාපු ලොකුම තේ කෝප්පය.

ලෝකයේ මෙතෙක් පෙරාපු ලොකුම තේ කෝප්පය.

ලෝකයේ ලොකුම තේ කෝප්පයට හිමි ලෝක වාර්තාව ශ්‍රී ලංකාව සතුයි. 2010 අවුරුද්දේ ඔක්තෝබර් 9 වෙනිදා ග්ලැක්සෝස්මිත්ක්ලයින් බීකම් කියන පෞද්ගලික ආයතනය (GlaxoSmithKline Beecham (Pvt.) Ltd) මගින් කොළඹදී නිර්මාණය කරපු ලීටර් 4000ක තේ කෝප්පය තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ.

මේ තේ කෝප්පය ගැන වාර්තා පළ කෙරුණේ “වීවා” තේ කෝප්පය කියලයි. මේ තේ කෝප්පයේ උස අඩි 10ක්, පළල අඩි 8ක්! වොට් 2000ක හීටර් හයක් සහ විදුලි මෝටර් වලින් ක්‍රියා කරන සුවිශේෂී හැන්දක් පාවිච්චි කරලා තමයි මේ තේ කෝප්පය පෙරන්න ඔවුන් සමත් වුණේ. සාමාන්‍ය තේ කෝප්පයක් වගේම සෙල්සියස් 75˚ක උෂ්ණත්වයක මේ තේ කෝප්පය පවත්වා ගැනුණා.

ලොකුම තේ පැන් සාදය

32,682 වන තේ කෝප්පය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පිළි ගැන්වූ අවස්ථාව. රූපය : LBO.com

32,682 වන තේ කෝප්පය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පිළි ගැන්වූ අවස්ථාව. රූපය : LBO.com

2015 අවුරුද්දේ අගෝස්තු මාසයේ මහනුවරදී පැවැත්වුණු උත්සවයකදී තේ කෝප්ප 35,000ක් පිළිගන්වනු ලැබුවා. මේ වාර්තාවට මීට කලින් හිමිකම් කිව්වේ ඉන්දියාවයි. ඔවුන්ගේ තේ පැන් සාදයට තේ කෝප්ප 32,681ක් පිළිගන්වා තිබුණා.

කොහොම වුණත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, ශ්‍රී ලංකා තේ සංවර්ධන මණ්ඩලය සහ ආසියා පැසිෆික් නැව්ගත චාරිකා ඒජන්සිය (Asia Pacific Onboard Tour Agencies) කියන ආයතන එක් වෙලා මේ උත්සවය සංවිධානය කෙරුණේ ඒ වාර්තාව බිඳ හෙලීම සඳහායි. ඒ අවස්ථාව සනිටුහන් කෙරෙමින් 32,682 වන තේ කෝප්පය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, 32,683 වන තේ කෝප්පය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් පිළිගැන්වීම සිදු කෙරුණා.

දේශපාලනය

දේශපාලනය කියන්නේ නම් ලංකාවේ කවදාවත් ප්‍රවෘත්ති නැති වෙන අංශයක් නෙවෙයි. හැමදාම රට පුරා කතාවට ලක් වෙන මොකක් හරි දේශපාලනික කාරණාවක් දකින්න ලැබෙනවා. ඉතින් දේශපාලනය අතිනුත් අපි වාර්තා තියපු එක පුදුමයක් නෙවෙයි. අපි මේ කියන්න හදන්නේ ලංකාව දේශපාලනය අතින් ලෝක වාර්තා තියපු අවස්ථාවන් දෙකක් ගැනයි.

ලොකුම කැබිනට් මණ්ඩලය

මේ වාර්තාවේ ගෞරවය හිමි වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. එතුමා 2005 ජනාධිපති වෙලා පත් කරපු කැබිනට් මණ්ඩලය තමයි ලෝකයේ ලොකුම කැබිනට් මණ්ඩලය විදිහට මේ තාක් කල් ගිනස් වාර්තාව රැකගෙන ඉන්නේ. කැබිනට් අමාත්‍යවරු 52ක් ඇතුළුව සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය 100කටත් වඩා හිටියා.

වැඩිම අග්‍රාමාත්‍යවරියන් ගණන

1960දී ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කරපු අපේ රට තමයි දැනටත් ලෝකයේ අග්‍රාමාත්‍යවරියන් දෙදෙනෙක් බිහි කරපු එකම රට. එංගලන්තයද ඇතුළුව රටවල් කිහිපයකම 1960න් පසු අග්‍රාමාත්‍යවරියන් බිහි වෙලා තියෙනවා, නමුත් ඒ එක් වරක් පමණයි.

අනික් සුවිශේෂී කාරණාව තමයි මේ අග්‍රාමාත්‍යවරියන් දෙදෙනාම එකම පවුලකට අයත් වීම. පළමුවෙනි අග්‍රාමාත්‍යවරිය වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දුව වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තමයි දෙවැනි අග්‍රාමාත්‍යවරිය බවට පත් වුණේ.

විනෝද කටයුතු

ශ්‍රී ලාංකිකයන් හරිම සුහදශීලී පිරිසක් බව ලෝකය පුරා ප්‍රසිද්ධයි. ඒ වගේම අපේ මිනිස්සු විනෝදයෙන් ජීවත් වෙන්නත් හපන්නු. මේ නිසා විනෝදයට කරන දේවල් වලිනුත් වාර්තා තියන්න අපේ කට්ටිය සමත් වෙලා තියෙනවා. මේ තියන්නේ ඒ වගේ ගිනස් වාර්තා වලට ගිය කාරණා කිහිපයක්.

ස්ක්‍රැබල්

ස්ක්‍රැබල් වලින් ලෝක වාර්තාවක් තබන්නට ලක්ෂාන් වන්නිආරච්චි සහ යෙෂාන් ජයසූරිය උත්සාහ ගන්නා මොහොත. රූපය : Daily News

ස්ක්‍රැබල් වලින් ලෝක වාර්තාවක් තබන්නට ලක්ෂාන් වන්නිආරච්චි සහ යෙෂාන් ජයසූරිය උත්සාහ ගන්නා මොහොත. රූපය : Daily News

2015 අවුරුද්දේ ජනවාරි 4 වෙනිදා කොළඹ පැවැත්වුණු තරඟයකදී ලක්ෂාන් වන්නිආරච්චි එකවර ප්‍රතිවාදීන් 40 දෙනෙකු සමග ස්ක්‍රැබල් (Scrabble) ක්‍රීඩාවේ යෙදිලා එකවර වැඩිම පිරිසක් සමග ස්ක්‍රැබල් ක්‍රීඩාවේ යෙදීම වෙනුවෙන් හිමි වන ගිනස් ලෝක වාර්තාව තමන් සතු කර ගන්නට සමත් වුණා.

මේ තරඟ 40න් 31කම ජයග්‍රහණය හිමි කරගන්න සමත් වුණෙත් ලක්ෂාන්. ඒ වගේම එයා මීට කලින් තියපු ස්ක්‍රැබල් ලෝක වාර්තාවත් මේක නෙවෙයි.

2012 අවුරුද්දේ ලක්ෂාන් තමන් වගේම ස්ක්‍රැබල් ක්‍රීඩාවට ලැදි යාළුවෙක් වුණු යෙෂාන් ජයසූරියත් එක්ක එකතු වෙලා පය 24ක් තුළදී ස්ක්‍රැබල් ක්‍රීඩකයන් දෙදෙනෙක් ලබා ගත්ත වැඩිම ලකුණු එකතුවට ගිනස් ලෝක වාර්තාවක් හිමි කර ගන්නත් සමත් වුණා. මේ දෙන්නා නොවැම්බර් 10, 11 කියන දවස් දෙකේදී එක දිගට ස්ක්‍රැබල් තරඟ 224කට ක්‍රීඩා කරලා ලකුණු 196,525ක් ලබා ගන්න සමත් වුණා.

වැඩිම මූන්වෝක් දුර

මයිකල් ජැක්සන් ගැන ලංකාවේ කවුරුත් අහලා ඇතිනේ. මෙයාගේ ප්‍රධානම නර්තන අංගයක් තමයි මූන්වෝක් එක කියන්නේ. හඳේ ඇවිදින කෙනෙක් ඒකෙ තියන අඩු ගුරුත්වය නිසා ලිස්සලා යනවා වගේ පෙන්න ඇවිදීමක් තමයි මේකෙදි කෙරෙන්නේ. ලංකාවේ දුෂ්‍යන්ත් වීරමන්ටත් මේ වැඩේ කරන්න පුළුවන් බව ප්‍රසිද්ධයි. බලාගෙන ඉන්න කෙනාට ඉස්සරහට ඇවිදිනවා වගේ පෙනුණත් ඇත්තටම පස්සෙන් පස්සට ලිස්සලා යන එකයි සිද්ධ වෙන්නේ.

කොහොම වුණත් මේ වැඩේ වැඩිම දුරක් එක දිගට කරලා වාර්තාව තියලා තියන්නෙත් ලංකාවේ කෙනෙක්. 2006 අවුරුද්දේ ජනවාරි 11 වනදා කැනඩාවේ ඔන්ටාරියෝ වලදී තමයි ඔහු මේ හපන් කම කරලා තියෙන්නේ. මෙයාගේ නම සුරේෂ් ජෝකිම් අරුලානන්දම්. (නම පුරුදුයි වගේ හිතෙනවා නම් ආපහු ටිකක් උඩට ගිහින් බලන්නකෝ, ඔබ හිතුවා හරි. මෙයා තමයි තමන්ගේ විවාහ උත්සවය ඇසුරෙන් වාර්තා තුනක් තියපු කෙනා) පැය 24ක් තුළ කිලෝ මීටර් 49.252ක් (හැතැප්ම 30.6ක්) මේ විදිහට මූන්වෝක් කරලා ඒ වෙනුවෙන් ගිනස් වාර්තාවක් හිමි කරගන්න මෙයාට පුළුවන් වුණා.

මෙයා ගැන වැඩි විස්තර හොයාගෙන ගියොත් බලන්න පුළුවන් සුරේෂ් ඇත්තටම රටවල් බොහොමයකදී වාර්තා තියන්න ගත්තු උත්සාහයන් වගේම වාර්තා බිඳ හෙලපු අවස්ථාත් ගණනාවක්ම තියෙන බව.

වෙනත්

දැන් අපි කියන්න යන්නේ ලංකාවේ අය තියපු අමුතුම, අපූරුම වාර්තා කිහිපයක් ගැනයි.

හිසෙන් පහර දී බිඳ දැමූ වැඩිම කොන්ක්‍රීට් කුට්ටි ගණන

වසන්ත සොයිසා කිව්වාම කාගේත් මතකයට දැන් එන්නේ අනුරාධපුර නයිට් ක්ලබ් එකකදී මෙයාව පහර දීල මරපු එක ගැනයි. හැබැයි මෙයා කාලෙකට කලින් ප්‍රසිද්ධ කරාටේ ශූරයෙක්, අවුරුදු 6කට උඩදී මේ කියන ලෝක වාර්තාව ලබා ගන්න හේතු වුනු ක්‍රියාකාරකම කළා. 2009 අගෝස්තු 23 වැනිදා එක මත එක තියපු කොන්ක්‍රීට් කුට්ටි 12ක් හිසෙන් පහර දීලා කඩා දමලා වැඩිම කොන්ක්‍රීට් කුට්ටි ගණනක් හිසෙන් පහර දී බිඳ දැමීම වෙනුවෙන් ගිනස් ලෝක වාර්තාව හිමි කර ගන්න වසන්ත සොයිසා සමත් වුණා.

විශාලම දන්ත සායනය

2015 කියන්නේ ලංකාවට වාර්තා තියන්නම ලැබුණු වර්ෂයක් කිව්වොත් වැරදි නැහැ. වර්ෂය පටන් ගත්තෙම රටේ ලොකු දේශපාලන වෙනස් කමක් සිද්ධ වෙලා. මාර්තු 20 වෙනිදා යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනයේ සිග්නල් කණ්ඩායම සංවිධානය කරපු දන්ත සායනය තමයි දැනටත් ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වුණු දන්ත සෞඛ්‍ය රැක ගැනීමේ සායනය විදිහට ලෝක වාර්තාවට හිමි කම් කියන්නේ.

ලෝක දන්ත සෞඛ්‍ය දිනය සැමරීම නිමිත්තෙන් තමයි මේ වැඩසටහන සංවිධානය කෙරුණේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සහ සිග්නල් කණ්ඩායම එකට එකතු වෙලා මේ දවස තුලදී 9,334 දෙනෙක්ගේ දත් පරීක්ෂාවට ලක් කෙරුණා. මහනුවර පැවැත්වුණු මේ වැඩසටහනට රටපුරා විසිරී සිටින පළපුරුදු දන්ත වෛද්‍යවරු 150 දෙනෙක් සහභාගී වෙලා ප්‍රධාන වශයෙන් පාසල් දරුවන්ටත්, ඔවුන්ගේ දෙමාපියන් සහ වැඩසටහනට සහභාගී වුණු අනෙක් අයගේත් දත් පරීක්ෂාව නොමිලේම කරන්නට දායකත්වය ලබා දුන්නා.

පැයකදී ඇඳපු වැඩිම ටී ෂර්ට් ගණන

2011 අවුරුද්දේ දෙසැම්බර් 22 වැනිදා කරපු මේ හපන්කම ගැනත් ලංකාවේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණා. මැරතන් ශුරයෙක් විදිහට නම් දරාපු සනත් බණ්ඩාර තමයි මේ වාර්තාව තමන් සතු කර ගන්න සමත් වුණේ. කාලයක් තිස්සේ විවිධ ගිනස් වාර්තා බිඳ හෙලන්න ගත්තු උත්සාහයන් නිසා මෙයා ප්‍රසිද්ධ වෙලා හිටියේ “ගිනස් බණ්ඩාර” කියලයි.කොළඹ හයිඩ් පාක් පිටියේදී ප්‍රසිද්ධියේ සිදු කරපු මේ උත්සාහයේදී පැයක් ඇතුළත ටී ෂර්ට් 257ක් එක මත එක ඇඳලා පැයකදී ඇඳපු වැඩිම ටී ෂර්ට් ගණනට හිමි ගිනස් ලෝක වාර්තාව තමන්ට හිමි කර ගත්තා. කාලයක් උත්සාහ අරගෙන අන්තිමට බණ්ඩාරට කොහොම හරි ගිනස් වාර්තා පොතට ඇතුලත් වෙන්න අවස්ථාව ලැබුණා.

ඉතින් ඉදිරි කාලයේදී කවදා හරි ලංකාව කියන්නේ මොන වගේ රටක්ද කියලා නොදන්නා කෙනෙක්ට පැහැදිලි කරන්න සිදු වුණොත් මේ වගේ කාරණාවක් වුණත් යොදා ගන්න බලන්න. ඒක ඔබට පහසුවක් වේවි. ලංකාව ගැනත් ඔවුන්ට ලොකු පැහැදීමක් ඇති වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.

අපි මෙතැන කියලා තියෙනවාට වඩා තවත් ගිනස් වාර්තා බොහොමයක් අපේ රටේ කට්ටිය හිමි කරගෙන තියනවා. ඔබත් ඒ ගැන විස්තර දන්නවා නම් පහළින් තියන කොටසේ හරි අපේ ෆේස්බුක් පොස්ට් එකේ හරි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ප්‍රමාණවත් තරම් කරුණු එකතු වුණොත් මේ ලිපියේම දෙවැනි කොටසකුත් ඉක්මනින් ගෙන එන්න අපේ බලාපොරොත්තුවක් තියනවා.

මොන තරම් පුංචි රටක් වුණත්, ඉන්දියාවේ සෙවණැල්ලෙන් වැහිලා තියෙනවා වුණත් අපේ රටේ ආඩම්බර වෙන්න දේවල් ඕන තරම් තියනවා කියන එකත් මේ එක්කම අපි මතකයට ගන්න අවශ්‍යයි. කවදා හරි ශ්‍රී ලංකාවේ නම තව දුරටත් ලෝකයට ගෙනියන්න ඔබ කාටත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Related Articles