කහවනුවලින් ජාත්‍යන්තර ගනුදෙනු කළ පැරණි ලාංකිකයෝ

ඩොලර් හිඟය නිසා රුපියලේ අගය පහළට ම ඇද වැටිලා කියලා අපට නිතර ම අහන්නට ලැබෙනවා. අප අද භාවිත කරන රුපියල් ශතවලින් ගනුදෙනු කිරීම ලංකාවේ පටන් ගත්තේ ඉංග්‍රිසී යටත්විජිත කාලේ. ඒ කියන්නේ 1872 සිට යි. ඊට පෙර ක්‍රිස්තු පුර්ව යුගයේ අනුරාධපුර  මුල් කාලේ පටන් ම ලංකාවේ කාසි භාවිත කළා වගේ ම කාසි නිෂ්පාදනය කිරිමත් සිදු ව තිබෙනවා. ඒ කාලේ නම් අද ලෝකය ම කතා කරන ඩොලර් අමෙරිකාවෙ පැත්ත පළාතක තිබුණේ නැහැ. ක්‍රිස්තු පුර්ව 3 වැනි සියවසේ සිට වර්තමානය දක්වා අවුරුදු දෙදහසක පමණ කාසි භාවිත ඉතිහාසයක් අපට තිබෙනවා.  මේ අනුරාධපුර කාලෙ භාවිත කළ කාසි වර්ග ගැන කළ සොයාබැලීමක්. 

1උච්චාලික විහාරයේ කාසි මුට්ටිය – news.lk

සෙල් ලිපි  සහ පුරාවිද්‍යා සාධක

අනුරාධපුර රාජධානි සමයේ වෙළඳාම් කටයුතු සහ මුදල් භාවිතය පිළිබඳ බොහෝ තොරතුරු සෙල්ලිපිවලින් හෙළිදරව් වෙනවා. එකල කාසි නිෂ්පාදනය හා බෙදාහැරීම ඉතාමත් ම විධිමත් පදනමක් මත සිදු කර තිබෙන බව යි ඒවායින් පැහැදිලි කරන්නේ. කාසි නිෂ්පාදනය සම්බන්ධ අධ්‍යක්ෂ එවකට හැඳින්වූයේ රූපදක කියලයි. පෙරියකඩු විහාර සෙල්ලිපියේ ඒ වචනය දැක්වෙනවා.  නිෂ්පාදනය කරන ලද කාසි අනුමත කළ තැනැත්තා  හැඳින්වූයේ රූපවාපර නමින් බව කදුරුවැව සෙල්ලිපියේ සඳහන් කර තිබෙනවා.

1994 වසරේ දී “යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ අභයගිරි විහාර ව්‍යාපෘතිය යටතේ කළ කැණීම්වල දී  අභයගිරි දාගබට නිරිත දිග ප්‍රදේශයේ නටබුන් පොකුණක කළ කැණීමකින්  රන් කහවනු නිෂ්පාදනය කළ කම්හලක නටබුන් ද එහි නිපදවූ කාසි, මෙන් ම ලෝහ උණු කිරීමට යොදා ගත් කෝව හයක් ද හමු වුණා. අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ පසුගිය කාලයේ  සිදු කළ කැණීම් කටයුතුවල දී හමු වූ  සෙන්ටිමිටර 10 ක් පමණ උස රතු පැහැති මැටි බඳුනක අනුරාධපුර යුගයේ  කාසි 325 ක් තිබුණා.

කහවනු, අඩ කහවනු සහ කහවනු කාල -sirimunasiha. WordPress.com

 

කාසි ප්‍රභේදය සහිත ව නිශ්චිතව කාසි භාවිතය පිළිබඳ මහාවංශයෙන් තොරතුරු ලැබෙන්නේ එළාර රාජ්‍ය සමයේ දී යි. එළාර රජුගේ රථය වැදීමෙන් මිහින්තලේ චේතිය පබ්බත විහාරයයට හානි සිදු වූ බවත්, එහි පාඩුව පියවීම සඳහා රජු කහවනු 15,000 ක් පිරිනැමූ බවත් මහාවංශයේ 21 වන පරිච්ඡේදයේ සඳහන් වනවා.

දුටුගැමුණු රජුගේ කතාව විස්තර කිරීමේ දී අවස්ථා කිහිපයක දී ම රන්කහවනු ගැන දැක්වෙනවා.  දුටුගැමුණු රජු ලෝවාමහාපායේ වැඩ ආරම්භ කිරීමේ දී සතර දොරටුවෙහි ජනතාවට ගැනීමට රන් කහවනු අට ලක්ෂයක් බැගින් තැන්පත් කර තැබූ බව මහාවංසය පවසන කරුණක්. පැරණි සිංහල බණ කතා  සහිත සීහළවත්ථුප්පකරණයේ ද කහවනු භාවිතය පිළිබඳ විවිධ තැන්වල කරුණු දැක්වෙනවා.

 මුල්ම කාලෙ රන් කහවනු කාසි- cbsl.gov.lk

අනුරාධපුර කාලෙ පාවිච්චි කළ කාසි වශයෙන් කහාපණ, ස්වස්තික කාසි, සිංහ කාසි, ලක්ෂ්මී ඵලක,  රන් කහවණු හෙවත් ලංකේශ්වර කාසි දැක්විය හැකියි. ඊට අමතර ව රට කාසි විශාල ප්‍රමාණයක් ද කැණීම්වලදී මෙන් ම අහම්බෙන් ද හමු වී තිබෙනවා.

කහාපණ හෙවත් කහවනු

ලංකාවේ මුලින් ම හඳුනා ගත් කාසි වර්ගය කහාපණ හෙවත් කහවනුව යි.  කාසියේ එක් පැත්තක හෝ දෙපැත්තේ ම කොටා තිබුණු සලකුණු හෝ සංකේත හේතුවෙන් හස්එබු කළ කාසි වශයෙන් ඒවා හඳුන්වනවා. ඒවා පුරාණ, ධරණ, කර්ෂාපණ ආදී නම්වලින් ද හැඳින් වී තිබෙනවා. කහාපණ කාසි අප රටේ භාවිත කර තිබෙන්නේ ක්‍රිස්තු පුර්ව 3 සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවස දක්වා කාලයේදී යි.

කහවනු කාසි ඇතුළත් මුද්දරයක්- lakdiva.org

 

මේ කාසි වටකුරු, ඍජුකෝණාශ්‍රාකාර හෝ චතුරස්‍රකාර ලෙස විවිධ හැඩවලින් නිපදවා තිබුණා. මේ කාසි තනා තිබෙන්නේ රිදීවලින්. ඉර, හඳ, ඇතා, බල්ලා, ගස ආදී විවිධ සංකේත මේ කාසිවල ඇතුළත් කර තිබුණා. ඉන්දියාවේ නිෂ්පාදිත කහාපණ කාසි ද ඒ කාලයේ වෙළෙඳුන් මාර්ගයෙන් මෙරටට ලැබී තිබෙන බවට විශ්වාස කෙරෙනවා.  

මෙරට කාසි නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දීය කාසි අනුගමනය කරමින් බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ. අනුරාධපුර යුගයේ මුල් භාගය වන එකල මේ රටේ අක්ෂර වශයෙන් භාවිත වුණේ බ්‍රාහ්මීය අක්ෂර මාලාවක්. අනුරාධපුරය, වෙස්සගිරිය, සීගිරිය, දැදිගම, මිනුවන්ගොඩ, අම්බලන්ගොඩ, තිස්සමහාරාම අකුරුගොඩ, මාන්තොට, පදවිය, ත්‍රිකුණාමලය වල්ලිපුරම්, කන්දරෝදෛ, යාපනය, මුලතිව් ආදී ප්‍රදේශ රැසකින් කහාපණ කාසි හමු වී තිබෙනවා.

තඹවලින් තැනූ ස්වස්තික කාසි- – cbsl.gov.lk

කහපණ කාසි තනා ඇත්තේ මිටියකින් තලන ලද තහඩුවකින් ලෝහ තීරු කපාගැනීමෙන්. ඉන්පසු කාසිවල බර එකිනෙකට සම කර තිබෙන්නේ කාසියේ මුළු කපා සකස් කිරීමෙනුයි.

ස්වස්තික කාසි

ක්‍රිස්තු වර්ෂ 1 සියවසේ පටන් තමයි ස්වස්තික කාසි භාවිත කර ඇත්තේ. කහාපණවලට අමතරවයි මේ කාසිවලින් ගනුදෙනු කර තිබෙන්නේ.  ඇතා සහ ස්වස්තික සලකුණ තමයි ඒවායේ ඇත්තේ. ඒ නිසා ස්වස්තික කාසි කියල හඳුන්වනවා. මෙය කුඩා තඹ කාසියක්. කහාපණ කාසියෙහි වරින් වර සඳහන් වුණු සලකුණුවලින් තෝරා ගත් කිහිපයක් එක මුද්‍රාවකට ගෙන අච්චු ගැසීමක් මෙම කාසිය නිර්මාණයේ දී සිදුකර ඇති බව දකින්න පුළුවන්.

ස්වස්තික කාසිවල සලකුණු- sirimunasiha. WordPress.com

 

කාසියේ එක් පැත්තක ඇත්රුව දක්වා ඇත්තේ ගමන් කරන ආකාරයකින්.  අඩ සඳ ලකුණු තුනකින් සැකසූ දාගබක් ද ස්වස්තිකයක් ද සතරැස් කොටුවක් සහිත අතු තුනකින් යුත් බෝගසක් ද මේවායේ දක්නට ලැබෙනවා.

කාසියේ අනෙක් පැත්තේත් ස්වස්තිකයක්, ත්‍රිශූලයක සටහනක් හා දාගබක සටහනක් ඇතුළත්. මුදල් ඒකකයක් ලෙස ගත්විට මෙම කාසි ද කහාපණ වර්ගයට අයත් කාසි විය හැකිබව ඉතිහාසඥයන් පවසනවා.

සිංහ කාසියක දෙපැත්ත- cbsl.gov.lk

සිංහ කාසි

අනුරාධපුර යුගයේදී හමුවන තුන්වැනි කාසි වර්ගය තමයි  සිංහ කාසි. සිංහ කාසි භාවිත කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 3 – 4 සියවස්වල යි.  අනුරාධපුර කැණීම්වලදීත් උතුරු පළාතේ කැණීම්වලදීත් මෙම වර්ගයට අයත් කාසි සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මෙම කාසි නිෂ්පාදනය කර තිබෙන්නේ තඹ ලෝහයෙන්. කාසියේ එක් පැත්තක ඇත්තේ සිංහ රුවක් සහ අනෙක් පැත්තේ කුඩා තිත් තුනක් හෝ හතරක් දක්නට ලැබෙනවා. එම තිත්වලින් කාසියේ වටිනාකම දක්වා ඇති බව අනුමාන කළ හැකි යි. කාසියේ විශ්කම්භය අඟල් 1/2 – 3/4 පරාසයක පවතින අතර බර ග්‍රේන්ස් 15-40 පමණ වෙනවා. අනුරාධපුරයෙන් සහ උතුරේ කරන ලද කැණීම්වල දී සිංහ කාසි හමු වී තිබෙනවා.

කාසියට පැමිණි ලක්ෂ්මී -vcoins.com

ලක්ෂ්මී දේවිය කාසි

ක්‍රිස්තු පූර්ව 3  සිට ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවස තරම් ඈත කාලයේ යි කාන්තාවකගේ රූපයක් සහිත කාසි ප්‍රථම වරට ලංකාවේ සංසරණය වී තිබෙන්නේ. නෙළුම් මලක් මත සිටින මේ කාන්තා රුව දෙපසින් පැන නැගි නෙළුම් දඬු දෙකක් දෑතින් අල්ලාගෙන සිටින ආකාරය නිරූපිත යි. කාසිවල මුහුණත සිටින කාන්තාව ලක්ෂ්මී දේවිය ලෙස යි සැලකෙන්නේ. එම නිසා මෙම කාසි ලක්ෂ්මී තහඩු කාසි ලෙසින් හැඳින්වෙනවා.

මේවා වාත්තු කර හෝ තඹ තහඩු මත අච්චු ගැසූ ආකාරයට හෝ නිෂ්පාදනය කර තිබෙනවා.  වාත්තු කළ වර්ගයට අයත් කාසියක දිග අගල් 1.25ක් වෙනවා. කාසි සඳහා 60%ක් ඊයම් ද සීයයට 15ක් තඹ ද මිශ්‍ රකර තිබෙනවා.  මේ කාසි ලොකු ඒවා අයුරින් මෙන් ම කුඩා කාසි ද දැකගත හැකි යි.

විවිධ ප්‍රමාණ  5 – 6කින් ලක්ෂ්මි තහඩු නිකුත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ්මී  නිරූපණය කරන්නේ අත් හතරකින් බවත් මේ නිසා   කාසියේ සිටින්නේ පාර්වතී හෝ මායා දේවිය වියහැකි බවත් අප රටේ නාණක විශේෂඥයකු වන  ආචාර්ය කාවන් රත්නතුංග පවසනවා.  අනුරාධපුරය, යාපනයේ වල්ලිපුරම්, තිරුකේතීශ්වරම් සහ කන්තරෝඩෙයි, මන්නාරම, මුලතිව්, හලාවත, තිස්සමහාරාමය ඇතුළු ප්‍රදේශවලින් ලක්ෂ්මී කාසි හමු වී  තිබෙනවා.

රන් කහවනු- lakdiva.org

රන් කහවනු හෙවත් ලංකේශ්වර කාසි

ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ සිට 8 වන සියවස දක්වා කාලයේ දී පමණ ලාංකිකයන් නිෂ්පාදනය කළ “කහවනු” නමින් හැඳින්වෙන රන් කාසි වර්ගයක් සංසරණයේ පැවතුණු  බව කැණීම්වලින් ලැබුණු සාධක මත හෙළි වී ඇති කරුණක්. 

ඒවා රන් ලෝහයෙන් හා රන් ආලේපිත කොට නිපදවා තිබුණු අතර වටිනාකම අනුව කහවනුව, අඩකහවනුව, දෙ අක හා අක වශයෙන් භාවිතයට ගෙන තිබෙනවා. කාසියේ මුහුණත නෙලූම් දඬුවක් මත සිටින රුවක් නිරූපිත යි. එම රූපය දෝතියක් වැනි ඇඳුමක් ඇඳ සිටිනවා.  සමහරුන් මත පළ කරන්නේ කාසියේ මුහුණත ධනයට අධිපති යැයි සැලකෙන කුවේරගේ රූපය ද අනෙක් පස සංඛ හා පද්ම රුව සංකේතවත් කරන බව යි.

මන්නාරමෙන් ලැබුණු පාණ්ඩ්‍ය කාසි- tamilguardian.com

අනුරාධපුර යුගයේ විදෙස් කාසි

අප රටේ පුරාවිද්‍යා ස්ථාන වන සීගිරිය, අනුරාධපුර, මන්නාරම මාතොට වැනි ස්ථානවලින් වගේම රටේ තවත් ස්ථාන කිහිපයකින්ම විදේශ කාසි හමුවී තිබෙනවා. මන්නාරම මුරුන්කන්හි නානට්ටන් ප්‍රදේශයේ ගෙපලක් කැපීමේ දී 7- 8 සියවසට අයත් දකුණු ඉන්දියානු පාණ්ඩ්‍ය කාසි 1850ක මුට්ටියක් පසුගිය අවුරුද්දේ දී හමුවුණා. එයට පෙර වවුනියාවේ මකේකාරම්පලෙයි ප්‍රදේශයේ දී බැකෝ යන්ත්‍රයකින් පොළොව හාරන විටත් කාසි 120ක් සහිත මුට්ටියක් හමු වී තිබෙනවා.

අනුරාධපුරයෙන් ලැබුණු චීන කාසි- cbsl.gov.lk

පුරාණ ශ්‍රී ලංකාව නාවික මධ්‍යස්ථානයක් ලෙස හිමි කර ගෙන සිටි ඉහළ ස්ථානය පිළිබඳ ව මේ රට කාසි සාක්ෂි දරනවා.  ජාත්‍යන්තර වෙළඳාමේ දී ගනුදෙනු සඳහා යොදාගත් ග්‍රීක, රෝම, චීන, අරාබි සහ ඉන්දියානු කාසි රැසක් අනුරාධපුර, මිහින්තලේ, සීගිරිය, කුරුණෑගල, මාතර, අකුරුගොඩ සහ බදුල්ල යන ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙනවා.

කවරයේ ඡායාරූපය: පුරාණ කාසි කිහිපයක්- youtube.com

මූලාශ්‍ර:

ලංකාවේ මිල මුදල්- ලීලානන්ද කල්දේරා

cbsl.gov.lk

divaina.com

Related Articles