නූතන ලොවෙත් ලෙන්වල දිවි ගෙවූ අස්මඩලේ මිනිස්සු

මෙතරම් දියුණු සයිබර් යුගයක පවා ගල්ලෙන්වල දිවි ගෙවන ජනතාව සිටින ඉසව්වක් ගැන ඔබ දැන සිටියා ද? කෑගල්ල අරණායකට නුදුරු අස්මඩල ගමේ පැතිරුණු ලෙන් කිහිපයක ම මෑතක් වන තෙක් ජනතාව ජීවත් වුණා. විශේෂත්වය තමයි ඔවුන් කදිමට කටාරම් කෙටූ ලෙන්වල නිවෙස් තනාගෙන දිවි ගෙවීම. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික මානව චිත්‍රත් මේ අවට ලෙන්වල දකින්න ලැබෙනවා.

ගමට යන පාර – Kusumsiri Wijayawardhana

ගමන් මඟ

අස්මඩලට මාවනැල්ලෙ ඉඳලා කිලෝමීටර් 15ක විතර දුරක් තියෙනවා. මාවනැල්ල – අරණායක පාරෙදි මුණගැහෙන උස්සාපිටිය මංසන්ධියෙන් දකුණට හැරිලා ගල්අතර හරහා තුත්තිරිපිටිය හන්දියට යා යුතුයි. එතැන සිට තවත් කිලෝ මීටර 4ක් ගමන් කර අස්මඩලට ළගාවිය හැකි යි.  

නැත්නම් කෑගල්ල- බුලත්කොහුපිටිය පාරෙන් පැමිණ හෙට්ටිමුල්ල ගම්සභා හන්දියෙන් හැරී දීවෙල හරහා ආ යුතු යි. අස්මඩල හන්දියෙන් රථවාහන ගමන් කළ හැකි පාර නිමා වෙනවා. එතැන සිට බොරළු පාරවල් ඔස්සේ ගමයි ගමට පියමං කළ යුත්තේ. 

 ගල්ලෙන් පිරි ගමක් – Kusumsiri Wijayawardhana

නම හැදුණු හැටි

කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති කඳුගැට, පර්වත හෙල්වලින් පිරුණු පළාතක් තමයි අස්මඩල කියන්නේ. පුරාණ බෙදීම් අනුව මේ ප්‍රදේශය ගල්බොඩ කෝරළේ එගොඩපොත පත්තුවට අයත්.  අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ ගම පසුබිමෙන් ඌරාකන්දත්, එයට තරමක් දුරින් වාකිරිගල පර්වතයත් පිහිටා තිබෙනවා. බතලේගලත් තියෙන්නේ මෙයට එතරම් ඈතින් නොවෙ යි. තුරු ගොමු සහිත වන වදුලුවලින් හා පහත නිම්නවල කළ කුඹුරු යායන්ගෙන් සපිරි මේ ගම්මානය ඉතා සශ්‍රීක යි.

අදටත් මේ පෙදෙස පිටිසර සිරියාවකින් යුක්ත බව එහි යන ඕනෑම කෙනකුට පැහැදිලි වෙනවා. ගම පිහිටා තිබෙන්නේ ඌරාකන්ද බෑවුමේ. සබරගමු කඳුවැටිවලට අයත්වන ඌරාකන්ද මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම නියෝජනය කරන කන්දක්. මේ අවට උස මුහුදු මට්ටමේ සිට මීටර් 300ක් පමණ වෙනවා. හෙල්මලු කුඹුරු, ගෙවතු වගා ආදිය සහිත වටපිටාව සුන්දර දර්ශනයක් මවා පානවා.

ජනප්‍රවාද

අස්මඩල කියන නම හැදුණු හැටි ගැන කියැවෙන ජනප්‍රවාදය මෙසේ යි:

 රාවණා රජු  දඩයමේ යන අවස්ථාවක විශාල  ඌරෙක් දුවනවා දැකලා තියෙනවා. රජ්ජුරුවො ඌරට විදින්න දුන්න සකස් කරන කොට බියවුණු ඌරා රජතුමාගේ පරිවාර යක්ෂයෙක් ළඟින් ම පැනලා දිව්ව ලු.  පැනලා යන ඌරා ගැන පරිවාර යකා සැලකිල්ලක් නොදැක්වූ නිසා  කේන්තිගත් රජු දුනුදිය ඇද  යක්ෂයාට විද්ද ලු.  යක්ෂයාගේ සිරුරෙන් ගලායන ලේ අස්සක් මුල්ලක් නෑරම ගලා ගිය හින්දා  හින්දා එම ප්‍රදේශය ‘අස් මඩ ලේ’ වූ බවත්, පසුව ‘අස්මඩල’ යන නමින් හඳුන්වන්නට වූ බවත් ගමේ පැරැන්නන් කියනවා.  

පසුකාලීනව විදේශ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂාව සොයා ගෙන ආපු රජවරුන් මේ ප්‍රදේශයේ සැඟවිලා සේනා සංවිධාන කරලා තියෙනවා. පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු රජුගේ බලකොටුවක් වූ වාකිරිගල ඇත්තේ මේ ළඟින්. ඒ අවස්ථාවල ‘රණතුරඟුන්’ ඒ කියන්නෙ යුදඅශ්වයන් පුහුණු කරපු ප්‍රදේශය පස්සෙ ‘අස්මඩල’ වුණු බව තවත් ජනප්‍රවාදයක පැවසෙනවා.

 සෙල්ලිපි සහිත ලෙනක්- Kusumsiri Wijayawardhana

අස්මඩලේ ලෙන්

මෙම ප්‍රදේශයේ කඳු බෑවුමේ පිහිටි ලෙන් 10ක් ප්‍රාග් ඓතිහාසික සහ ඓතිහාසික යුගයේ සාධක සහිත ස්මාරක වශයෙන් අපට වැදගත් වෙනවා. ඒ විතරක් නොවේ. ප්‍රාග් ඓතිහාසික සුසාන බිමක් ද මෙයට නුදුරින් දශක කිහිපකයකට පෙර සොයා ගත්තා. ඒ අතර ම මෙම පුරාණ ලෙන්වල නිවාස තනා ගෙන පවුල් ජීවත්විමත් දකින්න ලැබුණා. මෑතක් වනතෙක් එසේ ජනතාව ජීවත්ව සිටියා. මේ ලෙන් සියල්ලම පිහිටා ඇත්තේ පෞද්ගලික ඉඩම්වල යි. ඒවා පුරාවිද්‍යා රක්ෂිත ස්මාරක ලෙසත් නම්කර තිබෙනවා. ලෙන්වල සෙල්ලිපිවලට හානි නොවන සේ ජීවත් වන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවැසියන්ට එකල උපදෙස් ලබාදී තිබුණා.

අස්මඩලේ කඩපෙළ අසල පිහිටි පුරාණ අම්බලම ළඟින් ගම්මානය හරහා ඉහළට ඇදෙන තරමක් කඳු සහිත පාරක ටික දුරක් යද්දි අස්මඩල පුරාණ විහාරය හමුවෙනවා. එතැනින් ඉහළ ප්‍රදේශයේ ඌරාකන්ද බෑවුමේ තමයි ගල් ලෙන් පිහිටලා තියෙන්නෙ.

ගල්ලෙන නිවසක් බවට පත්කර ගත් අන්දම- Kusumsiri Wijayawardhana

ගල්ලෙනේ ගෙදර

බුරුල්ලහේන නම් ඉඩමේ පිහිටි ලෙන හඳුන්වන්නේ ගල්ලෙනේ ගෙදර කියල යි. එම ස්ථානය පිහිටා ඇත්තේ අස්මඩල හන්දියේ සිට කිලෝ මීටර 2ක් පමණ දුරින්. කරාබු, අඹ, කෝපි වැනි ගහකොළ අවට පැතිර තිබෙනවා. වසර දෙදහසකට පෙර භික්ෂුන් වහන්සේ වාසය කළ කටාරම් කෙටූ ලෙනක් කමයි එසේ නිවසක් බවට හරවාගෙන තිබුණේ.

එම ලෙන මුලින්ම මිනිස් වාසයක් බවට පත්කර ගත්තේ කිරා නම් පුද්ගලයෙක් 1900 මුල් භාගයේ බවයි එහි නිවැසියන් පවසන්නේ. අඩි 15ක් උසින් යුත් ලෙන අඩි 14ක දිගකින් ද අඩි 20ක පළලකින් ද යුක්ත යි. එහි කටාරමට ඉහළින් සෙල්ලිපියක් කොටා තිබෙනවා. ක්‍රි. පූ. 2 සියවසට අයත් එහි සඳහන් වන්නේ ශුම තෙරහ ලෙණෙ ( ශුම තෙරුන් වහන්සේගේ ලෙන ) කියල යි.

ලෙන් නිවස ඇතුළත කාමරයක්- – Kusumsiri Wijayawardhana

වසර කිහිපයකට පෙර එහි ගිය අපට ගඩොලින් බිත්ති බැඳ කාමර වෙන් කර ඇති ලෙන් ගෙදර ඇතුළත ඉතා සිසිල් බව අත්දකින්නට ලැබුණා. මේ නිවස කාමර තුනකින් යුක්ත යි. නිවස ඉතා පිරිසුදුවට පවත්වාගෙන යන බවත් පෙනුණා. මේ වනවිට එම නිවසේ පදිංදිකරුවන් ලෙනෙන් ඉවත්වී ඒ අසල තැනූ නිවසක පදිංචිවුණු බව යි වාර්තා වන්නේ.

එම නිවසට නුදුරින් තවත් නිවසක් බවට පත් වූ ලෙනක් තිබුණත් එය වසර කිහිපයකට පෙර භාවිතයෙන් අත්හැර නිවැසියන් ඒ අසල නිවසක් ඉදි කර ගන තිබුණා.

 ලෙනක කොටා ඇති සෙල්ලිපියක්- Kusumsiri Wijayawardhana

සෙල්ලිපි සහිත ලෙන්

අස්මඩලේ පිහිටි තවත් ගල් ලෙන් බලන්න නම් ගම්මානය හරහා තවත් ඉහළට කඳු බෑවුම තරණය කළ යුතු යි. මේ කඳු බෑවුම්වල දකින්න ලැබෙන්නේ පෞද්ගලික ඉඩම්. පුරාණයේ පටන් ම ජනතාව මේ ගම්මානවල පදිංචි ව සිට තිබෙනවා. මේ සමහරක් ලෙන් අදටත් දර දැමීමට වගේ දේවල්වලටත් යොදා ගෙන තිබෙනවා.

අඩි පාර ඔස්සේ ඉදිරියට ගමන් කරන විට හමුවෙන ගල්පතුරු දෙකක් එකට හේත්තු වී සැදුණු ලෙන වැදගත් වන්නේ සෙල්ලිපියක් පිහිටි නිස යි. මේ ලෙන පිහිටි පර්වතය මත වගේම පව්ව වටාත් ගස්වැල් වැවී වන ගොමුවක් බවට පත්වෙලා. දිගින් අඩි 50ක් පමණ ද උසින් අඩි 15ක් පමණ ද වන එම ලෙන කටාරම් කෙටූ එකක් නම් නොවෙයි.  එහි ලෙන් බිත්තියේ තමයි සෙල්ලිපිය  කොටා තිබෙන්නේ:

අය උතිය පුත අය දුශතරහ රජිය ශ කරිතෙන ශගශ දිනෙ..ලෙස එහි සඳහන්. මෙහි අක්ෂර 8ක් පමණ ගෙවී ගොස් ඇති නිසා සම්පූර්ණ අර්ථය ගැනීමට අපහසුයි.

උත්තිය කුමාරයාගේ පුත් දුහතර කුමරුගේ රාජ්‍ය සමයේ කරවන ලද ලෙන සංඝයා වහන්සේට දෙන ලදී යන අරුත ගත හැකි යි. දුහතර කුමරු ගැන සඳහන් සෙල්ලිපි දෙකක් කෑගල්ල දිස්ත්‍රික්කයට ම අයත් යටහලෙන සහ ලෙනගල යන විහාර ලෙන්වලින් ද හමු ව තිබෙනවා. ඔහු ක්‍රිස්තු පූර්ව යුගයේ සිටි ප්‍රාෙද්ශීය පාලකයකු බව පේනවා. මෙම ලෙනට නුදුරින් කැලයට යට ව පැවති  තවත් කුඩා කටාරම් කෙටූ ලෙනක ද සෙල්ලිපියක් දැකගත හැකි යි. පරුමක දුශජ ජය පරුමකල තිශ ශගශ දිනෙ ශගශ යන්න එහි කොටා තිබෙනවා. එහි තේරුම ප්‍රධානී දුශජගේ බිරිය වූ තිසා ආර්යාවගේ ලෙන සංඝයාටයි  යන්නයි.      

7 ප්‍රාග් ඓතිහාසික චිත්‍ර- Kusumsiri Wijayawardhana

ප්‍රාථමික ලෙන් චිත්‍ර

මේ ලෙන් ළඟින් කඳු බෑවුමේ ඉහළට ගමන් කරන අඩි පාර ඔස්සේ ටික දුරක් යද්දි දකුණු පැත්තෙන් කරාබු වගා කරපු ඉඩමක් පිහිටා තිබෙනවා. එය හඳුන්වන්නේ ගල්ගොඩහේන නමින්. එහි පිහිටි දිගු ලෙන ඇතුළත අඳුරු යි. එය අඳුරු ගුහාව ලෙස නම් කර තිබෙනවා. එහි වවුලන් බහුලව වාසය කරනවා.

එහි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යයි සැලකිය හැකි කුරුටු සෙල් චිත්‍ර රාශියක දැකගත හැකි යි. අඳුරු වටපිටාව නිසා මේවා නැරඹීමට විදුලි පන්දමක් අවශ්‍ය වෙනවා. සත්සර ඉලංගසිංහ සඳහන් කරන්නේ මෙහි චිත්‍ර සටහන් 11ක් ඇති බව යි. ඉර , හඳ, දුන්න, අඩසඳ ආදිය හා හඳුනාගත නොහැකි රූප එහි ඇතුළත් වෙනවා.

8 අඳුරු ගුහාවේ චිත්‍ර- ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර- සත්සර ඉලංගසිංහ කෘතියෙනි

මුක්කුගල ලෙන

තවත් දුරක් ඉහළට ගියාට පස්සේ අපූරු හත්තත් වැනි පිහිටීමක් සහිත තවත්  ගල් ලෙනක් දැකගත හැකි යි. එක්ගලක් මුක්කුවක් සේ සවි වී ඇති නිසා මුක්කුගල කියලත් එයට කියනවා. මෙහි පැතලි ලෙන් බිත්තියේ සීරුම් චිත්‍ර සටහන් 24ක් දැකගත හැකියි. ඒ අතර ඉහළින් ම 1900 මුල් යුගයේ කොටන ලද සිරිපතුල් සටහනක් ද තිබෙනවා.

මුක්කුගල ලෙන –  Kusumsiri Wijayawardhana

 

මේ චිත්‍ර සටහන් ප්‍රාග් ඓතිහාසික මානව ලක්ෂණ සහිත යි. අලව්ව හක්බෙලිකන්දේ ලෙනක ද වරකාපොළ දොරවක ලෙනේ ද මේවාට සමාන චිත්‍ර සටහන් හමු වී තිබෙනවා. ඉතා නිදහස් සීරුම් සටහන් ලෙස මේවා පේනවා. චලන ඉරියව් සහිත සරල මානව රූප, ඊතල සහිත මිනිසුන්, උරග හැඩතල මේ අතර තිබෙනවා.

වසර කිහිපයකට පෙර ජනතාව ජීවත්වූ ලෙනක්- Kusumsiri Wijayawardhana

ප්‍රාග් ඓතිහාසික සුසානය

අස්මඩල අවට ප්‍රදේශයේ ආදි මානව ජනාවාස තිබුණු බවට සාධක මේ ලෙන් චිත්‍රවලින් පැහැදිලි යි. එම ලෙන් පසුකාලීනව සෙල්ලිපි කොටා භික්ෂුන් වහන්සේලාට පූජා කර තිබෙනවා.  ඌරාකන්ද අවට ලෙන්වල ජීවත් වූ මේ මානවයන් ආදාහනය කළ බව සිතිය හැකි මහා ශිලා සංස්කෘතියට අයත් ( ඉබ්බන්කටුව මෙන්) සුසානයක් මේ කිට්ටුවෙන් ම පිහිටා තියෙන වත්තේගෙදර කියන ගමෙන් 1960 දී සොයාගත් බවත් එය පුරාවිද්‍යා තහනම් ඉඩමක් කිරීමට තීරණය කළ බවත් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර 1966-67 පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

 එය ඉටුවී නැති අතර පසුකාලීනව එම සුසානයට අයත් ගල්පතුරු ඉවත් කර විනාශ කර දමලා. මේ නිසා අවුරුදු 3,000ක් විතර පැරැණි සුසානය සම්පූර්ණයෙන් විනාශ වි ගිහින්. මැරුණු තැනැත්තාගේ භෂ්මාවශේෂ වගේම වෙනත් දේවල් කුඩා මුට්ටියකට දමලා වළක් කපලා තැන්පත් කරලා ගල් පතුරකින් වහලා තමයි එම සොහොන් නිර්මාණය කරලා තිබී ඇත්තේ. අස්මඩල බස් නැවතුමේ සිට කිලෝමීටර් එකහමාරක් විතර දුරින් තියෙන බෑවුම් සහිත ඉඩමකයි මේ සුසානය පිහිටා තිබුණු බව පැවසෙන්නේ. 

කවරයේ ඡායාරූපය: නූතන ගල්ලෙන් ගෙදරක් සහ පැරණි ලෙනක්- ( වසර කිහිපයකට පෙර ගත් සේයාරුවකි) -Kusumsiri Wijayawardhana 

මූලාශ්‍ර:

ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර- සත්සර ඉලංගසිංහ

රජමහා විහාරාරාම- කුසුම්සිරි විජයවර්ධන

තංගමලේ අබිරහස් රත්තරං කන්ද- ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

Related Articles