එකමුතුකම සහ රණකාමීත්වය කියාදුන් පුරාණ අවුරුදු ක්‍රීඩා

පුරාණ ගොවි සමාජයේ අලුත් අවුරුදු කාලය සැණකෙළි සිරි ගත්තා. බක් මාසය ළං වන විට අස්වැන්න කපා ගෙන ගොවීන් සිටියේ විවේකයෙන්. මේ විවේක කාලය වෙල් ඉපනැල්ලේ මෙන් ම ගමේ හිස් බිමේත් ක්‍රීඩාවලට යොදා ගත්තා. රණකාමිත්වය, ජවසම්පන්න බව, එඩිතර බව, දරා ගැනීම, එකමුතු බව, විනෝදාස්වාදය ආදී සංකල්ප හරහා මේ ජනක්‍රීඩා පරිණාමය වෙමින් ක්‍රියාත්මක වුණා.

දඹදෙණි යුගයේ පැවති ජන ක්‍රීඩා ගැන ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වනවා. මහනුවර යුගයේ ජනප්‍රිය ව පැවැති බොහෝ ක්‍රීඩා රණකාමී බවක් පළ කරනවා. එවකට පැවති විදෙස් ආක්‍රමණයන්ට එරෙහි ව ජනතාව සූදානම් කිරීමක් අංගම්පොර වැනි ක්‍රීඩාවලින් ද සිදු වුණා.

මේ පුරාණ ජන කෙළි කිහිපයක් ගැන විමසුමක්.

 පුරාණ ගමක්- alamy.com

ලාලි කෙළිය

දඹදෙනි යුගයේ දී ජනාව ඉතා සුලබ ව කළ ක්‍රීඩාවක් තමයි ලාලි කෙළිය කියන්නේ. මෙය බෝලවලින් කරන ක්‍රිඩාවක්. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, කව්සිළුමිණ ආදී කෘතිවල මේ ක්‍රීඩාව ගැන සුළු විස්තර සඳහන් වෙනවා. මේ බෝල ලාකඩවලින් තනන්නට ඇති බවට සද්ධර්මරත්නාවලියේ පාඨයකින් පේනවා. මේ ක්‍රීඩාවේ දී තියුණු පරික්ෂාකාරී බවක් අවැසි යි. ක්‍රීඩා කරන විට ලාලි බෝල දෙස ම ඇස් තබාගත යුතු වුණා.

බෝල තුනක් එකිනෙක උඩ දමා බිම නොවැටෙන ලෙස ඇල්ලීම කළ යුතු වුණා. එය නැවත නැවත කළ යුතු වුණා. මෙය එකල ස්ත්‍රීන්ට විශේෂ වූ ක්‍රීඩාවක් සේ සැලකුණා. කුඩා ළමයින් ද මෙහි නිරත වී තිබෙන බව සඳහන්. මෙහි අරමුණ නම් තියුණු මානසික එකඟාවකින් බෝල බිම වැටෙන්නට නොදී අහසේ ම තබා ගැනීම යි.

 අදටත් ජනප්‍රිය පංච කෙළිය- dinamina.lk

රට ඇල්ලීම හෙවත් ලුණු පැනීම

මෙයත් අවුරුදු කාලෙ විවේකයෙන් සිටින විට ගමේ කණ්ඩායම් දෙකක් එකතු වී කළ ක්‍රීඩාවක්. ක්‍රීඩා පිටිය මැද ගල්ගොඩක් තිබෙන අතර එය හඳුන්වන්නේ ලුණු ගොඩ කියල යි. එක් පිලක අයෙක් ලුණු ගොඩ පසුකොට අනෙක් පිල පැත්තට ගොස් ඒ පිලේ අයකුට තට්ටු කොට පැන ඒමට උත්සාහ කර යි. ඒ පිලේ අය ඔහු බදා අල්ලා ගැනීම සිදුවෙනවා.

එවිට නායකයා අරිකී යයි පවසන අතර ඔහු පරාජය වූ කෙනකු ලෙස පිටියෙන් ඉවතට යා යුතු වෙනවා. විරුද්ධ පිලට ගිය කෙනා අල්ලා ගත් විට ඔවුන්ගෙන් මිදී පැන ඒමට හැකි වුණොත් ඔහු ජය ලබන අතර ඔහු අල්ලා ගත් විරුද්ධ පිලේ ක්‍රීඩකයන් දැවී යනවා.

  මේවර කෙළියේ යෙදෙන අද කාලේ තරුණියෝ – youtube.com

මේවර කෙළිය

සිංහල අවුරුදු කාලයේ අතීත ග්‍රාමීය සමාජයේ බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස මේවර කෙළිය පැවතුණා. මෙය මහනුවර යුගයේ සිට පැවති බවයි පේන්නේ. මේ සඳහා එක්වන්නේ කාන්තාවන් පමණ යි. ජන කවි කියමින් තමයි මේ ක්‍රීඩාවට එක්විය යුතු වන්නේ.

එක් කාන්තාවක් තමන්ගේ නැති වූ වලල්ල හෙවත් මේවරය සෙවීම මෙහි කතා පුවත යි. තමන්ගේ වළල්ල වෙනකකු දුටුවා දැයි ඇය කවියෙන් ප්‍රශ්න කරයි. තමන් එය නුදුටු බවට අනෙක් කාන්තාවන් කවියෙන් ම පිළිතුරු දෙනවා. නමුත් එම වළල්ල සඟවා ගෙන සිටින්නේ ද ඇයගේ ම මිතුරියක්.

 

දෙවියන් වෙනුවෙන් පවත්වන පොර පොල් කෙළිය – aruna.lk

ක්‍රීඩාවේ තවත් තේමාවකට අනුව මේවරයා යනු, කාන්තාවගේ මෙහෙකරුවා යි. තමන්ගේ මෙහෙකරුවා සොයා දෙන්නේ දැයි ඇය මිතුරියන්ගෙන් අසනවා. එය මේවර කෙළියේ එන කවිවලින් පැහැදිලි වෙනවා. එනම්, ”වළ ගියදෝ මගෙ මේවරයා’’ යන්නෙන් එම අදහස ද ඉස්මතු වෙනවා. සංවාද ස්වරූපයේ කවි මේවර කෙළියේ දී අසන්නට පුළුවන්.

සාර සදිසි පෙති පේර නෙළන කල
වළ ගිය දෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවාන් පල්
අප දුටුවේ නැත මේවරයා
මුං වතු කන්දේ මුං නෙළනා කල
වළ ගිය දෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවාන් පල්
අප දුටුවේ නැත මේවරයා..

මෙසේ ගායනා කරමින් කණ්ඩායම වටේට යන කාන්තාව ගීතය අවසානයේ ඔට්ටුයි කියමින්, සැඟවූ වළල්ල ගැනීමට පොර බැදීමක් කරනවා. වළල්ල සොයා ගත් කාන්තාවට ජය හිමි වෙනවා.

බුහුකෙළියේ යෙදෙන තරුණයෝ – ndb bank facebook page

බුහු කෙළිය

මෙම ක්‍රීඩාව මට්ට කැඩීම, ජල්ලි ගැසීම යනුවෙනුත් හඳුන්වනවා. ගොයම් කපා ගත් වෙල් ඉපනැල්ලේ තමයි බුහු කෙළිය සිදු කරන්නේ. පිරිමි පාර්ශ්වය පමණක් සහභාගි වන මේ ක්‍රීඩාව ශක්තිමත් බව සහ කණ්ඩායම් හැඟීම මතු කරනවා. එහි එක් පිලකට 5 දෙනාගේ සිට 20 දක්වා සහභාගි විය හැකි යි. මෙහිදී බෝලය සඳහා යොදා ගන්නේ උණු අළු පල්ලේ දමා තම්බා ගත් ලොකු දොඩම් ගෙඩියක් හෝ ජම්බෝල ගෙඩියක්. උඩු පිල සහ යටි පිල ලෙස දෙපිලකට බෙදී ක්‍රීඩා කිරීම සිදුවෙනවා.

දෙපිලටම අවශ්‍ය වන්නේ පිල්කණුව රැක ගනිමින් බෝලය අල්ලා ගැනීමට යි. කුඹුරේ නියරවල් තමයි සීමා ලෙස ගණන් ගන්නේ. දිනුම් කණුව තියෙන්නේ පිටියේ පළල පැති දෙක යි. ඒවා උඩු පිල හා යටි පිල ලෙස නම් කරනවා. විරුද්ධ පක්ෂයේ උත්සාහය වෙන්නේ දිනුම් පැත්තෙන් ඔබ්බට බෝලය යවන එක. පන්දුව විසි කරන පිලේ නායකයා බුස්ස නොහොත් බෝලය ගෙන අනිත් පිල දෙසට හැකි පමණ ඈතින් වැටෙන විදිහට විසි කළ යුතු යි. බෝලය බිම වැටෙන්න ඉස්සර අල්ලා ගන්නවානම් ඒ අය බෝලයත් අරගෙන විරුද්ධ පක්ෂය එය විසි කළ තැනට දුව ගෙන එනවා.

 ජන ක්‍රීඩාවක නිරත ළමයි- දරුවාගේ වර්ධන අඩිතාලම facebook page

 

පන්දුව විසි කළ අය පස්සට දුවලා ගිහින් පිල් කනුව රකිනවා. ඒවර ඔවුන් බෝලය රැකගෙන අහසේදි ම අල්ලා ගැනීමට උත්සාහ කරනවා. බෝලය එසේ  අල්ලා ගැනිමට බැරි වුවහොත් විසි කළ පක්ෂයට දිනුම හිමි වෙනවා. දිනුම් ලැබුවෝ පරාජය වූ අයට උසුළු විසුළු සමච්චල් හා වහසි බස් කියමින් පිටියේ මැදට නැවතත් පැමිණ ක්‍රීඩාව පටන් ගන්නවා.

ක්‍රීඩාවෙන් දිනුම් ලබන පිල පරාජය වූවන්ට නොයෙක් සමච්චල් හා උපහාස වදන් කියමින් කෑගසමින් ඇනුම් පද කියමින් ගම පුරා යනවා. නමුත් මේවායේ දි රණ්ඩු දබර නම් සිදුවන්නේ නැහැ. 

කවරයේ ඡායාරූපය - බුහුකෙළියේ අවස්ථාවක්- everceylon.com

මූලාශ්‍ර :
සිංහල ත්‍රාසජනක ක්‍රීඩා- ප. එ. ප. දැරණියගල
මධ්‍යකාලීන සිංහල ජමාජය-ඇම්. බී. ආරියපාල
silumina.lk

Related Articles