මේ දවස්වල අලුතෙන්ම ඇති වෙලා තියෙන කතා බහ තමයි පසුගිය බංග්ලාදේශ ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේදී මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ කරපු විරෝධතාවය. සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව බොහෝ උද්ඝෝෂණ පැවැත්වුණත් මේ වැඩේ නිසා ඒ සංවාදය අලුත් පැත්තකට හැරුණා. මේ කරපු වැඩේ සුදුසුද, නුසුදුසුද කියන එක ගැන තර්ක විතර්ක ගොඩක් තිබුණත් විරෝධතාවක් විදිහට ගත්තාම මේක මෙතෙක් අපි ශ්‍රී ලංකාවේදී නොදැකපු එකක් කියන එක නම් කවුරුත් පිළි ගන්නවා.

ක්‍රිකට් තරඟයක් අතර තිබුණු අමුතුම විදිහේ විරෝධතාව. රූපය : fb.com – Dr. Nalinda Jayathissa

ශ්‍රී ලංකාවේ අපිට උද්ඝෝෂණ කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. බෝඩ් එල්ලගෙන, සටන් පාඨ කියමින් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න උද්ඝෝෂණය කරන පිරිස් නොදැකපු කෙනෙක් අපි අතරේ නැතිව ඇති. අපි හැමදාම දකින උද්ඝෝෂණවල පැහැදිලි වෙනසක් කියලා දකින්න තිබුණේ විසිරිලා යන විදිහ විතරයි. සමහරු උද්ඝෝෂණය අවසන් කරලා පිට වෙලා යනවා, සමහරුන්ව පොලීසිය ඇවිත් බලෙන් පිටමං කරනවා.

ඇති තරම් උද්ඝෝෂණ දැකලත් ගණන් ගන්නේ නැති උදවිය පවා මේ සිද්ධිය ගැන උනන්දුවක් දක්වන්න පටන් ගත්තේ අලුත් විදිහකට මේ වැඩේ සිදු වුණු නිසායි. ලෝකය පුරාම උද්ඝෝෂණකරුවන්ගේ සලකුණක් වුණත් මේ වෙස් මුහුණ මීට කලින් අපේ රටේ විරෝධතාවකදී යොදා ගැනුණු බවට වාර්තා වෙලා නැහැ. මොරටුව සිසුන්ගේ විරෝධතාව හරිද වැරදිද කියලා තර්ක කර ගන්න එක ඔබටම භාර කරලා ඔවුන් නිසා අවධානයට ලක් වුණු මේ රැවුල්කාර වෙස් මුහුණ බිහි වීම පිටුපස කතාව ඔබට කියන්නයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ.

අධිරාජ්‍යයක් බය කළ ගයි ෆෝක්ස් සහ වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය

මහා බ්‍රිතාන්‍යය හිරු නොබසින අධිරාජ්‍යය විදිහට ලොකුවට ව්‍යාප්ත වෙන්න ගත්තේ 1800 ගණන්වලදී වුණත් ඒ ගමනේ මූලාරම්භය ඇති වුණේ 1500 ගණන්වලදීයි. පෘතුගාලය සහ ස්පාඤ්ඤය මුහුදෙන් එතෙර රටවල් බොහොමයක් අල්ලා ගනිමින් තමන්ගේ ආර්ථිකය දියුණු කර ගනිද්දී එංගලන්තයත් ඒ වැඩේට අත ගැසුවා. එංගලන්තය මූලික කරගෙන බිහි වුණු ප්‍රථම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කියලා සැලකෙන්නේ 1583-1783 කාල පරාසයයේ ඔවුන්ට යටත්ව පැවති රටවල් සමුදායයි.

කොහොම නමුත් අලුත් මහා බ්‍රිතාන්‍යයට යාන්තමින් අවුරුදු විසි දෙකක් සපිරෙනකොට සිදු වුණු දෙයක් නිසා මුළු බ්‍රිතාන්‍ය රදළ පෙළපතම සලිත වෙලා ගියා. ඒ තමයි රජතුමාව ඝාතනය කරන්න “ගයි ෆෝක්ස්” ඇතුළු පිරිසක් ගත්තු උත්සාහය. වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය, නැතිනම් “Gunpowder Plot” කියලා හැඳින්වෙන මෙය මහා බ්‍රිතාන්‍යයේ ඉතිහාසය වෙනස් කරන්න ලොකුම ඉඩකඩක් තිබුණු සිදුවීමක් විදිහට අදටත් ප්‍රසිද්ධයි.

මේ ඝාතනය සිදු කරන්න සැලසුම් කෙරුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙඩි බෙහෙත් භාවිතයෙන් පුපුරුවා හැරීමෙන්. කිහිප දෙනෙක්ම මේ වැඩේට එකමුතු වුණත් මේ වැඩේ වැදගත්ම කොටස වන වෙඩි බෙහෙත් සොයා ගැනීම, ඒවා පාර්ලි‌‌මේන්තුව වෙතට ගෙන යාම, ආරක්ෂා කර ගැනීම සහ පුපුරුවා හැරීම වගේ ප්‍රධාන වැඩ හැම දෙයක්ම වගේ භාර වුණේ “ගයි ෆෝක්ස්” කියන පුද්ගලයාටයි. ඒ නිසා අදටත් ඔහු මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරු විදිහට සැලකෙනවා.

සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ජෝර්ජ් කෘයික්ෂෑන්ක් විසින් අඳිනු ලැබූ ගයි ෆෝක්ස්ගේ චිත්‍රයක්. රූපය : විකිපීඩියා

පියා මිය ගිහින් මව කතෝලිකයෙක් එක්ක විවාහ වීමත් එක්ක ගයි ෆෝක්ස් මුල් වරට කතෝලිකයෙක් බවට පරිවර්තනය වෙනවා. පසුව කතෝලික පාලනයක් ඇති ස්පාඤ්ඤයට ගිහින් යුධ සෙනෙවියෙක් විදිහට සාර්ථක සටන් බොහොමයක නියැළෙන ඔහු ස්පාඤ්ඤ උදව් ඇතිව බ්‍රිතාන්‍යයටත් කතෝලික පාලකයෙක් ගෙන එන්නයි උත්සාහ කරන්නේ. නමුත් ඔහුට ස්පාඤ්ඤයේ නිල සහය හිමි වන්නේ නැහැ. කුමන්ත්‍රණයක් කරලා රජතුමා ඇතුළු ප්‍රොතෙස්තන්ත්‍ර පාලකයන් ඝාතනය කරන්න උත්සාහයක් ගන්නේ ඉන් පසුවයි.

සරලව කියනවා නම් මේ වැඩේ සාර්ථක වුණේ නැහැ. නිර්නාමික ලිපියක් මගින් කුමන්ත්‍රණය ගැන තොරතුරු හෙළි වීමත් එක්ක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රදළ පිරිස රැස් වෙන ප්‍රදේශයට පහළින් තිබුණු ගබඩාවක සිටියදී ඔහුව අල්ලා ගැනුණා. ඔහු ඒ වන විට හිටියේ වෙඩි බෙහෙත් පිරුණු බැරල් 36ක් මුර කරමින්. 1605 නොවැම්බර් 4 වැනිදා රාත්‍රියේ ඔහුව හසු වුණේ අන්තිම මොහොතේදීයි.

පසුවදා පැවැත්වීමට තිබුණු පාර්ලිමේන්තු සැසි වාරය වෙලාවේදී මේ වෙඩි බෙහෙත් සියල්ල පුපුරුවා හරින්න නියමිතව තිබුණා.

ප්‍රතිනිර්මාණය කළ අති විශාල පිපිරීම. රූපය: Mikeslee.co.uk

2005 අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ ITV නාලිකාව තමන්ගේ වැඩසටහනක් වෙනුවෙන් සමාන ආකාරයේ ගොඩනැගිල්ලක් සහ සමාන වෙඩි බෙහෙත් ප්‍රමාණයක් යොදා ගෙන මේ පිපිරීම සිදු වුණා නම් ඇති වෙන්න තිබුණු විනාශය ප්‍රතිනිර්මාණය කළා. මේ පිපිරීම නිරීක්ෂණය කරපු කාගේත් ඒකමතික තීරණය වුණේ එදා ගයි ෆෝක්ස් අල්ලා ගැනුණේ නැතිනම් සිදු වුණු පිපිරීමට ගොඩනැගිල්ලේ සිටි සියලුම දෙනා මිය යන්න ඉඩ තිබුණා කියන එකයි. නමුත් ඒ කිසිම දෙයක් සිදු නොවී ගයි ෆෝක්ස්ට පමණක් වේදනාත්මක මරණ දඬුවමක් හිමි වුණා.

ගයි ෆෝක්ස්ගේ එදා උත්සාහය සාර්ථක නොවුණත් අදටත් ඔහුව පීඩිත පන්තිය නිරූපණය කළ වීරවරයෙක් විදිහට ගරු බුහුමනට පාත්‍ර වෙනවා. නොවැම්බර් 5 වැනි දා ගයි ෆෝක්ස් රාත්‍රිය කියලා හැඳින්වෙනවා වගේම ඔහුගේ මුහුණේ හැඩරුව රැගත් වෙස් මුහුණු පීඩිත පන්තියේ සංකේතයකුත් වෙලා තියෙනවා.

කොහොම නමුත් මෑත කාලීන ජනප්‍රියත්වයට නම් හේතු වුණේ ප්‍රබන්ධ කතාවක් සහ චිත්‍රපටියක්.

V for Vendetta (බද්ධ වෛරය වෙනුවෙන් “V”)

1982 දී පළ වූ V for Vendetta (බද්ධ වෛරය වෙනුවෙන් V) කෘතියේ පිටකවරය. රූපය : amazon.co.uk

ප්‍රසිද්ධ ගත් කතුවර ඇලන් මූර් මහතාගේ නිර්මාණයක් වන V for Vendetta කෘති මාලාවෙන් කියවෙන්නේ න්‍යෂ්ටික යුද්ධයකින් පසුව විනාශයට පත් වුණු එක්සත් රාජධානියේ (UK) දිගහැරෙන කතාන්දරයක්. ඇමරිකාව හා සෝවියට් රුසියාව ප්‍රධාන කරගෙන 1990 දශකය වන විට තුන් වැනි ලෝක යුද්ධය ආරම්භ වේවි කියලා එකල බොහෝ දෙනෙක් සිතා සිටියා. දෙපැත්තෙන්ම එක්රැස් කෙරුණු න්‍යෂ්ටික අවි නිසා හැම අතින්ම විනාශයට පත් වුණු ලෝකයක් විතරක් ඉතිරි වේවි කියන අදහස ඒ කාලයේ බිහි වුණු වෙනත් බොහෝ කලා නිර්මාණවලත් දකින්න ලැබෙනවා.

අන්තර්ගතයෙන් න්‍යෂ්ටික යුද්ධයකට පසු සිදුවීම් ගැන කතා කෙරුණත් V for Vendetta වල අභ්‍යන්තරයේ තියෙන්නේ පැහැදිලිවම වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය පාදක වුණු කතා වස්තුවක්. කතාවේ ප්‍රධාන චරිතය වන “V” පැළඳ සිටින්නේ ගයි ෆෝක්ස් වෙස් මුහුණක්, එය කවරයේ පවා නිරූපණය කරලා තිබෙනවා. මේ විදිහට වෙස් මුහුණක් දරාගෙන තමන්ට වේදනා ගෙන දුන්නු පිරිස් ඝාතනය කරමින් පවතින පැසිස්ට් පාලනය බිඳ දමන්න ඔහු අරගල කරනවා. මේ කතාවේ ඔහුට අමතරව ඉන්න තවත් බොහෝ චරිත සඳහා යොදා ගෙන තිබෙන්නේත් වෙඩි බෙහෙත් කුමන්ත්‍රණයට සහභාගී වුණු අනෙක් අයගේ නම්.

2006 දී බිහි වුණු V for Vendetta චිත්‍රපටයටත් පාදක වුණේ මේ කතාවමයි. රූපය: rogerebert.com

පොත් මාලාව නිසා ගයි ෆෝක්ස්ගේ වෙස් මුහුණ ගැන මතකය ආයෙමත් අලුත් වුණත් ඒක ලොකුවට ජනප්‍රිය වෙන්න ගත්තේ 2006 දී ඒ නමින්ම බිහි වුණු චිත්‍රපටයත් එක්කයි. පොතෙන් යම් තරමකට වෙනස් කතාවක් පාදක වුණත් (2006 වන විට ඇමරිකාවේ පැවති බුෂ් පාලනය ඇතුළු වෙනත් කාලීන තොරතුරු මතක් කරවන කතාවක් තමයි චිත්‍රපටයේ තියෙන්නේ) චිත්‍රපටයේ දැක්වුණු ගයි ෆෝක්ස් වෙස් මුහුණ නම් ඉතාම ඉක්මණින් ජනප්‍රියත්වයට පත් වුණා.

ඉතිහාසය පුරාවටම ගයි ෆෝක්ස්ගේ මුහුණ අනුකරණය කරමින් හැදුණු වෙස් මුහුණු තිබුණත් මේ කලා කෘතීන් සඳහා භාවිතයට ගැනුණේ චිත්‍ර ශිල්පී ඩේවිඩ් ලොයිඩ් විසින් අඳින ලද සිතුවමක්. උඩු අතට හැරුණු උඩු රැවුලක් සහ නිකට දිගේ පහළට යන තුනී රැවුල් රේඛාවක් සහිත මේ වෙස් මුහුණ පසු කාලීනව පීඩිතයන් පාලකයන්ට එරෙහිව සිදු කරන විරෝධතා සඳහා යොදා ගැනීමත් එක්ක ලොකු ජනප්‍රියත්වයක් හිමි කර ගත්තා.

විරෝධතාකරුවන්ගේ සලකුණක් බවට පත් වීම

ගයි ෆෝක්ස් වෙස් මුහුණ පැළඳ විරෝධතාවක යෙදෙන විදේශීය පිරිසක්.

2008 දී “Anonymous” (නිර්නාමික) කියන පරිගණක හැකර්වරුන් කණ්ඩායම මේ මුහුණ තමන්ගේ සලකුණ විදිහට තෝරා ගත්තා. පරිගණක හැක් කිරීමට අමතරව වීදිවල පැවැත්වෙන සාම්ප්‍රදායික විරෝධතාවලට මේ මුහුණ පැළඳගෙන ඇවිත් ඒක රැල්ලක් බවට පත් කළේ ඔවුන් කියලා කියන්න පුළුවන්. විරෝධතාකරුවන්ගේ අනන්‍යතාව වසන් කරන අතරේම ඔවුන්ගේ එකමුතු බව දක්වන්නත් පුළුවන් නිසා මේ වගේ වෙස් මුහුණක් විරෝධතාවකට හොඳින් ගැළපෙනවා.

මේ වෙස් මුහුණ ජනප්‍රිය වුණු අනිත් කාරණාව තමයි මෙහි සරලත්වය. ඕනෑම කෙනෙකුට සුදු කඩදාසියක කළු පැහැයෙන් ඉරි කිහිපයක් ඇඳීම මගින් ගයි ෆෝක්ස් වෙස් මුහුණක් සකසා ගන්න පුළුවන්. මේ නිසා විරෝධතාකරුවන් විශාල පිරිසකට වුණත් වෙස් මුහුණු සපයා ගන්න අපහසු වෙන්නේ නැහැ. මාධ්‍යවලින් තමන්ගේ මුහුණ ප්‍රචාරය වෙයි කියලා බියක් තිබෙන පිරිස් පවා මේ වෙස් මුහුණ නිසා විරෝධතාවන්ට ගෙන්වා ගන්න පහසු වුණා.

ටිකින් ටික ජනප්‍රියතාව ඉහළ ගිය ගයි ෆෝක්ස් වෙස් මුහුණ පසුව ලෝකය පුරාවටම විරෝධතාවන්වලදී භාවිතයට ගැනුණා. 2009 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට මන්ත්‍රී වරප්‍රසාදවලට එරෙහි විරෝධතාව, 2011 විස්කොන්සින්හි අයවැය සංශෝධනයට එරෙහි විරෝධතාව, 2012 ඉන්දියාවේ අන්තර්ජාල තහනමකට එරෙහි විරෝධතාව වගේම 2015 වොෂින්ටන් D.C. හි වෙස්මුහුණු මිලියනයේ විරෝධතාව ලොව පුරා අවධානයට ලක් වුණේ මේ වෙස් මුහුණ භාවිත කිරීම නිසාවෙන්.

මේ වෙස් මුහුණ බොහෝ තැන් වල යොදා ගැනීමත් එක්ක එයට විරුද්ධව බාධක පවා ඇති වෙන්න ගත්තා. 2013 දී සෞදි අරාබිය මෙම වෙස් මුහුණ ආනයනය කිරීම තහනම් කළ අතර පුද්ගලයන් ළඟ තිබී හසුවන සියලු වෙස් මුහුණු අත්අඩංගුවට ගන්නත් නීති ඇති කළා. කැනඩාවේ පැවැත්වෙන උද්ඝෝෂණවල සියලුම වර්ගයේ වෙස් මුහුණු භාවිතය තහනම් කොට තිබෙනවා.

අපේ රටේ විරෝධතා කලාව වෙනස් වේවිද?

හැමදාම දකින ඒවා වෙනුවට අලුත්ම විදිහේ, කාටත් සතුටු වෙන්න පුළුවන් විරෝධතා සම්ප්‍රදායක්? Xinhuanet.com

උද්ඝෝෂණ කිව්වාම ලංකාවේ අපි කාටත් සිහි වෙන්නේ එක පුද්ගලයෙක් කියන සටන්පාඨයට අනුබල සපයන විශාල පිරිසක්. නායකත්වය දෙන කෙනාගේ සටන් පාඨයට ලොකුම සද්දයකින් ප්‍රතිචාර දක්වන එක, වීරත්වය, ආවේගය හෝ අධිෂ්ඨානය දැක්වෙන දෙයක් කිව්වාම ඇහෙන අත්පොලසන් නාදය වගේ දේවල් තමයි අද අපේ රටේ විරෝධතාවක සාර්ථකත්වය පෙනෙන මිමි බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒ විදිහේ විරෝධතාවක් තනිකරම ක්‍රියාත්මක වෙන්නේ ආවේගය මත. ඉතින් සමහර වෙලාවට භීෂණය පවා මතුවෙලා ගැටළු ඇති වෙන අවස්ථා බොහොමයි. සාමකාමී විරෝධතාව කියන දේ දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්.

නමුත් වෙස් මුහුණක් පැළඳීම මගින් සාමකාමී බව ඉබේටම ඇති වෙනවා. වෙස් මුහුණත් එක්ක කෑ ගහන්න අපහසු නිසා ස්වභාවයෙන්ම මේ වගේ විරෝධතාවක තරමක නිහඬ බවක් සහ සංයමයක් තියෙනවා. උද්ඝෝෂණයට එන නායකයෝ කියලා විශේෂත්වයක් නැති නිසාත්, හැමෝම එක වගේ පෙනෙන නිසාත් සටන් පාඨවලට අනුබල දෙන “චියර්” ක්‍රමයේ විරෝධතාවක් කරන්න වෙස් මුහුණක් පළඳින එක ඒ තරම් ගැළපෙන්නේ නැහැ. පුවරු ඔසවාගෙන සිටීම, බැනර් ප්‍රදර්ශනය වගේ අතිශයින්ම සාමකාමී ක්‍රමයකින් තමන්ගේ පණිවිඩය ඉතාම සාමකාමීව ලබා දෙන්න තියෙන පෙළඹවීම ඉහළයි. ආවේගය මත ක්‍රියාත්මක නොවෙන නිසා ගැටළු ඇති වෙන්නේ හරිම අඩුවෙන්. වෙනත් විරෝධතාවල කෑ ගහලා තමන් වෙත ලබා ගන්න අවධානය එක වගේ මුහුණු සාගරයක් දකිනකොට ඉබේම ලැබෙනවා.

අනිත් දේ තමයි ගයි ෆෝක්ස් මුහුණ වුණත්, වෙනත් ඕනෑම මුහුණක් වුණත්, වෙස් මුහුණක තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි විරෝධතාවක තියෙන එකමුතු බව වැඩි වෙන එක. කෙනෙක් උස වුණත්, මිටි වුණත්, කළු වුණත් සුදු වුණත්, ගැහැණු පිරිමි බව මොකක් වුණත් ඈත සිට බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ එකම විදිහේ පිරිසක් ඉන්නවා කියලා විතරයි. සමහර වෙලාවට මේ එකම අරමුණක පිරිසක් කියලා පෙන්වන්න එකම විදිහේ ටී ෂර්ට් අඳින්න පුළුවන් වුණත් මේ වගේ වෙස් මුහුණකින් එය ඊට වඩා බොහොම අඩු මිලකට, පහසුවෙන් කළ හැකි බව පැහැදිලියි.

ඉතින් මේ කාරණාව ගැන මොන විදිහේ අදහස් පළ වුණත් ඇත්තටම මේ යන අත හොඳයි කියලා හිතන්න නම් අපි කාටත් පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතිවාසිකමක් වන සාමකාමී උද්ඝෝෂණයේ උපරිම ඵල නෙලා ගන්න එතකොටවත් වැඩි ඉඩක් තියේවි.

මූලාශ්‍ර:

  1. Anonofficial.com
  2. Historylearningsite.co.uk
  3. Wikipedia.com
  4. Moviefone.com
  5. Discovery.com