Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වේගයෙන් වෙනස් වන කොළඹ නගරය

“කොළඹ කියන්නේ වේගයෙන් දියුණු වෙන නගරයක්. ඒ නිසා තමයි අපි හිතුවේ අනිත් ගෘහ නිර්මාණ වලටත් ආදර්ශයක් විදිහට ගන්න පුළුවන් නිර්මාණයක් කොළඹ ඉදි කරන්න. අනාගතයේ නිර්මාණය වන ගොඩනැගිලි අල්ටෙයා ගොඩනැගිල්ල වගේම කොළඹ නගරයට සුන්දරත්වයක් එක් වෙන විදිහට නිර්මාණය වෙයි කියා අපි විශ්වාස කරනවා”.

– අල්ටෙයා ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පී මෝෂ් සෆ්දි

මීට අවුරුදු කිහිපයකට කලින් කොළඹ නගරයේ ඉතා උස ගොඩනැගිලි තිබුණා නම් ඒ බොහොම අඩුවෙන්. වේදිකා නාට්‍යයක නගර වර්ණනාවක ආපු “අහස සූරන මැඳුරු” ගණයට අයත් කියලා සලකන්න පුළුවන් ඒවා තිබුණේ කිහිපයයි. ඉස්සර ඉඳන් තැනක් රැකගෙන හිටපු ලංකා බැංකු ගොඩනැගිල්ල, 1996දි හදපු ලෝක වෙළඳ මධ්‍යස්ථානය මේ වගේ තිබුණු තැන් කිහිපයක්. රට රට වල ඇවිදලා ආපු අයට නම් මේවාත් ගොඩනැගිලිද කියලත් හිතෙන්න ඇති ඒ කාලේ. ඒත් දුර මුහුදේ ඉඳන් කොළඹ පැත්ත බැලුවම ඇහැටවත් පෙන්න තිබුණේ ඔන්න ඔය වගේ කිහිපයක් විතරමයි.

කොහොම නමුත් පහු ගිය අවුරුදු කිහිපයේදී මේ තත්වය බොහොම වෙනස් වෙන්න ගත්තා. ලෝකයේ ලොකුම නගර තරමට නැතත් කොළඹ ප්‍රදේශය පුරා ලොකු ගොඩනැගිලි බොහොමයක් පහු ගිය කාලේ ඉදි වුණා. ඒ වගේම දැනට පටන් අරගෙන වැඩ කෙරීගෙන යන තැන් එහෙමත් සෑහෙන්න තියනවා. ගාලු පාර දිගේ කොළඹට යන අතරේ පොඩ්ඩක් දෙපැත්ත බැලුව නම් මම කියන දේ ඇත්ත කියල වැටහේවි.

මේ නිසා වාහන තදබදය කොයි තරම් වැඩි වුණත්, දවල්ට එපා වෙන තරමේ රස්නයක් තිබුණත් කොළඹ නගරය වගේම ඒ ආසන්න ප්‍රදේශ සේරමත් නවීන නගරයක් බවට පරිවර්තනය වන බව බැලූ බැල්මට දැක ගන්න පුළුවන්. මාක් මෝබියස් කියන ප්‍රසිද්ධ ආයෝජකයා මේ කියපු කතාවෙන් ඒක බොහොම පැහැදිලියි.

“අපි බොහොම උනන්දුයි මීගමුව ආශ්‍රිතව සිදු වන වාණිජ දියුණුව ගැන. වාහන තදබදය වුණත් මම දකින්නේ ක්‍රියාකාරීත්වයෙන් පිරුණු, අවස්ථාවන්ගෙන් පිරුණු ප්‍රදේශයක් බවට මුළු රටම පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් විදිහටයි.”

ආචාර්ය මාක් මෝබියස් – තමන්ගේ “නැගී එන වෙළඳපොළ වල ආයෝජන අවස්ථා” කියන බ්ලොග් ලිපියේ. (2015 දෙසැම්බර්)

අවුරුදු 40ක් පුරා නැගී එන වෙළඳපොළ වල ආයෝජන අවස්ථා සොයා ගිහින් අත්දැකීම් තියෙන මාක් මේ වගේ දෙයක් ආවට ගියාට කියන්නේ නැහැ. රටක් දියුණු වීමේ මගට ප්‍රවිෂ්ට වෙන බව හරියටම අඳුනා ගන්න ඔහුට හොඳ හැකියාවක් තියනවා. ඔහුගෙන් මේ වගේ ප්‍රකාශයක් ලැබුණා කියන්නේ ඒක බොහෝ විට දියුණු වීමේ සහතිකයක් හා සමානයි.

මේ නිසා roar එකේ අපි හිතුවා මේ වගේ වැදගත් ගොඩනැගිලි කිහිපයක් ගැන විස්තර ඔබට කියන්න. අනාගතයේ කොළඹ අහස සිඹින ගොඩනැගිලි කොයි තරම් ඉදි වුණත් යුගයක ආරම්භය වුණු මේ කිහිපය ලංකා බැංකු ගොඩනැගිල්ල වගේම අපේ හිත වල රැඳිලා තියේවි.

අල්ටෙයා

රූපය : altair.lk

රූපය : altair.lk

සිංගප්පුරුවේ මැරිනා බේ සෑන්ඩ්ස් ආයතනයේ (Marina Bay Sands) සහ ඇමරිකාවේ කැන්සාස් සිටි වල කවුෆ්මාන් සෞන්දර්ය මධ්‍යස්ථානය (Kauffman Center for the Performing Arts) ලංකාවේ ඉදිකිරීමකට අත ගහලා තියෙනවා. ශාපූර්ජි පැලොන්ජි සහ සමාගම (Shapoorji Pallonji Co & Ltd) සමග ඇති කර ගත්තු කොන්ත්‍රාත්තුවකට අනුව ඉදි වෙන මේ ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියා තමයි මොෂ් සෆ්දි. (Moshe Safdie) ලෝකයේ ජනප්‍රියම වෙළඳ නාම බොහොමයක් මෙහි ඉදි කිරීමට දායක වෙනවා.

සුවිශේෂ හැඩයකින් යුක්ත මේ අල්ටෙයා (Altair) ගොඩනැගිල්ල නිම කළ පසු මීටර් 240ක් උස වීමට නියමිතයි. මේකත් කවදා හරි කොළඹ මතක හිටින විදිහේ වැදගත් ගොඩනැගිල්ලක් බවට පත් වේවි. 2017 සැප්තැම්බර් වෙද්දී විවෘත වෙන්න නියමිතව තියෙනවා.

සිනමන් ලයිෆ්

රූපය : keells.com

රූපය : keells.com

මුලින් “වෝටර් ෆ්රන්ට්” (Water Front) ලෙස නම් කරලා තිබුණු මේක ලංකාවේ පුද්ගලික අංශය විසින් කරනු ලබන විශාලතම ආයෝජනය බවට වාර්තා තියලා තියනවා. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම ඉදි කරන මේ නිකේතනයේ මුළු වියදම ඩොලර් මිලියන 650ක්! කාමර 800කින් සමන්විත අධි සුඛෝපභෝගී හෝටලයක්, විශාල සාප්පු සංකීර්ණයක්, සියලු පහසුකම් සපිරි නවීන කාර්යාල සංකීර්ණයක් වගේම නර්තන ශාලාවක් සහ විනෝද උද්‍යානයක් මේ ඉදිකිරීම ඇතුලේ නිර්මාණය කරන්න නියමිතයි. වර්ග අඩි මිලියන 4.5ක් පුරා මේ දැවැන්ත සංකීර්ණය ඉදි වෙනවා.

බ්‍රිතාන්‍යයේ නම ගිය ශ්‍රී ලාංකිකයෙක් වන සිසිල් බැල්මන්ඩ් මහතා තමයි මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා. බීජිං ඔලිම්පික් උළෙල වෙනුවෙන් හදපු ගොඩනැගිල්ලේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වුනෙත් ඔහුයි. මේ සංකීර්ණය හුදෙක් ගොඩනැගිල්ලක් වෙනවා වෙනුවට දියුණු වන දකුණු ආසියාවේ කේන්ද්‍රය වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේකේ වැඩ කටයුතු 2018 වෙද්දී අවසන් වේවි.

නෙලුම් කුළුණ

රූපය : skyscrapercity.com

රූපය : skyscrapercity.com

ලෝකයේ හැම ප්‍රධාන නගරයකටම ආවේණික සලකුණක් විදිහට සැලකෙන ඉදි කිරීමක් තියෙනවා. සිඩ්නි වල ඔපෙරා හවුස් එක, පැරීසියේ අයිෆල් කුළුණ, නිව් යෝක් නුවර ලිබර්ටි ප්‍රතිමාව සහ ලන්ඩන් වල බිග් බෙන් ඔරලෝසුව මේ වගේ කවුරුත් දන්නා සලකුණු කිහිපයක්. මෙච්චර කාලෙකට නොතිබුණත් දැන් කොළඹටත් ඒ විදිහේ නිර්මාණයක් ලැබෙන්නයි යන්නේ. කොළඹට කිලෝමීටර් 20-30ක ඉඳන් බැලුවත් කාට වුනත් මේ නෙලුම් කුලුණ දැක ගන්න පුළුවන්. නිම කළාට පස්සේ මේකේ උස මීටර් 350ක්, ඉතින් මේක අයිෆල් කුළුණටත් වඩා උසයි වගේම හදා නිම කළාට පස්සේ දකුණු ආසියාවේ උසම නිර්මාණය වෙන්න නියමිතයි.

ප්‍රධාන වශයෙන් සන්නිවේදන කටයුතු වලට තමයි මේක පාවිච්චි වෙන්නේ, ඒ වගේම කොළඹ අවට නරඹන්නත්, විනෝද කටයුතු වල යෙදෙන්නත් අවස්ථාව හිමි වෙනවා. මේකේ ඉහළ කොටසේ තියෙන සුඛෝපභෝගී ආපන ශාලාව සහ හෝටල් කාමර වලට කොළඹ වෙන කිසිම තැනක ඉඳන් දකින්න බැරි දර්ශනයක් පෙනේවි. මේකේ වියදම ඩොලර් මිලියන 104ක්. චීන ණය මුදලක් මත තමයි ඉදි වෙන්නේ. ප්‍රධාන ආදායම් මාර්ගය විදිහට සංචාරක ආකර්ෂණය සහ රුපවාහිනි සම්ප්‍රේෂණ කටයුතු දක්වලා තියෙනවා.

දැනටමත් ඉදි කිරීම් අවසන් වෙන්න ළඟ නෙලුම් කුළුණ 2016 වසර ඇතුළත හදලා නිම කෙරේවි

ෂැන්ග්‍රී ලා – කොළඹ

“වන් ගෝල් ෆේස්”. රූපය : One Galle Face

“වන් ගෝල් ෆේස්”. රූපය : One Galle Face

ෂැන්ග්‍රී ලා (Shangri La) කොළඹ නගරයේ ආයෝජනය කරන්න පටන් ගන්න කාලේ ඒකට විශාල අවධානයක් යොමු වුණා. හොඳ සහ නරක හේතු ගණනාවක්ම ඒකට හේතු වුණා. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ කෙරුණු මුල්ම විශාල ආයෝජනය නිසා බොහෝ දෙනෙක් මේ අවස්ථාව ගැන ප්‍රසාදයෙන් කතා කළා. නමුත් ෂැන්ග්‍රී ලා නිර්මාණය වෙන අතරේ බොහෝ බාධා වලටත් මුහුණ දුන්නා.

කොහොම වුනත් 2016 වෙන කොට හැම දේම විසඳිලා ඉදි කිරීම් කටයුතු ඉතා හොඳින් සිදු වෙනවා.

අධි සුඛෝපභෝගී තරු හතේ හෝටලයක් වගේම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකුත්, නවීන කාර්යාල සංකීර්ණයකුත්, සාප්පු සංකීර්ණයකුත් මෙහි ඉදි වෙනවා. අලුත් විදිහේ ජීවිතයකට සංක්‍රමණය වෙන්න පුළුවන් ප්‍රදේශයක් විදිහට මාකට් කෙරෙන මෙතනට බහුලව පාවිච්චි වෙන නම “වන් ගෝල් ෆේස්”. මේකේ ඉදි කිරීම් අවසන් වෙන්නේ කවදා වගේද කියලා හරි තොරතුරක් නැතත් 2017 අග හෝ 2018 මුල දී ඉදි කිරීම් අවසන් වේවි කියලා හිතන්න පුළුවන්.

මෝවන්පික් – කොළඹ

මෝවන්පික් සිටි හෝටලය, කොළඹ. රූපය : hayleys.com

මෝවන්පික් සිටි හෝටලය, කොළඹ. රූපය : hayleys.com

ගල්ෆ් ප්‍රදේශයට නිතර සංචාරය කරන අය මේ නම හොඳට අහලා පුරුදු ඇති. මෝවන්පික් (Mövenpick) කියන්නේ මේ ප්‍රදේශයේ බොහොම නම ගිය සමාගමක්. මෝවන්පික් හෝටල් වැඩිපුරම ප්‍රසිද්ධ එයට ආවේණික ස්විස් අයිස් ක්‍රීම් වලට, ඉතින් අයිස් ක්‍රීම් රස බලන්න කැමති අය යන්නම ඕන තැනක් තමයි මේ. කොල්ලුපිටිය නගරයේ හරි මැද පිහිටලා තියෙන මේ ආයතනය දැන් ඉදි කරලා ඉවරයි, මේ අවුරුද්දේ අග හරියේදී විවෘත වේවි. සාමාන්‍යයෙන් සුඛෝපභෝගී හෝටල් ක්‍රියාත්මක වෙන විදිහටම මේකේ මෙහෙයුම් භාරව ඉන්නේ වෙළඳ නාමය හිමි මෝවන්පික් සමුහයයි. අයිතිය තියෙන්නේ සොෆ්ට්ලොජික් සමාගම යටතේ.

කොළඹ නගර මධ්‍යස්ථානය

කොළඹ නගර මධ්‍යස්ථානය. රූපය : lankabusinessonline.com

කොළඹ නගර මධ්‍යස්ථානය. රූපය : lankabusinessonline.com

කොළඹ නගර මධ්‍යස්ථානය, එහෙම නැතිනම් කවුරුත් කියන විදිහට CCC එක (Colombo City Centre) එක නිර්මාණය වුණේ අබාන්ස් සමුහයේ සහ සිංගප්පුරුවේ සිල්වර්නීඩ්ල් හොස්පිටැලිටි කියන හෝටල් සමුහයේ එකමුතුවක් විදිහටයි. ගංගාරාම විහාරයට කෙලින්ම ඉස්සරහින් නිර්මාණය වෙන CCC එකේ සාප්පු සංකීර්ණයක්, නිවාස සංකීර්ණයක් සහ NEXT වෙළඳ නාමය යටතේ ඉදි වන හොටලයකුත් ඉදි කරන්න නියමිතයි. මේ හෝටලය බොහෝ දුරට ව්‍යාපාරික සංචාරකයන්ට පහසුකම් සැපයීම මූලික කරගෙනයි ක්‍රියාත්මක වෙන්නේ.

දැනට තියෙන තොරතුරු අනුව මේ ව්‍යාපෘතිය මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අවසන් වේවි. ඊට පස්සේ නුවර KCC එක වගේම “CC” එකක් කොළඹත් තියේවි.

ඇස්ටෝරියා (AVIC)

AVIC ඇස්ටෝරියා ගොඩනැගිල්ල. රූපය : skyscrapercity.com

AVIC ඇස්ටෝරියා ගොඩනැගිල්ල. රූපය : skyscrapercity.com

ඇස්ටෝරියා ව්‍යාපෘතිය බොහොම ඉහළ පෙළේ එකක් නිසා ලෝකයේ ප්‍රසිද්ධ දේපළ සමාගම් මේකට දායක වෙලා තියනවා. මෙතනින් ප්‍රධාන වෙන්නේ AVIC හෙවත් Aviation Industry Corporation of China එකයි. ගුවන් ගමන් ඉඳන් දේපළ වෙළඳාම ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වලට පිවිසුණු, චීන රජයට අයත් සංස්ථාවක් වුන මේ ආයතනය තමයි ඉදි කිරීමේ කටයුතු කරන්නේ. විශාලත්වයෙන් බැලුවම ලොව විශාලතම සමාගම් 500 වන Fortune – 500 සමාගම් අතරින් 159 වන තැන හිමි කරගෙන සිටිනවා. මේ ව්‍යාපෘතියේ අලෙවිකරණය භාරව ඉන්නේ ලෝකයේ ප්‍රසිද්ධම දේපළ උපදේශක සමාගම වන ජෝන් ලැන් ලෙසාල් (John Lang LaSalle) ආයතනයයි. ලංකාවේ සුඛෝපභෝගී නගර ජීවිතයේ මිනුම් දණ්ඩ බවට ඇස්ටෝරියා පත් වෙනවා කියල මේ නිසා පහසුවෙන්ම හිතා ගන්න පුළුවන්.

ඩුප්ලිකේශන් පාරට යාබදව නිර්මාණය වෙන මේ ව්‍යාපෘතිය ලබන වසර අවසන් වන විට ඉදි වෙලා තියේවි.

ක්‍රිෂ් චතුරශ්‍රය

ක්‍රිෂ් චතුරශ්‍රය : රූපය : Edouard Francois

ක්‍රිෂ් චතුරශ්‍රය : රූපය : Edouard Francois

ක්‍රිෂ් චතුරශ්‍රය තරම් වෙන කිසිම ලංකාවේ ඉදි කිරීම් ව්‍යාපෘතියක් ගැන මත භේද ඇති වුණේ නැහැ කියන්න පුළුවන්. බහුකාර්ය ගොඩනැගිලි හතරකින් සමන්විත වෙන මේ ව්‍යාපෘතියට බොහෝ චෝදනා ආවා දුෂණ සහ වංචා ගැන. කලින් කරපු ඉදි කිරීම් වලදී ගෙවීම් පැහැර හැරපු බවටත් වාර්තා පළ වුණා. මේ නිසා ගොඩක් දෙනෙක් හිතා ගෙන හිටියේ මේක කවදාවත් සිද්ධ නොවෙන වැඩක් කියලයි.

කොහොම වුණත් දැන් මේ ප්‍රශ්න සේරම නිරාකරණය කරගෙන වැඩේට බහින්න මව් සමාගම ලෑස්ති වෙනවා. ඩොලර් මිලියන 650ක වියදමෙන් ඉදි වෙන මේ නිර්මාණය වැඩ අවසන් කලාට පසුව එශිලෝන් චතුරශ්‍රයට (Echelon Square) ඉහලින් දැවැන්තව දර්ශනය වේවි. කොහොම වුණත් මේක නිර්මාණය වෙන්න නම් අවුරුදු 5ක්වත් ගත වෙන බවයි කියවෙන්නේ.

ෂෙරටන් – කොළඹ

කොළඹ ෂෙරටන් හෝටලය : රූපය : wikimapia.org

කොළඹ ෂෙරටන් හෝටලය : රූපය : wikimapia.org

ලෝකයේ විශාලතම හෝටල් මෙහෙයුම් සමාගමක් වන ස්ටාර් වුඩ්  හෝටල් සමුහයේ (Starwood Hotels) ප්‍රධානතම වෙළඳ නාමය වන ෂෙරටන් (Sheraton) හෝටලයක් කොළඹත් ඉදි වෙනවා. මැරියට් සමුහය (Marriot Group) එක්ක මෑත කාලයේ අත්වැල් බැඳ ගත්තු නිසා මේක දැන් නිල වශයෙන්ම ලෝකයේ ලොකුම හෝටල් මෙහෙයුම් සමාගමයි. කොල්ලුපිටියේ ඉදි වන මේ කාමර 306ක් සහිත සුඛෝපභෝගී හෝටලය මේ අවුරුද්දේ දෙසැම්බර් වල විවෘත කරන්න නියමිතයි.

ඩෙස්ටිනි

ඩෙස්ටිනි, කොළඹ. රූපය : thedestiny.lk

ඩෙස්ටිනි, කොළඹ. රූපය : thedestiny.lk

ඩෙස්ටිනි (Destiny) )කියන්නේ ඇත්තටම එකක් නෙවෙයි, ව්‍යාපෘති දෙකක්.මේකට කුළුණු දෙකක් අයත් වෙනවා; එකක් නිවාස සංකීර්ණය සහ සාප්පු සංකීරණය සහිත ඩෙස්ටිනි 1, අනික ඒ වගේම පහසුකම් සපිරි ඩෙස්ටිනි 2. පොඩි වෙනස් කම් තිබුණත් කුළුණු දෙකේම සාප්පු සංකීර්ණ සහිත සුඛෝපභෝගී නිවාස සංකීර්ණ දෙකක් ඉදි වෙනවා. කොම්ඤ්ඤ වීදියේ ඉදි වෙන මේ ව්‍යාපෘතියේ පළවෙනි කුළුණ 2017 අවුරුද්දෙත්, දෙවැනි කුළුණ 2018 අවුරුද්දෙත් වැඩ අවසන් වෙන්න නියමිතයි.

ඉතින් මේ වගේ අහස උසට ඉදි වෙන ගොඩනැගිලි සහ ඉදි කිරීම් නිසා එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. තව අවුරුදු 5ක් ගත වෙද්දී කොළඹ නගරයත් කාලයට ගැලපෙන අග නගරයක් විදිහට වෙනස් වෙලා තියේවි. මේ වන තුරු ඇත්තටම ලංකාවේ අග නගරය අනිත් නගර වලට වඩා ලොකුවට නිර්මාණය වෙලා තිබුණත් ඇත්ත අගනුවරක් වෙලා තිබුණේ නැහැ පෙනුම අතින්. මේ විදිහට අලුත් මුහුණුවරක් ලැබිලා කොළඹ නගරය නවීකරණය වුණාම ඉන්දියන් සාගරයේ තියෙන මේ පුංචි දුපතත් ලෝකයේ දියුණු රටවල් වල තත්වයට එන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

කවරයේ පින්තුරය: makemytrip.com

Related Articles