පෘතුගීසි ජාතිකයන් ලංකාව “සොයා ගත්තේ” 1505 අවුරුද්දේ. දීර්ඝ, ලිඛිත ඉතිහාසයක් අපේ රටට තිබුණත් යුරෝපීය ජාතිකයන් ඍජුව අපේ රටත් එක්ක ගනුදෙනු කරන එක ඇරඹුණේ 1505න් පසුව නිසා එහෙම කියන එකේ පුංචි ඇත්තකුත් තියෙනවා. විශේෂයෙන්ම අද රටේ අග නගරය පිහිටලා තියෙන කොළඹ බිහි වෙන්න ප්‍රධාන හේතුව වුණේ යුරෝපය එක්ක ඍජු සම්බන්ධතා ගොඩනැගුණු එකයි.

පෘතුගීසි පාලකයන්ට මුලින්ම උවමනා වුණේ අපේ රටේ තිබුණු භාණ්ඩ මිලට අරගෙන අපනයනය කරන්නයි. ඒ සඳහා යුරෝපයට වඩාත් කිට්ටු බස්නාහිර වෙරළ තීරය භාවිත කරන්න ඔවුන් තීරණය කළා. ලංකාවේ ඒ වන විට හිටපු දේශීය පාලකයන් මේ කටයුත්තට කැමති කර ගැනීමත් එක්ක තමයි කොළඹ ප්‍රදේශය මුලින්ම බිහි වෙන්නේ.

පෘතුගීසීන් ගොඩනගපු කොළඹ කොටුව 1656 දී ලන්දේසීන් අත් පත් කරගත්තේ කාලයක් වට කරගෙන ඉඳලයි. ඉන් පස්සේ ඔවුනුත් තමන්ගේ වෙළඳ කටයුතු වල ප්‍රධාන මධ්‍යස්ථානය විදිහට කොළඹ පාවිච්චියට ගත්තා. 1796 අවුරුද්දේ ඉංග්‍රීසි ජාතිකයන් කොළඹ නගරය අත් පත් කරගත්තාට පස්සේ ඔවුන් එය ලංකාවේ වාණිජ අග නගරය බවට පත් කළා. ඒ තත්වය අදටත් නොවෙනස්ව තියෙනවා.

වරායක් විදිහට කොළඹ ප්‍රදේශය ගැන ඉන්දියානු, ග්‍රීක, චීන වගේම රෝම වෙළෙන්දන් පවා දැනගෙන ඉඳලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේදී අරාබි වෙළෙන්දන් පිරිසක් කොළඹ ආශ්‍රිතව පදිංචි වුණු බවටත් මතයක් තියෙනවා. කොහොම වුණත් අධිරාජ්‍ය සමයේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන ප්‍රවීණයෙක් වන “ඈෂ්ලි ඩි වෝස්” (Ashley de Vos) මහතා නම් කියන්නේ ඒ කතාව ඔප්පු කරන්න සාක්ෂි බොහොම අඩු බවයි. අපි ඔහුගෙන් මේ ගැන විමසුව වෙලාවේ ඔහු කිව්වේ යුරෝපීය අධිරාජ්‍ය පාලකයන් කොළඹ ප්‍රදේශය සංවර්ධනය කරන්න කලින් මේ ප්‍රදේශයේ මිනිසුන් වාසය කළ බවටවත් වැඩි සාක්ෂි නැහැ කියලයි.

කොළඹ ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිවෙන්න ගත්තේ වරාය නිර්මාණය කළාට පසුව බවයි ඔහුගේ අදහස. අද දකින්න ලැබෙන ගොඩනැගිලි වලින් පැරණිම ඒවා අයිති වෙන්නේ ලන්දේසි යුගයටයි. මේකට ප්‍රධාන හේතුව ගතවුණු කාලයටත් වඩා ලන්දේසින් කොළඹ අත්පත් කරගත්තාට පස්සේ පෘතුගීසි ගොඩනැගිලි සියල්ලම විනාශ කරපු එක කියලා හිතන්න පුළුවන්.

මේ ලිපියේ දැක්වෙන්නේ කොළඹ නගරයේ අද දැකගන්න ලැබෙන පැරණිම තැන් කිහිපයක් ගැනයි. වසර තුන්සීයකටත් වඩා අතීතයක් තියෙන මේ තැන් එක්ක බැඳුණු කටකතා වලත් අඩුවක් නැහැ.

වුල්වන්ඩාල් (Wolvendaal) පල්ලිය

J. L. K. වෑන් ඩෝට් විසින් 1888 දී අඳින ලද වුල්වන්ඩාල් පල්ලියේ සිතුවමක්. රූපය : everipedia.com

වැඩි දෙනෙක් වරක් දැක්කොත් ආපහු හැරී බලන ආකර්ෂණීය ගොඩනැගිල්ලක් නොවුණත් වුල්වන්ඩාල් පල්ලිය ඇත්තටම කොළඹ තියෙන වැදගත් ස්ථානයක්. පිටකොටුවේ වුල්වන්ඩාල් වීදියේ පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ල අයිති වෙන්නේ ඩොරික් ගෘහ නිර්මාණ කලාවටයි. මේකේ බිත්ති බොහොමයක් අඩි පහක් විතර පළලට ඉතාම ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා.

ඒ වන විට ලංකාව භාරව සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා වුණු “ගුස්ටාව් විලෙම් වෑන් ඉම්හෝෆ්”ට (Gustaaf Willem van Imhoff) තමයි මේ ස්ථානයේ අලුතින් පල්ලියක් හදන්න මුලින්ම උවමනා වුණේ. ඒ ස්ථානයේ පිහිටා තිබුණු පැරණි පල්ලිය ඉවත් කරලා අලුත් පල්ලියක් ඉදි කරන්න ඔහු ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමෙන් (Dutch East India Company එකෙන්) අවසර ඉල්ලා සිටියා. නමුත් ඔහුට ඒ සඳහා අවසර ලැබුණේ නැහැ.

නමුත් 1743දී ලංකාවට අලුතෙන් පත් වෙලා ආපු “ජුලියස් වැලෙන්ටයින් ස්ටේන් වෑන් ගොලෙනේසේ” (Julius Valentyn Stein Van Gollenesse) කියන ආණ්ඩුකාරවරයා ඒ සඳහා අවසර ලබා ගන්න සමත් වුණා. ඔහුගේ අදහස වුණේ නගර ප්‍රදේශයෙන් එපිට තිබුණු වගුරු බිම් ප්‍රදේශයේ පල්ලිය ඉදි කරන්නයි. මේ පැත්තේ ඒ කාලයේ බහුලව නරියන් ගැවසිලා තියෙනවා. නරින්ව වෘකයන් විදිහට වරදවා හඳුනා ගත්තු නිසා යුරෝපීයයන් ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ වුල්වන්ඩාල් (Wolvendaal) නැතිනම් වෘක පළාත කියලයි. එහි ඉදිවුණු පල්ලියටත් වුල්වන්ඩාල් පල්ලිය කියලා නම් ලැබුණා.

වුල්වන්ඩාල් පල්ලිය අද පෙනෙන ආකාරය. රූපය : sundayobserver.lk

17 – 18 වැනි සියවස් වලට අයත් මේස, බංකු ඇතුළු ලී භාණ්ඩ තවමත් මේ පල්ලිය ඇතුලේ සුරැකිව තියෙනවා. 1620 ඉඳලා 1936 වෙන තුරුම මේ පල්ලියේදී ලියාපදිංචි කෙරුණු විවාහයන් සහ බෞතීස්ම කිරීම් වල වාර්තා මෙහි ලේඛනාගාරයේ අදටත් දැක ගන්න පුළුවන්. තවමත් දේව මෙහෙයන් පැවැත්වෙන මේ පල්ලියේ ලිපි ලේඛන නෙදර්ලන්ත රාජකීය තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ අදටත් සංරක්ෂණය කෙරෙනවා.

පල්ලියේ යාඥා කටයුතු සඳහා භාවිත වන දිග බංකු. (pews) රූපය : රචකයාගෙනි.

වුල්වන්ඩාල් පල්ලියට යන ඕනෑම කෙනෙක්ට දැනෙන්නේ පුදුමයක් වගේම සන්සුන් බවක්. මේ ස්ථානයේ තියෙන ඓතිහාසික බව ඇඟටම දැනෙනනවා. ඔබ සිටගෙන ඉන්න බිමට යටින් තියෙන්නේ වසර සිය ගණනක් පැරණි සොහොන් නිසා මෙතන ඉන්න එක හරිද කියලත් හිතෙන්න පුළුවන්.

මේ පල්ලිය පිටින් බැලුවාම තරමක ජරාජීර්ණ බවක් පේනවා වගේම ඇතුළත තියෙන්නෙත් පාළු බවක්. කොහොම වුණත් මෙතන අතහැරලා දාපු තැනක් නම් නෙවෙයි. හැම සතියකදීම ඉරිදා දේව මෙහෙය මෙහි පැවැත්වෙනවා. මෙතන බලා කියා ගන්න පැවරිලා තියෙන උදවියත් නිතරම ගැවසෙනවා දැක ගන්න පුළුවන්. අතීතයේ මිය ගිහින් මෙතැන වල දමාපු ලන්දේසි ජාතිකයන් තැනින් තැන ඉඳගෙන ඔබ දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමකුත් දැනෙනනවා.

ඉතින් ඉතිහාසය ගැන අදහසක් ගන්න යන්න මේ වුල්වන්ඩාල් පල්ලිය බොහොම හොඳ තැනක්.

පැරණි ලන්දේසි රෝහල

18 වැනි ශතවර්ෂයේදී අඳින ලද ලන්දේසි රෝහලේ සිතුවමක්. රූපය : sundaytimes.lk

“Old Dutch Hospital” කිව්වාම කවුරුත් දන්න පැරණි ලන්දේසි රෝහල කොළඹ තියෙන ඓතිහාසික වටිනා කමින් වැඩිම ගොඩනැගිල්ලක් කිව්වොත් වරදක් නැහැ. මෑත කාලීනව සංවර්ධනය කරලා සාප්පු සහ භෝජනාගාර සංකීර්ණයක් බවට පත් කෙරුණු මේ ගොඩනැගිල්ල තමයි දැනට කොළඹ ඉතිරි වෙලා තියෙන පැරණිම ගොඩනැගිල්ල විදිහට සැලකෙන්නේ. ක්‍රිස්ටියන් ශ්වෙට්සර්ගේ වාර්තාවලට අනුව මෙම ගොඩනැගිල්ල 1681 ඉඳලා මේ වන තුරුම නිරුපද්‍රිතව පවතිනවා. ඒ දවස්වල මේ ගොඩනැගිල්ල භාර වෙලා තිබුණේත් ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමටයි.

පැරණි ලන්දේසි රෝහලේ ගොඩනැගිලි පහක් දැකගන්න පුළුවන්. මෙයින් හතරක් නිර්මාණය කරලා තියෙන්නේ විශාල මැද මිදුලක් නිර්මාණය වෙන විදිහට චතුරශ්‍රයක් වටේටයි. පස් වැනි ගොඩනැගිල්ල තියෙන්නේ අනෙක් ගොඩනැගිලි හතරත්, එයත් අතර තවත් මිදුලක් නිර්මාණය වෙන විදිහට. ඉදිරිපස ගොඩනැගිල්ලේ උඩු මහලකුත් දකින්න ලැබෙනවා. උඩින් තියෙන රූපය දිහා බැලුවොත් මේ ගොඩනැගිලි වල පිහිටීම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

මේ දවස් වල කොළඹ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න ලන්දේසි ජාතිකයන්ට වගේම නිතරම කොළඹට එන නැව් වල නාවිකයන්ගේ රෝගාබාධ වලටත් ප්‍රතිකාර පුළුවන් මට්ටමේ උසස් රෝහලක අවශ්‍යතාව ලන්දේසි පාලකයන්ට තදින්ම දැනුණා. ඒ අනුව තමයි මේ රෝහල නිර්මාණය වුණේ. ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක්, නවක ශල්‍ය වෛද්‍යවරුන් තුන් දෙනෙක් වගේම ශල්‍යවේදය පුහුණු වන වෛද්‍යවරුන් (intern ලා) පස් දෙනෙකුත් දෙනෙකුත් මෙහි සේවය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යාවේ පියා විදිහට සැළකෙන පෝල් හර්මන් (Paul Hermann) මහතා පවා මේ රෝහලේ සේවයට එක් වුණා.

මේ සියලු ශල්‍ය වෛද්‍යවරු දිනකට දෙවරක් රෝහලට ආ බවත්, අවශ්‍ය අවස්ථා වල රෝගීන්ගේ නිවෙස් වලටම ගිහින් ප්‍රතිකාර කළ බවත් වාර්තා වල සඳහන් වෙනවා. රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතා සපුරන්න ආවතේව නිලධාරියෙකුත් රෝහලේ ඉඳලා තියෙනවා.

ඉදිරිපස ගොඩනැගිල්ල සහ අනෙක් ගොඩනැගිලි අතර තියෙන ඉඩකඩ. රූපය : රචකයාගෙනි

18 සහ 19 වැනි වර්ෂ වලදී ලන්දේසි රෝහල ගැන වාර්තා ඒ තරම් සොයා ගන්න නැහැ, නමුත් 1980 ගණන් වල ඉඳලා 1990 ගණන් වන තුරුම කොළඹ කොටුව පොලිස් ස්ථානය පිහිටලා තිබුණේ මේ ගොඩනැගිල්ලේ. 1996 සිදු වූ LTTE බෝම්බ ප්‍රහාරයකින් ලන්දේසි රෝහලටත් හානි සිදු වුණා.

කොහොම වුණත් දැන් මේ ස්ථානය ඉතා හොඳින් නවීකරණය කරලා තියෙනවා. යාළුවො මිත්‍රයොත් එක්ක කෑමකට යන්න, නිදහසේ සාප්පු සවාරියක් යන්න කාට වුණත් පුළුවන්. නව තාක්ෂණයේ සලකුණු බැලූ බැලූ අත දැක ගන්න ලැබෙනවා. ඒත් මේ නිසා පැරණි ලන්දේසි රෝහලේ තියෙන ඓතිහාසික වටිනාකම යම් තරමකට හෑල්ලු වෙලා කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්.

කොහොම වුණත් කොළඹ ප්‍රදේශයේ ඉතිහාසයට සම්බන්ධ තැනක් බලා කියාගෙන නිදහසේ ගිහින් කාල බීල එන්න නම් ලන්දේසි රෝහල කියාපු තැනක්. (සල්ලි ඇති තරම් තියෙනවා නම්)

ජනාධිපති මන්දිරය

ජනාධිපති මන්දිරයේ දර්ශනයක්. රූපය : nation.lk

1804 ඉඳලා, ඒ කියන්නේ මුළු රටම ඉංග්‍රීසි පාලනයට නතු වෙන්නත් කලින් ඉඳලාම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නිවහන වුණේ දැන් ජනාධිපති මන්දිරය කියලා හඳුන්වන මේ ගොඩනැගිල්ල. මාටින් වික්‍රමසිංහ මහතාගේ පොත් ඇතුළුව ලංකාවේ බොහෝ නවකතා වල වගේම කලාකෘතීන් වලත් මෙතැන “රජ ගෙදර” කියලා හඳුන්වලා තියෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාව ඇති වන තුරුම මේ ස්ථානය නිල වශයෙන්ම හඳුන්වලා තියෙන්නෙත් “රජුගේ මන්දිරය / රාජිණියගේ මන්දිරය” (King’s House / Queen’s House) කියලයි.

මේ මැදුර ඉදි කරන්න භාවිත කෙරුණේ ඒ වන විට කොළඹ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයට (St. Francis Church) අයිතිව තිබුණු ඉඩමක්. අපි කලින් කියපු වුල්වන්ඩාල් පල්ලිය ඉදි කරලා තියෙන්නෙත් මේ දේවස්ථානයට අයිති ඉඩමකයි.

ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා වුණු ජොහාන් වෑන් එංගල්බීක් (Johan van Angelbeek) ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය තමන්ගේ හිමිකමට පවරා ගෙන ඒ ස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරන්න කටයුතු කළා. ඔහු මිය යන විට මේ ගොඩනැගිල්ලේ හිමිකම පැවරුණේ ඔහුගේ මිණිබිරියටයි. ඉංග්‍රීසින් මේ ප්‍රදේශයේ පාලනය අල්ලා ගත්තාට පසුවත් මේ ගොඩනැගිල්ල පෞද්ගලික දේපලක් විදිහට ඇයටම අයිති වෙලා තිබුණාලු. නමුත් පසුව ඇගේ සැමියා ඉංග්‍රීසින්ගෙන් ලබා ගත්තු ණයක් ආපහු ගෙවා ගන්න බැරි වුණු නිසා එයට හිලව්වක් විදිහට මේ මන්දිරය ඉංග්‍රීසීන්ට විකුණන්න සිදු වෙලා.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය උත්සවවලදී ජනාධිපති මන්දිරය නිල භාවිතයට ගන්නවා. 2016 අවුරුද්දේ ජූනි මාසේ තාවකාලිකව මහජනයාට විවෘත කෙරුණත් දැන් ආයෙත් මේ ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයකයි තියෙන්නේ.

කොළඹ ලන්දේසි කෞතුකාගාරය

ලන්දේසි කෞතුකාගාරයේ ඉහළ මාලය එහි මැද මිදුලේ සිට පෙනෙන අයුරු. රූපය : රචකයාගෙනි

පිටකොටුවේ කුමාර වීදියේ, නැතිනම් ප්‍රින්ස් වීදියේ පිහිටා තිබෙන කෞතුකාගාරයේ ගොඩනැගිල්ල ඉදි කෙරුණේ කොළඹ ප්‍රදේශය ලන්දේසි පාලනය යටතේ තියෙන කාලයේදීයි. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වුණු තෝමස් වෑන් රී (Thomas van Rhee)ගේ උපදෙස් අනුව 1692-1697 කාලයේදී මෙය ඉදි කළ බවට සැලකෙනවා.

පසුකාලීනව බ්‍රිතාන්‍ය පාලනය යටතේ මේ ගොඩනැගිල්ල විවිධාකාර අවශ්‍යතාවන් ගණනාවක් සඳහා යොදා ගැනුණා. වරෙක ආයුධ ගබඩාවක් විදිහටත්, පසුව යුධ හමුදා රෝහලක් විදිහටත්, ඉන් පස්සේ සන්නිවේදන කටයුතු සඳහාත් මේ ගොඩනැගිල්ල යොදා ගැනුණු බව වාර්තා වල සඳහන් වෙනවා.

1696-1796 අතර ශත වර්ෂයක තරම් කාලයක් පුරාවට ගුරුවරුන් සඳහා පුහුණු විද්‍යාලයක් විදිහටත් මේ ස්ථානය භාවිතයට ගෙන තියෙනවා. ඊට අමතරව ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන යන අනාථ කඳවුරක් විදිහටත්, 1900 දී පොලිස් පුහුණු පාසලක් විදිහටත්, 1932දී පිටකොටුව තැපැල් කාර්යාලය සඳහාත් ලන්දේසි කෞතුකාගාර ගොඩනැගිල්ල භාවිතයට ගැනුණා.

ලන්දේසි කෞතුකාගාරයේ තිබෙන මේ පොකුරු පහන (chandelier) පිටුපසින් විවිධ ස්ථාන වල නම් සඳහන් පුවරු පිරුණු බිත්තියක් දැක ගන්න පුළුවන්. රූපය : රචකයාගෙනි

අතීතයේ ඉඳලා විවිධ දේවල් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනුණු මේ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත් කෙරුණේ 1973 අවුරුද්දේදියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකාවේ නෙදර්ලන්ත ආදී පුරවැසි සංගමය (Netherlands Alumni Association of Lanka) කියන ආයතන වල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් තමයි මේ තීරණයට එළඹුණේ. ලන්දේසි සමයේ වටිනා කෞතුක භාණ්ඩ ගණනාවක් එක්ක මේ ස්ථානය 1982දී මහජනයා වෙත විවෘත වුණා.

ලන්දේසි කෞතුකාගාරයේ සොහොන් කොත් සඳහාම වෙන් කෙරුණු කාමරයක් තිබෙනවා. අතීතයේ මියගිය ලන්දේසි ජාතිකයන්ගේ සොහොන් ගල් මෙහි දැකගන්න පුළුවන්. රූපය : රචකයාගෙනි

කොළඹ ලන්දේසි කෞතුකාගාරය දැන් සංචාරකයන් ඒ තරම් ගැවසෙන්නේ නැති තැනක් කිව්වොත් වරදක් නැහැ. දේශීය සංචාරකයන්ට ටිකට් එකක මිල රුපියල් 20ක් වුණත් විදේශිකයන්ගෙන් ඒ සඳහා රුපියල් 500ක් අය කෙරෙනවා. මීට අමතරව ඇතුලත ඡායාරූප ගන්න කැමති නම් ඒ සඳහාත් රුපියල් 250ක් ගෙවා කැමරා අවසරපතක් ලබා ගන්න අවශ්‍යයි.

ඇතුළත තියෙන කෞතුක භාණ්ඩ ගැන විස්තර සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙනුත් සඳහන් කරලා තියෙනවා. ඇතුලත කාමරයක අල්මාරියක තැන්පත් කරපු ලන්දේසි යුවලකගේ පිළිරුවකුත් දැක ගන්න පුළුවන්. ගොඩනැගිල්ලේ මැද මිදුලට ගියාම අවට ප්‍රදේශය පැහැදිලිව දැක ගන්න ලැබෙනවා. එතන ඉඳලා බැලුවාම වටපිටාව පෙනෙන්නේ වංකගිරියක් වගේ.

පැරණි ලන්දේසි කෞතුකාගාරය ඇතුලේ නිතරම දැනෙන්නේ තරමක බියසුළු බවක්. තවමත් පැරණි දූවිලි සුවඳ වරින් වර දැනෙනනවා. මේ ස්ථානය මොන තරම් පැරණිද කියලා හිතුවාම වෙලාවකට පුදුමත් හිතෙනවා.

කයිමන් දොරකඩ

කයිමන් දොරකඩ කියලා හැඳින්වෙන්නේ පිටකොටුවේ 4 වැනි හරස් වීදිය සහ ප්‍රධාන වීඩිය එකතු වෙන තැන තියෙන සීනු කුළුනකටයි. රූපය : රචකයාගෙනි

ඉස්සර බොහොම ජනප්‍රිය, පහසුවෙන්ම දැක ගන්න පුළුවන් තැනක් වුණු කයිමන් දොරකඩ දැන් පිටකොටුවේ ඉදිවන සුවිසල් ගොඩනැගිලි නිසා හොයා ගන්නත් බැරි තරම්. ඉතින් අද කාලේ “මම එනකල් කයිමන් දොරකඩ ලඟට වෙලා ඉන්න” කියලා සෙලෙස්තිනාට කිව්වොත් එයාට තැන හොයා ගන්න සෑහෙන අමාරු වේවි.

කයිමන් දොරකඩ කියන්නේ අතීත කාලයේ කොළඹ කොටුවට ඇතුල් වෙන්න සකස් කරපු දොරටුවක්. මේ කුළුණේ එල්ලලා තියෙන සීනුව 16 වැනි ශතවර්ෂයේ ඉඳලාම තියෙන එකක්. මුල් කාලයේ කෝට්ටේ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයේ තිබුණු මේ සීනුව පෘතුගීසීන් දේවස්ථානය අතහැර දැමීමත් එක්ක අභාවයට ගියා. කොහොම වුණත් ලන්දේසි ජාතිකයන් මේ සීනුව හොයා ගෙන ඇවිත් කුළුණක රඳවලා ප්‍රදේශයට ඇඳිරි නීතිය ප්‍රචාරය කරවන සීනුවක් විදිහට භාවිතයට ගත්තා.

මේ සීනුව පසුව වුල්වන්ඩාල් පල්ලියට බැතිමතුන් කැඳවන්නත් භාවිත වෙලා තියෙනවා. මේ වන විට වැටකින් වට කරලා තියෙන කයිමන් දොරකඩ කුළුණ බොහෝ දෙනෙකුට අමතක වෙලාම ගිහින්.

කයිමන් දොරකඩ දැක්වෙන J. K. L. වෑන් ඩෝට්ගේ දියසායම් සිතුවමක්. රූපය : විකිපීඩියා

අපි මේ ඔබට කිව්වේ කොළඹ අවට දැකගන්න ලැබෙන බොහොම දිගු ඉතිහාසයක් තියෙන ස්ථාන කිහිපයක් ගැනයි. රජරට ඇතුළුව රටේ මැද ප්‍රදේශ වල තියෙන ඓතිහාසික රාජධානීන්ට අයිති නටබුන් කවුරු අතරත් බොහොම ජනප්‍රිය වුණත් වෙරළාශ්‍රිත ප්‍රදේශ වල දැක ගන්න ලැබෙන අධිරාජ්‍ය නටබුන් ගැන උනන්දු වෙන පිරිස සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඔබත් මේ තැන් වලට වරක් හරි ගිහින් ඒ අත්දැකීමත් ලබා ගන්න බලන්න. අපිට මග හැරුණු තවත් වැදගත් තැන් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් එකක් දමන්නත් අමතක කරන්න එපා.

පරිවර්තනය:  ඉන්ද්‍රජිත් ගමගේ