නත්තලට සිහිපත් වන ඉතිහාසයේ විශාලත ම කතෝලික සමූල ඝාතනය

නත්තලේ ප්‍රීතිය සමරන අතර ම කිතු දහම වෙනුවෙන් දිවි පූජා කළවුන් සැමරීමත් කතෝලිකයන්ගේ සිරිතක්. පසුගිය 2019 වර්ෂයේ සිදුවූ පාස්කු ප්‍රහාරය නිසාත් විශාල කිතුනුවන් පිරිසකට දිවි අහිමි වුණා.

ඉතිහාසයේ සඳහන් අප රටේ විශාලත ම කිතුනු සංහාරය සිදු ව ඇත්තේ යාපනයේ සංකිලි රජ සමයේදි යි. එම ඝාතනයට සාධක වශයෙන් මන්නාරමේ සමූහ මිනී වළක් ද පසුගිය 2018 දී අහම්බෙන් හමුවුණා. මේ ඒ ගැන කළ සොයා බැලීමක්.

මිනී වළ කැණීමේ දී හමුවූ හිස්කබල් – tamilguardian.com

මන්නාරමෙන් මතු වූ මිනී වළ

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් පසු එහි පස් ඉවත් කිරීමේ දී මිනිස් ඇටකටු තොගයක් හමුවුණා. ඒ ස්ථානය පිළිබඳ අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු එහි සුලමුල සොයා කැණීම් ආරම්භ කළේ 2018 මැයි 28 වැනිදා යි. මෙම කැණීම් සිදු කළේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන්.

එතැන් සිට කැණීම් අත්හිට වූ 2019 මාර්තු 08 වැනි දා දක්වා වූ කාලයේ කළ කැණීම්වල දී පුද්ගලයන්  328 දෙනකුගේ ඇටසැකිලි සොයා ගැනීමට අවස්ථාව ලැබුණා. ඉන් 28ක් ළමයින්ගේ බව ද හෙළිදරව් වුණා.  එම ඇටසැකිලි අයත් මිනිස් සිරුරු විධිමත් ව මිහිදන් නොකළ ඒවා බවයි විසිරී තිබූ ආකාරයෙන් පැහැදිලි වුණේ.  ඇටසැකිලි අතර තිබී ඔවුන් පැළඳ සිටි රන්, රිදී දෑ ලෝහමය ගෙළ පළඳනා හෝ අත් පා පළඳනා හෝ පරිහරණය කළ මැටි භාණ්ඩ, අවි ආයුධ වැනි දෑ හමුවී ඇති පැවසෙනවා. ඒවා පිළිබඳව නිශ්චිතව වාර්තා තව ම නිකුත්වී නැහැ.    

පුරාවිද්‍යාඥයන් කැණීම් කරමින් – bbc.com

 කාල නිර්ණය

අතීතයේ මන්නාරමේ පෘතුගීසින් කිතු දහම ව්‍යාප්ත කිරීමේ සමයේ කතෝලික ජන ඝාතනයක් සිදුවී ඇති බව ඉතිහාසයේ සඳහන් නිසා එහි පොළොවේ ස්තර කිහිපයකින් ලබාගත් මානව අස්ථි කොටස්වල නියැදි කාල නිර්ණය සඳහා එක්සත් ජනපදයේ   මියාමි හි බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය වෙත යැව්වා.  ඒ   වයස හඳුනා ගැනීමට    කාබන් 14 පරීක්ෂණයක් කිරීමට යි. 

එහිදී ලැබුණු ප්‍රතිඵලයෙන් කියවුණේ ක්‍රිස්තු වර්ෂ 1400-1650 අතර කාලයට මෙම අස්ථි අයත් බව යි. මෙහි කාල අන්තරය අවුරුදු 250ක් වුණා. පුරාවිද්‍යාඥයන් සඳහන් කළේ මෙතරම් කාල අන්තරයක් ලැබීම ගැටලුවක් බව යි. උතුරේ සමහර දෙමළ දේශපාලනඥයන් මේ කාල නිර්ණය පිළිගන්නේ නැති බවයි ප්‍රකාශ කළේ.     

මන්නාරමේ දී පූජකවරුන් ඝාතනය කරන අන්දම දැක්වෙන ප්‍රාණ චිත්‍රපටයේ දර්ශනයක්- cinema.lk

 අතීත කිතුනු සමූල ඝාතනය

සෙගරාජසේකරම් හෙවත් පළමු සංකිලි රජු(1519-1561), යාපනයේ රජවීමෙන් පසු පාලනය ගෙන ගියේ නල්ලූර් සිට යි. ඔහු සිංගයි පරරාජසේගරම් රජුගේ අනියම් බිසවකට දා ව ලැබුණු පුත්‍රයෙක් ලෙස සැලකෙනවා. පළමු සංකිලි සිහසුන හිමි කරගත්තේ කුමන්ත්‍රණ රාශියක් සිදුකරමින්. සිහසුනට හිමිකම් කියූ බොහෝ අය අබිරහස් මරණවලට ගොදුරු වුණ. 

යාපනය රාජධානියේ ප්‍රධාන වරායක් වූ මන්නාරමෙහි ඒ වන විට දෙමළ කතෝලිකයන් සුළු පිරිසක් ජීවත් වුණු අතර  මන්නාරම අවට පෘතුගීසින් බලපෑම පැවතියා. මේ කාලයේ ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර්තුමන් කළ දේශන සහ සිදු කළ  ප්‍රාතිහාර්යයන් පිළිබඳ කටකතා රැල්ලක් මන්නාරම් වෙරළ තීරය පුරා පැතිර ගියා. හින්දු ආගම අදහන පිරිස් ද ඒ ගැන කතා වුණා. ඒ වනවිට ඔහු සිටියේ  දකුණුදිග ඉන්දියාවේ වෙරළාසන්න ගම්මානවල  දේශනා පවත්වමින්.  ඔහුගේ ධර්ම දූත මෙහෙවර ඉතා සාර්ථක වූ අතර බොහෝ ධීවර ප්‍රජාවන් ක්‍රිස්තියානිය වැලඳ ගත්තා. ඔහුගේ දක්ෂතාව, ගුණ යහපත්කම පිළිබඳ ව මුහුදෙන් එතෙර මන්නාරමට ද ආරංචි වුණා.

යාපනය රාජධානිය – Wikipedia.org

ශාන්ත ක්ෂේවියර්තුමා

1617 දී ලිස්බන්හි උපන් මෙම පියනම 1635 දී ගෝවට පැමිණියේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට යි. ඔහු  එවකට ගෝවේ ජීවත් වූ බොහෝ පෘතුගීසි පූජකවරුන්, නිලධාරීන්, සොල්දාදුවන් සහ සිංහල, දෙමළ මිනිසුන් දුන් තොරතුරු මත පදනම් ව සුවිසල් පොත් හයක් ලියා තිබෙනවා.  ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ ලේඛන 1929 දී එස්.ජී. පෙරේරා පියනම පෘතුගීසි බසට පරිවර්තනය කළා.

 මන්නාරමේ කතෝලික  ප්‍රභූවරුන් තම ප්‍රදේශවල දුක්ඛිත තත්ත්වය ගැන පවසා ශාන්ත ක්ෂේවියර්තුමා එහි පැමිණීමේ වැදගත්කම පිළිබඳ ව සඳහන් කර දූත පණිවිඩකරුවන් අත හසුන්  යැව්වා. ශාන්ත ක්ෂේවියර්තුමා වැඩි කාලයක් ගත කළේ ළමයින්ට ඉගැන්වීමට සහ රෝහල්වල රෝගීන්ට දේශනා පැවැත්වීමට යි. ළමයින් හා සේවකයන් කැඳවීම පිණිස සීනුවක් නාද කරමින් වීදිවල ඔහු ගමන් කළ බව පැවසෙනවා.   

ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර්තුමා

 මන්නාරම ජනතාවගේ ආරාධනය පරිදි ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර්තුමා පළමු ව තම දූතයන් මන්නාරමට එව්වා. මන්සිල්හාස් පියනම එසේ පැමිණි දූතයෙක්. පසුව 1543 දී ක්ෂේවියර්තුමාත් මෙරටට ගොඩ බැස්සා.  ෆ්‍රැන්සිස් ක්ෂේවියර්තුමන් කිතුනුවන් දිරිගන්වා ශක්තිමත් කිරීමට යාපනය, කොළඹ, ඩෙල්ෆ්ට් සහ නාගපට්ටම් යන පෙදෙස්වල සංචාරය කළා. මන්නාරමේ ක්‍රිස්තියානිය වැලඳ ගත් දුප්පත් පිරිස් අතර කතාබහ කර ඔවුන් ස්ථිර ව එම ආගම පිළිගන්නා බව තහවුරු වුණු පසු ව මුලින් හින්දු ආගම ඇදහූ මිනිසුන් 600ක් බෞතීස්ම කළා.      

මෙම ක්‍රියාව කෝවිල්වල හින්දු පූජකයන් කෝපයට පත් කළ සිද්ධියක් වුණා. ඔවුන් නල්ලූර් වෙත ගොස් සංකිලි රජුට තත්ත්වය වඩාත් නරක අන්දමින් හා අතිශයෝක්තියෙන් පවසා සිටියා. වෙනත් ආගමික පූජකවරයකු ඔහුගේ භූමියෙහි සරමින් මහජනයා මුළා කරමින් රජුට එරෙහි ව ජනතාව පෙළගස්වන බව යි ඔවුන් කියා ඇත්තේ. ඉන් කෝපයට පත් සංකිලි රජු  යාපනය රාජධානියේ මූලික භූමියෙන් හා මුග්‍රා වෙරළින් සන්නද්ධ මිනිසුන් 5000ක් සංවිධානය කර මන්නාරම බලා පිටත් වුණා.

සමූහ මිනී වළ ගැන පරීක්ෂණ පවත්වමින් – News.lk

සමූල ඝාතනය

පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමාගේ සටහන්වල දැක්වෙන පරිදි මන්නාරෙම් දී රජතුමාගේ හමුදාවට කිසිදු ප්‍රතිරෝධයක් එල්ල වී නැහැ. මරණයට නියම වූ අන් අය, මරණයට මුහුණ දුන් එඩිතර ආකාරය දැක කඳුළු හෙළා තිබෙනවා. කුඩා ම දරුවන් මර බියෙන් හැඬූ අතර ඔවුන්ගේ මව්වරුන් ඔවුන් සඟවන්නට උත්සාහ කළ බවත්,  තම සගයන්ගේ හිස ගසා දමන ආකාරය දුටු ඔවුහු වධකයන්ට තම ගෙල ද පෑවේ විශ්වාසයේ විස්මිත බලයක් ප්‍රදර්ශනය කරමින් බවත් ක්වේරෝස් පියනම සඳහන් කරනවා. භට පිරිසේ නායකයා වූ කෘර රජු ගැහැනු, පිරිමි, වැඩිහිටි, ළමා, ළපටි කිසිවකු ඉතිරි නොකර මරා දමා තිබෙනවා.   

  මේ පිරිස ජීවත්ව සිටියේ   ‘පාටම්’ නම් ස්ථානයේ යි. පාටම් යනු   මන්නාරමේ කරියාවරුන්ගේ නිජ බිම යි.   මෙසේ ඝාතනයට ලක්වූයේ කඩෙයාර් කුලයේ මිනිසුන් හා ගැහැනුන්. කඩෙයාර්වරුන් හුණුකර්මාන්තයේ නියැළි දිළිඳු ප්‍රජාවක් ලෙස සඳහන් වෙනවා. මේ පිරිසේ බෞතිස්මය සිදුවූයේ 1544 ඔක්තෝබර් මාසයේ වන අතර ඔවුන් සියලු දෙනා ඝාතනයට ලක්වූයේ එම වසරේ නොවැම්බර් මාසයේ දී යි.   මෙසේ ආගම නිසා ඝාතනයට ලක්වූ ඔවුන් හඳුන්වන්නේ ප්‍රාණපරිත්‍යාගින් ලෙස යි. මරණයෙන් බේරුණු ශාන්තුවරයා 1544 දී සාගරය තරණය කර කොචින් වෙත පැමිණ පෘතුගීසි විකාර් ජනරාල් මිගෙල් වාස් හමු වී සමූලඝාතනය පිළිබඳ වාර්තා කළ බව සඳහන් වෙනවා.  

පළමු සංකිලි රජු ලෙස රංගනයේ යෙදෙන දර්ෂන් ධර්මරාජ් ( ප්‍රාණ) – diviana.com

යාපනයේ රජවරු

යාපනය රජ පරපුරේ ඉතිහාසය අනුව නල්ලූර්හි පාලනය ආර්ය චක්‍රවර්තීන්ගෙන් ඇරැඹෙනවා. අනතුරුව කනගසූරිය (1467-1478) සිට සංකිලි කුමාර (1616-1620) ගේ රාජ්‍ය වර්ෂවලින් එය අවසන් වෙන අතර පසුව එහි පාලනය මෙහෙයවන්නේ පෘතුගීසින්.

කාබන් පර්යේෂණ ප්‍රතිඵල අනුව යෝජිත වන වසර 250 කට හසුවන කාලයේ රජ කළ පාලකයන් වන්නේ පරරාජසේකරම් (1478-1519) සිට II වන සංකිලි (1616-1620) දක්වා රජවරුන් නව දෙනෙක්. අදාළ සමූහ මිනිස් ඝාතනයට සම්බන්ධතාවක් ඇති බව ඓතිහාසික ලිඛිත වාර්තා අනුව පෙනී යන්නේ I වන සංකිලි හෙවත් සෙගරාජසේකරම් (1519-1561) රජු යි.   

නල්ලූර්හි සංකිලි මාලිගයේ ඉදිරිපස කොටස- Wikipedia.org

මේ අකටයුත්ත නිසා දෙමළ රජුට දඬුවම් කිරීමට පෘතුගීසින් සැලසුම් සකස් කර තිබෙනවා. පේගු රටින් පැමිණි රන්, සේද ආදී අගනා වෙළෙඳ භාණ්ඩ රැගත් පෘතුගීසි නැවක් යාපනයේ නොගැඹුරු මුහුදේ එරීමත් සමඟ එම භාණ්ඩ සංකිලි විසින් රාජසන්තක කර ගැනීම වළක්වා ගන්නට ගත් උත්සාහය නිසා රජුට දඬුවම් කිරීම නතරවූ බව පැවසෙනවා.   

යාල්පාන වයිපවමාලය

මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගීන් ගැන අපට හමු වන එක ම දේශීය මූලාශ්‍රය වන්නේ මෙම ‘යාල්පාන වයිපවමාලය’ ඉතිහාස ග්‍රන්ථයයි. එය 1736 දී   ජාන් මැකාරා නම් ලන්දේසි ආණ්ඩුකාරයාගේ ඉල්ලීම මත මයිල්වාගනම් නම් වූ දෙමළ පඬිවරයා ලියූ පොතක්. 

 

මන්නාරමෙන් හමුවූ මිනිස් ඇටකටු – newsin.asia

  ඝාතනය සිදුවූයේ ‘කාරා’ වර්ෂයේ ‘අදි’ මාසයේ දී බව ඔහු සඳහන් කරනවා. මේ එම සිද්ධිය යාල්පාන වයිපවමාලයේ දක්වා ඇති අයුරුයි:

‘‘කතාවෙහි චතුර වාග් ශක්තියෙන් බලවත් වූ පරංගි දේශකයන්ගේ කිම්බිණීම්වලට වශී වූ මන්නාරම් වැසි පවුල් කිහිපයක්ම සත්‍ය වේදය වැලඳගත්තෝ ය. මේ දෘෂ්ටි පරිවර්තනය පිළිබඳ ආරංචිය සංකිලි කන වැකී ගියේ ය. එයින් හේ ආවේශ විය. අභිනව ආගම වැලඳගත් හයසිය දෙනකුගෙන් යුක්ත වූ ස්ත්‍රී පුරුෂ, බාල මහලු, තරුණ සියල්ලෝ ම ගෙල සිඳවා මරන ලද්දෝය.‘‘ (යාල්පාන වයිපවමාලය හෙවත් යාපා පටුන් වංශ කතාව- සම්පාදනය-මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා අභයශ්‍රීවර්ධන 50 පිට)

මේ සිද්ධියෙන් පසු යාපන රාජධානියේ විසූ බෞද්ධයන් සියලු දෙනා ද පිටුවහල් කර එළවා දැමූ බව එහි සඳහන් වෙනවා.

දෙවැනි සංකිලි රාජ ප්‍රතිමාව – යාපනය- Wikipedia.org

  ප්‍රාණ චිත්‍රපටය

පසුගිය ඔක්තෝබර් මාසයේ තිරගත වූ ප්‍රාණ” චිත්‍රපටයට පාදක වුණේ මෙම ඓතිහාසික සිද්ධිය යි. මෙහි තිර රචනය හා අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගේ වන අතර, ස්ටයිනර් ඇඩම්ස්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද බුවනෙක රණවකගේ අංග රචනයෙන් ද එයට එක්වී තිබෙනවා. ශාන් අල්විස්ගේ සංස්කරණයෙන් ද නදීක ගුරුගේ ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද   දායක වී සිටියා. ප්‍රාණ චිත්‍රපයටයට කතෝලික නරඹන්නන්ගෙන් වැඩි ප්‍රතිචාර ලැබුණු බවයි පෙනුණේ.   

කවරයේ ඡායාරූපය: නල්ලූර්හි සංකිලි මාලිගයේ ඉදිරිපස කොටස - www.lovesrilanka.org
මූලාශ්‍ර:
Lankadepa.lk
යාල්පාන වයිපවමාලය හෙවත් යාපා පටුන් වංශ කතාව - සම්පාදනය-මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා අභයශ්‍රීවර්ධන
ස්වාධීන පර්යේෂක වෛද්‍ය අජිත් අමරසිංහගේ පර්යේෂණ ලිපි

Related Articles