නව ජීවයක් ලැබූ කපුටු දූව පැත්තේ චාරිකාවක් යමු

ශ්‍රී ලංකාව කියන්නේ දූපතක් කියලා කිව්වාට ඇත්තටම ප්‍රධාන භූමි ප්‍රදේශයට අමතරව ශ්‍රී ලංකාවට අයත් කුඩා දූපත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. සාමාන්‍යයෙන් කොම්පඤ්ඤවීදිය කියලා හැඳින්වෙන “වහල් දූපත”, තැප්‍රෝබේන් දූපත වගේම, අපි මේ කියන්න යන කපුටු දූපතත් ඒවායින් කිහිපයක්. කොහොම වුණත් කපුටු දූපත නම් ඇත්තටම දූපතක් නෙවෙයි කියන්න පුළුවන්, මොකද එය අපේ රටේ ප්‍රධාන භූමි ප්‍රදේශයට සම්බන්ධ වෙලායි තියෙන්නේ. හෙක්ටයාර් 7.8ක, එහෙමත් නැතිනම් අක්කර 19ක විතර භූමියක පැතිරී පවතින මෙය දැනට දකුණු ආසියාවේ විශාලතම වෙරළබඩ විනෝද උද්‍යානය කියලත් සැලකෙනවා.

මීට මාස තුන හතරකට කලින් විවෘත වුණු මේ විනෝද උයනේ සවාරියක් ගිය අපේ Roar Life කණ්ඩායමේ හිතවතෙක් එහි දකින්න ලැබෙන අපූරු තැන්වල ඡායාරූප ගණනාවක් ඇති ලිපියක් ඉංග්‍රීසි භාෂාවෙන් එවලා තිබුණා. මෑත කාලයේ වැඩි දෙනෙක් නොදන්නා නමුත් යන්නම ආස හිතෙන තැනක් වන කපුටු දූපත ගැන සිංහල පාඨකයන් තුළත් ඇති වුණොත් හොඳයි කියලා අපිට හිතුණේ එය දුටුවාමයි. මේ නිසා ඒ ලිපිය ඔබ වෙනුවෙනුත් මේ විදිහට පළ කෙරෙනවා. කොළඹට ඉතාම කිට්ටුවෙන් තියෙන නිසා කපුටු දූව තදාසන්න ප්‍රදේශයේ ජීවත් වෙන කාටත් නිස්කලංක පරිසරයක සුව විඳින්න ඉතාම පහසුවෙන් යන්න පුළුවන් හොඳම තැනක් බව මේ පින්තූර දිහා බැලුවාම ඔබටත් හිතේවි.

කපුටු දූපත පිහිටා තිබෙන්නේ මෝදරයි, අංක අනුව ගත්තාම කොළඹ 15 ට අයත් වන මෙම ප්‍රදේශය කොටුව ප්‍රදේශයේ පවතින මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ (Central Business District) ඉඳලා කිලෝමීටර් හතක් පමණ දුරකින් පවතිනවා. කාලයක් තිස්සේ අපරාධ අධික ප්‍රදේශයක් විදිහටත්, දැඩි පරිසර දූෂණයක් සහිත ප්‍රදේශයක් විදිහටත් ප්‍රසිද්ධව තිබූ මෙය කාලයක් තිස්සේ පැවති මහජන විරෝධතාවලින් පසුව පවුලේ සියලු දෙනාටම එකට ගොස් විවේක ගත හැකි උද්‍යානයක් බවට පත්කර තිබෙනවා.

ලෝක බැංකුවේ ආධාර ඇතිව ආරක්ෂක සහ නගර සංවර්ධන අමාත්‍යාංශය කපුටු දූපත සංවර්ධනය කිරීම ආරම්භ කළේ 2014 අවුරුද්දේදීයි. රුපියල් මිලියන 275 ක වියදමක් දරා වෙරළබඩ උද්‍යානය සංවර්ධනය කර අවසන් කෙරුණු අතර 2016 අප්‍රේල් මාසයේදී එය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරුණා. ඒ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කොළඹ උතුරු ප්‍රදේශය සංවර්ධන සැලැස්මේ කොටසක් විදිහටයි.

කැළණි ගඟේ මුවදොරට මායිම් වෙලා පිහිටා තිබෙන කපුටු දූපතේ වෙරළ තීරය දිගටම විවිධත්වයෙන් යුතු ශාක ගහණයක් දැක ගන්න ලැබෙනවා. (මේ බව කොළඹ පුරවරයේ නාගරික සංවර්ධන සැලැස්මට අදාළ 2014 පාරිසරික වාර්තාවේත් දැක්වෙනවා) වෙරළබඩ උද්‍යානය සංවර්ධනය කෙරුණේ මෙම දූපතටම ආවේණික සත්ව හා ශාක ගහණයක් සහිත කඩොලාන හා වගුරු බිම් පද්ධතියද ආශ්‍රිතවයි.

දෙහිවල තියෙන ප්‍රසිද්ධ වෙරළබඩ නිවාඩු නිකේතනයක් වන Barracuda ආයතනයේ අංග සම්පූර්ණ ශාඛාවකුත් කපුටු දූපත තුල ඉදි කෙරුණා. කොහොම නමුත් එයට ඉස්සරහින් තියෙන මුහුදු වෙරළ නම් දෙහිවල ප්‍රදේශයේ දකින්න තියෙන මුහුදු වෙරළට සමාන කරන්න බැහැ. එක අතකට මෙය වඩා නිහඬ සහ සෙනඟ අඩුවෙන් ගැවසෙන ගාලු මුවදොර පිටියක් කියලා කියන එක වඩාත් නිවැරදි වේවි. කොහොම නමුත් සංචාරකයන් වැඩිපුර ආකර්ෂණය කරගන්න හිතාගෙන නිර්මාණය කෙරෙන දේවල් නිසා අනාගතයේ මේ අවට පරිසරයේ දූෂණය ඉහළ යන්නත් ඉඩක් තියෙනවා. මේ නිසා කපුටු දූපතට එනකොට එහි පවතින පරිසර පද්ධතිය ගැන හොඳ අවබෝධයක් ඇතිව එන එක ගොඩාක් වැදගත්.

පිවිසෙන ස්ථානය අසලින් දකුණු අත පැත්තට හැරුණාම තියෙන ඇවිදින මාවත දිවෙන්නේ නැරඹුම් කුළුණක් වෙතටයි. මීගමුව ප්‍රදේශය වගේම උතුරු දිශාවේ ඉඳලා කොළඹ පෙනෙන හැටි දැක ගන්නත් මේ නැරඹුම් කුළුණට නැගුණාම පුළුවන්. අපි නිතර කොළඹ දකිනවාට වඩා වෙනස් දර්ශනයක් තමයි එතැන සිට බලනකොට දැක ගන්න ලැබෙන්නේ.

නැරඹුම් කුළුණේ ඉඳලා බලනකොට වෙරළ ආශ්‍රිතව පවතින තෘණ භූමිය ඈත පෙනෙන මුහුදු තීරයට මෑතින් දැක ගන්න පුළුවන්. මුහුදේ ඈත කෙළවරට එහායින් කොළඹ වරායේ ඉදිකිරීම් සහ යන්ත්‍ර සූත්‍ර ආදිය දැක ගන්න ලැබෙනවා. දැක්ක ගමන් ඇස යන විදිහේ විශාල උසකින් යුතු නෙළුම් කුළුණත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයත් අනෙක් සියලු ගොඩනැගිලිවලට බොහෝ ඉහළින් අලංකාරව දැක ගන්න පුළුවන්. ඈතින් පෙනෙන කොළඹ නගරයේ පහසුවෙන් හඳුනාගන්න පුළුවන් අනෙකුත් උසින් වැඩි, ජනප්‍රිය ගොඩනැගිලිත් පහසුවෙන්ම දකින්න ලැබෙනවා.

උතුරු දිශාවට දිවෙන ඇවිදින මාවතට මායිම් වෙලා තියෙන තුරු ලතා පෙළට එහායින් කුඩා දරුවන්ට ක්‍රීඩා කරමින් විනෝද විය හැකි සිඟිති උද්‍යානයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතා හොඳින් නඩත්තු කරලා අලංකාරව පවත්වාගෙන යන මෙය දහවල් කාලයට එහි පවතින විවිධ ඉදිකිරීම්වල නැගලා සෙල්ලම් කරන දරුවන්ගෙනුත්, ඔවුන් එක්ක ආපු දෙමව්පියන්ගෙනුත් පිරී යනවා.

වෙරළ බඩ උද්‍යානයේ පිවිසුමට කෙළින්ම ඉදිරියෙන් තියෙන්නේ තවත් නැරඹුම් වේදිකාවක්. එපිටින් පෙනෙන සුවිසල් ඉන්දියන් සාගරය ඉතා හොඳින් දැක බලා ගන්න පුළුවන් වෙන ආකාරයට මෙය නිමවා තිබෙනවා. ඇවිදින මාර්ග දිගටම කසල බඳුන් බොහොමයක් තිබුණත් තවමත් තැනින් තැන දමපු විවිධ කසල දැක ගන්න පුළුවන්. දූපතට ආවේණික තෘණ භූමියේ ආරක්ෂාවට මේ කුණු කසලවලින් එල්ල වෙන තර්ජනය සම්පූර්ණයෙන් නැවතිලා නැහැ කියලා දකින්න තියෙනවා. කපුටු දූපතට එන පිරිස වැඩි වෙනවාත් එක්කම මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලබා දෙන්න නිසි බලධාරීන් පියවර ගනීවි කියලා අපි බලාපොරොත්තු තියා ගමු.

කපුටු දූපත ඒ නමින් හැඳින්වෙන්නේ අධිරාජ්‍ය සමයේ ඉඳලාම මේ දූපත තමන්ගේ වාසස්ථානය කර ගත්තු විශාල කපුටු ජනගහනය නිසායි. සංවර්ධනය කළාට පස්සේ කපුටු දූපත නරඹන්න, එහි ආහාර ගන්න, පීනන්න, ක්‍රීඩා කරන්න සහ ඒ හැම දේකම සෙල්ෆි ගහන්න එන පිරිස වැඩි වෙන හැටියට ළඟදීම එය කපුටු ගහණයත් ඉක්මවා යාවි කියලා හිතෙනවා.

වැටක් සහිතව සිමෙන්තියෙන් තැනුණු තවත් ඇවිදින මාවතක් සකස් කරලා තියෙන්නේ උතුරු දියකඩනය පාදමක් කර ගනිමිනුයි. මේ වෙරළ බඩ උද්‍යානයේ නිස්කලංක බව රකින්න තියෙන දියකඩන දෙකෙන් එකක්. සාගරයේ පවතින රැළි නිසා මුහුදු වෙරළට ආසන්නව තියෙන ජල තලයේ රළු බව නැති කරන්නත්, වෙරළ දිගේ ඉහළට ජලය ගලා ඒම පාලනය කරන්නත් මේ දියකඩන ලොකු කාර්යභාරයක් නිහඬව ඉටු කරනවා.

පරිසර වාර්තාවේ අන්තර්ගතව තියෙන මිනුම් සැලැස්මේ හැටියට දකුණු දිශාවේ තියෙන දියකඩනයට ආසන්නයේ පවතින කුඩා ප්‍රදේශයක් “ආරක්ෂිතව නෑමට සුදුසුයි” කියලා පැහැදිලිව පෙන්වා තිබෙනවා. කොහොම වුණත් මේ කපුටු දූපතට එන වැඩි දෙනා කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ උතුරු දිශාවේ දියකඩනය අසල තියෙන මුහුදු තීරයටයි. මෙතැන “අනතුරුදායකයි, දිය නෑමෙන් වළකින්න” කියලා පැහැදිලිව පෙනෙන පුවරුවක් සවි කරලා තිබුණත් වැඩි දෙනා එය ගණන් ගන්නා බවක් පෙනෙන්න නැහැ.

දූපතේ තියෙන ප්‍රධාන ඇවිදීමේ මාවත පිවිසුමට වම් අත පැත්තේ තිබෙන දූපතේ එහි දකුණු දිශාවේ කොටස් දක්වාම පැතිරී පවතිනවා. මේ මාවතත් බොහෝ දුරට අපි කලින් කතා කළ අනෙක් මාවත වගේමයි. අපූරු නැරඹුම් කුළුණක් වගේම ෂෝට් ඊට්, අච්චාරු වර්ග, බීම වර්ග ඇතුළු කෙටි ආහාර පානත්, දරුවන් සඳහා සෙල්ලම් බඩු ආදියත් අලෙවි කරන කඩ කිහිපයකුත් මෙහි දැක ගන්න ලැබෙනවා.

දකුණු දිශාවට දිවෙන ඇවිදින මාවතේ කෙළවරේදී එය දිවීමේ ව්‍යායාම කරන්න සහ බයිසිකල් පදින්න සුදුසු මාවතකට සම්බන්ධ වෙනවා. මෙය බොහෝ දුරට බෙල්ලන්විල සහ බත්තරමුල්ල ආශ්‍රිතව ඇති ජලාශ්‍රිත උද්‍යානවලටම සමානයි. මේ මාවත කඩොලාන ශාක තියෙන ප්‍රදේශ ගණනාවක් ඔස්සේ වැටී තියෙනවා. මෙයින් බොහොමයක් කඩොලාන ප්‍රදේශ ඇත්තෙන්ම කෘත්‍රීමව බිහි කරන ලද ඒවා. කැළණිය ගඟ අසබඩ ජෛව විවිධත්වය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙසේ කෘත්‍රීමව කඩොලාන බිහි කරන්න ප්‍රධාන හේතුවක් වුණා.

මනරම් දර්ශනවලින් පිරුණු මේ මාවත ඉන් පස්සේ වැඩි දෙනා ගැවසෙන්නේ නැති වෙරළ තීරය අසබඩ ඇති කුඩා මුහුදු බොක්කක් වැනි ප්‍රදේශයක් පසු කර යනවා. ඒ අවට පෙම් සුව විඳින්න කැමති අය නිතරම යන එන කබානා කිහිපයකුත් තැනින් තැන දැක ගන්න පුළුවන්. මුහුදු බොක්කේ මැද හරියේ තරමක් විශාල ප්‍රමාණයේ ඉපිලුමක් (buoy එකක්) ජල තලය එක්ක තනිවම නැලවි නැළවී තියෙනවා.

මේ මුහුදු බොක්කක් වගේ ප්‍රදේශයට තරමක් එහායින් මේ මාවත ආපිට වංගුවක් ගනිමින් ආපහු වෙරළ බඩ උද්‍යානය තෙක් විහිදී යනවා. එයට යාබදව තියෙන කුඩා අඩි පාරේ හමුදා නිලධාරීන් මුර රාජකාරියේ යෙදෙන මුර කුටියක් තිබෙනවා. මේ කුඩා අඩි පාර ඉන් තරමක් එහායින් තියෙන සිමෙන්ති අතුරපු පාරකට සම්බන්ධ වෙලා දැන් ප්‍රදීපා ශාලාව කියලා හැඳින්වෙන විස්ට් බංගලාව තෙක් වැටී තිබෙනවා.

වෙරළ බඩ උද්‍යානයේ මැද කොටස පෙර තිබුණු තත්වයට වඩා සංවර්ධනය කිරීමෙන් පස්සේ ඉතාම පිරිසිදුව පවතින බවට විවාදයක් නැහැ. කොහොම නමුත් සිමෙන්ති අඩි පාරේ කෙළවරට වෙන්න තියෙන දකුණු පැත්තේ කොටසේ ජලය තවමත් කැළි කසළවලින් පිරී ගිහින්. ඒ ප්‍රදේශය පිරිසිදු කරන්න බලධාරීන් වැඩිය උනන්දුවක් නැති බවයි පෙනෙන්නේ.

ඉතින් කොළඹ ආසන්නයේම තියෙන, ඉතාම පහසුවෙන් යන්න පුළුවන් නිස්කලංක පරිසරයක් වන කපුටු දූපතට ඔබත් ඉඩ ලැබුණු වෙලාවක ගිහින් එන්න බලන්න. බොහෝ දෙනා නිතරම යන එන වෙනත් තැන්වලට වඩා තාවකාලිකව හරි මේ ප්‍රදේශයේ තවමත් ජනාකීර්ණ බව හරිම අඩුයි. කොහොම නමුත් එහි යනකොට ප්‍රදේශයේ තියෙන අලංකාරය නැති කරන, පරිසරය දූෂණය කරන දේවල් ගෙන යාමෙන් සහ තැන තැන දමා ඒමෙන් වැළකිලා තවත් අයටත් දැක ගන්න පුළුවන් විදිහට එහි සුන්දරත්වය ආරක්ෂා කරන්නත් හොඳින් මතක තබා ගන්න.

ඔබ දැනටමත් කපුටු දූපතට ගොස් තිබෙනවා නම් ගත්තු එහිදී ඡායාරූප සහ වැඩිදුර විස්තර කමෙන්ට්වල පළ කරන්නත් අමතක කරන්න එපා. අනාගතයේ මෙහි යන්න හිතාගෙන ඉන්න අයට ඒක ලොකු උපකාරයක් වේවි.

සජීව් පණ්ඩිත විසින් ලියන ලද මුල් ලිපියේ පරිවර්තනයකි.

Related Articles