දේවේන්ද්‍ර මූලාචාරි: සෙංකඩගල රාජකීය ශෘහනිර්මාණ ශිල්පියා

සෙංකඩගල නැත්නම් වර්තමාන මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව, නුවර වැව සහ මඟුල් මඩුව  අවසන් රාජධානියේ සංකේත විදිහට අදත් පවතිනවා. මේවා උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණ ලෙසයි සැලකෙන්නේ. මෙම ස්මාරක තනා තිබෙන්නේ එක ම ශිල්පියකු බව ඔබ සමහරවිට නොදැන සිටින්නට ඇති.

ඔහු, මාතර දෙවිනුවර සිට උඩරටටට  ගොස් රජවරුන් තුන් දෙනකු යටතේ  රාජකීය ශෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ දේවේන්ද්‍ර මූලාචාරියා යි.  වාස්තු විද්‍යාඥයකු, චිත්‍ර ශිල්පියකු වූ ඔහු මහනුවර නගරය අලංකාර ලෙස  සැලසුම් කිරීමටත් තම දායකත්වය දී  තිබෙනවා.

දේවේන්ද්‍ර මූලාචාරී සිතුවම් ඇඳි බව සැලකෙන දෙගල්දොරුව- wikipedia.org

ජීවන තතු

දේවේන්ද්‍ර පරපුරේ මුල් පුරුක දකුණු ඉන්දියාවෙන් පැමිණි බවයි සැලකෙන්නේ. පසු කාලයක  දේවේන්ද්‍ර පරපුර කොත්මලේ ප්‍රදේශයට සංක්‍රමණය වුණු බව ජනප්‍රවාදවල පැවසෙනවා. ඉන් පසුව කිර්ති ශ්‍රි රාජසිංහ රජ කාලේ දේවේන්ද්‍ර පරපුර මහනුවර ප්‍රදේශයට සංක්‍රමණය වුණා කියලාත් කියවෙනවා. මේවාට ලිඛිත සාධක නම් නැහැ.

දේවේන්ද්‍ර මූලාචාරී, කීර්ති ශ්‍රී රාජසිංහ ( 1747-1782), රාජාධි රාජසිංහ ( 1782-1798) සහ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815)  කියන රජවරුන්ට සේවය කර තිබෙනවා. රජුගේ සිත් දිනා ගන්නා ලෙස අගනා නිර්මාණවලට දායක වන දේවේන්ද්‍ර මූලාචාරීට වර්ෂ 1780 දී රන් නළල්පතක සටහන් කරලා දේවේන්ද්‍ර කියන නාමයත්, මූලාචාරී කියන පදවි නාමයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු  ප්‍රදානය කළ බව පැවසෙනවා.

‘මුලාචාරී’ ලෙස හඳුන්වන්නේ සියලු ශිල්පීන්  අතර මුල් පුද්ගලයා යි. ඒ අනුව දේවේන්ද්‍රට උඩරට රජ වාසලේ ලොකු පිළිගැනීමක් ලැබුණා. ශ්‍රී  වික්‍රම රාජසිංහ රජ කාලේ වන විට මේ ශිල්පියා තරමක් වියපත් බවට පත් ප්‍රවීණයකු ලෙස සිටින්නට ඇති බවයි පෙනෙන්නේ.

මුලාචාරිගේ සැලසුමෙන් අලංකාර වුණු පැරණි මහනුවර- lankapura.com

 1896 පළවූ ඒ. සී. ලෝරිගේ ‘A gazetteer of the Central Province of Ceylon’ වාර්තාවට අනුව දේවේන්ද්‍ර මූලාචාරියාගේ නම  සඳහන් කරන්නේ “ඩිංගිත්තා අප්පු ලෙසයි. ලෝරි තම ගැසටියර් ග්‍රන්ථයේ දී අරත්තන ගම යටතේ ඩිංගිත්තා අප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරි පිළිබඳ ව විස්තර ඉදිරිපත් කරනවා. දේවේන්ද්‍ර මූලාචාරියාගේ පරම්පරාවට අයත් පුද්ගලයන් අරත්තන තවමත් ජීවත් වන බව පැවසෙනවා.

මූලාචාරි පරම්පරාවෙන් පැවතෙන පුද්ගලයකු වූ ගොඩපොළ ගල්ලද්දා  සතු ව පැවති රියන් ලෑල්ලක් ආචාර්ය ආනන්ද කුමාරස්වාමිට 1900 මුල් භාගයේ හමු වී තිබෙනවා. දේවේන්ද්‍ර මූලාචාරින් භාවිත කළ බව පැවසෙන එය හරියට අඟල් 31ක් දිග යකඩ ලෑල්ලක් බවත් එය එක් පැත්තක් කොටස් 24කට බෙදා තිබුණු බවත් කුමාරස්වාමි සිය මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ සඳහන් කරනවා. ඩිංගිත්තා අප්පුට ශක වර්ශ 1703 දී (ක්‍රි.ව.1780 දී ) කීර්ති ශ්‍රී රාජසිංහ රජු සන්නසක් දුන් බව ලෝරි ද සඳහන් කර තිබෙනවා.

මඟුල් මඩුවේ කැටයම් කුලුනු- tripadvisor.com

දේවේන්ද්‍ර නිර්මාණ

දේවේන්ද්‍ර මූලාචාරියාට දියණියක හා පුතකු වූ අතර ඔවුන්ගේ නම් අප්‍රකට යි. 1815 උඩරට රාජධානිය ඉංග්‍රීසින් යටත් කරගත් පසු ව රාජ අනුග්‍රහයක් නොලැබුණු නිසා දේවේන්ද්‍ර පුතා සහ දියණිය ඇම්බැක්කේ ගමේ පදිංචියට ගොස් තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. දේවේන්ද්‍ර සමඟ පත්තිරිප්පුවේ වැඩට හවුල් වුණු “නාරායන ආචාරිගේ” පරපුරට අයත් පිරිස් හන්දෙස්සේ හා අරත්තන ගම්වල ජීවත් වෙනවා.

 මහනුවර නගරයේ දකින්නට ලැබෙන පුරාණ ස්මාරක ලෙස වැදගත් වන  දළදා මාළිගාවේ පත්තිරිප්පුව, මඟුල් මඩුව, වැව වටා පිහිටි වලාකුළු බැම්ම, දළදා මාලිගාවේ දිය අගල, දළදා මාලිගාවේ ප්‍රාකාර බැම්ම, නුවර වැව, වැව මැද ඇති දියතිලක මණ්ඩපය, උල්පැන්ගෙය ආදී නිර්මාණ සැලසුම් කර ඉදි කළ බව පැවසෙන්නේ දේවේන්ද්‍ර මුලාචාරීන්.  එමෙන් ම ඔහු දෙගල්දොරුව ඇතුළු මහනුවර අවට විහාර කිහිපයක සිතුවම් නිර්මාණයටත් දායක වී තිබෙනවා.

රාජ සභාව රැස්වූ මඟුල් මඩුව- Sridaladamaligawa.com

 

මඟුල් මඩුව

උඩරට වාස්තු විද්‍යාවේ මෙන් ම දැව කැටයම් කලාවේ අනර්ඝත්වය පැවසෙන අලංකාර විවෘත මණ්ඩප ගොඩනැඟිල්ලක් මඟුල් මඩුව රාජ මාලිගා සංකීර්ණයේ, ශ්‍රී දළදා මාලිගාවට යාබද ව පිහිටා තිබෙනවා.උඩරට නායක්කර් රජවරුන් සිය අදිකාරම සහ නිලමේවරුන් පිරිවරා ගෙන රාජ්‍ය පාලන කටයුතු ගෙන ගියේ මඟුල් මඩුවේ සිටයි.

එකල මහ නඩුව නමින් ද මෙය හඳුන්වා තිබෙන්නේ අධිකරණ කටයුතු මෙහි සිය කළ නිස යි. වර්තමානයේ දකින්නට ලැබෙන දැවමය මඟුල් මඩුවේ ඉදිකිරීම් ආරම්භ කළේ ක්‍රිස්තු වර්ෂ 1783 දී රාජාධි රාජසිංහ රජු (1782 සිට 1798 දක්වා) බව ජේ. සී. ලුවිස් සඳහන් කරනවා.

ඒ කටයුත්ත රජුට සම්පූර්ණ කළ නොහැකි වූ බවත්, 1796 දී ඉංග්‍රීසින් මහනුවරට ඇතුළු වන විටත් එය අසම්පූර්ණ ව පැවති බව ලුවිස්ගේ වාර්තාවල දැක්වෙනවා. මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට පෙර 1803දී බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය කළ බැවින් මෙම දැවමය ගොඩනැගිල්ලට ගිනි තැබු බව ඉංග්‍රීසි වාර්තාවල සඳහන්වෙනවා.

අලංකාර දැව කැටයම්-tripadvisor.com

 යළිත් එහි ඉදිකිරීම් ආරම්භ කළත්ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටත් එය නිම කිරීමට අවස්ථාව ලැබී නැහැ. මේ සඳහා අවශ්‍ය දැව වූ හල්මිල්ල හා නා ලී මාතලේට නුදුරු නාලන්දේ කැලෑවලින් ගෙන ආ බවයි පැවසෙන්නේ. අලංකාර කැටයම් සහිත කුලුනු, දැව පේකඩ, දැව පියස්ස ආදී සියල්ලම උඩරට සම්ප්‍රදායේ සැරසිලි රටාවලින් සියුම්ව කැටයම් කර තිබෙනවා.

ගොඩනැඟිල්ල ඉදිකර තිබෙන්නේ බොරදම් සහිත කළුගල් පදනමක් මත යි. එහි සරල සඳකඩ පහණ ද දකින්නට ලැබෙනවා. ඉංග්‍රිසි පාලන කාලේ මුල් යුගයේ දී වෙනත් ශිල්පීන් යොදා මෙහි වැඩ නිම කර තිබෙනවා.

පත්තිරිප්පුව සහ මහවාහල්කඩ- Sridaladamaligawa.com

පත්තිරිප්පුව

දළදා මාලිගය ඉදිරිපිට රජුට ජනතාව ඉදිරියේ පෙනී සිටීමට මණ්ඩපයක් වැනි ගොඩනැඟිල්ලක අවශ්‍යතාව ගැන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දේවේන්ද්‍ර මූලාචාරීන්ට පැවසු විට ඔහු කෙසෙල් පිතිවලින් එහි ආකෘතියක් තනා පෙන්වා තිබෙනවා. රජු එම සැලසුමට ඉතා කැමති වු නිසා පත්තිරිප්පුව ඉදිකිරීම් ආරම්භ කර තිබෙන්නේ දෙහිගම නිලමේ ගේ අධීක්ෂණය යටතේ යි.  

මේ ස්ථානයේ කලින් තිබී ඇත්තේ රජ මාලිගයේ මුළුතැන්ගෙය යි. එය ඉවත් කර දෙමහල් අටැස් ආකාර මණ්ඩපයක් සේ මෙය තනා තිබෙනවා. ගොඩනැගිල්ල වටා දිය අගලක් ද අලංකාර වලාකුළු බැම්මක් ද සහිත ව එය සැලසුම් වූවා. රජු විශේෂ අවස්ථාවල දී ජනයා ඉදිරිපිට පෙනී සිටීමට යොදා ගත්තේ පත්තිරිප්පුව යි.  විශේෂ අවස්ථාවලදී මෙහි දළදා ප්‍රදර්ශන ද  පවත්වා තිබෙනවා.

පත්තිරිප්පුව ඉදිරිපිටින් යන පෙරහරක් දැක්වෙන පැරණි චිත්‍රයක්- Colombotelegraph.com

 

දළදා මාලිගය වැසෙන සේ පත්තිරිප්පුව ඉදිකිරීමට උඩරට රදළ ප්‍රධානීන් කැමති වී නැහැ. පුස්සැල්ලේ ගබඩා නිලමේ ඇතුළු පිරිසක් පත්තිරිප්පුව සඳහා ගෙන ආ පරාලවල දිග අඟල් දෙක තුනකින් හොර රහසේ කපා දැමූ බව පැවසෙනවා.  එම නිසා මූලාචාරියා සියලු පරාලවල දිග අඟල් 06ක් අඩුකර  ඒ අනුව පියස්ස සැලසුම් කර තිබෙනවා. මෙලෙස දේවේන්ද්‍ර මූලාචාරී පත්තිරිප්පුවේ වැඩකටයුතු සාර්ථකව අවසන් කළ නිසා රාජ වරප්‍රසාද ලබා තිබෙනවා.

පරාලවල දිග දේවේන්ද්‍ර මූලාචාරීන් ඕනැකමින් ම අඩු කළ බව උඩරට ප්‍රධානින් රජුට ගතු කියා තිබෙනවා. උදහස් වූ රජු දඬුවමක් ලෙස ඔහුගේ මහපටැඟිල්ලක් කපා දැමීමට නියම කළ බව පැවසෙනවා.  ඇඟිල්ල කැපීමෙන් පරපුරට වන නින්දාව වැලැක්වීමට පත්තිරිප්පුව නිම වූ පසු ඔහු තමා ම ඉදිකළ කිරි මුහුදට පැන දිවි නසා ගත් බව ජනප්‍රවාදවල සඳහන් වෙන කරුණක්. සමහරුන් සඳහන් කරන්නේ ඔහු මහනුවර නගරයෙන් පිටවී ගොස් ලියන්වල සැඟවී සිට අවසන් භාගය රාජශිල්ප නමින් ගත කළ බව යි.   

පත්තිරිප්පුවේ වැඩ අවසන් කර ඇත්තේ 1811දීයි. ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ කුංකුණාවේ හිමියන් විසින් රචනා කරන ලදැයි සැලකෙන පාලි සිරි රාම සංදේශයේ පත්තිරිප්පුව අටැස් හැඩයෙන් යුත්, උස ධවල පලක් ඇති, රජුගේ සිත් සතුටු කරවන, උස් රන්කොතක් ඇති, කිරි මුහුදින් මතු වු පෙණ පිඬක් ලෙසින් දිස් වන බව සඳහන් කර තිබෙනවා.

8 වැව අලංකාර කරන වලාකුළු බැම්ම- pinrest.com

කිරි මුහුද හෙවත් වැව

දළදා මැඳුරත්, මල්වතු විහාරයත් අතර ටිගොල්වෙල නම් වෙල්යායා පිහිටි භූමියේ කිරි මුහුද ඉදි කොට තිබෙනවා. අද මහනුවර වැව ලෙස එය හැඳින්වෙනවා. ටිගොල්වෙල වෙල්යාය ඉතා සරු භූමියක් වූ නිසාත් මේ නිසා මල්වතු විහාරයට යන මාර්ගය වැසෙන නිසාත් මල්වතු විහාරයේ භික්ෂූන් වැව තැනීමට විරෝධය පළ කර තිබෙනවා.  

රජු එම විරෝධය නොතකා වැව ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. දේවේන්ද්‍ර මූලාචාරින් වැව සැලසුම් කර ඇත්තේ එය වටා යන අලංකාර වලාකුළු බැම්මක්ද සමඟ යි. බැම්මේ සිදුරු තබා ඇත්තේ රාත්‍රියට පහන් පත්තු කිරීමට යි.

උල්පැන්ගේ ජල තටාකය- lankapradeepa.com

උල්පැන්ගේ

දළදා මාලිගයට නුදුරින් වැව් ඉවුරේ බිසෝ උල්පැන්ගේ පිහිටා තිබෙනවා.  මෙම ගොඩනැගිල්ල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉදිකරවා ඇත්තේ  බිසෝවරුන්ගේ ස්නානය සඳහා යි. එහි සැලසුම් ශිල්පියා වශයෙන් සඳහන් වන්නේ ද දේවේන්ද්‍ර මූලාචාරියා යි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙය තුන් පැත්තකින් වැව හා සම්බන්ධ වී තිබෙනවා. පහත මහල වැව් දිය පිරි තටාකයකින් සමන්විත යි.

ඉහළ මාලය බිසෝවරුන්ට ඇඳුම් මාරු කිරීම සඳහා භාවිතයට ගෙන තිබෙනවා. ජල තටාකය කළු ගලින් කළ බැම්මකින් සමන්විත යි. අද අපි උල්පැන්ගේ ලෙස දකින ගොඩනැගිල්ල නම් ඉදිකර තිබෙන්නේ ඉංග්‍රීසි පාලන කාලයේ යි.  සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ පැ‍රැණි ජල තටාකය පාදා සංරක්ෂණය කර තිබෙනවා. එය අඩි 40ක දිගින් ද, අඩි 25ක පළලකින් ද, අඩි 05ක ගැඹුරින් ද යුක්ත යි.

දිය අගලේ අලංකාරය- prabhashwarastrology.blogspot.com

දිය අගල

පත්තිරිප්පුව සහ රජ වාසල ගොඩනැඟිල්ල ඉදිරියෙන් පිහිටි දිය අගල ආරක්ෂාව මෙන් ම අලංකාරය ද ගෙන එනවා.  කිරි මුහුද දෙස සිට පත්තිරිප්පුව ඉදිරියෙන් සාදා ඇති දිය අගල අතීත රජ මාලිගාවල ආරක්ෂාව උදෙසා තනා තිබූ දිය අගල් සිහිපත් කරවනවා. මාලිගයට ඇතුළු වන වාහල්කඩ තනා ඇත්තේ එම දිය අගල හරහා යි. වාහල්කඩ යටින් අකුලන පාලමක් පැවති බව සඳහන් වෙනවා. දිග අගල දෙපස ඉදි කර ඇති බැම්ම පහළ කොටස වලාකුළු බැම්මෙන් ද, ඉහළ බැම්ම දිය රැළි බැම්මකින් ද අලංකාර කර තිබෙනවා.

කවරය: පත්තිරිප්පුව සහ වලාකුළු බැම්ම -worldwidephotoweb.com 

මූලාශ්‍ර:

Lankadeepa.lk

Dinamina.lk

මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක- කුසුම්සිරි විජයවර්ධන

මධ්‍යකාලීන සිංහල කලා- ආනන්ද කුමාරස්වාමි - පරි. ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න

 

Related Articles