Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තැපෑලෙන් ලැබෙන මේ සේවාවන් ගැන ඔබ දන්නවාද?

ශ්‍රී ලංකා තැපැල් සේවයට තියෙන්නේ පොඩි පහේ ඉතිහාසයක් නම් නෙමේ. මීට අවුරුදු 200 කට විතර පෙර, ක්‍රිස්තු වර්ෂ 1800 ආසන්නයේ ආරම්භ කරපු ශ්‍රී ලංකාවේ තැපැල් සේවය දිනපතා මිලියන ගණනක් වෙන පාරිභෝගික ජනතාවට තමන්ගේ සේවය සපයනවා. තැපෑල මහජනතාවට වඩාත් සමීප කරන්න බලාපොරොත්තුවෙන් එහි සමහර සේවාවන් වඩාත් නව මුහුණුවරකින් ජනතාවට ලබාදෙන්න ශ්‍රී ලංකා තැපැල් පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා. ඇත්තම කතාව, මේ සේවාවන් මේ මොහොතේදීත් ක්‍රියාත්මකයි. නමුත් මහජනතාව මේ ගැන දන්නේ ඉතාම අඩුවෙන්. මේ හේතූන් නිසා අපි තීරණය කළා මේ ලිපිය හරහා පාඨක ඔබව ඒ ගැන දැනුවත් කරන්න.

ගෙදර ඉඳන්ම බිල් ගෙවන්න

ඔබේ නිවසේ විදුලි බිල්පත, ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් දුරකතන බිල්පත් තැපැල් කාර්‍යාලයට ගෙවීමේ පහසුකම සලස්වලා තිබුනේ දැනට වසර ගණනාවකට පෙර සිටමයි. නමුත් ඉස්සර වගේ නෙමෙයි දැන් තැපැල් කාර්‍යාලයට නොයාම ඒ අදාල බිල්පත ගෙවන්න ඔබට පුළුවනි. මෙහිදී ඔබේ උදව්වට එන්නේ තැපැල් පියුම් මහතායි. ඔබේ ප්‍රදේශයේ ලිපි බෙදාදෙන තැපැල් පියුම් මහතාට අදාළ බිල සහ මුදල ලබා දීමෙන් ඔහු හරහා බිල්පත් ගෙවීමේ පහසුකම දැන් ඔබට ලැබී තිබෙනවා. තැපැල් කන්තෝරුවට හෝ බැංකුවට ගිහින් ගෙවද්දි ඒ සඳහා වියදම් වෙන කාලය එක්ක ගත්තම මේ ක්‍රමය හරහා යම් වාසියක් නැත්තෙමත් නැහැ ඉතින්.

(exploresrilanka.lk)

(exploresrilanka.lk)

මොබිටෙල් රීලෝඩ්

තැපැල් පියුම් මහතා හරහාම ඔබට දැන් ඔබේ මොබිටෙල් පෙරගෙවුම් සම්බන්ධතාවය රීලෝඩ් කරගන්නත් අවස්ථාව සැලසිලා තියෙනවා. ඉතා කාර්‍යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනෙක්ට මේ හරහා නම් යම් සහනයක් සැළසෙනවා කියලයි අපිට හිතෙන්නේ. තවදුරටත් රීලෝඩ් එකක් දාගන්න කොමියුනිකේෂන් එකක්ම හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම තමන්ගේ ගෙවල් පැත්තේ තැපැල් පියුම් මහතා එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගත්තොතින් දවසේ ඕනෑම වෙලාවක ඔහු හරහා මේ සේවාව ලබාගන්නත් පුළුවන් කියලා අලුතෙන් කියන්න ඕනේ නැහැනේ?

ගෙදර ඉඳන්ම ලිපි තැපැල් කිරීම

(newsfirst.lk)

(newsfirst.lk)

ලියුම් තැපැල් කරන්න තැපැල් කන්තෝරුවක්ම හොයාගෙන ගිය කාලේ දැන් ඉවරයි. සාමාන්‍ය තැපෑලෙන් ඔබ යවන ඕනෑම ලිපියක් තැපැල් කන්තෝරුවට යන්නේ නැතුව තැපැල් කරන්න පහසුකම දැන් ඔබට තිබෙනවා. තැපැල් පියුම් මහතාට ඔබේ ලිපිය සහ අදාළ මුද්දර ගාස්තුව ලබාදුන්නම ලිපිය තැපැල් කරන ඉතුරු කටයුතු ටික ඔහු බලාගනීවි. ඒ වගේම ඔබ මුද්දර අලවලා තැපැල් කිරීම සඳහා සූදානම් කරලා තිබෙන ලිපියක් වුවත් තැපැල් පියුම් මහතාට භාර දීමෙන් ලිපි තැපැල් කිරීමේ කටයුත්ත නිවසේදීම සිදුකරගන්න ඔබට හැකියාව තිබෙනවා. ලියාපදිංචි තැපෑලෙන් යවන ලිපි සහ පාර්සල් තැපෑල සඳහා තවමත් මේ සේවාව ලබාදෙන්නේ නැතිබවත් මේ වෙලාවේදී සඳහන් කරන්න අවශ්‍යයි. ඒ කොහොම වෙතත් ලිපි තැපැල් කරන්න තැපැල් කාර්‍යාලයටම යන්න තවත් අවශ්‍ය නොවෙන්න සිදු කරන මේ සේවාවත් බොහොම අගනා වටිනා සේවාවක් බවයි අපෙත් අදහස.

ඉලෙක්ට්‍රොනික් මුදල් ඇණවුම් සේවය (EPMT)

තැපෑල හරහා මුදල් හුවමාරු කරගැනීමේ සේවාව දැන් දශක කීපයක සිටම ක්‍රියාත්මකයි. රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ඉලෙක්ට්‍රොනිකව මුදල් හුවමාරු කිරීම හඳුන්වා දෙනතුරුම තැපෑල හරහා සිදු කළ මුදල් ඇණවුම් යැවීම බොහොම ජනප්‍රිය වී තිබුණා.

ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුව ජනප්‍රියවෙලා තිබෙන මේ කාලයේදී තමන්ගේ මුදල් ඇණවුම් සේවාව සඳහාත් ඉලෙක්ට්‍රොනික් මුදල් ඇණවුම් සේවාව (EPMT) ලබාදීමට ශ්‍රී ලංකා තැපෑල දැන් අවස්තාව ලබාදී තියෙනවා. මේ අනුව තැපැල් කාර්‍යාලයක් හරහා ක්ෂණිකව ඔබේ මුදල් ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්තානයකට යැවීමට දැන් ඔබට පුළුවනි. ඒ මුදල ලබාගන්නා පුද්ගලයාට කරන්න තියෙන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත එක්ක ඔහුට ලඟම තැපැල් කාර්යාලයට යන එක පමණයි. ඔබ අපෙන් අහන්න පුළුවනි “ඉතින් රටේ ප්‍රධාන බැංකු සියල්ලම හරහාත් ඕක කරගන්න පුළුවන්නේ, තැපෑලේ විශේෂත්වය මොකක්ද? ” කියලා. ශ්‍රී ලංකාවේ සියළුම ගම් දනව් සිසාරා විසිරී පවතින විශාලතම කාර්‍යාල ජාලයකට ශ්‍රී ලංකා තැපෑල හිමිකම් කියනවා.

විශේෂයෙන්ම රටේ අති දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට බැංකුවක සේවාවක් ලබාගැනීම සඳහා ආසන්න නගරයට පැමිණීමටම සිදුවෙනවා. නමුත් තමන්ගේ ගමේ තිබෙන තැපැල් කාර්‍යාලයෙන් මේ ආකාරයේ මූල්‍ය සේවාවන් ලබාගන්නට හැකියාව ලැබීම විශාල පහසුවක්. නිකමට හිතන්න කොළඹ රස්සාව කරන දුවට හෝ පුතාට තමන්ගේ ගමේ ඉන්න අම්මගේ අසනීපයකට බෙහෙත් ගන්න ඉතා හදිසියෙන් මුදල් යවන්නට සිදුවෙන අවස්ථාවක් ගැන. ඔබට මේ සේවාවේ වැදගත්කම වටහාගන්න එය ප්‍රමාණවත් වේවි.

ලිපි සහ පාර්සල් Tracking

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදීගන්නා බොහෝ දෙනෙක් දන්නවා parcel tracking කියන්නේ මොනවගේ දෙයක්ද කියන එක. තමන් මිලදී ගත්ත භාණ්ඩේ නැව්ගත කළේ කවද්ද, ඒ භාණ්ඩේ මේ මොහොතේ තිබෙන්නේ කොතනද, තව දින කීයකින් ඒක තමන්ගේ අතට ලැබෙනවද වගේ බොහෝ තොරතුරු tracking හරහා පාර්භෝගිකයාට ලැබෙනවා. ශ්‍රී ලංකා තැපෑලත් තමන්ගේ ජාත්‍යන්තර ලිපි සහ පාර්සල් සේවය සඳහා මේ ආකාරයට item tracking පහසුකම පාරිභෝගිකයට ලබා දීලා තියෙනවා. ඒ වගේම රට තුළ ක්‍රියාත්මක වෙන සීඝ්‍රගාමී තැපැල් සේවාව (Speed Post) සඳහාත් මේ සේවාව ලබාදෙන්න තැපෑල දැන් පහසුකම් සලස්වලා තියෙනවා. ලෝකයේ අනිත් රටවල නම් මේ වගේ සේවාවන් හඳුන්වාදීලා දැනට වසර 10කට වැඩියි තමයි. නමුත් මේ විදියට හරි මේ සේවාවන් ශ්‍රී ලංකාවේ ජනතාවටත් ලබා දෙන එක වැදගත්.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ රජයේ ආයතනයක්. ඒ කියන්නේ ඒක අයිති මේ රටේ පොදු මහජනතාවට. අපේ සුබ සිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපෑල මේ හඳුන්වාදීලා තියෙන මේ සේවාවන් පාවිච්චි කරන එක අපේ යුතුකමක් වගේම වගකීමක්. පොදු මහජනතාව විදියට අපි මේ සේවාවන් භාවිතා කරද්දි වඩාත් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඒ සේවාවන් ලබාදෙන්න 17,000කට අධික ශ්‍රී ලංකා තැපැල් සේවකයන්ට හැකියාව ලැබෙනවා. නමුත් මේ සේවාවන් අපි පාවිච්චි කරන්නේ නැතිවූවෝතින් අලුතෙන් දෙයක් කරන්න උත්සාහ දරණ පිරිසකට ඒ සඳහා සහයෝගය නොදක්වන්න පිරිස බවට මේ අපි ඉබේම පත්වෙනවා. ඒ නිසා මීළඟ වතාවේ තැපැල් සේවාවක් පාවිච්චි කරන්න යද්දි මේ කරුණුත් මතක තියාගෙනම වැඩේට බහින්න.

 

Related Articles