Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුම්බර රටා පැදුරු ගැන තොරතුරු බිඳක්

අද වන විට එදිනෙදා ජීවිතයේ දී පැදුරු භාවිතා කරන පිරිස සැලකිය යුතු මට්ටමකට අඩුව තිබෙනවා. නමුත් මීට දශක කිහිපයකට පෙර මෙරට ජන සමාජයේ ජීවත්වුණු වැඩි පිරිසක් රාත්‍රී කාලයේ දී නිදාගැනීම සඳහා පැදුරු භාවිතා කළා. 

ලංකාවේ පැදුරු විවීම ගැන කතා කරන විට දුම්බර රටා පැදුරු බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනවා. ඒ, ඉස්තරම්ම තත්ත්වයකින් යුත් රටා පැදුරු වියන්නේ දුම්බර දී නිසා යි. 

පැදුරු ඉතිහාසය

ජනප්‍රවාදයන්ට අනුව ලොව බිහිවුණු පළමු රජු ලෙසින් සැලකෙන මහාසම්මත රජුට මතුවුණු අවශ්‍යතාවක් නිසා පළමු පැදුර වියැවුණු බව ශාන්තිකර්මවල දී සඳහන් කරනවා. එතැන් සිටලු සියලු ජනයා පැදුර භාවිතා කිරීම ඇරඹුනේ. 

මෙරට ඉතිහාසය තුළ ද පැදුරක් සම්බන්ධ වන ඉතිහාස කතා රැසක් හමුවනවා. ගැමුණු කුමරු සහ තිස්ස කුමරු අතර ඇතිවුණු අරගලයේ දී, තිස්ස කුමරු පැදුරක සැඟවී සංඝයාගේ කරමතින් ගමන් කළ ආකාරය පිළිබඳව සඳහන්ව තිබෙන කතාව ඒ අතරින් ප්‍රධාන යි. එසේම අතීත ලංකාවේ ලියැවුණු දම්පියා අටුවා ගැටපදය, සුමංගල විලාසිනිය, සිඛවළඳ විනිස, ධම්මපදට්ඨ කතාව වැනි ඓතිහාසික බෞද්ධ පොත්වල සඳහන්ව ඇති ආකාරයට පූජනීය කටයුතුවල දී පැදුරු භාවිතයට එකල ජනයා පුරුදුව සිටියා.

කින්නර ජනතාව 

ඈත අතීතයේ පැදුරු කර්මාන්තයෙහි නිරත වුණු ජනතාව “කින්නර” යන නමින් හඳුන්වනු ලැබුවා. ඔවුන් උතුරු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වුණු පිරිසක්යැ යි සැලකෙනවා. කින්නර නම් ජනවර්ගයේ උපත සිදුවුණු ආකාරය පිළිබඳව පැරණි කතාවක් තිබෙනවා. එම කතාවට අනුව කින්නර නමැති දිව්‍යාංගනාවක්‌ මහාසම්මත රජුගේ බෑණා කෙනෙක්‌ සමග විවාහ වීම නිසා, එම කුමරා රාජ වංශයෙන් නෙරපා දමනු ලැබුවා. ඉන්පසුව ඔවුන්ගේ දරුවන්ගෙන් කින්නර ජනයා පැවත එන බවට විශ්වාසයක් පවතිනවා. 

භාරත දේශයේ සිට මෙරටට පැමිණි කින්නර කුලයට අයත් ජනයා උඩදුම්බර, මාතලේ, මල්ඇහැව, ඉරිදෙණිය, බෝතලේ, ඉහළගම, හේනාවල, සහ ආඳාගල කන්ද, වැහැර යන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වුණා. එම ජනතාව අතුරින් දුම්බර ප්‍රදේශයේ ජීවත් වුණු කින්නර ජනතාව අතින් නිර්මාණය වුණු පැදුරු “දුම්බර රටා පැදුරු” ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා. සියවස් ගණනාවක සිට පැවත එන එම පැදුරු කර්මාන්තය අදටත් නොනැසී පවතිනවා. 

අලංකාර පැදුරු (serendib)

පැදුරු විවීමට සඳහා භාවිතා කරන දේ 

දුම්බර රටා පැදුරු විවීම සඳහා භාවිතා කරන්නේ නියඳ කෙඳි සහ පන් වර්ග යි. එහි දී හම්බු පන්, එළු පන්, හීන් පන්, පොතු පන්, හාල් පන් වැනි පන් වර්ග භාවිතා කරනවා. එකල පන් නෙලීම සඳහා ගිය කාන්තාවන් අලලා නිර්මාණය වුණු පන් නෙලන ජන කවියක් මෙසේ දැක්විය හැකියි.

ගාන තෙල් සඳුන් වරලස ඔමරි    කොට

මුහුණ පුරා තෙල් ගාගෙන යන    කලට

මාන බලති මිනුවන් පන් තිබෙන    කොට

නෑනො නුඹත් එනවද පන්      නෙළන්නට

පැදුරු විවීම සඳහා නියඳ කෙඳි සාදා ගැනීමේ දී, නියඳ පෙති තලා සූරා කෙඳි වෙන්කර ගැනීම සිදුකරනු ලබනවා. පන් ගස් කපා තම්බා වර්ණ ගැන්වීම මඟින් විවීමට සුදුසු ආකාරයට සකස් කර ගන්නවා. එලෙස සකස් කරගන්නා නියඳ කෙඳි සහ පන්වලින් වියන පැදුරුවලට රටා දැමීම සඳහා වර්ණ සකසා ගැනීම සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරනවා. 

භාවිතා කරන ස්වභාවික වර්ණක 

දුම්බර පැදුරු කර්මාන්තයේ දී පැදුරු විවීම සිදුකරද්දී, ඒවායේ අලංකාරය වැඩි කිරීම සඳහා පැදුරුවලට විවිධ රටාවන් යොදනු ලබනවා. එම පැදුරු රටා සඳහා යොදාගන්නේ විවිධ වර්ණ යි. එම වර්ණ අතරින් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන කහ, රතු, සහ කළු යන වර්ණ පහත දැක්වෙන ආකාරයට ස්වභාවික අමුද්‍රව්‍යය යොදාගනිමින් සාදාගන්නවා. 

* කහ පාට- වෙනිවැල්ගැට තැම්බීම මඟින් සාදාගනියි 

* රතු පාට- කොරකහ කොළ, පතඟි ලී, තල තෙල්, සහ සිනක්කාරන් එකට මිශ්‍ර කර තැම්බීමෙන් සාදාගනියි 

* කළු පාට- අරළු සහ බුළු එකට දමා තැම්බීම මඟින් සාදාගනියි 

පැදුරු වියන ආකාරය පිළිබඳව කෙටියෙන් 

පන් කැත්ත නම් උපකරණය භාවිතා කර නෙලාගන්නා පන් ගස් පැදුරක් විවීම සඳහා සකස් කරගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. එහි දී නෙලාගත් පන් ගස් අව්වේ වේලා ගැනීමෙන් පසුව හොඳ පන් ගස් වෙන්කර ගනියි. ඉන් පසුව ඒවාට සායම් දමා යළිත් අව්වේ වේලා ගත යුතු යි. එලෙස වියළා ගත් පන් ගස් මෝලෙන් තලා විවීමට සුදුසු ආකාරයට සකස් කර ගනියි. 

පැදුර විවිමේ දී මනා ඉවසීමකින් යුක්තව එම කාර්යයෙහි යෙදිය යුතු යි. එහි දී පැදුර වියන තැනැත්තා අතින් යම් වරදක් සිදුවුණොත් මුළු පැදුරේම රටාව වෙනස් විය හැකියි. එම නිසා පැදුරු විවීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් ලෙසින් සලකනු ලබනවා. 

 පැදුරු වියන කාන්තාවන් (Sri Lanka Finder)

දුම්බර පැදුරු වර්ග සහ ඒවාට යොදන රටාවන් 

දුම්බර ප්‍රදේශය තුළ පැදුරු කර්මාන්තයේ නිරතව සිටින ශිල්පීන් අතින් නිර්මාණය වන පැදුරුවල තිබෙන විවිධ ලක්ෂණ සලකා බලා ඒවා ප්‍රධාන කොටස් තුනකට වෙන් කර තිබෙනවා. 

1) පන්නම් කළාල- මෝස්තර භාවිතා නොකර ඉතාමත් චාම් අයුරින් වියන පැදුරු 

2) කුරුළු කළාල- මල් සහ සතුන්ගේ රූප යොදා වියන ලද පැදුරු 

3) වැඩ කළාල- සංකීර්ණ මෝස්තර යොදා වියන ලද පැදුරු 

මේ ආකාරයෙන් වියන දුම්බර පැදුරු සඳහා විශේෂිත රටාවන් රැසක් යොදාගනු ලබනවා. පැදුර විවීම සඳහා භාවිතා කරන රටාව සංකීර්ණ වන විට එහි තිබෙන අලංකාරය තවත් වැඩි වනවා. 

දුම්බර කළාල විවීම සඳහා යොදාගන්නා සුවිශේෂී රටාවන් කිහිපයක් පහත ආකාරයට දැක්විය හැකියි.

1) රත්වත්තේ අලංකාරය                 

2) කුරුළු ගහ 

3) මල් ගහ                                   

4) කොරොස් පෙත්ත 

5) තාරාවා                                  

6) දෙපට ලණුව

7) තාරකා පෙත්ත                         

8) තුන්පට ලණුව 

රටා දැමූ පැදුරු (Deshaya)

අතීතයේ දී පැදුර ප්‍රයෝජනයට ගත් අවස්ථාවන් 

පැරණි ලාංකීය ජනතාව සුලභවම භාවිතා කළ භාණ්ඩ අතරට පැදුර ද අයත් වුණා. එකල මංගල සහ අවමංගල උත්සවවල දී පැදුර නැතිවම බැරි දෙයක් බවට පත්වුණා. එසේම පන්සලට ගොස් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ අවස්ථාවල දී අසුන් ගැනීමට පැදුර භාවිතා කරනු ලැබුවා. ඊට අමතරව ඇතැම් උදවිය රාත්‍රී කාලයේ දී පැදුරෙහි නිදාගැනීමට පුරුදුව සිටියා. තව ද, සිංහල අවුරුදු කාල සමයේ දී විවිධ චාරිත්‍ර ඉටු කිරීමේ දී පැදුර අත්‍යවශ්‍ය අංගයක් වුණා. එකල පැල් රැකීමෙහි නිරතව සිටි අය ද පැදුර භාවිතා කළා. ඒ පිළිබඳව ලියවුණු ජන කවියක් මෙලෙස දැක්විය හැකියි. 

අනේ දෙවියනේ මට වුණු            වියෝයා

පැලේ පැදුර හොරු අරගෙන        ගියෝයා

ගෙදර ගිය කලට අඬ දබර            බෝයා

පැදුර දුන් කෙනෙක් මගෙ            නෑසියෝයා

පැදුර අභාවයට යාම 

පැදුර වෙනුවට ආදේශක භාණ්ඩ වෙළඳපලට පැමිණීමත් සමගම පැදුරු කර්මාන්තයට කණකොකා හඬන්නට පටන් ගත්තා. එසේම පැදුරු කර්මාන්තය පිළිබඳව මනා ශිල්පීය දැනුමක් තිබෙන අයගේ අඩුවීමක් ද දක්නට ලැබෙනවා. පැදුරු විවීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල ද හිඟයක් පැවතීම හේතුවෙන් පාරම්පරිකව පැදුරු කර්මාන්තයේ නිරත වුණු ඇතැම් පිරිස් වෙනත් රැකියාවන් සඳහා යොමුව තිබෙනවා. පැදුරුවලට දේශීය වෙළඳපොලේ පවතින ඉල්ලුම ක්‍රමයෙන් අඩුවන විට පැදුරු විවීමෙන් ජීවිකාව ගෙන යන උදවියට මහන්සියට සරිලන ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉහත දක්වා තිබෙන හේතූන් නිසා පැදුර අභාවයට ගොස් තිබෙන බව කණගාටුවෙන් වුණත් සඳහන් කළ යුතු යි. 

කවරයේ ඡායාරූපය- Youtube

මූලාශ්‍රයයන්- ලක්දිව අත්කම් ශිල්ප කලා

Related Articles