කාටත් අමතක වුණු නැඟෙනහිර මුහුදු ආදීවාසියෝ

ආදිවාසීන් යැයි පැවසූ විට ම අපට මතක් වන්නේ දඹානේ වැද්දන්. එහෙම නැත්නම් රතුගල හෝ පොල්ලෙබැද්දෙ වැදි ජනතාව. නමුත් කාලයක් තිස්සේ අපෙන් වසංවී සිටි වැදි ජනතාවක් තමයි නැඟෙනහිර මුහුදු වැද්දන් කියන්නේ.

දඹානේ වැදි රැහෙන් පවා වසංවී සිටි මේ වැදි ජන වර්ගය ගැන ලෝකය දැනගත්තේ 2009 දී මෙරට පැවැති යුද්ධය අවසන්වීමෙන් පසුව යි.  මේ, සීමිත පිරිසක් ලෙස සිටින ඔවුන් ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.

වැද්දන්ගේ පැරණි සේයාරුවක්- Wikipedia.org     

මුහුදු වැද්දෝ

ආචාර්ය නන්දදේව විජේසේකර  1950 දශකයේ සඳහන් කරන ආකාරයට නැඟෙනහිර වෙරළ අවට වැදි ජන ගෝත්‍ර වාසය කර තිබෙන අතර ඔවුන් දිවයිනේ අන් පෙදෙස්‌වල වෙසෙන වැදි ජනයා ගෙන් වෙනස්‌ ලක්‌ෂණ පෙන්නුම් කරනවා. මඩකළපුව දිස්ත්‍රික්කයේ වාකරේ, කල්කුඩා, වාකනේරි, කදිරවේලි යන නැඟෙනහිර පළාතේ මුහුදුබඩ ගම්මානවල  මුහුදු වැද්දෝ පුරාණයේ පටන් වාසය කරනවා. මොවුන් වෙරළ අද්දර පළාත්වලට සංක්‍රමණය වුණේ කෙසේද යන්න ගැන නම් සාධක නැහැ. මොවුන් අදත් ජීවත්වන්නේ වෙරළබඩ වෙසෙන දෙමළ ජනයා ගේ ජීවන පුරුදුවලට අනුව යි. දෙමළ බස කතා කරන ඔවුන් ජීවත්වන්නේ දෙමළ ජනතාව විදිහට යි. නමුත් ඔවුන්ගේ ශරීර ස්වභාවය නම් වෙනස්.  

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණට වන්නට පිහිටි ගම්මාන එකොළහකත් ‘මුහුදු ආදිවාසීන්’ ලෙස හැඳින්වෙන, සුවිශේෂ අනන්‍යතාවකින් යුත් මේ ජන පිරිස විසිර සිටිනවා. යටත් විජිත සමයේ ඉංග්‍රීසීන් සිය පරිපාලන පහසුව තකා රතුගල හා දඹාන යන ආදිවාසී ගම්මානවල පදිංචි ව සිටි පිරිසක් මඩකලපුව වාකරේ සිට ත්‍රිකුණාමලයේ සම්පූර් දක්වා වු වෙරළ තීරයේ පදිංචි කළ බවත් පැවසෙන අතර, පසු කාලීනව ඔවුන් මුහුදු ආදීවාසීන් ලෙස ඔවුන් හැඳින්වෙන්නට වුණා.

මෙම ජනතාව ගැන නිසි සමීක්ෂණයක් කළ බවක් හෝ ඒ ගැන සංඛ්‍යා ලේඛනයන් හෝ අපට සොයා ගැනීමට හැකිවුණේ නැහැ. වර්තමානයේ මේ වැදි පිරිසෙන් කොටසක් ජීවත්වන්නේ වාකරේ සිට කිලෝ මීටර් 20ක් දුරින් පිහිටි කුඤ්ඤංකුලම ගම්මාන  සහ කදිරවේලිවල යි.  වාකරේ වැද්දන්ගේ  වැදි නායකයා ලෙස සලකන්නේ වාකරේ නල්ලතම්බි වේලායුදන්.

වැදි ජනතාව එක්වූ අවස්ථාවක්-  dilmahconservation.org 

මහාචාර්ය විජේසේකර

ආචාර්ය නන්දදේව විසේසේකරගේ “වැද්දන් ගේ විකාශන ක්‍රමය” නම්  පොතේ  මුහුදු වැද්දන් මිටි ශරීරයක්‌, අඳුරු පැහැති සමක්‌, රළු ස්‌වභාවයක්‌ ගන්නා ඇවතුම් පැවතුම්, රැළි ගැසුණු හිස කෙස්‌ හා හොඳින් විවර වූ දෙනෙත් වැනි මූලික ලක්‌ෂණවලින් යුක්ත බව සඳහන් කරනවා.  මේ මූලික ලක්‌ෂණ ඔවුන් ගේ ආදි මුතුන් මිත්තන් ගෙන් ලැබී ඇතැයි ද එහි සඳහන් කර සිටිනවා.  

1990 වසර පමණ වන විට මඩකළපුව දිස්ත්‍රික්කයේ වාකරේ යනු  දියුණු නගරයක් වන අතර පසුව එහි යුද හමුදා කඳවුරක් ස්ථාපිත කෙරුණා. වැදි ජනතාව ගොවිතැන, දඩයම කරගෙන ජීවත්වුණා. 1995 වනවිට වාකරේ, කොටි සංවිධානයේ පාලනයට නතු වුණා.  ජනතාව ගම අත්හැර ගියා.  වැදි ජනතාවත් අනාථ කඳවුරුවලට ගාල් වුණා.  2001 දී සාම ගිවිසුමෙන් පසු වාකරේ යළිත් නැඟී සිටින්නේ 2001 සටන් විරාම ගිවිසුමෙන් අනතුරු වයි. ඉන්පසු යළිත් 2009 දී කොටින් පරාජය කිරීමෙන් පසුව මේ ගමේ පදිංචි ව සිටින වැදි ජනතාව ගැන බාහිර ලෝකයට හෙළිදරව් වුණා.

වාකරේ වැදි ජනතාවගේ යාතු කර්මයක්- silumina.lk 

යුද සමයේ වාකරේ

වෙරළාශ්‍රිත ව ඉතා කටුක දිවියක් ගෙවන මොවුන්ට වැදි බස ගැන නම් දැනුමක් නැහැ.  ධීවර කටයුතුවල යෙදෙන මොවුන් ගොඩ ගොවිතැන් ද කරනවා.  දඹාන  වැදි නායක වන්නියලැත්තන් පවසන්නේ අතීතයේ මහැවැලි ගගෙන් එතෙරට ගොස් දෙමළ ජනතාව පදිංචි   මුහුදුබඩ නැවතුණු වැදි පිරිසකගෙන් මේ ජන කණ්ඩායම පැවත එන බවයි.

ආචාර්ය නන්දදේව විජේසේකර  සිය “වැද්දන් ගේ විකාශන ක්‍රමය”   කෘතියෙන් මෙසේ සඳහන් කරනවා: ‘

නැඟෙනහිර පළාතේ මුහුදුකර වැද්දන් සම්බන්ධයෙන් ඇති වන සාමාන්‍ය හැඟීම නම් මොවුන් මේ පෙදෙස්‌වල දීර්ඝ කාලයක සිට පදිංචියට පත් අය බව යි. ඔවුන් ගේ ගති පැවතුම් අසල්වැසි දෙමළ ජනතාවට බොහෝ සෙයින් සමාන ය. ඔවුන් ගේ ගෙවල් දොරවල්, සාමාන්‍ය ජීවිත තත්ත්වය හා ගතිගුණ ඒ දිස්‌ත්‍රික්‌කයේ සාමාන්‍ය දෙමළ ජනයා ගේ තත්ත්වයට වඩා පහත් ය. පොල් අතු හෝ ඉලුක්‌ සෙවිලි කළ හතරැස්‌ අඩි 10ට වඩා විශාලත්වයක්‌ නැති, උසින් අඩි 5ක්‌ තරම් නො වූ මොවුන් ගේ ගෙපැළ තුළට යා යුත්තේ රිංගීමෙනි.

වැද්දන් ගේ මුල් වාස භූමිවලින් ඈත් ව එක පරම්පරාවකට වඩා අධික කාලයක්‌ විසූ මේ මිශ්‍ර ජනකාය අතර සමහර වැදි ලක්‌ෂණ දක්‌නට ලැබේ. මිටි බව, පාටින් තද කළු බව, බෙහෙවින් විවෘත වූ ඇස්‌ තිබීම වැදි පරපුරට අයත් බව පෙන්වන සාක්ෂි වෙයි. ‘‘

(ආචාර්ය නන්දදේව විජේසේකර, වැද්දන් ගේ විකාශන ක්‍රමය, රජයේ මුද්‍රණාලය, පිටුව 47)

ජීවිතය කටුකයි- Catamaran.org

අද වනවිට අපේ රටේ වැදි බස, බසක්‌ ලෙස භාවිත වන්නේ දඹානේ දී පමණ යි. එහෙත් දළුකාන, රතුගල, පොල්ලෙබැද්ද යනාදී වැදි ගම්මානවල පවා  වැදි ජනතාව වැදි බස භාවිත කරන්නේ නැහැ. ඔවුන් වැදි බස දැන සිටිය ද කතා කරන්නේ නැහැ. නැඟෙනහිර මුහුදු වැදි ජනතාව අතර වැදි බස ගැන දැනුමක් ඇත්තේ ම නැහැ. 

යුද්ධයෙන් බැට කෑ මුහුදු වැද්දෝ

නැඟෙනහිර වැදි සනුහරයේ ඇතැම් කාන්තාවන්ට ස්වාමි පුරුෂයන් නැහැ. එක්කෝ යුද්ධයෙන් මිය ගිහින්.  එහෙමත් නැත්නම් විවාහය හැර ගිහින්. මේ නිසා අම්මලාට දරුවන් හදා වඩා ගැනීම කිරීමට සිදුව ඇත්තේ තනිව ම යි.  ස්ථිර රැකියාවක් නැති ඔවුන් ජීවත් වන්නේ බොහෝ බැරි අමාරුකම් මැද යි. ආදි වාසී දරුවන් පාසල් යන්නේ මධුරම්කුලම්වලට.  ආදී වාසීන් වෙසෙන මිච්ඤ්ඤච්කුලම ගමට අවුරුදු කිහිපයකට පෙරදි නම් බස් වැඩ කළෙත් නැහැ.

මේ අතර පිරිසක් කොටි සංවිධානය බලෙන් ම බඳවාගෙන යුද්ධයට ද සම්බන්ධ කර ගත්තා. එහිදී සමහරුන්ට දිවි අහිමි වුණා. වාකරේ වැදි ජනතාව යුද සමයේ සිටියේ ආලංකුලම් අනාථ කඳවුරෙ යි. ඔවුන්ට රජයෙන් ආහාර සලාක සැපයුණා. පසුව ඔවුන් ගැන කතාබහ ආරම්භ වීමෙන් අනතුරුව කොළඹ පැවති ආදිවාසී සම්මන්ත්‍රණයකට සහභාගි වීමට ඉඩ ලැබුණා. එහිදී අනෙක් ආදිවාසීන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත් අවස්ථාව හිමිවුණා.

වැදි ජනතාවගේ දරුවෝ- Catamaran.org

මේ වනවිට ඔවුන් වැදි භාෂාවෙන් මෙන් ම දුනු ඊතල භාවිතයෙන් ද ඈත් වී සිටිනවා. මෙම මුහුදු  ආදිවාසීන් සතුන් ඇල්ලීම සඳහා අද ප්‍රධාන වශයෙන් ම භාවිත කරන්නේ මදු දැමීම සහ හෙල්ලෙන් ඇන මැරීම යි. බයිසිකල් හෝ ත්‍රීවීල් කේබල් යොදා මද්ද සාදා ගන්නා ඔවුන් එය සතුන් දඩයමට භාවිත කරනවා. ඉත්තෑවා, කැබැල්ලාවා බෙන හාරා උලකින් ඇන මරා ගන්නා බවයි ආදිවාසීන් පවසන්නේ. කෙසේ වුවත් සතුන් දඩයම් කිරීම තහනම් වීමත් ඔවුන්ට ගැටලුවක් වෙලා.

වාකරේ වැදි දෙවොල

විවිධ ඇදහිලි සඳහා වාකරේ වැදි ජනතවා කුඩා මඩුවක දේවාලයක් පවත්වාගෙන යනවා. මඩුව ඉදිරියට වන්නට කොඩි ගසක් ද දැකගත හැකි යි. ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට, පොඩි දරුවන් ආරක්ෂා කර ගන්න, කැළේ යනකොට සිදුවන අනතුරු වලක්වා ගැනීමට දෙවියන් යදින්නේ එතැනයි. විසකුරු සතුන්ගෙන් ආරක්ෂා කර මී පැණි, බඹර පැණි කරදරයක් නැතිව ලබා දෙන ලෙස ඔවුන් එහිදී දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. 

වාකරේ වැදි දෙවොල – Dinamina.lk

වාකරේ මුහුද වැදි නායක වේලායුදන්

වාකරේ මුහුදු ආදී වාසී නායකයා වේලායුදන්ග ඔහු වරක්  මාධ්‍යයට පැවසූ අදහසක් මෙසේ යි:

“යුද්ද කාලේ අපි දෙපැත්තකින් බැට කෑවා. අපි හැමදාම සිංහල වැද්දෝ . ජීවත් වුණේ මුහුදු කරේ. මගෙ උපන් ගම මාංකර්නි. අපි කැලේ කපලා හේන් කරලා ජීවත් වෙච්ච උදවිය. එක අවුරුද්දට එක ඉඩමයි. හේන් කළේ ඒ විදිහට. ආණ්ඩුවෙන් අපිට මෙතන පදිංචි වෙන්න දුන්නා. මේ ගමේ නම කුංඤ්ඤම්කුලම. ගමේ ආදී වාසී පවුල් හැට තුනක් ජීවත් වෙනවා. තව ආදී වාසීන් ඉන්න ගම්මාන හතරක් තියෙනවා .මධුරම්කර්නි කුලම්,කිරමිච්චකුලම්, තූනාච්චි, කොච්චල් ආදි ගම්මාන තියෙනවා. ඊට අමතර ව නැඟෙනහිර පළාතේ තවත් ආදී වාසී ගම්මාන තියෙනවා. අපි හැමදාමත් ධීවර රස්සාව කරලා ජීවත් වුණේ. රට මැද ඉන්න ආදී වාසීන් උඩරට අය හැටියට සලකන්නේ. අපි රට වටේ ඉන්න නිසා අපි ව හඳුන්වන්නේ පිටරට අය කියලා. මාළු අල්ලනවා, කැලේ යනවා, මී පැණි හොයනවා, ඔය මොනවා හරි කරලා ලැබෙන දෙයින් තමයි අපි ජීවත් වන්නේ”.

කවරයේ ඡායාරූපය- වාකරේ වැදි නායක වේලායුදන්- silumina.lk
මූලාශ්‍ර:
Dinamina.lk
vidusara.com
silumina.lk
වැද්දන්ගේ විකාශන ක්‍රමය- නන්දදේව විජේසේකර

Related Articles