Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාලු පාරේ ට්‍රැෆික් නැති කරන්න හදන අලුත්ම ක්‍රමය: BRT

වාහන පිරුණු මාවත, සෙනග පිරුණු බස් රථ, කන් බිහිරි කරවන සද්දේ, පැය ගණන් පාරේ රස්තියාදුව කියන්නේ කොළඹට අලුත් දෙයක් නම් නෙවෙයි. කොළඹට ආසන්න පැත්තක ඉදල කොළඹ නගරයට එනවා කියන්නේ ගොඩක් කාලය කා දමන ගමනක්. විශේෂයෙන් පාසල් නිමවෙන වේලාවන් වල දී, කාර්යාල වේලාවන් අවසන් විට දී එන එක ගැන හිතන්නවත් අකමැතියි නේද? හිතන්න, බස් එකක නැගල හරියට ජෙට් එකක වගේ වේගෙන් කොළඹට එන්න පුලුවන් නම්, හරියට හීනයක් වගේ නේද? කවදාවත් වෙන්නෙ නැති වැඩක් කියල සමහර විට ඔයාල හිතන්න පුළුවන්. නෑ, ඒක කරන්න පුළුවන් වැඩක්. හැබැයි මේ වැඩපිළිවෙල තාම තියෙන්නේ නම් යෝජනා මට්ටමේ.

ගාලු පාර කියනකොටම අපිට මතක් වෙන්නේ දිග වාහන පෝලිමක් එක්ක, ලොකු තදබදයක් තියෙන, ගමනක් යන්න සෑහෙන කාලයක් ගන්න පාරක්. ඉතින් මේ වගේ දෙයක් පුද්ගල ආර්ථිකය වගේම රටේ ආර්ථිකය පහළ දාන්න, පරිසරය විනාශ වෙන්න විශාල වශයෙන් බලපානවා කියල අමුතුවෙන් කිවයුතු නෑ. මේ පාරේ වැඩිපුරම තදබදය තියෙන්නේ මොරටුවේ  සිට කොළඹට. ඉතින් මේ නගර දෙක යා කරලා තදබදය අඩු කරලා, පොදු ප්‍රවාහනය වේගවත් කර, මගීන්ට උපරිම සේවාවක් සැලසන වැඩපිළිවෙලක් තමයි BRT නොහොත් ‘Bus Rapid transit’ කියන්නේ. බොගෝටා ,සෝල් ,ජකර්තා වගේ නගර වල මේ ක්‍රමය ගොඩක් දුරට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් BRT පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කිරීමට අප මේ ලිපිය මගින් බලාපොරොත්තු වෙනවා. මෙහි මූලිකම අරමුණ වෙන්නේ මගීන්ව පොදු ප්‍රවාහන සේවය වෙතට ඈදා ගැනීම. ඒ සමගම පුද්ගලික වාහන භාවිතය අවම වීම ඉබේම සිදුවෙනවා.

කොන්දොස්තරලා නැති බස්  

(wikipedia.org)

(wikipedia.org)

  BRT සදහා යොදා ගන්න සම්මත විශේෂ බස් තිබෙනවා. මෙම බස් වායු සමනය කළ, අහිතකර වායූන් නිකුත් නොකරන, ඉන්ධන අරපිරිමැසුම්, සාමාන්‍ය බස් වලට වඩා දිගින් වැඩි බස් වනවා වගේම, මේවාට පඩි නැගලා ඇතුල වෙන්න ඕනෙත් නෑ. බස් රථය මගීන්ට පහසුවෙන් නැගීමට හා බැසීමට හැකිවන පරිදි සීරුමාරු වීමක් සිදුවෙනවා. ඒ වගේම ටිකට් ගැනීමක් නැගීමේ දී හෝ බැසිමේ දී සිදුවන්නේ නෑ. මෙමගින් විශාල කාලයක් ඉතුරු වෙනවා. පඩි නැගීමක් නැති නිසා මහළු සහ අබාධිත පුරවැසියන්ට ලේසියෙන් බසයට ඇතුල් වෙන්නත් පුළුවන්. ඊළඟ බස් නැවතුම මොකක්ද, එතනට තියන දුර, යෑමට ගතවන කාලය වැනි දේ බස් එකේ ඩිජිටල් තිරයේ දිස් වෙනවා.

පාර මැදින් බස් වලට වෙනම ධාවන තීරු දෙකක්

(busbooking.lk)

(busbooking.lk)

යෝජනාවට අනුකූලව පාර මැදින් කොළඹ දෙසට ධාවනයට හා මොරටුව දෙසට ධාවනයට වෙනම ධාවන තීරු දෙකක් බස්  සදහා වෙන්කරනවා. මේ තීරු දෙකට මැදිව තමයි බස් හෝල්ට් එක ඉදිකරනු ලබන්නේ. පාර මැදින් ඉදිවන මෙම වෙනම බස් ධාවන තීරු දෙක නිසා අනෙක් වාහන ඒ තීරු භාවිතය හෝ හරහා ගමන් කිරීමක් සිදුවන්නේ නෑ. එය මගීන්ගේ ආරක්ෂාවට යහපත් ලෙස බලපානවා. ඒ වගේම, ට්‍රැෆික් ලයිට් ලග විශාල කාලයක් නැවතී සිටීමට වෙන්නෙත් නෑ. එවැනි අවස්ථාවක දී බසයට ප්‍රමුඛතාවය ලබාදීමක් සිදුවෙනවා.

සිලින්ඩරාකාර සැපපහසු බස් හෝල්ට්

(chinadaily.com.cn)

(chinadaily.com.cn)

ධාවන තීරු දෙක මැදින් පිහිටා තිබෙන වායු සමීකරණය කරන ලද බස් හෝල්ට් දෙඅතටම ගමන් කරන මගීන්ට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේවා අවු-වැසි වලට හොඳින් ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කරනවා. මෙම බස් නැවතුමකට ළඟාවීමට නම් ගුවන් පාලම් යොදාගත යුතුයි. මගීන්ගේ ආරක්ෂාවත් මෙය රුකුල් දෙනවා. ඊළඟ බසය පැමිණෙන වේලාව ඩිජිටල් තිරය මගින් දක්වනවා. ටිකට් ගැනීම සිදුවන්නේ මෙතනදියි. තමාට යාමට අවශ්‍ය ස්ථානය සටහන් කල පසු යන්ත්‍රයක් මගින් ටිකට් නිකුත් කිරීම හා මුදල් අයකර ගැනීම සිදුවෙනවා.

තොරතුරු තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන

ටිකට් නිකුත් කිරීම, GPS මගින් බස් රථ පාලනය, රියදුරන්ට හා මගීන්ට අවශ්‍ය සියලුම තොරතුරු සැපයීම ආදී සියල්ල කෙරෙන්නේ තොරතුරු තාක්‍ෂණ ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින්. එම නිසා මෙම වැඩපිළිවෙල තාක්ෂනයෙන් උපරිම ලෙස  ප්‍රයෝජනය ගැනීමක් ලෙස හදුන්වන්න පුළුවන්.

ඉතින් කොහොමද ගාලු පාරට  මේ පද්ධතිය යොදාගන්නේ…

යෝජිත ආකාරයට ගාලු පාර කොටස් කිහිපයකට වෙන් කරනවා. කොල්ලුපිටිය සිට ඩික්මන් හන්දිය යන කොටස පලවෙනි කොටස ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙහි BRT ධාවන තීරු දෙකක් ඉදිකරන අතර, ඉන් පුද්ගලික වාහන වලට තදබදයකට මුහුණ දීමට සිදුවෙනවා. මෙය වැලැක්වීම සඳහා මුහුදුබඩ පාර හා ආර්. ඒ. ද මැල් මාවත පුද්ගලික වාහන සදහා භාවිත කරන්න පුළුවන්. දෙවන කොටස වන්නේ ඩික්මන් හන්දියේ සිට දෙහිවල පාලම දක්වා වූ කොටසයි. මෙහිදීත් ධාවන තීරු දෙකක් වෙන් කෙරෙන අතර වෙනත් වාහන සදහා ආදේශක ලෙස මුහුදුබඩ පාර හා  ඇන්ඩසන් පාර නම් කර තිබෙනවා. දෙහිවල පාලමේ සිට මැලිබන් හන්දිය දක්වා කොටස පාරේ තුන් වන කොටසයි.

කෙසේ නමුත්, BRT සඳහා ධාවන තීරු දෙකක් වෙන් කළ පසු අනෙකුත් වාහන සදහා ඉතිරි වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක්. ආදේශක පාරවල් නැති බැවින් දීර්ඝ කාලීන විසඳුමක් ලෙස අනෙකුත් වාහන සදහා ගුවන් පාලම් මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එය ඉදිකරන තුරු කෙටි කාලීන විසඳුමක් ලෙස වාහන තදබදය අධික වේලාවන් වල දී තීරු වල ධාවන දිශාවන් වෙනස් කිරීමට ලක් කරනවා.(කොළඹ දෙසට දැඩි තදබදයක් ඇති විට ඒ දෙසටත්, මොරටුව දෙසට තදබදය ඇති විට ඒ දෙසටත් ලෙසට). BRT තීරු වල අවසන් කොටස වන්නේ මැලිබන් මoසන්ධියේ සිට මොරටුව දක්වා වූ කොටසයි. මේ කොටස සඳහා ධාවන මංතීරු හයක් යෝජනා කර ඇති නිසා, එයින් දෙකක් BRT සදහා වෙන් කිරීමෙන් අනෙකුත් වාහන සදහා විශාල තදබදයක් ඇති වෙන්නේ නෑ.

මෙම මෙහෙයුම සිදුවන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, කතරගම, ආදී දුර සිට පැමිණෙන බස් රථ සියල්ල පානදුරේ දී නවතා, ඒවායේ ගමන් කරන සියළුම මගීන් එතැන් සිට BRT වලට යොමුකිරීම මගින්. ඒ වගේම, අතරමග දී බසින මගීන්ට, එතැන් සිට BRT වලින් පිටවීමට අවශ්‍ය බස් කඩිනම් ලෙස ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මැලිබන් හන්දිය, දෙහිවල, හෝ ගල්කිස්ස මoසන්ධිය වැනි ස්ථාන වල දී බසින මගීන්ට ඔවුන්ගේ ගමනාන්තය සදහා එතන සිට අනෙකුත් බස් සේවාවන් ක්‍රියාත්මක වනු ඇති. ඒ වගේම, මෙම ක්‍රියාවලිය නිසා පුද්ගලික වාහන හිමියන් තම වාහන ගෙදර නවතා තබා පොදු ප්‍රවාහන සේවයට භාවිත කළහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇති. පුද්ගලික වාහන නවතා දමා BRT තුළට එක්වීමට හැකිවන පරිදි, ‘PARK & RIDE’ නමින් රථගාල් ඉදිකිරීමට රත්මලානේ හා අඟුලානේ ඉඩකඩ වෙන් කිරීමට මේ වනවිටත් සැලසුම් කර තිබෙනවා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ දෙපාර්තුමේන්තුවෙන් කරන ලද සමීක්ෂණ වලට අනුව, ඔබ මොරටුවෙන් කොළඹට යනවා නම් BRT භාවිතය තුලින් වැයවන්නේරුපියල් 50ක වගේ මුදලක්. ඉතින් මෙවැනි අඩු මුදලකට මෙවැනි සේවාවක් ලබාගැනීමට හැකි නම් එය අප සියලු දෙනා සතුටු විය යුතු කරුණක් ලෙසයි අප නම් දකින්නේ.

මෙම ක්රංඅයෙඉ වාසිදායක හා කාර්යක්ෂම බව කෙසේ වුවත්,  මෙය ඉදිකිරීමට විශාල මුදලක් වැය වන බව ඔබට පැහැදිලි ඇති. මෙය ඉදිකිරිමේ ප්‍රායෝගික පසුබිම කෙසේ වුවත්, මෙම ලිපිය තුලින් BRT ගැන සරල අදහසක් ඔබ තුල ගොඩනැගීම තමයි අපගේ මූලික අරමුණ වුණේ. කෙසේ නමුත්, මේ වැඩපිළිවෙල සඳහා වන යෝජනාවන් සාර්ථක වුවහොත්, තදබදයෙන් තොර ගාලු පාරක් දකින්නට ඔබටත් අපටත් හැකි වේවි. 

කවරයේ පින්තුරය: newsfirst.lk

Related Articles