වැඩි වුණු වැට් එක ගැන කවුරුත් දැන ගන්න ඕන කරුණු කිහිපයක්

මේ අවුරුද්දේ මැයි මාසේ දෙවැනිදා ඉඳන් 11% ක තිබුණු වැට් එක 15%ක් කරපු බව නම් නොදන්න කෙනෙක් නැතිව ඇති. පහුගිය දවස් වල වැහැපු දරුණු වැස්ස නිසා ඇති වුණු ගංවතුර සහ මිනිසුන් සිය ගණනක් වැළලුනු නාය යාම්වලට කලින් මුළු ලංකාවේම මාධ්‍ය වල අවධානය වැඩිවශයෙන් යොමු වෙලා තිබුණේ මේ වැට් බද්ද වැඩි කිරීම ගැන කිව්වොත් වැරදි නැහැ. ලංකාවේ ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගන්න මේ විදිහට වැට් එක වැඩි කරා කියලා තමයි ආණ්ඩුවෙන් කියන්නේ. ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ යාම, ණය වාරික බොහොමයක් ගෙවන්නට සිදු වුණු වසරක් වීම වගේම ලෝක මට්ටමෙන් සිදු වුණු ආර්ථික හැලහැප්පිලි එහෙමත් මේකට හේතු වුණා.

2015 දී ලංකාවේ සංඛ්‍යාලේඛන අනුව බැලුවාම අපේ රාජ්‍ය ණය ප්‍රමාණය, ඒ කිව්වේ අපේ රට වෙනත් රටවල් වලට ගෙවන්න තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 9.5ක් බව සඳහන් වෙනවා. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් බිලියන 65.6ක්. වඩාත්ම භයානක දේ තමයි මේක අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් ¾ කට ආසන්න අගයක් වෙන එක. (හරියටම ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයෙන් 74.9%ක්) මොන විදිහට විග්‍රහ කරත් මේ මුදල අපි වගේ පුංචි රටකට මහා විශාල බරක්.

මොකක්ද වැට් එක කියන්නේ?

වැට් කියන එක ඇවිත් තියෙන්නේ VAT කියන ඉංග්‍රීසි වචනයෙන්. Value Added Tax නැතිනම් අගය මත එකතු කළ බද්ද කියන එක තමයි කෙටි කරලා වැට් එක කියලා හඳුන්වන්නේ. (සමහරු මේකට වැට් බද්ද කියලත් කියනවා, හැබැයි T අකුර tax හෙවත් බද්ද කියන වචනය සඳහා යෙදෙන නිසා ඒක නිවැරදි නැහැ) වැට් එක කියන්නේ භාණ්ඩ හා සේවා වල අගය මත එකතු කරන අතිරේක වටිනාකමක්. ඒ කිව්වේ මොකක් හරි බඩුවක් මිලට ගන්න වෙලාවට හරි සේවාවක් ලබා ගන්න වෙලාවට හරි ඒකෙන් යම් ප්‍රතිශතයක් ආණ්ඩුව අය කර ගන්නවා කියන එකයි. මේ නිසා රට පුරා මිනිස්සු ආර්ථික කටයුතු වල යෙදෙනකොට ආණ්ඩුවට අතිරේක ආදායමක් ලැබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්න මේක උපක්‍රමයක් විදිහට භාවිත වෙනවා කියන්න පුළුවන්.

ආණ්ඩුව මේ වන විට වැට් එකක් අය කරන්නේ ඇයි?

ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාට අනුව වැට් එක වගේ වක්‍ර බදු ක්‍රම වලින් විතරයි සැලකිය යුතු විදිහට රාජ්‍ය ආදායම වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ. රූපය : Youtube, BOI Sri Lanka (ලංකා ආයෝජන මණ්ඩලය)

ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාට අනුව වැට් එක වගේ වක්‍ර බදු ක්‍රම වලින් විතරයි සැලකිය යුතු විදිහට රාජ්‍ය ආදායම වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ. රූපය : Youtube, BOI Sri Lanka (ලංකා ආයෝජන මණ්ඩලය)

ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්මයා කියන්නේ මෙහෙමයි. “ලෝක ආර්ථිකයේ විවිධ ප්‍රවණතාවන් නිසා අපේ රටේ ආදායම් වල අඩු වීමක් තියෙනවා. මේකට උදාහරණ විදිහට ලෝක වෙළඳපොලේ තේ සහ රබර් සඳහා වන ඉල්ලුම අඩු වීම වගේම රුපියල පහුගිය කාලය පුරාම අවප්‍රමාණය වීම වගේ දේවල් සලකන්න පුළුවන්. මේ නිසා රජයේ ආදායම ප්‍රමාණවත් මට්ටමක පවත්වා ගන්න තියෙන එකම විසඳුම වැට් එක වගේ වක්‍රාකාර බදු ක්‍රම පාවිච්චියට ගන්න එකයි”.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශ්ලේෂක අනුෂ්ක විජේසිංහ මහත්මයාගේ අදහස මැයි මාසය මුලදී වැට් එක මේ වගේ වැඩි කරන්න ප්‍රධාන හේතුව වුණේ ලංකාවේ බදු ක්‍රමය හා වියදම් පාලනය නිසි ක්‍රමවේදයකට ගන්න පරක්කු වීම බවයි. කාලයකට පෙර නිවැරදි පියවර ගත්තා නම් මේ විදිහේ එකවර වැඩි කිරීමකට නොයා මේ වගේ ප්‍රශ්නයක් මග හැරගන්න අවස්ථාව තිබුණා.

ඔබ වැට් එක ගෙවිය යුත්තේ මොන වගේ දේවල් වලටද?

වැට් එක පිළිබඳ විග්‍රහයක්.

වැට් එක පිළිබඳ විග්‍රහයක්.

විජේසිංහ මහත්මයා Roar සමග කළ සාකච්ඡාවකදී කිව්වේ මෑත කාලීනව වැඩි කෙරුණු වැට් එක ගැන රට පුරාම ලොකු කතා බහක් ඇති වෙලා තිබුණත් මේ එකතු කර ගන්න බදු ආදායම පාවිච්චි වෙන විදිහ ගැන වැඩි දෙනාගේ අවධානය යොමු වෙලා නැහැ කියලයි.

“බදු එක්රැස් කිරීම සහ රාජ්‍ය වියදම් කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ” ඔහු කියනවා; “අපේ රටේ සමස්ත වියදම සමස්ත ආදායමට වඩා වැඩි නිසා රජයට සිද්ධ වෙලා තියනවා කොහොම හරි තමන්ගේ ආදායම වැඩි කර ගන්න. මේ නිසා මහජනතාවට සාධාරණ අයිතියක් වගේම වගකීමක් තියනවා මේ එකතු කර ගන්න අතිරේක ආදායම පාවිච්චි වෙන්නේ මොන වගේ දේවල් වලටද කියන එක හොයලා බලන්න වගේම ප්‍රශ්න කරන්නත්.”

ජල බිල්

ජාතික ජලසම්පාදන හා ජල අපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු K. A. අන්සාර් මහතා කියන්නේ වැට් එක වැඩි කිරීම නිසා ජල බිල් වල සිදු වුණේ සුළු වැඩි වීමක් කියලයි. ඒ මහතා Roar සමග කරපු සාකච්ඡාවේදී දැනගන්න ලැබුණු විදිහට මේ මාසයේ ඉඳන් ජල බිල්පත් වල සම්පූර්ණ වටිනාකමට 4%ක් එකතු වෙන්න නියමිතයි. “ඒ කියන්නේ ඔබේ ජල බිල්පත රුපියල් 111ක් නම් ඔබ ගෙවන්න ඕන මුළු මුදල රුපියල් 115ක් වෙනවා. මොකද ඔබේ නියම බිල රුපියල් 100ක් වුණත් ඔබ දැනටමත් රුපියල් 111ක් ගෙවනවා” කියලා ඔහු මේක තව දුරටත් විස්තර කළා.

බෝතල් කල පානීය ජලය

බෝතල් කල පානීය ජලය කියන්නේ අළුතෙන් අමතර මිලක් ගෙවන්න වෙන නිෂ්පාදන වලින් එකක්. රූපය : banthebottle.net

බෝතල් කල පානීය ජලය කියන්නේ අළුතෙන් අමතර මිලක් ගෙවන්න වෙන නිෂ්පාදන වලින් එකක්. රූපය : banthebottle.net

අපිට දැන ගන්න ලැබුණා බෝතල් කල පානීය ජලය බෝතල් වල මිල සැලකිය යුතු විදිහට වැඩි වෙලා තියන බව. උදාහරණයක් විදිහට රුපියල් 30ට තිබුණු මිලි ලීටර් 500 වතුර බෝතලයක මිල දැන් රුපියල් 50ක් වෙලා.

බස් ගාස්තු

ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ජූලි මාසයේ සිදු කෙරෙන බස් ගාස්තු සංශෝධනයේදී 8%කින් බස් ගාස්තු වැඩි කරන්නට නියමිත බව. කොහොම වුණත් ඒ වෙන තුරු බස් ගාස්තු වැඩි වීමක් සිදු නොවන බවත් ඔවුන් අවධාරණය කරලා තියනවා.

දුරකථන සේවා සහ ගාස්තු

පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමේ ජාතික ව්‍යාපාරය කියන විදිහට 15% දක්වා වැඩි කෙරුණු වැට් එක දුරකථන සේවා වලටත් අලුතෙන් එකතු කෙරුණු නිසා දැනට අය කෙරුණු බද්දෙත් ලොකු වෙනස් කමක් සිදු වුණු බවයි. ඒ වගේම ජාතිය ගොඩ නැගීමේ බද්දත් දුරකථන සේවා වලට එකතු වුණා. මේ නිසා දුරකථන සේවා බද්ද 26.04%කුත්, ජාතිය ගොඩ නැගීමේ බද්ද 2.08%කුත්, වැට් එක 19.53%කුත් එකතු වෙලා දැන් 49.73%ක බද්දක් සාමාන්‍ය ඇමතුම්, කෙටි පණිවුඩ සහ අනෙකුත් අගය එකතු කළ සේවා වලින් අය කෙරෙනවා. මේක කලින් තිබුණු 27.5%ට සාපේක්ෂව ලොකු වැඩි වීමක්.

ඒ වගේම තමයි අන්තර්ජාල පහසුකම් සඳහා වන බදු වලත් වැඩි වීමක් තියෙනවා. අපි ඩයලොග් ආසියාටා එකෙන් කරපු විමසීමකදී ඔවුන් තහවුරු කළා දැන් ඔවුන් 31.77%ක සමස්ත බද්දක් අය කරන බව. මේකට 2.08%ක ජාතිය ගොඩ නැගීමේ බද්ද, 10.42%ක දුරකථන සේවා බද්ද සහ 17.19%ක වැට් එක අයත් වෙනවා. මේ අගයන් අනෙක් සේවාදායකයන් සඳහා යම් ප්‍රමාණයකින් වෙනස් වෙන්නත් පුළුවන්.

පෞද්ගලික වෛද්‍ය සේවා

පෞද්ගලික රෝහල් වල වෛද්‍යවරුන් චැනල් කරන්න දැන් 15%ක් අමතරව ගෙවන්න වෙලා. රූපය : waterloohealth.co.uk

පෞද්ගලික රෝහල් වල වෛද්‍යවරුන් චැනල් කරන්න දැන් 15%ක් අමතරව ගෙවන්න වෙලා. රූපය : waterloohealth.co.uk

වැට් එක 15%ක් විදිහට පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය සේවා සඳහා අලුතෙන් එකතු කරලා තියෙනවා. කොහොම වුණත් බෙහෙත් මිල දී ගැනීම සඳහා මේ බද්ද අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම පෞද්ගලිකව වෛද්‍යවරයෙක් චැනල් කිරීම සඳහා අය කළ හැකි උපරිම මුදල රුපියල් 2000ක් හැටියට දැන් අලුත් නීතියක් පනවලා තියනවා. මේ නිසා වැට් එක හෝ වෙනත් කිසිම හේතුවක් නිසා මීට වඩා ගෙවන්න සිදු වෙන්න ඉඩක් නැහැ. මේ නිසා අනිවාර්යයෙන්ම පෞද්ගලික රෝහලකින් සේවය ලබා ගනිද්දී ඔබට ලැබෙන බිල් පතේ එක් එක් සේවා සඳහා ගාස්තු වෙන වෙනම දක්වලා තියෙනවාද කියන එක ගැන සැළකිලිමත් වෙන්න.

වැට් එක අදාළ නොවන භාණ්ඩ හා සේවා මොනවාද?

ආර්ථික අමාත්යංශය නිකුත් කළ භාණ්ඩ හා සේවා ලැයිස්තුවට අනුව සහල්, පාන් පිටි, පාන්, කිරි පිටි, ළදරු කිරි පිටි, ජංගම දුරකථන, කිරි ආහාර හා සියලුම ඉන්ධන (භුමි තෙල් ඇතුළුව) වැට් එකෙන් නිදහස්. මේ නිසා ඒ භාණ්ඩ වල මිලට සෘජු බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

වැට් එක වැඩි කිරීම ගැන ඇති වුණු මතභේද

ජාතික එක්සත් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණා. ඔවුන් ඉල්ලා තිබුණේ වැට් බද්ද ඉහළ නැංවීමේ තීරණය බල රහිත කරන ලෙසයි. පෙත්සම්කරුවන් දක්වලා තිබුණේ වැට් එක වැඩි කිරීම නිසි ක්‍රමවේදයක් අනුව සිදු වුණේ නැහැ කියලයි. මීට හේතුව විදිහට බදු සංශෝධන සඳහා පාර්ලිමේන්තු ඡන්දයක් සහ කැබිනට් තීරණයක් අවශ්‍ය වන බව ඔවුන් පෙන්වා දී තිබුණා.

ඊළඟ පියවර මොන වගේ වේවිද?

අනුෂ්ක විජේසිංහ මහත්මයා කියන්නේ ලංකාවේ මහජනතාව ආණ්ඩුව පැත්තෙන් සිදු කෙරෙන සේවය ගැන පැහැදීමකින් හිටියා නම් වැට් එක වැඩි කිරීම මේ තරම් රට පුරා කතා බහට ලක් වෙන්න හේතුවක් නැහැ කියලයි. මේක සමස්තයක් විදිහට හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම ඒක මහජනතාවට වාසියක් විය යුතුයි, මොකද රාජ්‍ය ආදායම වැඩි වුණාම ජනතාව අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය සහ විශ්‍රාම වැටුප් වගේ දේවල් වෙනුවෙන් වැය කරන්න අවශ්‍ය මුදල අඩු විය යුතු නිසා.

“බදු එක්රැස් කිරීම තුලින් අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙනවා කියන එක ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් රජය බදු වශයෙන් එකතු කර ගන්නා මුදල වැඩි වෙනවට සාපේක්ෂව මහජනතාවට ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවාද කියන එක නම් ගැටළුවක්.” විජේසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා. “උදාහරණයක් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගන්න. එහි වැඩි දියුණු කළ යුතු තැන් වගේම සපුරන්න අවශ්‍ය අඩුලුහුඬුකම් බොහොමයක් ඇති බව පැහැදිලිව පෙනෙන්න තියෙනවා. රජයට ලැබෙන අතිරේක ආදායම ඒ වගේ දේවල් වලට නිසියාකාරව යෙදවෙනවාද කියන එක අපිට සැකයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අය වන අතිරේක බද්දට සමානව එහි පහසුකම් වැඩිදියුණු කිරීමත් සිදු විය යුතුයි.”  

ඉතින් මේ වගේ වැදගත් කාරණා බොහොමයක් ගැන ආපහු අවධානය යොමු කරන්න කාලය ඇවිත්. ඒ දේවල් ගැන පියවරක් ගන්නවාද කියන එක ගැන සැළකිල්ලෙන් ඉන්න එක අපේ වගකීමක්. හැබැයි අපි කවුරුත් එකට එකතු වෙලා එහෙම උත්සාහයක් ගන්නවාද කියන එක ගැනත් ගැටළුවක් තියනවා.

කවරයේ පින්තුරය: nation.lk

Related Articles