මඩ සෝදාගත් කල ගොවියා රජකමට ද සුදුසු යැයි එකල ව්‍යවහාරයේ තිබූ කියමනකි. නමුත් අද කාලයේ මඩ වැඩ කරන වී ගොවියා මුහුන පා ඇත්තේ රජයේ පිහිටෙන් යාන්තමින් ජීවත් වන වටපිටාවකටය. රජය කිනම් අවස්ථාවක වුව වී මිලදී ගැනීම‍ සහ පොහොර සහනාධාර කපන්නේද, එතැනදී ගොවියාට සිය ගොවිකම පවා අහිමි වීමේ දැඩි අවධානමක් පවතී.

“2015 වර්ෂයේදී වාර්ෂික වී නිශ්පාදනය මෙ‍ට්‍රික් ටොන් මිලියන 3.3කට සමාන වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර එය දළ වශයෙන් මාස 17ක දේශීය සහල් පරිභෝජනයට ප්‍රමාණවත් වනු ඇත. “

2015 වර්ෂයේ මහබැංකු වාර්ථාවේ වී අස්වනු ගැන සඳහන් වන්නේ එසේය. එනම් 2015 වර්ෂයේදී වෙළඳපොලට නිකුත් වන වී අස්වැන්න 2016 වර්ෂය හමාර වීත් මාස 5ක් යන තුරු දේශීයව භාවිතයට ගත හැකි තරම් විශාල අතිරික්තයකි. එවිට 2016 වර්ෂයේ නිපදවන වී වලට සිදු වන්නේ කුමක්ද? ඒවා මිලදී ගන්නේ කෙසේද? ආදී වූ ගැටළු රැසක් ඒ සමඟම පැන නගී

අක්කරයක වී වගාවක් සඳහා යන වියදම්

බිම් සකසන ගොවියන්

    • මඩ වැඩ – 9,000.00
    • නියරවල් වැඩ – 4,500.00
    • බිත්තර වී – 4,800.00
    • වල් නාශක – 4,500.00
    • පූර්ව පෝර දැමීම – 2,500.00
    • පනු උවදුරු සදහා කෘමිනාශක – 2,500.00
    • දෙවනි පෝර මුරය – 4,800.00
    • ගොයම් කැපීම – 9,000.00
    • මුළු ගනන – 41,600.00
    • ශ්‍රමයට – 19,400.00
    • සමස්ථ වියදම – 60,000.00

බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේ ගොවියෙකුගෙන් අසා දැනගත් මේ දත්ත අනුව සාමාන්‍ය ගොයම් අක්කරයකින් ගොවියාට ලැබෙන අස්වැන්න කිලෝග්‍රෑම් 3000ක් පමණ වන අතර එයින් ඉඩම් අයිති කරුට හතරෙන් කොටසක් දිය යුතුය. එවිට ගොවියාට ලැබන වී ප්‍රමාණය කිලෝ 2250කි. එවිට වී කිලෝවක නිශ්පාදන වියදම රුපියල් 26කි.  රජයෙන් ඇලවේලී වැව් අමුණු සාදමින් වාරි ජලය නොමිලේම සපයමින්ද පොහොර සහනාධාරය නොමිලේ සපයමින්ද කරන වියදමද වී නිශ්පාදනය පිණිස රජය ආයෝජනය කරන මුදල් වේ. එවිට ඒවාද සමග වී කිලෝවක සැබෑ නිශ්පාදන වියදම රුපියල් 31-32 ප්‍රමාණයට එනු ඇත.

වී කිලෝවක නිශ්පාදන වියදම ම රුපියල් 31කට ආසන්න වන විට ගොවියාට වී විකුණා ගැනීමට සිදු වී ඇත්තේ රුපියල් 40-45ක අගයක උපරිම අගයකට වේ. රජය මගින් 45-50කට වී මිලදී ගත්තද ඒවායේ තෙතමනය සහ ජලවාශ්ප ඉවත්කොට නියම ප්‍රමාණයට වියලී ඇති වී පමණක් රජය තෝරා මිලදී ගැනීම සිදුකරනු ලබයි. වර්ථමානයේ විශාල යන්ත්‍ර වලින් ගොයම් කැපූ විට එවෙලේම වී ලබාගන්නා බැවින් අස්වැන්න ලෙස ලබාගන්නා වී වල තෙතමනය අධිකය. එවිට ගොවියාට වී වේලාගන්නට ක්‍රමයක් නොමැති නම් කෙලින්ම අතරමැදියෙකුට වී විකුනන්නට සිදුවන‍්නේ කිලෝව රු 30-35ක අගයටය.

මීහරකුන් දක්කන ගොවි මහතෙක්

ඉතින් මෙයින් පෙනී යන්නේ රටේ ආර්ථිකයට වී වගාව බරක් වෙමින් ගොවියාටද සැලකිය යුතු ආදායමක්‍ නොදෙමින් පවතින බවකි. ඒ අනුව රජය එක් පාර්ශවයකින් වී වගා කිරීමට පෝර සහනාධාර සහ ජල සම්පාදනයට මුදලකුත් ලබා දී ඉන් පසු රජයේ ගබඩා වලට වැඩි මිලට වී මිලදී ගන්නට ද සිදු වීම හරහා රජයට අවස්ථා දෙකකදී වී ගොවීන් වෙනුවෙන් භාන්ඩාගාරයෙන් මුදල් යෙදවීමට සිදු වේ.

රජය ආනයනික සහල් සඳහා කිලෝවකට රුපියල් 50ක් වන බද්දක් අයකිරීමට කටයුතු කලේ දේශීය වෙළඳ පොලේ සහල් මිල වැඩියෙන් තබාගෙන වී මිල වැඩි මට්ටමක තබාගැනීම සඳහාය. රජය වි ගොවීන් රැකීම වෙනුවෙන් ආනයන බදු වැඩි කිරීමෙන් සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයාට සහල් වෙනුවෙන් අමතර මිලක් ‍ගෙවීමට නියම කර තිබේ. නිශ්පාදන වියදම කලාපීය රටවලට වඩා බොහෝ‍සෙයින් වැඩි බැවින් සහල් අපනයනය කිරීමේ හැකියාවක්ද ලාංකික ගොවියාට හා වෙලෙන්දාට නැත.

දැනට වැඩිමිල දී ලබාගත් සහල් තොග අතිරික්ත ලෙස පවතින බැවින් සහල් අඩු මිලට තක්සේරු කොට බීර නිශ්පාදනයට සහ කුකුල් කෑම සඳහා තොග වශයෙන් නිකුත් කරනු ලැබේ.

මෙරට වී වගා කරන බොහෝ ගොවීන්ගේ මූලික ආදායම් මාර්ගය වී ගොවිතැන වේ. එවිට ඔවුන් කෑම බීම, ඇඳුම්  නිවාස තැනීම දරුවන්ට ඉගැන්වීම ආදී පවුලේ කටයුතු කරන්නේ වී ගොවිතැනින් ලැබෙන ආදායමෙනි. එබැවින් රජයට එකවර වී ගොවිතැන පාඩු ලබනවා යැයි පවසමින් සහනාධාර ආධාර නොදී වී ගොවිතැන කඩාගෙන වැටීමට ඉඩදීමේ හැකියාවක් නොමැත. ආනයන බදු සහල් කිලෝවට රු50ක් කොට මිල ස්ථාවර කර සහනාධාරද නිකුත් කිරීම හරහා ගොවීන්, ඔවුනට පාඩු යැයි කෙතෙක් කීවද නැවත නැවතත් වී ගොවිතැනේම ඇලී ගැලී සිටිමේ ප්‍රවනතාවය වැඩි වීමද මේ තුලින් සිදු වේ.

තෙල් පෝර නැති පරණ වී කතාන්දර

සී සාන අවස්ථාවක්

රජය ට පොහොර සහනාධාරය බරක් නිසාදෝ රජය පාර්ශවයේම ඇතැම් පිරිස් ඉතාම දියුනු රටවල දැනට අත්හදා බැලීම් මට්ටමින් ක්‍රියාත්මක වන කාබනික ගොවිතැන කෙරෙහි අවධානයක් දක්වනු පෙනේ. මාස 3-4කින් අස්වනු නෙලන නවීන වී වර්ග හඳුන්වා දීමට ප්‍රථම තිබූ පැරණි වී වර්ග මාස 6කට ආසන්න දීර්ඝ කාලයක් අස්වනු නෙලීමට ගත වන අතර දැන් වී වලින් ලැබෙන අස්වනු ප්‍රමාණයෙන් හතරෙන් පංගුවක වත් අස්වැන්නක් ඒ පැරණි වී වර්ග වලින් ලැබුනේ නැත. දැනට වගා කරනු ලබන වී වලට වඩා ඒ ඇතැම් පැරණි වී වල රසය හා සුවඳ ඉහල විය හැකි නමුත් වාණිජමය වගාවක් ලෙස ඉතා ඉහල මිලක් වී වලට නොලැබෙන්නේ නම් පැරණි වී වර්ග වගාකිරීම ගොවියාට පාඩුවකි.  

මා ඒ ආදිකාලයේ මඩ ගොවිතැන ගැන ගොවි මහතකුගෙන් ඇසුවිට ලැබුණු පිළිතුර මෙසේය.

“ මුනුබුරා… ඉස්සර ඔය විල තියෙන තැන උඩහ කුඹුරු කෑල්ලක් තිබුනා. හරක් දාල හාවල මා වී ගහල එනෝ ගිහින්. ආයි ඉතිං මාසෙකට දෙතුන් ගමනක් ගිහින් ගොයම බලල එනෝ. මේ දැන් කාලෙ  වගේ මහ සාත්තුවක් නෑ.. සමහර කාලවල අක්කරේක දෙකක මුලු කුඹුරම කපල පෑගුවත් වී මලු හත අටකට වැඩිය හිටින්නේ නෑ.. මහ දඩු ගොයං ගස් ගස් මානා පඳුරු වගේ.. මාස හයකින් තමයි කුඹුර කපන්නෙත්.. දැන්  ඉතිං ඒ කාලෙ කොර වැඩ කරන්න බෑනෙ.අනිත් එක මේ කාලෙ මාස තුනහමාරට යායට වතුර දෙන්නෙත් මහත්තුරු හෙන කෙලි කොරල… මාස හයකට වතුර ඉල්ලුවොත් කොහෙන් දෙන්නෙයි? .අද කාලෙ වී ටිකක් නැහැමින් හැදුන් නැත්තං අපිට වෙන කිසිම දෙයක් කොරගන්න වෙන්නේ නැ… මේකෙන් නෙව අපි කාල ඇදල ඔක්කොම කොරන්නේ.. “

සෘතු භේදය පවතින නවසීලන්තය වැනි රටවල පස, කාලයක් තිස්සේ ශීත කාලය හේතුවෙන් ඇති වූ අඩි ගණනාවක කාබනික පොහොර තට්ටුවකින් යුක්තය. ඒ රටවල ස්වභාවිකව ස්ථාපනය වූ කාබනික ස්ථරය දශක ගණනාවක් පොහොර නැතිව ගොවිතැන් කිරීමට තරම් ප්‍රමාණවත් වේ. ඉන්දුනීසියාව වැනි ගිණිකඳු බහුල රටවල මිරිදිය, ගිණිකඳු තුලින් සෝදාගෙන පැමිණි බෝග වගාවට සුදුසු ඛණිජ වර්ග වලින් පොහොසත්ය. එසේ හෙයින් ඒ රටවලදී කාබනික ගොවිතැන අපහසුතාවයකින් තොරව සාර්ථකව කල හැකිය. නමුත් නිවර්ථන කලාපීය රටක් වූ අපේ රටේ නිරන්තර වැසි හේතුවෙන් වැසි වනාන්තර හැරුනු කොට අනෙකුත් ස්ථානවල පසේ කාබනික ස්ථරය ‍නිතර සෝදාපාලුවට ලක් වේ.. එබැවින් කිලෝ දහස් ගණනක අස්වනු ලෙස නිතරම පොලවෙන් ඉවත් වෙන පසේ වූ පොහොර සංඝටක කෘතිමව පසට යෙදීමකින් තොරව ගොවිතැන් කොට ලාභ ලැබීම  අපහසු කටයුත්තකි.

ගොවිතැනට තාක්ෂණය යෙදීම පරිසරය විනාශයක්ද?

නුවරඑළිය ප්‍රදේශයේ එළවලු වගාවක්

වී කිලෝ 3000ක් නිපදවාගැනීමට නවීන තාක්ෂණය භාවිතයෙන් අවශ්‍ය වන්නේ අක්කරයක පමණ ඉඩ ප්‍රමාණයකි. නමුත් කෘමිනාශක, වල් නාශක, නවීන බීජ, යන්ත්‍ර සූත්‍ර නැතිවුවහොත් වී කිලෝ තුන්දාහක් නිපදවීමට තව තවත් වගාබිම් සොයාගැනීමට සිදු වේ. එනම් බෝග වගාවන් වලට තාක්ෂණය යොදා ඒවායින් අඩු ශ්‍රමයකින් අඩු ජල පරිමාවකින් අඩු ඉඩකින් වැඩි අස්වන්නක් ලබාගත නොහැකි කල්හී අපි විසින් වගාව සඳහා තවත් භූමිය ජලය යොදාගත යුතුය. භූමිය තවත් යොදාගන්නවා යනු තවත් වනාන්තර එළි වීමකි. ජලය ‍තවත් වගාවනට යොදාගන්නවා යනු ඉතිරිව ඇති ස්වල්ප පිරිසිදු ජලය ප්‍රමාණය තවත් අපවිත්‍ර වීමකි.

තාක්ෂණය භාවිතය තුලින් යම් යම් පරිසර පද්ධතීන් වලට බාධාවක් ඇතිවන බව සත්‍යයකි. නමුත් තාක්ෂණය නොමැතිව මේ සිටින සුවිසල් ජනගහනයට ආහාර සැපයීම වනාහී වර්ථමාන ලෝකයට ළඟා කර ‍ගත නොහැකි ඉලක්කයකි.

එක් එක් අය කරන විද්‍යාත්මක නොවූ ක්‍රමවේද වලින් අද කාලයේ වාණිජකරණයට හසු වී පරඩැලක් මෙන් වියලිව දුබලව ගසාගෙනයන ලාංකික ගොවියාට සැනසීමක් ලැබෙන්නේ නැත. එසේ නම් තව තවත් ලෝකයෙන් දුරස්ව පුරාතන යුග වලට නොගොස් වඩාත් පිරිමැසුම් දායී කාර්යක්ෂම පරිසරය සුරකින නවීන ක්‍රමවේද කරා ගොවියා යොමු කල යුතුව තිබේ.

මහා පරිමාණ වගාවට යොමු වීම

සමන්තුරෙයි ප්‍රදේශයේ අත්  ට්‍රැක්ටරයකින් ගමන් පහසුව සලසා ගන්නා ගොවි පවුලක්.

අදද ඇතැම් පලාත්වල මහා පරිමාණ ඉඩම් හිමි ගොවීන් විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් වී වගා කර ලාබ ලබාගනිති. ඔස්ට්‍රේලියාවද වී වගාකරන රටක් වන අතර එහි දී ඔවුන් කොන්ක්‍රීට් ඇල පද්ධති මගින් ජලවහනය සිදු‍කොට යානා මගින් කෘමිනාශක පොහොර යොදමින්, විශාල යන්ත්‍ර සූත්‍ර භාවිත කොට ගොවිතැන් කටයුතු කරනු ලැබේ. අප රටේ කුඩා ලියැදි, කුඩා ඉඩම් ආදිය නිසා මහාපරිමාණ වශයෙන් වගා කටයුතු කිරීමේ අපහසුතා පවතී. ඇතැම් පලාත්වල ගොවීනගේ ‍කුඹුරු ඉඩම් පරම්පරා බූදල බෙදීමේදී බෙදි ගොස් ඇති නිසා දැනට සිටින ගොවීන්ට හිමි වී ඇත්තේ සුළු වපසරියකි.

සී සෑම, බිම් සැකසීම, ගොයම් සිටුවීම, කෘමිනාශක ඉසීම, අස්වනු නෙලීම ආදී සියලු කර්තව්‍යයන් අද දිනයේ දියුනු රටවලදී සිදුවන්නේ විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතාවෙනි. එවිට ශ්‍රමයට වියදම් වන විශාල පිරිවැය අඩුවී එක් ගොවියකුට වගා කල හැකි භූමිය සැලකිය යුතු ලෙසින් වැඩි වේ. දැනට ලංකාවේ පවතින ගොවි සංවිධාන සහ ‍යාය කන්ඩායම් එකතු කොට ‍යායක්ම එක් ඒකකයක් ලෙස සලකා නවීන තාක්ෂණය භාවිත කොට ගොවිතැන් කල හැකිනම් වී ගොවීන්ට සිය නිශ්පාදන වියදම සැලකිය යුතු ලෙසකින් අඩු කරගැනීමට අවස්ථාව ලැබේ.

අස්වනු අඩු කලාප වලට වෙනත් ක්‍රම යෝජනා කිරීම

වාරි ජලයෙන් පිරී ඇති ඇල මාර්ගයක්

වියලි කලාපයේදී අක්කරයට වී කිලෝ 3500-4000ක් පමණ සාමාන්‍යයෙන් නිපදවන අතර තෙත් කලාපයේදී  එම අගය වී කිලෝ 2000-2500ක අගයක් තරම් අඩු අගයක පවතී. එම තෙත් කලාපීය ඉඩම් වල පස, ජලවහන තත්වයන්, දේශගුණ තත්වයන් අනුව වී වගාවෙන් ලබාගත හැකි අස්වනු අඩුය. එමනිසා එම ඉඩම් වලට වෙනත් වගාවන් යොදාගැනීම වඩාත් සුදුසු වේ. වී යනු තෘණ විශේෂයකි. එබැවින් තෘණ වගාකොට ඒ ආශ්‍රයෙන් ගවයන් වැනි සත්ව පාලනයක් ගෙන යා හැකිය. එසේම මඩ ඉඩම් වල යහමින් ජලය ඇති බැවින් ටැංකි ඉදිකොට විසිතුරු මසුන් සහ මිරිදිය මසුන් වගාවද හොඳ විකල්පයකි.

වී වෙනුවට වෙනත් වගාවන්..

ඉන්දීය කේරළ ප්‍රාන්ථයේ නම් ඇතැම් තැන් හී උසින් වැඩි පස් බැමි නිර්මාණය කොට ඇලවල් යොදා වතුර බස්සවා පස් බැමි මත පොල් වගාව වැනි විශාල ගස් ඇති වගාවන්ද සිදු කෙරේ..පොල් වැනි බෝගයක් දීර්ඝකාලීන වුවද ලෙහෙසියෙන්ම අපනයනය කිරීමේ හැකියාව ඇති බැවින් එය වඩාත් සාර්ථක බෝගයකි. ජලය අඩු කාලවලදී වියලි කලාපයේ ඇතැම් ගොවීහු දැනුදු මෑකරල්, බණ්ඩක්කා, මුං ඇට වැනි බෝග වර්ග වී වගා කරන මඩ ඉඩම් වල වගා කිරීමට යොමු වී සිටී. එයද යම් කිසි සැලසුමක් සහිතව ක‍ලහොත් වී වගා කරනවාට වඩා ඒ භූමියෙන් සහ ජලයෙන් වැඩිමනක් ප්‍රයෝජන ගත හැකි ක්‍රමයකි.

වී වගාවන්ට සාමාන්‍යයෙන් යොදාගන්නේ හොඳින් ජලය සැපයිය හැකි මඩ කල හැකි ඉඩම්ය. වී වලට වඩා අඩු ජල භාවිතයක් සහිත එලවළු සහ ධාන්‍ය වර්ග කුඹුරු ඉඩම් හි සාර්ථකව වගා කල හැකිනම් ජලය අඩු කුඹුරු ඉඩම් වලින් සාර්ථක ව මුදලක් ලබාගැනීමේ හැකියාවද ගොවීන්ට ලැබේ.

ගොවීන්ද බලධාරීන්ද නිළධාරීන්ද එකතු වී වඩාත් සාර්ථක වාණිජ මට්ටමකට මඩ ගොවිතැන යොමු කොට ගත යුතුව ඇත. එක් පසෙකින් පාරිභෝගිකයා ලාබෙට සහල් මිලදී ගන්නට ආශාවෙන් සිටි. අනෙක් පසින් ගොවියා සාර්ථක ආදායමක් සහ සැපවත් ජීවිතයක් පිළිබඳ දුරස්ථ  සිහින දකිමින් සිටි. මඩ සෝදා ගත් කල ඉබේම රජ වනවා යැයි කියන දේශපාලකයන්ගේ බොරු වලවල් වල නොවැටී තමුන් රජ වීමේ විකල්ප මාර්ග‍සොයාගැනීමට ගොවීන්ද සිය බුද්ධිය මෙහයවිය යුතු කාලය එළඹ තිබේ.

ඔබටත් මේ ගැන යම් අදහසක් තිබේද? එහෙනම් comment එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.